– ආරාධිතයකු ලෙස පැමිණි ඔහු පක්ෂ සාමාජිකයකු වන්නේ කොහොමද?
– මෛත්‍රී පිලේ ඉන්නේ දෙන්නයි
– විජයදාස රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසරණභාවය පාවිච්චි කරනවා; වගේම විජයදාස රාජපක්ෂ මහතාගේ අධිකරණ ඇමැති ධුරයත් භාවිත කර තියෙනවා
පක්ෂ සමාජිකයෙකු නොවන බව පවසන ඇමැති විජයදාස රාජපක්ෂගේ පත් කිරීම නීති විරෝධි බවට චෝදනා නැඟෙනවා? අධිකරණය පවා අතුරු තහනම් නියෝගයක් පැනවූවා?
පසුගියදා විජයදාස රජපක්ෂ මහතාගේ පත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් අධිකරණය විසින් පැනවූවා. මමත් ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඇමැතිවරු එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත්, අපේ ව්‍යවස්ථාවට අනුකූලව ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලබා ගැනීම නොහැකි බවටත් අභියෝග කළා. ඒ අනුව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළා. පැහැදිලිවම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයකු නෙමෙයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අපි දකින්නේ පසුගිය මාසයේ 30 වැනිදා. එදා ආවේ ආරාධිත දේශකයකු ලෙසයි. පක්ෂයේ සාමාජිකත්වය ගත් අයකු නම් ආරාධිතව ඒමට අවශ්‍ය නැහැ. පසුගිය 8 වැනිදා මැතිනියගේ ගුණ සමරුවේදී විජයදාස රාජපක්ෂ පැමිණෙන්නේ ද ආරාධිත දේශකයකු ලෙසයි. ඔහු ආරාධිත දේශකයකු ලෙස පැමිණීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට ඇමැති තනතුරු අරහං. තවත් පිරිසකට ඇමැති තනතුරු දැරීම හොඳයි. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?
අපිත් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරන්නේ ඒ පිළිබඳවයි. ආණ්ඩුවට සම්බන්ධ වී පක්ෂයේ පිරිසක් වැඩ කරගෙන යනවා. එයට විරුද්ධ වන ගමන් වැඩ බලන සභාපතිවරයා ලෙස අනීතිකව විජයදාස රාජපක්ෂ මහතා පත්කර ගන්නවා. ඔහු එවන් දෙයක් කරන්නේ කොහොමද?
මේ පත් කිරීම හරහා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදු වූ බව ද මෙයින් හැඟෙන්නේ?
පැහැදිලිවම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු නොවන කෙනකුට පක්ෂයේ තනතුරක් දැරීමේ හැකියාවක් නැහැ.
ඇමැති විජයදාස රාජපක්ෂගේ සම්බන්ධ වීම තවත් ඩීල් එකක් බවට ඇතැමුන් චෝදනා කරනවා?
පැහැදිලිවම මේක ඩීල් එකක් විය යුතුයි. මම විශ්වාස කරන ආකාරයට විජයදාස රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසරණභාවය පාවිච්චි කර ගන්නවා වගේම විජයදාස රාජපක්ෂ මහතාගේ අධිකරණ ඇමැති ධුරය භාවිත කර තියෙනවා. එසේ නොමැතිව මේ තුළ දේශපාලන කාරණාවක් සොයන්න බැහැ.
ඔබ චෝදනා කරන්නේ මේ ඩීල් එක පිටුපස පෞද්ගලික කරුණු කාරණා පවතින බවටයි?
මම පමණක් නෙමෙයි ඒ චෝදනාව කරන්නේ. බැලූ බැල්මට මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය ඉදිරියේ අභියෝග වන කාරණා රාශියකට මුල් වෙලා. විශාල මුදලක් ගෙවීමට තියෙනවා. පාස්කු නඩු තියෙනවා. එතුමාට අධිකරණයත් සමඟ ප්‍රශ්න ඇති බව හැංගුණ කරුණක් නෙමෙයි. අපි එදා තර්ක කළේ ඔවුන් අධිකරණ ඇමැතිවරයා ගෙන්වා ඡායාරූප ගෙන සමාජගත කිරීමෙන් රටට යම් පණිවිඩයක් දීමට. අද ඒ තර්කය එතැනින් එහාට ගිහින් වැඩ බලන සභාපති ලෙස පත්වෙලා. ඒ කියන්නේ අපේ තර්කය සාධාරණයි.
දැන් එකම පක්ෂයකට වැඩබලන සභාපතිවරු දෙදෙනෙක්. මොකක්ද මේ වෙන්නේ?
දැන් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා නිමල් සිරිපාල ද සිල්වා. අපි අලුත් වැඩ බලන සභාපතිවරයා පිළිගන්නේ නැහැ. අධිකරණයත් එය අනුමත කළා.
ඒත් ඔබ පවසන්නේ මෛත්‍රීපාල මහතා කියන කරන දේ වැඩිය ගණන් ගත යුතු නැහැ කියලයි?
ඇත්තටම ගණන් ගත යුතු වන්නේ නැහැ. වගකීමක් ඇති හිටපු සභාපතිවරයකු නම් අභ්‍යන්තර ආරවුලක් ඇති වූ විට විසඳන නිත්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව විසඳිය හැකියි. එසේත් නොමැති නම් අධිකරණයේ පිහිට පැතිය හැකියි. මේ දෙකම නොකර මෛත්‍රීපාල මහතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අසරණ කිරීමක්. පළි ගැනීමක්.
