Home » ප්‍රතිව්‍යුහගතකරණයෙන් මෙක්සිකෝව ගොඩගිය හැටි

ප්‍රතිව්‍යුහගතකරණයෙන් මෙක්සිකෝව ගොඩගිය හැටි

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ණය අර්බුදයෙන් ගොඩගිය රටවල්

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය අපි සලකා බැලීමේදී මේවනවිට ශ්‍රී ලංකාව ඉතියෝපියාව වැනි රටවල් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට ඇතුළු වී ඇත. තවත් රටවල් පනහකට ආසන්න ප්‍රමාණයක ණය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී විශාල පීඩනයක් සහිතව කටයුතු කරයි.

මේ තත්ත්වය තුළ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී ඊට අදාළව මේ පැරිස් සමාජයේ මේ සම්බන්ධයෙන් අත්දැකීම් ගත් විට පසුගිය වසර 60ක කාලය තුළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලි 433කට පමණ සම්බන්ධ වී තිබෙයි. එයින් අදහස් වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් එක් රටක් එම ක්‍රියාවලියට සාමාන්‍යයෙන් හතර වතාවක් පමණ ඇතුළුවී ඇති බවයි. එනම් ණය අර්බුදයකට ගිය පසු එකවරකින් පමණක් ණය ප්‍රතිව්‍යුහගතකරණ සිදු කර ණය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වූ රටවල් ඉතාමත් සීමිත වෙයි. බොහෝ රටවල් ණය අර්බුදයත් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට යයි. අර්බුදයෙන් පසුවත් ඒ ක්‍රියාවලිය සිදු වෙයි. ණය අර්බුදවලට ලක්වීමේ තත්ත්ව දිගටම පවතී. හොඳම උදාහරණය ලතින් අමෙරිකානු රටවල් 1981 දී ණය අර්බුදයකට යයි. එය ලතින් අමෙරිකානු ණය අර්බුදය යනුවෙන් හඳුන්වයි. ඊට ප්‍රධානතම හේතුව වූයේ 1970 ගණන්වලදී ලෝක ආර්ථිකය තුළ තෙල්වලට හොඳ මිලක් තිබීමයි. මේ මිල හේතු කොටගෙන තෙල්වල ආදායමෙන් බැංකු ආශ්‍රිත ඉතිරි කිරීම් ඉහළ ගියේය. එම මුදල් විශේෂයෙන්ම ලතින් අමෙරිකානු රටවල් අඩු පොලිය යටතේ ණය පහසුකම් ලබා ගැනීම හේතුවෙන් අඩු පොලී මට්ටම දරා ගැනීමට නොහැකි මට්ටමට ණය ලබා ගනු ලැබිණි. විශේෂයෙන්ම ලතින් අමෙරිකානු රටවල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර දියුණු කිරීමට මේ ණය ලබා ගනු ලැබිණි.

මේ තත්ත්වය අනුව 80 දශකය මුල් භාගය වනවිට ලතින් අමෙරිකානු රටවල් බොහොමයක් බංකොලොත්භාවයට පත්විය. 1980 මුල් කාලය වන විට මේ බංකොලොත් වීම ඇත්තටම හඳුනා ගත්තේ ණය පියවා ගැනීමට අදාළව තියෙන ගැටලු ආකාරයට වුව ද කෙටිකාලීනව ඇතිවන ද්‍රවශීලතා ගැටලුවක් විදිහට පසුව හඳුනා ගනු ලැබිණි. මේ නිසා මෙය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වේ යැයි කල්පනා කළ ද පසුව 1980 අග භාගය වෙන තෙක් තිබුණු තත්ත්වය නම් ලතින් අමෙරිකානු රටවල්වල ආර්ථිකය කඩා වැටි ණය ගෙවා ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් මත IMF අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය, ලෝක බැංකුව එකතු වී මේ රටවල්වල ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම ඇමෙරිකාවේ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් නිකොලස් බැඩි විසින් හඳුන්වා දුන්න යෝජනාවක් නව භාණ්ඩාගාර බිල්පත් විශේෂයෙන් නිකුත් කිරීම සිදු විය. එය (BRADY BOND) බැඩි බොන්ඩ් ලෙස හඳුන්වයි. එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ඇපමත නව බැඳුම්කර නිකුත් කර 1989 වන විට මේ යෝජනා ක්‍රමය යටතේ මුලින්ම මෙක්සිකෝව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට ඇතුළු විය. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඇතුල් වී ඔවුන් බිලියන 54කට ට අදාළව ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සිදුකරන ලදී. මේ ආකාරයට ආජන්ටිනාව, බ්‍රසීලය, පේරූ, චිලී, ඉක්වදෝර් වැනි රටවල් මේ ක්‍රියාවලියට ඇතුළු විණි.

