Home » තව පොඩ්ඩෙන් මට වෙඩි කාලා මැරෙන්නයි වෙන්නෙ

තව පොඩ්ඩෙන් මට වෙඩි කාලා මැරෙන්නයි වෙන්නෙ

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

ආකර්ෂණීය හිසකෙස් විලාසිතාවකින් හැඩ වී හින්දි නළුවකු මෙන් රේසින් බයික් එකක් පදින රනුක මේ දිනවල තාරුණ්‍යයේ සිහින කුමරා බවට පත්වී සිටියි. ඔහුගේ කැමැත්ත පතා එන සුන්දර තරුණියගේ නෙතු මඟහැර ඔහුගේ සිත පැහැර ගන්නේ ඊෂාය. රනුක සිටින්නේ මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් හිරු නාළිකාවේ විකාශය වන චාමර ජයවීරගේ දිවිතුරා ටෙලි නිර්මාණයේය. හින්දි නළුවකු දැයි බොහෝ දෙනාගේ විමසුමට ලක්වන එහි රනුකගේ භූමිකාවට පණ පොවන ඔහු චතුරංග කොඩිතුවක්කුය. අද අපේ කතාබහට එක්වූයේ ඔහුය.

මේ දවස්වල රනුක ගොඩක් ජනප්‍රියයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. තරුණ පිරිස අතරේ තමයි ගොඩක්ම ජනප්‍රිය. හිසකෙස් විලාසිතාව වගේම මගේ උස පෙනුමත් ඒ චරිතයට ගැළපෙනව කියල හිතෙනවා. රනුක කියන්නෙ තරුණ ව්‍යාපාරිකයෙක්. විනෝදාංශයක් විදිහට තමයි එයා බයික් පදින්නේ. සාමාන්‍යයෙන් මට හොඳට බයික් පදින්න පුළුවන්. ඒ නිසා ඒ චරිතයට අපහසුවක් වුණේ නැහැ. රනුකගෙ හොඳම යෙහෙළිය හැසිරෙන්නෙ රනුක එයාගෙ පෙම්වතා කියල හිතාගෙන. ඒත් රනුක එයාට සලකන්නේ හොඳ යාළුවෙකුට වගේ. රනුකගෙ හිත තියෙන්නෙ ඊෂා ළඟ. ප්‍රේක්ෂකයො මේ හැම පැත්තෙන්ම බලල ප්‍රතිචාර දක්වනවා.

ඔබේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

මුලින්ම මං සෙලාන් බැංකුවේ වෙළෙඳ දැන්වීමකට පෙනී හිටියා. ඒක තමයි කැමරාවක් ඉදිරියේ මං ලබපු පළමු අත්දැකීම. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම්වලට ගොඩක් අවස්ථා ලැබුණා. ඒ අතරේ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ හදවතේ කතාව ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔහු මට කතා කරල තිබුණෙ ෆේස්බුක් එකෙන් දැකලා. ඒ මගේ කුලුඳුල් රංගන අත්දැකීම. ඒකෙ තිර රචනය තිමිර උඩලමත්තගේ. පළවෙනි අත්දැකීම විදිහට ප්‍රධාන භූමිකාවක් ලැබෙනව කියන්නෙම ලොකු ජයග්‍රහණයක්. හදවතේ කතාවෙ නිමේෂ්ට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අදටත් හදවතේ කතාව මතක් කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඊට පස්සෙ ටෙලි නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් හිරු නාළිකාවේ විකාශය වුණු ෂැඩෝ, ළංවී වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුණු උන්මාදිනී ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. හදවතේ කතාවේ නිමේෂ්ට වගේම ළංවී ටෙලි නිර්මාණයේ විසල්ටත් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කළා. උන්මාදිනී ටෙලි නිර්මාණයේ විලන් කැරැක්ටර් එකක් වුණත් ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල විකාශය වන දිවිතුරා ටෙලි නිර්මාණයේ රනුකට වගේම ඉදිරියේ දී විකාශය වීමට නියමිත See You ටෙලි නිර්මාණයේ ෂෙහාන්ටත් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ වේවි කියල හිතනවා. See You ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ශලිනි තාරකා. එයාගෙ මල්ලි ෂෙහාන් විදිහට තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ.

