Home » මිතුරාගේ බිරියට පෙම් කළ ඇල්ලේ ව්‍යාපාරිකයාට නිදි ඇඳ සොහොනක් වූ හැටි

මිතුරාගේ බිරියට පෙම් කළ ඇල්ලේ ව්‍යාපාරිකයාට නිදි ඇඳ සොහොනක් වූ හැටි

by thanushika
April 6, 2024 12:30 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ බණ්ඩාරවෙල – වැල්ලවාය මාර්ගයේ පිහිටි ‘ඇල්ල‘ සංචාරක පුරවරය මෑතක සිට දෙස්-විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයකි.

සංචාරක ආකර්ෂණයත් සමඟ ඇල්ල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට සංචාරක කර්මාන්තය පත්වීමත් සමඟ බොහෝ හෝටල්, නිවාඩු නිකේතන මෙන්ම අවන්හල්වලින් එම ප්‍රදේශය පිරී-තිරී ගොස් තිබේ.

එවන් වූ සුන්දර ඇල්ල ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබුණේ අසුන්දර පුවතකි. ඒ, ඇල්ල, 11 කණුව, ඌව කරඳගොල්ලේ සංචාරක නිකේතනයක් පවත්වාගෙන ගිය ගාමිණි ජයසිංහ නමැත්තාගේ ඝාතනයයි. සංචාරක නිකේතනයට යාබද ඔහු පදිංචිව සිටි නිවෙසේ නිදා සිටියදී ඉකුත් මාර්තු 6 වැනිදා රාත්‍රියේ සිරුරට ගිනි ඇවිළීමෙන් බරපතළ තුවාල ලත් ගාමිණි බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය මාර්තු 12 වැනිදා මෙලොව හැර ගියේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි.

පිලිස්සීමෙන් සිදු වූ තුවාල සහිතව මියගිය ගාමිණිගේ මරණය ඝාතනයක් බව ඇල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධනගේ මෙහෙයවීමෙන් ඇල්ල පොලිසියේ අපරාධ විමර්ශන විමර්ශන අංශයේ ස්ථානාධිපති එච්.පී. පාලිත ඇතුළු කණ්ඩායම සිදුකළ විමර්ශනයකින් අනාවරණය කර ගැනිණි. ගාමිණි ඝාතනය කර ඇත්තේ ඉතා සංවිධානාත්මක ලෙස ඔහුගේ සිරුර පිලිස්සීමෙන් බවට තොරතුරු පොලිසිය විසින් හෙළිකරගන්නා ලදි.

මෙලෙස ගාමිණි ඝාතනය කළ පුද්ගලයා ඇල්ල ප්‍රදේශයෙන් පලාගොස් නාවලපිටියේ, මාකන්දන උතුරේ කැලෑවක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිස් නිලධාරින්ට හැකි විය.

එම සිදුවීමෙන් හරියටම දින 10කට පසු එනම් පසුගිය මාර්තු 16 වැනිදා අලුයම ගාමිණි ඝාතනයේ සැකකරු වන ප්‍රියන්ත නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් ආකාරය මෙන්ම ගාමිණි මෙලෙස ඝාතනය කිරීමට හේතුව පිළිබඳව ඇල්ල පොලිසියේ සටහන් වන්නේ මෙලෙසිනි.

මේ දිනවල යුක්තිය මෙහෙයුම සමඟ දිවා රෑ නොතකා රාජකාරින් බහුල සෙසු පොලිස් ස්ථාන සේම ඇල්ල පොලිසියේද නිලධාරින් රාජකාරි කටයුතුවල නිරතව සිටියදී පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රිය පසුවී 12.40ට පමණ ඇල්ල පොලිස් ස්ථානයේ දුරකතනය නාද වන්නට විය.

“සර්… ඌව කරඳගොල්ලේ 11 කණුවේ ගෙයක් ගිනි ගන්නවා… සර්ලගේ ස්ටාෆ් එකේ මිස් කෙනෙක්ගේ ගෙයක් තමයි ගිනි ගන්නේ…“ යැයි එම ගින්න පැවැති නිවෙස අවට කෙනෙකු එලෙස පොලිසිය දැනුම්වත් කළේය.

එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායම හඳුනාගන්නේ අදාළ නිවස ඇල්ල පොලිසියේම සේවය කරන කාන්තා පොලිස් සැරයන්වරියකට අයත් බවය. එහෙත් එම නිවසේ පසුගිය කාලයේ ජීවත් වූයේ ඇගේ සැමියා පමණි. ඔහු 45 හැවිරිදි ගාමිණි ජයසිංහය.

දියණියන් තිදෙනෙකුගේ පියකු වන ගාමිණි එම නිවෙස යාබද සංචාරක නිවාඩු නිකේතනයක් පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිය වන සැරයන්වරිය දියණියන් තිදෙනා සමඟ බණ්ඩාරවෙල කුලී නිවෙසක ජීවත් වූහ. ඒ, දියණියන් බණ්ඩාරවෙල පාසලක අධ්‍යාපනය හදාරන හෙයින් ගමන් පහසුව සඳහා ඇය එලෙස දරුවන් සමඟ කුලී නිවෙසේ ජීවත් වූවාය.

පොලිසිය එම ස්ථානයට යන විට ගින්නට හසුවීමෙන් පිලිස්සුම් තුවාල ලත් ගාමිණි, ඔහුගේ එකම සහෝදරයා විසින් ත්‍රිරෝද රථයෙන් රෝහල කරා රැගෙන යමින් සිටියදී පැමිණි 1990 සුවසැරිය ගිලන් රියෙන් බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබිණි.

එසැණින් රෝහලට ගිය ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධනට ගාමිණිගෙන් කෙටි ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි විය.

“ඕඅයිසී මහත්තයා මං කාමරේ නිදාගෙන ඉන්නකොට එකපාරටම වතුර වගේ දෙයක් පිටට වැටුණා… එතකොටම ගිනි ජාලාවක් වගේ ආවා… ඒ එක්කම මං එළියට දුවගෙන ආවා මහත්තයා…“ යැයි කෙඳිරි ගාමින් ගාමිණි පැවැසීය.

ගාමිණි පිලිස්සුණු ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරින් දුටුවේ ඔහු නිදා සිටි එම කාමරය දැඩි සේ පිලිස්සී ඇති ආකාරයයි. එසේම ගාමිණි නිදා සිටි ඇඳ ද මුළුමනින්ම පාහේ පිලිස්සී ඇති ආකාරය ද පොලිස් නිලධාරින් දුටුවේය. එම ගිනි ගැනීමේ සිදුවීම පිළිබඳව ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කළ අතර අනතුරුව ඇල්ල පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් එම ස්ථානයට අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් (soco), ඇඟිලි සලකුණු නිලධාරින්, රජයේ රස පරීක්ෂකවරයා මෙන්ම ප්‍රදේශය බාර විදුලි ඉංජිනේරුවරයා ද කැඳවා පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන ලදි. ඊට අමතරව අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ ද පැමිණ ස්ථානීය පරික්ෂාවක් ද සිදු කළේය.

සිද්ධිය වී දින දෙකක් යද්දී පොලිස් විමර්ශන තව තවත් පුළුල් කරමින් අවට කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කරන්නට ද විය.

එහිදී ගාමිණිගේ ගජමිතුරෙක් ගැනද පොලිස් නිලධාරින්ගේ අවධානය යොමු විය. ඔහු ප්‍රියන්ත රත්නායකය. ප්‍රියන්ත සහ ගාමිණි සම වයසේ පසුවූ එකම ගමේ කුඩා කල සිටම පදිංචි මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාගේ නිවෙස් පිහිටියේද මීටර් එකසිය පනහක් පමණ දුරකිනි. ගජමිතුරා ගාමිණි මහත් කරදරයකට මුහුණ දී සිටියද ප්‍රියන්ත ඒ කිසිම විටෙක පෙනෙන්නට සිටියේ නැත. ඒ අතරේ ගාමිණි සහ ප්‍රියන්තගේ බිරිය අතර වූ අනියම් ඇසුරක් ගැනද පොලිසියට තොරතුරු ලැබෙන්නට විය. ඒ සියලු තොරතුරු ඔස්සේ පොලිස් නිලධාරින් සිද්ධියෙන් දිනකට පසු එනම් මාර්තු 8 වැනිදා සවස ප්‍රියන්තගේ නිවෙසට ගොස් ඔහු ගැන බිරියගෙන් විමසීය.

