Home » අපි පක්ෂයක් ලෙස අළු දූවිලි වෙලා තිබුණේ දැන් අපි නැඟිටලා තියෙන්නේ

අපි පක්ෂයක් ලෙස අළු දූවිලි වෙලා තිබුණේ දැන් අපි නැඟිටලා තියෙන්නේ

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

මේ වනවිට IMF එකේ තුන්වැනි වාරිකය මෙරටට ලැබීමට අනුමැතිය ලැබී තියෙනවා. එය රටේ ඉදිරි වැඩපිළිවෙළට කෙසේ බලපානු ලබයිද?

ලෝකයේ ආධාර දෙන රටවලට එය හොඳ පණිවුඩයක්. ලෝකයේ මූලික වෙළෙඳපොළ විවෘත වෙයි. ආයෝජකයන් නැවත ලංකාවට එයි. ඇත්ත වශයෙන්ම එය අපිට ලොකු ශක්තියක්.

ජනතාව එක් පැත්තකින් තියලා හොරු ටික අනෙක් පැත්තෙ තියන්න තවත් සති අන්ත කිහිපයක් විතරයි කියලයි ජවිපෙ කියන්නේ?

ජනතාව සහ හොරු ටික නොවෙයි ජනතාව සහ මිනීමරුවෝ වෙන් කරන්නයි මේ සති අන්ත කිහිපය විතරයි කියලා කිව්වා නම් වඩා ගැළපෙනවා. ජවිපෙ කවදත් උපාය උපක්‍රම හැදුවේ, දේශපාලන විසඳුම් හෙව්වේ අත්පා කකුල් කපලා, වෙඩි තියලා, ගෙවල්, ට්‍රාන්ස් ෆෝමර්, බස් ගිනි තියලා.

ජවිපෙට තියෙන්නේ 12% විතර ඡන්ද ප්‍රමාණයක් කියලා ඔබ කියන්නේ?

පසුගිය අරගල කාලයේ ඒ අයට 25% විතර තිබුණා කිව්වාට එහෙම ඡන්ද ඒ අයට නැහැ. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ අපි පොජපෙ පක්ෂය ලෙස බින්දුවටම වැටුණානේ. ජනතාව යළිත් අපේ පැත්තට පැමිණෙමින් තියෙනවා. ජවිපෙට 10% 12% බලයක් තියෙන්නේ. එය තවත් අඩු වෙනවා.

ජවිපෙ නම් කියන්නේ පොහොට්ටුව බිමටම සමතලා වෙලා ඉවරයි කියලා?

පසුගිය කාලයේ අපි පක්ෂයක් ලෙස අළු දූවිලි වෙලා තිබුණේ. දැන් අපි නැඟිටලා තියෙන්නේ. අපි දැන් බිංදුවේ ඉඳගෙන 30% විතර ප්‍රමාණයක් උඩට ඇවිත් තියෙනවා. තවත් ඉදිරියට යනවා. මේ රටේ දේශප්‍රේමීන්ට, වමේ පිළිවෙතේ අයට බලාපොරොත්තු සහගත මාවතක් අවශ්‍යයි. ඒ මාවතට ශක්තිමත් පක්ෂය පොජපෙ කියලයි අපි හිතන්නේ.


මේ රට ගොඩගන්න පුළුවන් එජාපයට විතරයි
– එජාප ෙෂ්ඨ උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ

එජාප පසුගිය කාලයේ ප්‍රබල පසුබෑමකට ලක්වුණා. ඔබේ පක්ෂය ගොඩනැඟීමට පියවර ගෙන තියෙනවාද?

ඒ අවස්ථාවේදිත් එතුමා රට බංකොළොත් භාවයට පත්වෙමින් පවතින අවස්ථාවක රට භාර ගත්තා. අපි රට ගැනයි හිතුවේ; පක්ෂයක් විදිහට බලය ගැන නොවෙයි හිතුවේ. අද වනවිට ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත් කළා.

එජාපය නැවත ගොඩගන්න බැහැ කියලයි විපක්ෂයේ ඇතැම් අය කියන්නේ?