1980 පසු කාලයේදී අනෙක් රටවල්වලට කුමක් සිදු වුයේ ද යන්න සලකා බැලීමේදී 1989 දී මේ ආකාරයට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ ලතින් අමෙරිකානු රටවල්වල මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ පසු 1980 සිට 2020 අතර කාලය සීමාව තුළදී යළිත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලින්වලට නැත්නම් ණය අර්බුදයන්වලට ලක් වූ රටවල්වල වාර ගණන් බැලුවොත් මෙක්සිකෝව, චිලී එක්වරක්, නමුත් ආජන්ටිනාව පස්වරක්, බ්‍රසීලයේ දෙවරක්, ඉක්වදෝරය පස්වතාවක්, පේරු රාජ්‍ය දෙවරක්, වෙනිසියුලව හයවරක් ආදී වශයෙන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඇතුළු වී ඇත. එසේම විශේෂයෙන්ම මැක්සිකෝවට මේ ණය අර්බුදයෙන් මිදීමට හැකි වූයේ කෙසේද එනම් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාර්ථකව කිරීමට ඔවුන් සමත් වුණේ කුමන හේතු කාරණා මත ද යන කාරණය මුලින්ම විමසා බැලිය යුතුයි. එහිදී ප්‍රධාන වශයෙන්ම කරුණු කිහිපයක් වැදගත් වෙයි. පළමුවෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියත් සමඟ මෙක්සිකෝව රාජ්‍යය වියදම කළමනාකරණය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත. රාජ්‍ය ආදායම නංවාලීම, රාජ්‍ය වියදම කාර්යක්ෂම කිරීම, එනම් රාජ්‍ය වියදම තාර්කීකරණය කිරීම යැයිද හඳුන්වයි. විශේෂයෙන්ම මෙක්සිකෝවේ 1982දී රාජ්‍ය ව්‍යවසායයන් 1555ක් තිබුණි. මේ ප්‍රමාණය 1992 වෙනකොට 217 ට අඩු කර ඇත. ලතින් අමෙරිකානු ආභාසය පදනම් කරගෙන ලෝකෙ අනිත් රටවල්වලත් රාජ්‍ය ව්‍යවසායන් ඇති වී තිබෙයි. පෞද්ගලික අංශයේ ඉතාමත් කුඩා තත්ත්වයක් තුළ අනිත් පැත්තෙන් කාර්මීකරණයට එනම් ළදරු කර්මාන්තවලට අවශ්‍ය සහයෝගය ලබාදීමේ අරමුණින් කාර්මීකරණයේදී එය ආරම්භ කරනු ලැබුයේ ලතින් ඇමෙරිකානු රටවවලය. ලතින් අමෙරිකානු රටවලට තිබූ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරනු ලැබිණි. ඒ පෞද්ගලීකරණය කිරීම හරහා විශේෂයෙන්ම පෞද්ගලික අංශය තුළ ආර්ථිකය සහභාගීත්වය විශාල ලෙස වැඩි ඉඩකඩ හිමි විය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සාර්ථක කර ගැනීමට හේතු වූ දෙවැනි කාරණ නම් වෙ‍ෙළඳාම ලිහිල්කරණය වෙයි. වෙෙළඳාම හා ආයෝජනය ලිහිල්කරණය, ඉතාමත්ම ගැඹුරින් අවබෝධ කරගත යුතු කරුණකි.එනම් ණය අර්බුදයකට ගිය පසු ණය ප්‍රතිව්‍යුහගතකරණය කළත් එවැනි රටකට ඉතා කෙටි කාලයකින් මැදි කාලසීමාවක් තුළදී විදේශ මුදල් ගලාගෙන ඒමක් අපේක්ෂා කළ නොහැකියි. විශේෂයෙන් ද්වීපාර්ශ්වික ණය හෝ බහු පාර්ශ්වික ණය එසේම පෞද්ගලිකව අපි විදේශ ණය වෙ‍ෙළඳපොළෙන් ගනු ලබන බැඳුම්කර නිකුත් කිරීම හරහා ලබා ගන්නා ණය කෙටිකාලීනව හා මැදිකාලිනව ගලාගෙන ඒමක් අපේක්ෂා කළ නොහැකියි.

