Home » කෑගල්ලේ මුද්‍රණ ශිල්පීන් දෙදෙනකුගේ හොර සහතික කච්චේරිය

කෑගල්ලේ මුද්‍රණ ශිල්පීන් දෙදෙනකුගේ හොර සහතික කච්චේරිය

by thanushika
April 20, 2024 12:30 am 0 comment

වාජ උප්පැන්න, විවාහ, මරණ සහතික ඇතුළු සියලුම සහතික පත්‍ර එකම වහලක් යට මුද්‍රණය කර විශාල මුදලකට අලෙවි කරමින් තිබුණු ‘හොර කච්චේරියක්’ ඉකුත්දා වටලා ව්‍යාජ සහතික සිය ගණනක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමට ඉකුත්දා රහසිගත තොරතුරක් ලැබිණි. ඒ වසර ගණනාවක සිට ඉතා රහසිගතව සියලුම සහතික පත්‍ර ඩිප්ලෝමා සහතිකපත්‍ර ව්‍යාජ ලෙස සකස්කොට අධික මුදලකට අලෙවි කරන කෑගල්ලේ ස්ථානයක් පිළිබඳවය. මේ තොරතුරු සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් බුද්ධි නිලධාරීන්ද යොදවා දීර්ඝ විමර්ශනයක් සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම එහිදී අනාවරණය කරගත්තේ එම තොරතුරු සත්‍ය බවය. ඒ අනුව උප පොලිස් පරීක්ෂක අසෝක බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ජීප් රථයකින් ඉකුත්දා කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ ගමන්කර පරගම්මන ධර්මපාල විද්‍යාලය ආසන්නයෙන් දකුණට හැරී දිලිඳුගම පිහිටි අදාළ නිවස වෙත ගොස් තිබුණි. නිවසට යන අවස්ථාවේදී නිවසේ ගෙහිමියා සිට ඇති අතර පොලිස් නිලධාරීන් තමන් පැමිණි කාරණය සම්බන්ධයෙන් ගෙහිමියා දැනුවත් කරන ලදි. එහිදී ගෙහිමියා පොලිසිය හමුවේ කියා සිටියේ තමන් එවැනි වංචනික කටයුත්තක් නොකරන බවත් පොලිසියට තොරතුරු දී ඇතැයි කියන පුද්ගලයා තමන්ගේ චරිතය ඝාතනය කිරීමට එම තොරතුරු දී ඇති බවය. පසුව තවදුරටත් ගෙහිමියාගෙන් තොරතුරු විමසූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමට ඔහුගේ ප්‍රකාශ ගැන සැකයක් මතු විය.

පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධරයෝ ගෙහිමියා පදිංචිව සිටින කාමරය සෝදිසි කළහ. ඔහුට අයත් අල්මාරියේ සහ නිදන ඇඳේ මෙට්ටය අස්සේ තිබී විවිධ වර්ගයේ ව්‍යාජ සහතික පත්‍ර විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට හැකි විය.

ව්‍යාජ සහතික පත්‍ර එකින්එක තෝරා බේරා වෙන්කර ගත් පොලිසිය උප්පැන්න, විවාහ, මරණ සහතික පත්‍ර, පොලිස් සහතික පත්‍ර, ක්‍රීඩා සහතික පත්‍ර, සෞන්දර්ය විශ්වවිද්‍යාලය මඟින් ප්‍රදානය කරනු ලබන සංගීත ඩිප්ලෝමා සහතික පත්‍ර, රථවාහන අයත් පොත්, ග්‍රාම නිලධාරී සහතික, සාම විනිසුරු සහතික පත්‍ර, ජල විදුලි බිල්පත්, අධිකරණවල තීන්දු පිටපත් ඇතුළු සහතික විශාල තොගයක් සහ සහතික කිරීමට ගන්නා රබර් සීල් විශාල තොගයක් ද එහිදී අත්අඩංගුවට ගැනිණි.

සැකකරුගෙන් තවදුරටත් කරන ප්‍රශ්න කරද්දී ව්‍යාජ සහතිකපත්‍ර නිෂ්පාදනාගාරය පිළිබඳ විමසීමක් සිදු කෙරිණි. දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල පොලිස් වසමේ රන්වල පාලම ආසන්නයේ තට්ටු ගොඩනැඟිල්ලේදී එම හොර සහතික මුද්‍රණය කරන බවට තොරතුරු පොලිසිය විසින් අනාවරණය කර ගන්නා ලදි. පසුව සැකකරු සමඟ රන්වල පාලම ආසන්නයේ පිහිටි අදාළ තට්ටු ගොඩනැඟිල්ල වෙත ගිය පොලිසිය සහතික පත්‍ර නිෂ්පාදනය කරමින් සිටි කෑගල්ල මොරොන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටින 60 හැවිරිදි පුද්ගලයෙක් ලැප්ටොප් පරිගණක මුද්‍රණ යන්ත්‍රයක්, ජංගම දුරකතන කිහිපයක්, සහතික පත්‍ර තොගයක් ඇතුළු වටිනා බඩු භාණ්ඩ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ව්‍යාජ සහතිකපත්‍ර තොගය කෑගල්ල මූලස්ථාන පොලිසියට රැගෙන ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම සැකකරුවන්ගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන්නේ අනතුරුවය.

එහිදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තරුණ කාලයේ රටපුරා මුද්‍රණාල කිහිපයක දක්ෂ මුද්‍රණ ශිල්පීන් ලෙස සේවය කර ඇති බවත් එම දැනුම උපයෝගී කරගෙන විවිධ සහතිකපත්‍ර නිෂ්පාදනය කර අලෙවි කර විශාල මුදලක් කාලයක සිට උපයා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබුණි. පසුව සැකකරුවන් දෙදෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගැනීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරී චන්දන කන්දේවත්ත යන නිලධාරින්ගේ උපදෙස් මත කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, උප පොලිස් පරීක්ෂක අසෝක බණ්ඩාර, සංජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කර තිබුණි.

චමින්ද ජයලත් කෑගල්ල විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division