මේ රට ගොඩගන්න පුළුවන් එකම පක්ෂය එජාපය. මොකද එජාපයේ ඉතුරු වෙලා ඉන්නේ එජාපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන කණ්ඩායමක්. එදා සජබ එක්ක මමත් ඡන්දේ ඉල්ලුවා නම් මමත් පාර්ලිමේන්තුවේ. නමුත් මට ඒ අවස්ථාවේ අවශ්‍ය වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක හිටගෙන ඩී. එස්. සේනානායක අගමැතිතුමා ඇති කරපු එජාපය ආරක්ෂා කරන්න. එදා මම දැක්කා එජාපය තමයි කවදා හරි මේ රට නැවත නැඟිට්ටවන්නේ කියලා.

එජාපයට වෙනත් පක්ෂවලින් මන්ත්‍රීවරුන් එනවා කිව්වාට කවුරුත් ආවේ නැහැනේ?

අපි එක්සත් ජාතික පක්ෂය හැටියට මුළු රට පුරාම දැන් සංවිධානය කරමින් යනවා. මුලින්ම ජනතාවට ඕනි වෙන්නෙ නැතුව අපි ගිහිල්ල ජනතාවට කිව්වට වැඩක් නැහැනේ. ජනතාව තේරුම් ගන්න ඕනේ මේක කරන්න පුළුවන් කාටද කියලා. දැන් කාටවත් රිස්ක් එකක් ගන්න පුළුවන් තැනක් නෑනේ. වත්මන් ජනාධිපතිවරයාට ලෝකෙ කොහේ ගියත් එතන ප්‍රධානත්වයක් හම්බ වෙනවා. මේ රට ගොඩගන්න පුළුවන් තව අවුරුදු පහක් එතුමට දුන්නොත්.

ජනාධිපති මැතිවරණය තියන්න ආණ්ඩුවේ සූදානමක් නැහැ කියලා චෝදනාවක් තියෙනවා?

එහෙම කිසිම අවශ්‍යතාවක් නැහැ.ආණ්ඩුව පැත්තෙන් කියන්නෙ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනවා කියලා. ජනාධිපතිතුමා කැබිනට් එකටත් කියලා තියෙනවා ලෑස්ති වෙන්න, ජනාධිපතිවරණය අපි පවත්වනවා කියලා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අපි එජාපය ලෙස ඡන්දය ඉල්ලලා ඇත්ත කියලා ගෙදර ගිය කෙනෙක්. එතුමා මේ රට වෙනුවෙන් ඔක්කොම කරලා, ඇත්ත කියලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.


අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කමක් නැහැ
– සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ජාජබ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදුකරනවා කියලා මේ ගැන ඔබේ පක්ෂයේ ස්ථාවරය මොකක්ද?

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේදැයි ඔවුන් තවම සඳහන් කරලා නැහැ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාජබ ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික යෝජනා නෙමෙයි. ඔවුන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි දක්ෂ කණ්ඩායමක් ජාජබ සතුව නැහැ. සජබ ස්ථාවරය ජනතාව පීඩාවට පත් නොකර යම් එකඟතාවලට පැමිණීමට සාකච්ඡා කළ යුතුයි කියලයි.

රාජ්‍ය සම්පත් විකිණීම ජාජබ නායකයත් අනුමත කරනවා කියලා ඔබ චෝදනා කරන්නේ ඇයි?

ජාජබ ඉන්දියානු සංචාරයෙන් පසුව එවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා. කලින් කිව්වේ රාජ්‍ය සම්පත් විකිණීමට ඉඩදෙන්නෙ නැහැ කියලා. රාජ්‍ය ආයතන විකුණා දමනවාට විරුද්ධයි කියමින් දිවි හිමියෙන් ඒවා ආරක්ෂා කරනවා කිව්ව ඒ අය එම ස්ථාවරය වෙනස් කරලා තියෙනවා. විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේ රජයේ සම්පත් විකිණීම අනුමත කරනවා කියලා දැන් කියනවා. ඉන්දීය සංචාරයෙන් පසු ජාජබ නායක අනුර කුමාර දිසානායක විනිවිඳභාවයෙන් යුතුව කරන ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේ රාජ්‍ය සම්පත් විකිණීම අනුමත කිරිමට අදහස් කරනවා.

සජබ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාජබ ආර්ථික කණ්ඩායමට අභියෝග කර තියෙනවා නේද?