ඇත්තටම ණය අර්බුදයට යෑමට පෙර ණය ලබා ගැනීමේ හැකියාව ඇති විට මෙය පවත්වා ගෙන යා හැකියි. ආයෝජන පැමිණියේ නැතත් විදේශ වෙ‍ෙළඳාම ප්‍රවර්ධනය නොවුණත් මුදල් ප්‍රවාහයක් ගලාගෙන එනු ලබන නිසා ණය අර්බුදයකට යාමට පෙර එය සිදු කළ හැකියි. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වූ විට ද්වීපාර්ශ්වික මූලාශ්‍ර බහු පාර්ශ්වික මූලාශ්‍ර ණය දෙන ආයතන විසින් ඒ සඳහා යම් මැලිකමක් දක්වයි. අනිත් පැත්තෙන් විදේශ ණය වෙ‍ෙළඳපොළෙන් ණය ගැනීමට ගිය ද ඉහළ පොලී අනුපාතයක් ගෙවිමට සිදු වෙයි. ඒ නිසා ප්‍රාග්ධන ප්‍රවාහය හා මුදල් ප්‍රමාණය යම් ආකාරයකට අඩපණ වෙයි. එහිදී මේ අඩපණ වීම වළක්වා ගැනීමට සහ අඩපණ වීමේදී වන අඩුව සපුරා ගැනීමට නම් අපි වෙ‍ෙළඳාම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ සමඟම විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යයි. මෙහිදී ණය වෙනුවට ණය නොවන මූල්‍ය ප්‍රවාහය ශක්තිමත් කිරීම කළ යුතුයි.

එහිදී විදේශ වෙ‍ෙළඳාම හා විදේශ ආයෝජන සක්‍රියව ප්‍රවර්ධනය කිරීමට මෙක්සිකෝවට හැකියාවක් ලැබුණි. ඊට අදාළ ව්‍යාපාරික පරිසරය සකස් කිරීමට අණ පනත් ගෙන එන ලදී. විශේෂයෙන්ම ඒ තුළ වැදගත් වන කරුණ නම් මෙක්සිකෝ නිදහස් වෙළඳ කලාප ඇති කිරීමයි. ඒ සමඟම 1994 දී උතුරු අමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුමට එක්වන ලදී. එය ඉතාමත්ම වැදගත් තීන්දුවකි. මක්නිසාද යත් අමෙරිකාව කැනඩාව හා මෙක්සිකෝව යන රටවල් තුන අතර ලෝකයේ පළමුවන වටයේදීම ඇතිවන නිදහස් වෙළෙඳ ගිවිසුමට එහිදි ඇතුළු විණි. එය ඉතා වැදගත් වන්නේ වෙ‍ෙළඳාම ප්‍රවර්ධනය කර ආයෝජන ප්‍රවර්ධනය කර විදේශ විනිමය රටට නිරායාසයෙන් ලබා ගැනීම සහතික කිරීමට ඉන් හැකියාව ලැබෙන හෙයිනි.

