Home » රැඳෙන්න පුළුවන් නම් විතරක් බැඳෙන්න

රැඳෙන්න පුළුවන් නම් විතරක් බැඳෙන්න

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

දවසකට 500ක් කසාද බඳිනවා කියල දැනගෙන හිටියට 400ක් දික්කසාද වෙනවා කියල දැනගෙන හිටියෙ නෑ නේද ?

දුක් කසාදයට වැඩිය නම් දික්කසාදය දහස් වරක් හොඳයි. ඒක ඇත්ත, හැබැයි රැඳෙන්න බැරිම නම් බිඳෙනවා මිසක, බිඳෙන්නම බලාගෙන කසාද බඳින එක නම් හෙනම මෝඩ වැඩක්.

බඳිනවද නැද්ද, කසාද බඳිනවා නම් බඳින්නෙ කාවද, කසාද බඳින අරමුණ මොකද්ද කියන තීරණය බුද්ධිමත්ව ගත්තොත් දික්කසාද වෙනවද නැද්ද කියන තීරණය ගන්න වෙනවා අඩුයි.

ඒ නිසා කසාද බඳින්න කලින් දෙසැරයක් නෙමෙයි, දහස් සැරයක් හිතල තවත් සැරයක් හිතන්න. අද මේ ඒ තීරණය නිවැරදිව ගන්න උදව්වක් තමයි කරන්න හදන්නෙ .

• අවුරුදු 25ට කලින් කසාද බඳින්නම ඕනෙ කියල නීතියක් සම්මත වෙලා නැහැ. 25 ද, 35 ද 45 ද එහෙමත් නැත්තම් අවුරුදු 50දී වුනත් කමක් නැහැ. අම්මට, තාත්තට, යාළුවන්ට, සමාජෙට ඕන දවසට නෙමෙයි, තමන් සූදානම් වෙච්ච දවසට විතරක් කසාදයක් බඳින්න.

• සහකරුවව තේරුම් ගන්න කලින්, මුලින්ම තමන්ව තේරුම් ගන්න, තමන් කවුද තමන්ට අවශ්‍ය මොන වගේ සම්බන්ධයක්ද කියල තීරණය කරන්න. බඳින්න කලින් අනිත් පාර්ශ්වය කසාදයක් තුළින් බලාපොරොත්තු වෙන දේවල් ගැනත් විවෘතව කතා කරලා ඒ දේවල් වෙනුවෙන් තමන්ට කැපවෙන්න පුළුවන් නම් විතරක් කසාදය කියන තීරණය ගන්න.

• ගොඩක් අය හිතන්නෙ කසාදය කියන්නෙ, පුනරුත්ථාපන කඳවුරක් එහෙමත් නැත්තම් ඉස්කෝලයක් කියල. අනේ එයා බැන්දම හැදෙයි, කසාද බැන්දම ඕවා හරි යයි කියල හිතාගෙන, අම්මල තාත්තලට හදන්න බැරිවෙච්ච ගෑනු සහ පිරිමි, හදාගෙන ජීවත් වෙන්න බලාගෙන නම් කසාද බඳින්න එපා. හැදිච්ච එකෙක් හොයාගෙන කසාද බඳින්න. එහෙම නැත්තම් එයාට හැදෙන්න කාලයක් දීලා හැදුනට පස්සෙ බඳින්න. නිකන් අනවශ්‍ය අවදානම් ගන්න එපා.

• ධනවත්, උගත්, බුද්ධිමත්, කුලවත්, රූමත් මනුසත්, ප්‍රේමනීය, ෆුල් රොමැන්ටික්, මේ ඔක්කොම එක්කෙනක්ගෙන් හොයන්න තරම් සිඟිති දරුවො වෙන්න එපා. අපි හැමෝටම හොඳ නරක දෙපැත්තක් තියනව, අනිත් කෙනාගේ හොඳ වගේම නරක පැත්තත් දරාගන්න පුළුවන් විදිහට මනස හැදුන දවසක බඳින්න හිතන්න.

• බෙරේ ගහන්න ඕනෙ පිටේ බැඳගත්ත ඩබල මිසක් රටේ ලෝකෙ අය නෙමේ, නෝනගේ අඩුපාඩු. මහත්තයාගේ මදි පාඩු, දුවගෙන ගිහින් අම්මට තාත්තට කියන්න හිතෙනතාක් කසාද බඳින්න හිතන්නවත් එපා. දෙමව්පියො, සහෝදරයො යාළුවෝ එක්ක ඕන දෙයක් බෙදාගන්න, කසාද ජීවිතේ නම් බෙදාගන්න එපා. ලංකාවේ දික්කසාදවලට ලොකුම හේතුව, නැන්දම්මා, ලේලි සහ නෑදෑ පිරිවර සැමියා අතරට මැදි වෙලා අසරණ වීමම තමයි. අම්මා තාත්ත, අයිය අක්කා, යාළු මිත්‍රයන්ගෙ උදව් උපකාර නැතුව ජීවිතේ ගැන තනියම තීරණ ගන්න පුළුවන් වෙච්ච දවසක බඳින්න, ඒක තමයි හොඳම දේ.

• ඇඳුමක් වුණත් ගන්න කලින් තමන්ට සෙට් වෙනවද කියල ඇඳලා බලන්න හැමෝම කැමතියි. ඒ වගේ තමයි යුරෝපයේ මිනිස්සු බඳින්න කලින් පෙරහුරුවක් විදිහට එකට ජීවත් වෙලා බලනවා. ඒකට තමයි live in together කියන්නෙ. ඒත් අපේ අය බැඳලා ඉවර වෙලා ගැළපෙනවද බලනවා..

Live in together ක්‍රමය මොන තරම් ප්‍රායෝගික වුණත් ලංකාවේ මිනිස්සුන්ට නම් තවත් වසර ගාණක් යනකම් ඕවා හීන.

ඒ නිසා ඇස් මානෙන් බලලා ෆැන්ටසියකින් හරි අනුමාන කරලා, මිසක් කසාද බඳින්න නම් හදිස්සි වෙන්න එපා.

කොකාගේ සුද පේන්නේ ඉගිලෙද්දී වගේ, සතා කවුද කියල හරියටම දැනෙන්නෙ බැන්දට පස්සෙ කියල කෙනෙක් කියන්න පුළුවන්.

කොහොමින් කොහොම හරි කසාදය කරුමයක් වෙච්ච දවසට, රටේ දික්කසාද අනුපාතය පහත හෙළන්න කියල හිතාගෙන විඳින්න තියන ජීවිතේ විඳවන්න ඕනෙ නැහැ,

බැඳෙන්න බැරිම නම් බිඳින්න. මොකද දික්කසාදය කියන්නෙ අහස පොළව නුහුලන අපරාධයක් නෙමෙයි.

හැබැයි බඳින්න කලින් හොඳට හිතන්න, රැඳෙන්න පුළුවන් නම් විතරක් බැඳෙන්න. අවිවාහක, විවාහක සහ දික්කසාද කියන්නෙ එකක් නෙමෙයි කැටගරි තුනක්‌.

අනිශා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division