මුලදි ඔබලා විසින් පත් කළ සභාපති නිමල් සිරිපාල ද සිල්වාට කිසිදු විරෝධතාවක් ඔවුන් දැක්වූයේ නැහැ?
අපි නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගත්තේ ටික දිනකට කලින්. නමුත් ඊට කවුරුත් අභියෝග කළේ නැහැ. අපි පත්කළ කෙනා පිළිගන්නේ නැතිනම් උසාවියට ගිහින් වාරණ නියෝගයක් හෝ ගත හැකිව තිබුණා, ඒ පත්වීම පිළි නොගැනීමට. නමුත් අද වෙනකම් ඔවුන් මීට අභියෝග කර නොතිබුණේ අපේ වැඩ බලන සභාපතිවරයා පිළිගන්න නිසානේ. මෛත්‍රීපාල හිටපු සභාපතිවරයා අනීතිකව විධායක සභා කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේ ආකාරයෙන් අසරණ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මෙහි කොටස්කාරයකු කරන්න යන බවයි පෙනෙන්නේ. එසේ නොමැතිව වගකිව යුතු හිටපු සභාපතිවරයකු ලෙස කළ යුතු වන්නේ නිත්‍යානුකූල පියවර ගැනීමයි. අපිව අනීතිකව ඉවත් කළ පසු අපි කළේ අධිකරණයේ පිහිට පැතීමයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන හිතාමතාම පක්ෂය හා පාක්ෂිකයන් මේ ප්රශ්නයේ කොටස්කාරයකු කිරීමේ උත්සාහයකුයි තියෙන්නේ. වොයිස් කට් දීලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.
ඔබලාගේ තනතුරු පහ කිරීමත් කිසිදු පදනමකින් තොරව සිදු වූ බවටයි චෝදනා නැඟුණේ. වාරණ නියෝගය තවත් දිගු වුණා?
මම ආණ්ඩුවේ කිසිදු ඇමැති තනතුරක් දරන්නේ නැහැ. ලසන්ත හා අමරවීර මහත්වරු ඇමැති තනතුරු දරනවා. ඇමැති තනතුරු දරන අය අතරින් දෙන්නෙක් අයින් කරන්නත්, තනතුරු නොදරන මාව අයින් කරන්නත් ඇති සාධාරණය කුමක්ද? ආණ්ඩුවත් සමඟ සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව නෙමෙයි නම් සමස්ත ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනාම ඉවත් කළ යුතුයි. මේවා මෙතුමා වගකීමෙන් තොරව කරන ක්‍රියා. එකම පිරිසකට දෙයාකාරයකට සැලකීමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස රජයේ ප්‍රබල ඇමැතිවරයකු පත් කිරීමත් පරස්පර විරෝධීයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකත්වය ඇමැති විජයදාස රාජපක්ෂට ලබා දීමේ උත්සාහයක් තියෙනවද?
අපිට ඔහු ගැන කතා කරන්න වෙන්නේ නැත්තේ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන නිසයි. ඔහුට වැඩ බලන සභාපති වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා වර්තමාන වැඩ බලන සභාපති වන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා. නමුත් මාධ්‍ය මඟින් ඔහු ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව ඇති කැමැත්ත දැක්කා. ඔහු ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකු වීම අපිට ප්‍රශ්නයක් නැහැ.
කැඩුණු දෙපිල ඉදිරියේදි එකතු වෙයිද?
පිල් දෙකක් නැහැ. මෛත්‍රීපාල පිලේ ඉන්නේ හිටපු ජනාධිපතිවරයායි, සාරති දුෂ්මන්තයි පමණයි.
මේ විරසකය මැතිවරණය දක්වා ගියොත් මොකද වෙන්නේ?
මෛත්‍රීපාල සිරිසේන විජයදාසව අනීතිකව පත් කිරීමෙන් අපිට පැහැදිලි වන්නේ ඔහු සභාපතිකම අත්හැරීමේ සූදානමක් ඇති බවයි. එතුමා මීට නොගැළපෙන බව ඔප්පු කර හමාරයි. සභාපතිකම අත්හැර තියෙන නිසා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකයකු ලෙස ඉන්න පුළුවන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැදීමට යන සන්ධානයට මොකද වෙන්නේ?
අපි සන්ධානයක් හැදීමට ගත් උත්සාහයෙදි එය කළ නොහැකි වූයේ කිසිදු පක්ෂයක් මෛත්‍රීපාල සිරිසේනව නායකත්ව මණ්ඩලයට ගැනීමට අකමැති වීමයි. අපි මෙය කිව්වා. එතුමා කිව්වේ මට නායකයකු විය නොහැකි නම් අපි සන්ධානයක් හදන්නේ ඇයිද කියා. එදත් මෛත්‍රිපාල සිරිසේන පාක්ෂිකයන් ගැන හෝ පක්ෂය ගැන හෝ නොසිතා තමන්නේ තනතුරු වෙනුවෙන් පාවා දීමටයි කටයුතු කළේ.
සුභාෂිණි ජයරත්න