“සර්… එයා වැඩකට යනවා කියලා කොළඹ ගියා… පෝන් එක වැඩ කරන්නෙත් නෑ… මගේ පෝන් එකත් කැඩිලා සර්…“ යැයි එම තැනැත්තිය කිසියම් චකිතයකින් යුතුව පොලිසියට පැවැසුවාය.

මෙවැනි විමර්ශන පිළිබඳ හසළ අත්දැකීම් ලත් එම පොලිස් නිලධාරි කණ්ඩායමට ඇගේ ප්‍රකාශය ගැන එතරම් විශ්වාසයක් නොවීය. දිගින් දිගටම පොලිස් නිලධාරින් ප්‍රියන්ත ගැන සෝදිසියෙන් පසු විය. මේ අතර බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ගාමිණි මාර්තු 12 වැනිදා මෙලොව හැර ගියේය.

ගාමිණිගේ අවසන් කටයුතු ඇල්ල, ඌව කරඳගොල්ලේදී පසුගිය මාර්තු 13 වැනිදා සිදු කෙරිණි. ඒ කිසිම අවස්ථාවකට ඔහුගේ ගජමිතුරා වූ ප්‍රියන්ත එක් නොවීය. ඒ ඔස්සේ පොලිසියට ඔහු පිළිබඳ සැකය තීව්‍ර වන්නට විය. ගාමිණිගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු දින දෙකක් ගත විය. එනම් මාර්තු 15 වැනිදා ඇල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පාලිතට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් විශ්වාසවන්ත තොරතුරක් ලැබිණි.

“සර්… ‘ප්‍රියන්තයා‘ ගැන ආරංචියක් තියෙනවා… ඒකා නාවලපිටියේ තැනක ඉන්නවා කියලා තමයි ආරංචිය… ඔය ප්‍රියන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක් ඉන්නවා නාවලපිටියේ… එහේ ඉන්නවා කියලයි තොරතුර ලැබුණේ… පොඩ්ඩක් බලන්න සර්…“ යැයි එම තොරතුරෙන් කියැවිණි.

ඒ අනුව පොලිස් නිලධාරින් එම හෝඩුවාව ඔස්සේ තව තවත් එකී තොරතුර ගැන සොයා බැලුවේය. තොරතුර ‘තිතටම’ නිවැරැදිය. අනතුරුව ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත්කොට සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමට උපදෙස් සහ අවසර පැතීය. ඒ අනුව ඇල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එච්. පී. පාලිත ඇතුළු නිලධාරි කණ්ඩායමක් නාවලපිටියේ, මාකන්දන උතුරේ පිහිටි අදාළ නිවෙස සොයා ගියේ මාර්තු 16 වැනිදා අලුයම් කාලයේය.

ප්‍රියන්ත එම නිවෙසේ නොවීය. පසුව නිවෙසේ සිටි අයගෙන් ප්‍රශ්න කළේය. එහිදී ප්‍රියන්ත නිවෙසට ආසන්න කැලෑවක සිටියදී එදින අලුයම් කාලයේ අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් ප්‍රියන්තගේ අත්පා ද තුවාල වී ඇති ආකාරය පොලිස් නිලධාරින් දකින්නේ මේ අතරය. ඒ අනුව පොලිසියෙන් සැඟවීමට කිසිම දෙයක් ඔහුට නොවීය. එම නිවැසියන්ගෙන්ද පොලිස් නිලධාරින් ප්‍රකාශයක් ලබා ගත්තේ සිදු වී ඇති දේ පවසමිනි.

“සර්… මෙයා අපට කිවුවෙ වැඩ කරන වාඩියේ ගෑස් එක පිපිරිලා පිච්චුණා කියලා… ඒක නිසා මෙහෙට ආවේ බෙහෙත් ගන්න කියලා තමයි අපට කිවුවේ සර්…“ යැයි එම නිවැසියෝ පැවැසූහ. අත්අඩංගුවට ගත් ප්‍රියන්ත ඇල්ල පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කරන්නට විය.

“ඇත්ත කියනවා… මොකද්ද එදා සිද්ධ වුණේ…?“ පොලිස් නිලධරයෝ එක එල්ලේම ප්‍රියන්තගෙන් ප්‍රශ්න කළහ.