තුන්වෙනි කාරණාව නම් මූල්‍ය ක්ෂේත්‍රයට අදාළව මූල්‍ය ගලාගෙන ඒම් ලිහිල්කරණය සිදු කරන ලදී. ප්‍රාග්ධන ගලා ගෙන ඒම සඳහා පැවැති බාධා ඉවත් කරන ලදී. එනම් ප්‍රාග්ධන ගිණුම විවෘත කරන ලදී. ඒත් සමඟ ආයතන ස්වාධීන කිරීම ද සිදු විය. 1994 වර්ෂයේදී මෙක්සිකෝවේ මහා බැංකුව ස්වාධීන කරන ලදී. මූලික වශයෙන්ම උද්ධමනය පාලනය කිරීම එනම් පහළ උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගෙන යෑමේ වගකීම ලබා දුණි. මහ බැංකුව ස්වාධීන කිරීමත් සමඟ යහපත් සාර්ව ආර්ථික පරිසරයක් මෙක්සිකෝව තුළ ඇති කිරීමට හැකියාව ලැබුණි. මහ බැංකුව ස්වාධීන කිරීමත් සමඟ ආර්ථිකයේ පහළ උද්ධමනකාරී තත්ත්ව දිගටම පවත්වා ගෙන යමින් සිටියි. ඉතා සාර්ථක සර්ව ආර්ථික පරිසරයක් ඇති කරගෙන ඇත. මේ තත්ත්වය තුළ වෙළඳාම ප්‍රවර්ධන ආර්ථිකයේ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබිණි.

රාජ්‍ය වියදම් කළමනාකරණය, වෙ‍ෙළඳාම හා ආයෝජනය ලිහිල් කරණය, මහ බැංකු ස්වාධීන කිරීම, අනිත් පසින් මූල්‍ය ක්ෂේත්‍රයේ ලිහිල් කිරීමෙන් තවත් ඔබ්බට ගමන් කර මෙක්සිකෝව ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවලට ගමන් කරන ලදී. මෙක්සිකෝව ශ්‍රම වෙළෙඳපොළට අදාළ ප්‍රතිසංස්කරණ ආර්ථිකයේ තරගකාරිත්වයට අදාළ ප්‍රතිසංස්කරණ, එසේම විදුලි සන්දේශවලට අදාළ ප්‍රතිසංස්කරණ බලශක්ති වැනි ක්ෂේත්‍රවලට අදාළව අධ්‍යාපනයට සහ නිතිය සහ සාමයට අදාළව සහ වංචා දූෂණ නැවැත්වීම වැනි පුළුල් ක්ෂේත්‍රවලට අදාළ ආර්ථීක සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ ගෙන එන ලදී. විශේෂයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ මෙහිදී වඩා වැදගත් වෙයි; ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ශක්තිමත් කිරීම මේ ණය අර්බුදයෙන් ගොඩ ඒමට ඊළඟ කරුණ වෙයි.

