Home » වසර 160ක දුම්රිය ඉතිහාසයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඩිජිටල්කරණය වෙයි

වසර 160ක දුම්රිය ඉතිහාසයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඩිජිටල්කරණය වෙයි

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පසුගියදා සිදුවිය.

මෙම නව ක්‍රමවේදය යටතේ දුම්රිය මගීන්ට සහ සංචාරකයන්ට නව විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයෙන් පහසුවෙන් මාර්ගගත ක්‍රමය යටතේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබේ. එහිදී මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍රය මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගැනීමෙන් අනතුරුව දුරකතනය වෙත ලැබෙන QR සංකේතය සහිත විද්‍යුත් ටිකට්පත දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය. ඒ අනුව දුම්රිය ස්ථානය වෙත පැමිණ ආසන වෙන් කරවා ගැනීමේදී මගී ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් රැසක් මෙම ක්‍රමය සමඟ මගහැරී යනු ඇත.

එමෙන්ම රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන දුම්රිය බලපත්‍රය ද මාර්ගගත ක්‍රමය යටතේ විද්‍යුත් දුම්රිය ගමන් බලපත්‍රයක් ලෙස වෙන් කර ගැනීමේ අවස්ථාව මේ ක්‍රමය යටතේ හඳුන්වා දී තිබේ. ඒ අනුව තම කාලය ශ්‍රමය ඉතිරි කර ගනිමින් මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන Mticketing පහසුකම සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා පැය 24 පුරාම අවස්ථාව හිමිවේ.

නව විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමය සහ විද්‍යුත් ගමන් බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමත් සමඟ පිරිවැය අවම කරමින් මනා විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් ලෙස සංචාරකයන්ට සහ මගි ජනතාවට පහසුවක් හිමිවනු ඇත.

මේ අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,

“වසර එකසිය හැටක දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් පළමු වරට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම ඩිජිටල්කරණයට ලක් කිරීම සුවිශේෂී අවස්ථාවක්. විශාල අභියෝග රැසක් ජයගනිමින් මෙම ඉලක්කයකට ළඟාවීම සුවිශේෂී ජයග්‍රහණයක්.

මුදල් භාවිතා කරමින් පැය ගණනක දීර්ඝ වේලාවක් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීම සඳහා වැය කළ අතීතයට තිත තබමින් තම ජංගම දුරකතනයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කරවා ගැනීම සඳහා පහසුකම් හිමිවන ප්‍රථම අවස්ථාව ලෙස මේ අවස්ථාව ඉතිහාසයට එක් වනු ඇති.

නිදහස ලැබී වසර හැත්තෑ ගණනකට පසු 2022 වසරේදී ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ආර්ථික කඩා වැටීමකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා. නිදහසින් පසු ප්‍රථම වතාවට ආර්ථික වර්ධන අනුපාතය -8ක්‌ බවට පත්වුණා. මුළු රටම හැකිළුණා. ඒ හේතුවෙන්, ජාත්‍යන්තර ගෙවීම් සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඉන්ධන, ඛනිජ තෙල්, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය නොමැති ඉසිලිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ගොදුරක් බවට රට පත් වුණා. මේ ආර්ථික අර්බුදයට සහ විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවීම බාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට නැවත ගොඩනැඟීම සඳහා පැහැදිලි දැක්මක් සහිතව දේශපාලන, පරිභෝජන, හුවමාරු වැනි විවිධ අංශවල සියලු ක්‍රියාවන් ඩිජිටල් කරණය කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙනු ලැබුවා.

රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන කීපයක් පවතිනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
රේගු දෙපාර්තමේන්තුව
සුරා බදු දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව

එවැනි ආදායමක් රජයට ලබා දිය යුතු වුවත් ලබා නොදෙන ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දිය හැකියි. මෙම සියලු දෙපාර්තමේන්තුවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා ඉතිහාසය පුරාවටම අසාමාන්‍ය ලෙස දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම තුළින් සෑම රජයක්ම පවත්වාගෙන ගොස් තිබෙනවා. එය කොතරම් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙනවාද කිවහොත් 2023 වසරේදී සියලු ආදායම් උත්පාදන මාර්ගවලින් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙන්නේ රුපියල් ට්‍රිලියන තුනක් පමණයි. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි – අස්වැසුම ඇතුළු සුභසාධන සහනාධාර සහ කුටුම්භ පැවරුම්, පොලී ගෙවීම් ඇතැම් ණය ආපසු ගෙවීම් යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ගෙවීම් සඳහා එම වසර තුළ රුපියල් ට්‍රිලියන 13 ක් භාණ්ඩාගාරයෙන් පිටතට ඇදී ගොස් තිබෙනවා. ඒ අනුව රුපියල් ට්‍රිලියන 10ක් එම වසර තුළ ණය වශයෙන් ලබාගෙන තිබෙනවා. මේ තත්ත්වය බොහෝ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් පිළිගන්නේ නැහැ. මේ තත්ත්වය මත දැනට ගෙවා ගත නොහැකිව තිබෙන ණය ප්‍රමාණය ගෙවීම පිළිබඳව අප ලෝකය හමුවේ පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව එළඹුණු එකඟතාවයන් මත මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයින් සමඟ තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතිනවා. ඒ සාකච්ඡාවල එක් ප්‍රධාන කාර්යයක් වන්නේ රජයේ ආදායම ඉහළ නංවා ගැනීමයි.

රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතන සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් දැනට භාණ්ඩාගාරය වෙත ලැබෙන ට්‍රිලියන තුන අවම වශයෙන් ට්‍රිලියන පහක් දක්වා ඉහළ නැංවිය හැකි බව මා තරයේ විශ්වාස කරනවා.

එසේ වුවහොත් රාජ්‍ය අය වැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කළ හැකියි. පුනරාවර්තන වියදමට වඩා ආදායමක් ලබාගත හැකියි. ණය බර අඩු කරගත හැකියි.

මා මෙම අමාත්‍යාංශයේ වගකීම භාරගත් දිනයේ සිට දුම්රිය සහ ලංගම ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන්ගේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඊ ටිකටින් ක්‍රමවේදයකට පරිවර්තනය කිරීම සඳහා විශාල උත්සාහයක නිරත වුණා. විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම තුළින් සිදුවන වංචා හේතුවෙන් දෛනිකව රුපියල් කෝටියකට අධික මුදලක් අහිමි වනවා.

මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබුවා, කැබිනට්ටුව විසින් විවිධ කමිටුවලට යොමු කරනවා, කමිටු රැස්වී ප්‍රසම්පාදන කටයුතු සිදු කරනවා, නමුත් එහි සාර්ථක ප්‍රතිඵලයක් අත් වූයේ නැහැ. ඒ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳව පෞද්ගලික අංශයේද ඉහළ පළපුරුද්දක් සහ අත්දැකීම් සහිත නිලධාරියකු වන ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබුවා.

ඒ අනුව නව ලේකම්වරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් කිසිදා සිදුකළ නොහැකි යැයි සිතූ මෙම කාර්යය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම සඳහා හැකියාව ලැබී තිබෙනවා.

ඒ ආකාරයෙන් අවශ්‍ය වෙනස්කම් සිදු කළහොත්, වෛරයෙන් මුසපත්ව ප්‍රශ්න දෙස බැලීම වෙනුවට නවීන ලෝකයේ පවතින විසඳුම් අත්හදා බැලීම තුළින් රට සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. රටේ නිමැවුම සහ ඵලදායිත්වය හැකිතාක් වර්ධනය කිරීමට පියවර ගත යුතුයි. තාක්ෂණය, මානව ප්‍රාග්ධනය සහ කළමනාකරණය තුළින් ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට හැකිවනවා. මෙම ක්‍රමවේදයන් රාජ්‍ය ආයතන තුළ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් රට වඩාත් යහපත් තත්ත්වයකට පත් කිරීමේ හැකියාව තිබෙනවා.

මේ අනුව යමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම්” ස්ටේෂන් ප්ලාසා සංකල්පය “යටතේ නව ක්‍රමවේදයකට අනුව කළමනාකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතු කිසිදු බිම්කඩක් පුද්ගලිකකරණයට ලක් නොකර, ඌණ උපයෝජිත වත්කම් දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඵලදායී ආයෝජනයන් වෙත ලබාදීම තුළින් ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ආකාරයෙන් දියුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මේ තත්ත්වය තුළින් දුම්රිය උපයන ආදායම් ප්‍රමාණය අතිවිශාල ප්‍රමාණයකින් වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. මේ අරමුණින් කොළඹ කේන්ද්‍රීය දුම්රිය වාණිජ කාර්යාලය කොළඹ බැහැර ප්‍රදේශවලට ද ව්‍යාප්ත කර තිබෙනවා. මේ අනුව කටයුතු කිරීම තුළින් රටේ අනාගතය වඩාත් සුබදායක වනු ඇති බව මා විශ්වාස කරනවා.”

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.පී. බී හේරත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ, මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ඡයාරූපය – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division