“සර්… එදා මං ගියේ… මගේ ගෑනිත් එක්ක තියෙන සම්බන්ධය නවත්වන්න කියලා… ගාමිණිට කියන්න… ඒත් ඒ වෙලාවේ තමයි මිනිහා මගේ ඇඟට පෙට්‍රල් වක්කරලා ගිනි තියන්න හැදුවේ… එහෙම තමයි මාව පිච්චුණේ සර්…“ යැයි ඔහු පවසන්නට විය. එහෙත් ප්‍රියන්ත පවසන්නේ අසත්‍යයක් බව පොලිස් නිලධාරින් සිදුකළ විමර්ශනවලින් ඒ වන විටත් සොයාගෙන තිබිණි.

“තමුන් කියන්නේ බොරු… අපි සේරම හොයාගෙන තියෙන්නේ… අපිට ඇත්ත කියනවා…“ යැයි පොලිස් නිලධරයෝ ප්‍රියන්තට පැවැසුවේ දැඩි ස්වරයෙනි.

ඒ සමඟම ප්‍රියන්ත සියල්ල පොලිස් නිලධරයන් හමුවේ පවසන්නේ තවදුරටත් බොරු කිරීමෙන් පලක් නොවන හෙයිනි. ප්‍රියන්තගේ පාපෝච්චාරණය අනුව හෙළි වන්නේ මෙවැන්නකි.

ගාමිණි ජයසිංහ සහ ප්‍රියන්ත රත්නායක කුඩා කල සිටම අඹ යහළුවන්ය. අසල්වාසීන් වන දෙදෙනා බොහෝ අවස්ථාවල ‘කෑවේ බීවේ‘ ද එකටමය. ගාමිණි සිය නිවෙස ආසන්නයේ සංචාරක නිකේතනයක් පවත්වාගෙන ගියේය. ප්‍රියන්ත කලක් වැල්ලවාය – බණ්ඩාරවෙල මාර්ගයේ බස් රථයක රියැදුරු රැකියාව කිරීමෙන් පසු ඉන් ඉවත්ව පසුගිය කාලයේ කුලී වැඩ කරමින් සිටියේය. ගාමිණිට මෙන්ම ප්‍රියන්තට ද දරුවන් තිදෙනෙකි.

ගාමිණි, ප්‍රියන්තගේ බිරිය සමඟ වසර කීපයක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. මෑතකදී ඒ බව ප්‍රියන්තට ද දැනගන්නට ලැබිණි. ඒ සමඟම දෙදෙනා අතර බහින්බස් වීම් ඇතිවීමත් සමඟ මෑතක සිට දෙදෙනාගේ ‘ගජමිතුරු සබඳතාව‘ ද බිඳ වැටිණි.

එවැනි වටපිටාවකදී ප්‍රියන්ත සිය බිරිය සමඟ ද ගැටුම් ඇති කරගත්තේ ගාමිණි සමඟ තිබෙන අනියම් ඇසුර නතර කරන ලෙස බිරියට බල කරමිනි. ප්‍රියන්ත, බිරිය සමඟ කියන කරන සෑම දෙයක්ම පාහේ ‘අකුරක් නෑර‘ ප්‍රියන්තගේ බිරිය ගාමිණිට කීවාය. ඉන් දෙදෙනාගේ ගැටුම තව තවත් උත්සන්න විය. පසුගිය දිනෙක එම ප්‍රශ්න නිසා ගාමිණි, ප්‍රියන්ත සමඟ බහින්බස් වීමක් සිදු වී තිබිණි.

“සර්… පහුගිය දවසක ගාමිණි මාත් එක්ක රණ්ඩුවකට ආවා… එදා ගාමිණි උඹ වැඩිය දඟලන්න එපා කියලා මට තර්ජනය කළා. පස්සේ බරපතළ කතාවකුත් කිවුවා සර්…“ යැයි ප්‍රියන්ත පොලිස් නිලධාරින් ඉදිරියේ කීවේ ගාමිණි තමාට කී කතාව පිළිබඳවය.

“ගාමිණි… තමුන්ට මොකද්ද කිවුවේ…?“ පොලිස් නිලධාරියෙක් ඇසීය.

“දන්නවනේ මට තියෙන කන්ටැක්… උඹ වැඩිය දැඟලුවොත්… කුඩු පැකට් දෙකක් දාලා ඇතුළට දානවා… කියලා මට තර්ජනය කළා සර්…“ යැයි ප්‍රියන්ත පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසුවද එය සත්‍යයක්ද යන්න තහවුරු කරගැනීමට පොලිසියට නොහැකිය. ඒ මේ වන විට ගාමිණි මියගොස් ඇති හෙයිනි.