ඔබට තියෙන්නෙ ඉන්දියන් පෙනුමක් කියල කවුරුත් කියල නැද්ද?

ඒක බොහෝ අය කියල තියෙනවා. සමහරු කියනව මං සල්මන් ඛාන්ගෙ තරුණ කාලෙ වගේ කියලා. අර්ජුන් රාම්පාල් වගේ කියන අයත් ඉන්නවා. ඒක එක එක්කෙනාට පේන හැටිනෙ. මගේ උස පෙනුම වගේම හෙයාර් ස්ටයිල් එක නිසා එහෙම කියනව ඇති.

රංගන ජීවිතේ අමතක නොවන සිදුවීම මොකක්ද කියල ඇහුවොත්?

ඒක සිදු වුණේ ළංවී ටෙලි නිර්මාණයේ රූගත කිරීමකදි. රංගන ජීවිතේට විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේටම අමතක වෙන එකක් නැහැ ඒක නම්. එක තැනක තියෙනවා මං තුවක්කුවකුත් අතින් අරන් දෙන්නෙකුට තර්ජනය කරන සීන් එකක්. එදා ඒක රූගත කරද්දි ඒක ඇත්තක් කියල හිතල කවුරුහරි 119 අරගෙන පොලිසියට කතා කරලා කියලා. එක පාරටම විස්සක විතර කණ්ඩායමක් ඇවිත් තුවක්කු ඉලක්ක කරගෙන මාව වටකර ගත්තා. මං මැරයෙක් කියල හිතල වෙඩි තියන්නයි හදල තියෙන්නෙ. ඊට පස්සෙ කැමරා එහෙම පෙන්නල බොහොම අමාරුවෙන් විසඳ ගත්තෙ. තව පොඩ්ඩන් වෙඩිකාල මැරෙන්නයි මට වෙන්නෙ. හොඳම කතාව කියන්නෙ ඊට දවස් දෙකකට කලින් එතැන එහෙම මිනී මැරුමක් වෙලා තියෙනවා. ආයෙම එහෙම දෙයක් කියල හිතල තමයි පොලිසියට කෝල් කරල තියෙන්නේ. ඒක නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

රනුකට ආදරේ කරන ප්‍රේක්ෂකයො චතුරංග ගැන දැනගන්නත් කැමති ඇති?

මගේ අම්මා, තාත්තා මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. පවුලෙ එකම ළමයා මම. ඒ නිසා දැන් ඉන්නෙ මං විතරයි.

තනියම ගෙවන ජීවිතේ සහායට කෙනෙක් හිටිය නම් කියල හිතිල නැද්ද?

මට ආදරවන්තියක් ඉන්නවා. එයා මියැසි. මේ ක්ෂේත්‍රයේම කෙනෙක්. ක්ෂේත්‍රයේ ගොඩක් අය ඒ ගැන දන්නවා. අපි දෙන්න හමුවෙන්නේ මියුසික් වීඩියෝ එකක් කරද්දි. මුලින් අපි යාළුවො වගේ ඉඳලා දෙන්නට දෙන්න තේරුම් ගනිද්දි ඒ යාළුකම ආදරයක් බවට පත්වුණා. මේ වෙද්දි අපේ ආදරේට අවුරුදු 6ක් වෙනවා. දෙන්නට දෙන්න උදවු කරගනිමින් සහයෝගයෙන් ජීවිතේ ගතකරනවා. දෙන්නට දෙන්න නීති දාගෙන නෑ. අපි අතරෙ හොඳ අවබෝධයක් තියෙනවා. හරිම ආදරෙන්, සැහැල්ලුවෙන් අපි ඉන්නවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division