ජවිපෙ සහ ජාජබ වෙන වෙනම ආර්ථික ප්‍රතිපත්ති දැන ගන්න අපි කැමැතියි. ජවිපෙ ප්‍රතිපත්තිම තමයි ජජබ තියෙන්නෙත් වෙනසක් නැහැ. ජනතාවට ඉදිරියේදි ඒ දේවල් කියන්න අවශ්‍යයි. ජාජබ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

පොජපෙ ජාතික සංවිධායක ධූරයට නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා පත් කරලා තියෙනවා. සජබ ජාතික සංවිධායකවරයා ලෙස ඔබ එය දකින්නේ කොහොමද?

අපිට එය කිසිඳු අභියෝගයක් නොවෙයි. පසුගිය දවස්වල බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා මේ බලවේග පරාජය කරන්න සියලු දෙනා එකට එකතු වෙන්න අවශ්‍යයි කියලා. නමුත් ඒ අය සමඟ අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. ජනතාව ඉන්නේ සජබ සමඟයි.


කිසිඳු මැතිවරණයක් නොතියා ඉන්නයි ආණ්ඩුවට ඕන
– ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

ඉදිරි ජනාධිපති මැතිවරණය තීරණාත්මකයි කියලා ජවිපෙ කියන්නේ ඇයි?

අපි තීරණාත්මකයි කියලා කියන්නේ රටේ ඉන්න සංවිධානාත්මකම හොර කල්ලියකට එරෙහිව කරන අරගලයක් කියලා කියන්නේ. කල්ලි පක්ෂවලට බෙදිලා හිටියත් එකතු වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කියනවා මෑත ලංකාවේ දේශපාලන ඉතිහාසයේ විශාලම දේශපාලන පරිවර්තනය කරනවා කියලා.

ආණ්ඩුව ජනාධිපති මැතිවරණය කල් දැමීමට වෙට්ටු දානවා කියලා ජවිපෙ කියනවා?

ඔව්. අපි හිතන්නේ ආණ්ඩුවේ කැමැත්ත තියෙන්නෙ කිසිඳු මැතිවරණයක් තියන්නේ නැතිව ඉන්න කියලයි. ජනාධිපති මැතිවරණය නොතියා මහමැතිවරණයත් නොතියා ඉන්නයි ඒ අයට ඕන. නමුත් ව්‍යවස්ථාව අනුව ජනාධිපති මැතිවරණය අදාළ දිනයට පැවැත්විය යුතුයි. ඒ නිසා මහමැතිවරණය කළින් තිබුණත් ජනාධිපතිවරණය කල් දාන්න බැහැ. රටට නොවැම්බර් 17 වනවිට ජනාධිපතිවරයෙක් ඉන්න අවශ්‍යයි.

ජවිපෙ ජනප්‍රිය සමාජ මාධ්‍යවල විතරයි කියලා බොහෝ අය කියන්නේ?

කමක් නැහැ එහෙම කියපුවාවේ. අපි සෝෂල් මීඩියාවලත් මහපොළොවෙත් ප්‍රසිද්ධයි. මහපොළොවේ අපි කරන දේවල් අනික් අයට කරන්න බැහැනේ. දිස්ත්‍රික්ක මට්ටමේ කාන්තා සමුළුවලට, තරුණ සමුළුවලට කට්ටිය ඉන්නේ කොහෙන්ද? සෝෂල් මීඩියාවලින් මෙහෙම සෙනඟ එකතු කරන්න පුළුවන්ද?

සෝෂල් මිඩියා නඩත්තු කරන්න විශාල වියදමක් දරනවා කියන්නේ ඇත්තද?

ඒ කියන අයගේ අත්දැකීම්. සල්ලි දීලා පඩි ගෙවලා ඒ අය කරපු වැඩ ඒවා. සමාජ මාධ්‍ය හරහා පඩි ගෙවලා කරන්න දෙයක් නැහැ. ස්වේච්ඡාවෙන් වැඩ කරන අය හුඟාක් ඉන්නවා. එහෙම වැඩ කරන අයට හිතෙනවා ඇති අපිත් ඒ වගේ කියලා. අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ . රටේ බහුතරය ඉන්නේ අපි එකක් කියලා අපි දන්නවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division