ඉතා පටු ආකාරයට ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ පිළිබඳව අවබෝධ කර නොගෙන පුළුල් අර්ථයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ඇතුළු වීම ද මේ අර්බුදයෙන් ගොඩ ඒමේ තවත් හේතුවකි. ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට මෙය ද හේතුවක් විය. ආර්ථික විද්‍යාත්මක පදනමක් මත සිට සිදු කරන ලද අතර දේශපාලනික කරුණ මතම පදනම්ව නොවෙයි. එනම් ඒ ඒ විෂයයන්ට අදාළ ප්‍රාමාණිකයන්ගේ උපදෙස් මත ඉදිරියට යනු ලැබිණි. ඇමෙරිකාව යුරෝපය ඇතුළු රටවල උගත් හොඳ කණ්ඩායමක් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ එකතු විය. ඔවුන් අතරින් පසුකාලිනව මෙක්සිකෝවේ ජනාධිපතිවරුන් අගමැතිවරුන් බිහි වීම සිදු වීම සිදු වී ඇත. දැනුම පදනම් කරගෙන දැනුම සහිත පිරිසක් මේ ප්‍රතිසංස්කරණවලට යොමුවීමත් ඔවුන් පසුකාලීනව මේ පාලනයේ වගකීම් හෙබවීමට කටයුතු කරන ලදී. ඒ නිසා තිරසාරව අඛණ්ඩව ප්‍රතිපත්ති කරගෙන යාමට කටයුතු කරන ලදී. කුමන දේශපාලන පක්ෂ බලයට පත්වුවත් මේ ප්‍රතිපත්ති ඉදිරියට යෑම සිදු විය. මේ ආයතන ශක්තිමත් වීම ආරම්භ වූ අතර මේ ආයතන ව්‍යුහය ඵලදායිතාව ඉහළ නැංවීම මැදි කාලීනව සහ දිගු කාලීනව සිදු කිරීම සිදු විය. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කුමන මට්ටමේ දැනුමක් ඇති විධිමත් ආකාරයකට සිදු කරනවා ද යන කාරණාව වැදගත් වෙයි. මේ සියල්ල මධ්‍යයේ 2003 ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ බ්‍රසිලයට ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ මුදල ගෙවා නිම කිරීමට හැකි විය. එනම් වසර 14ක කාලසීමාවකදී ණය අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබුණි. මෙය IMF පැසසුමට ලක් වූ කාරණාවක් විය. එහිදී ඔවුන් විශේෂයෙන් අවධාරණයට කරන ලද කරුණක් නම් මෙක්සිකෝවේ නිලධාරීන්ගේ කැපවීම මේ අර්බුදයෙන් ගොඩ ඒමට හේතු වී ඇති බවයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට දිගින් දිගටම IMF සහ ලෝක බැංකුව ඔවුන්ට සහය ලබා දෙන ලදී. ඒ හරහා මෙක්සිකෝවට එම ණය මුදල්වලින් ගොඩ ඒමට හැකියාව ලැබුණි.

මේ නිසා අපිට මෙක්සිකෝව වැනි රටකින් උගත හැකි පාඩමක් නම් මේ ණය අර්බුදයෙන් ගොඩ ඒමට පුළුල් ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය, ගනු ලබන ප්‍රතිපත්ති තීන්දු දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම, ආයතන ස්වාධීන වීම, විශේෂයෙන් එම කටයුතු වලට අදාළ මේ ප්‍රතිසංස්කරණ සමඟ සම්බන්ධ වීම ඉතා වැදගත් වෙයි. චිලි වැනි රටවල් ගත් විටත් මේ අර්බුදයෙන් ගොඩ මිදී ඇත්තේ ද එවැනි අයුරිනි. එසේම ආජන්ටිනාව ඊට හොඳම උදාහරණයකි. ආජන්ටිනාව පස් වරක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ඇත. තිරසර ලෙස ආර්ථික ප්‍රතිපත්තිය අඛණ්ඩ පවත්වා ගෙන ගොස් නැත. විශේෂයෙන් කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කර නැත. මේ නිසා ඒ රටවල් අර්බුදයට පත් වී ඇත. අද වනවිට මෙක්සිකෝව ගත්විට අමෙරිකාවේ විශාලතම වෙළෙඳකරණ රටයි. අනෙක් පැත්තෙන් අමෙරිකාවේ ආයෝජන මෙක්සිකෝවේ ස්ථාපනය කරමින් පවතී.

මෙක්සිකෝව මෙතෙක් ශ්‍රම සූක්ෂම අංශයේ සිට ප්‍රාග්ධන සූක්ෂම අංශයට ගමන් කර තිබේ. ලංකාව වැනි රටවල්වලට හොඳ ආදර්ශයක් ලබා ගැනීමට මෙය හොඳ ක්‍රමවේදයකි. ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මුලින් සඳහන් කළ ආකාරයට ඩොලර් ගලාගෙන ඒම ස්ථාපිත කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමඟ පෞද්ගලික අංශයෙන් ආයෝජන ගලාගෙන ඒම ශක්තිමත් විටයි. වෙළෙදාම හරහා වැඩි ප්‍රමාණයක් අපි උපයා ගත යුතුයි. එතෙක් පැවැති ආකාරයට ණය ආධාර මත යැපෙන්නට සිදු වුවහොත් අපිට ණය ගලාගෙන එන ප්‍රමාණය අපට ප්‍රමාණවත් නොවෙයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division