කෙසේ හෝ ඒ සියලු දෑ සමඟ ප්‍රියන්ත සහ ගාමිණි අතර විරසකය තව තවත් වැඩි වන්නට විය. ඒ සමඟ ප්‍රියන්ත ගාමිණිට පෙර ඉස්සර වූයේ ඔහුට ‘ගේමක් දෙනවා යැයි අදිටන් කරගනිමිනි.

දිනය පසුගිය මාර්තු 6 වැනිදාය. එදින ගාමිණි බණ්ඩාරවෙලට ගොස් බිරිය සහ දරුවන් හමුවී බදුල්ලේ අවමංගල්‍යයකට සහභාගි වී ඌව කරඳගොල්ලේ නිවෙසට පැමිණියේ එදින රාත්‍රී 9.30ට පමණය. නිවෙස යාබද සංචාරක නිකේතනයේ කළමනාකරු ඒ වන විට එහි සිටියේය.

ගාමිණි නිවෙසට එන විට පෙට්‍රල් කෑනයක්ද රැගෙන හොර රහසේ ප්‍රියන්ත ඒ වන විටත් එම නිවෙසට ඇතුළු වී සිටියේය. ගාමිණි කාමරයට වැදී නින්දට යාමෙන් පසු එදින මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී ගාමිණිගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තැබූ ප්‍රියන්ත එම ස්ථානයෙන් ක්ෂණයෙන් පලා ගියේ කිසිවකුත් දකින්නට පෙරය. එහෙත් ඔහුගේ අත්පා ද ගින්නට පිලිස්සිණි.

ගින්නත් සමඟ නිවෙසින් එළියට දිව ආ ගාමිණි හෝටල් කළමනාකරුගේ නම කියමින් කෑගැසීය. කළමනාකරුගේ විලාපය ඇසුණු ඒ අවට වැසියන් සහ ගාමිණිගේ සහෝදරයා එසැණින් පැමිණ ගාමිණි රෝහලට රැගෙන යාමට කටයුතු කළේය.

පිලිස්සුම් තුවාල සහිතව පලා ගිය ප්‍රියන්ත අසල ‘රාවණාඇල්ල රක්ෂිතයට‘ ගොස් පිලිස්සුණු ඇඳුම් ගලවා රැගෙනවිත් තිබූ වෙනත් ඇඳුමක් ඇඳගෙන 7 වැනිදා අලුයම ඇල්ල – වැල්ලවාය මාර්ගයට පිවිස කතරගම සිට නුවරඑළිය තෙක් ධාවනය වන බස් රථයට ඇල්ල ප්‍රදේශයෙන් ගොඩවිය.

පසුව ඔහු එම බස් රථයෙන් දෝව දික්අරාවෙන් බැස බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට ගොඩවිය. හපුතලේදී එම බසයෙන් බැසගත් ප්‍රියන්ත අනතුරුව හපුතලේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ගියේය.

“ඊට පස්සේ මම ඉදල්ගස්හින්නෙන්… පාන්දර බදුල්ලෙන් එන උඩරට මැණිකෙට නැඟලා නාවලපිටියට ගියා සර්…“ යැයි කී ප්‍රියන්ත ඒ යන අතරේදී තමන් ළඟ තිබූ ඇඳුම් බෑගය දුම්රියෙන් එළියට විසි කළ බවද හෙළි කළේය.

ඔහු නාවලපිටියේදී බිරියගේ නැඟණියට ද බොරු කියා එම නිවෙසේ සිට පිලිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියේය.

අත්අඩංගුවට ගත් ප්‍රියන්ත බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කෙරිණි.

බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහනගේ උපදෙස් මත පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරි සහ සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව් අබේගුණවර්ධනගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. පාලිත, සැරයන්වරුන් වන 56360 රංජිත්, 73637 රත්නායක, 76826 ඇහැලියගොඩ, 15666 රණතුංග, කාන්තා පොලිස් සැරයන්වරියන් වන 3276 රසිකා, 10123 ප්‍රියංගනී විමර්ශන සඳහා එක් වූහ.

ඡායාරූප – සී. ගමගේ, සොරණාතොට සමූහ

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division