Home » මමත් ඒක දැක්කේ මාධ්‍යයෙන්

මමත් ඒක දැක්කේ මාධ්‍යයෙන්

- සජබ පාර්මේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

ඔබේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් තියෙනවා නේද?

පොඩි කඩයක් කරන එකයි සුපර් මාර්කට් එකක් කරන එකකයි වෙනසක් තියනවා. හුඟාක් අය මනින්නේ මේක කඩයක් කරපු මට්ටමේ සිටගෙනයි. සුපර් මාර්කට් එකක් කරන කළමනාකාරිත්වයේ සිට නොවෙයි. අපේ පක්ෂය විශාල පක්ෂයක්. පොඩි පක්ෂයක් නොවෙයි. විවිධ අදහස් මතවාද තියෙන අය අපේ වැනි ලොකු පක්ෂවල ඉන්නවා. සමාජ සහ දේශපාලන ප්‍රතිපත්ති ගැන අදහස් තියෙනවා. එය ලොකු දේශපාලන පක්ෂවල සාමාන්‍ය දෙයක්. ඒවාට අපි ගැටුම් කියලා කියන්නේ නැහැ. ඒ වගේ දේවල්වලට කියන්නෙ වෙනත් අදහස් කියලා. පොදු තීරණයකට ආවාම ඒ පොදු තීරණය තුළ අපි ඉන්න අවශ්‍යයි. එහෙම නැතුව විශාල දේශපාලන ව්‍යාපාරයක්, ආයතනයක් කරන්න අමාරුයි.

පක්ෂයේ සභාපති ධුරය රැක ගන්න ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අධිකරණයට යන්න හදනවා?

මම ඒ ගැන දැක්කේ මාධ්‍යයෙන් තමයි. මට ඒක පක්ෂයේ අභ්‍යන්තරව අහන්න ලැබිලා නැහැ. මාධ්‍යයේ එවැනි ප්‍රකාශයක් තිබුණා කියලා තමයි දැන ගන්න ලැබුණේ. අභ්‍යන්තරව ඒ ගැන සාකච්ඡා කරලා නැහැ.

ඒ කියන්නේ සභාපතිත්වය සම්බන්ධයෙන් මතුවෙලා ඇති ගැටලුව ගැන ඔබ දැනුම්වත් නැහැ?

අපිට පක්ෂයක ක්‍රමවේදයක් තියෙනවා. පක්ෂයක කළමනාකාරි කමිටුව තියෙනවා. ඒ වගේම ක්‍රියාකාරි කමිටුවක් තියනවා. එහිදී මේ ගැන කිසිදු සාකච්ඡාවක් වෙලා නැහැ. එහෙම සාකච්ඡාවක් වෙලා නැති බව මට කියන්න පුළුවන්.

ඔබේ පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඇමැතිකම් ගන්න ජනාධිපතිවරයා සමඟ එකතු වෙන්න හදනවා?

මේ කතාව ආණ්ඩුවට සම්බන්ධ අය දිගින් දිගටම කියනවා. මේ පාර්ශ්වයන් හැමදාම මගෙ නමත් කියනවා. එහෙම එකක් තාම වෙලා නැහැ. අපි බලන්නේ ප්‍රතිපත්ති මට්ටමින්. තනතුරු මට්ටමින් බලන්නේ නැහැ. අපි මේ ආණ්ඩුවට වුණත් හොඳ යෝජනා ගෙනාවම සහය දෙනවා. දුෂණ විරෝධි පනතේ සංශෝධන අසූවක් පමණ තිබුණා. අපගේ පෙෞද්ගලික මන්ත්‍රි යෝජනා සම්බන්ධවත් අවධානය යොමු කර තියෙනවා. අපි විරුද්ධ වෙනවට විරුද්ධ වෙන අය නොවෙයි. රටට හොඳක් වන දේවල් සම්බන්ධයෙන් අපි නිවැරදි තැන සිටගෙන කටයුතු කරනවා. මාර්ගගත ආරක්ෂක පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. නමුත් අනුමත කර ගත්තා. පාර්ලිමේන්තු ක්‍රමවේද ස්ථාවර නියෝග උල්ලංඝනය කරලා එය කළේ. අපි එය පනතක් ලෙසවත් පිළිගන්නේ නැහැ.


ඒ් වගේ ඩබල් ගේම් තමයි මේවා
– සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

ඔබේ නිවෙසේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ සාකච්ඡාවක් තිබුණා නේද?

මම නම් ඒ ගැන දන්නේ නැහැ. මම ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ. මගේ ගෙදරට ඕනෑම කෙනකුට එන්න පුළුවන්. රැස්වීමක් තිබුණා ද කියලා මම හරියට දන්නේ නැහැ. එහෙම රැස්වීමක් තිබුණා කියලා ආරංචියක් ආවා. මම දැක්කේ නැහැ. ඕනෑම කෙනකුට අපේ ගෙදරට එන්න පුළුවන්. අපි රටේ ජනතාවට පෙන්වන්නේ අමු බොරුවක්. ජනතාව ඇවිස්සෙන එක විතරයි මේ දේවල්වලින් වෙන්නේ. පක්ෂ සහ පාටවල ඇතුළත තියෙන්නේ වෙනත් දෙයක්. අපි දේශපාලනික වශයෙන් පක්ෂ පාටවලින් විවේචන කළාට සියලු දෙනාම එකට ඉන්නවා.

ස්වාමීන් වහන්සේලා මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුව ඒමට අවශ්‍ය නැහැ. කියලා ඔබ කියනවා?

ඔව්, ඒ කතාව ඇත්ත. මේ රටේ පසුගිය ඉතිහාසය ගත්තොත් අපේ රටේ මහ දැවන්ත හාමුදුරුවරුන් හිටියා. එදා ඉදලා ස්වාමින් වහන්සේ පාලකයන්ට ප්‍රශ්නවලදි මැදිහත් වී අවවාද අනුශාසනා දුන්නා. ඒවගේම මේ ධර්මය හොඳටම ආරක්ෂා කළා රැක ගත්තා. අද ඇතැම් දේශපාලනය කරන හාමුදුරුවරුන් ගැනයි මම කතා කරන්නේ. පන්සල රැකගෙන ධර්මය රැකගෙන, අයාලේ යන තරුණ පරපුරක් අද ඉන්නවා. ඒ අය රැක ගන්න අනුශාසනා කළ යුතුයි. බොහෝ ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ බණ භාවනා කරගෙන වැඩ වාසය කරනවා.

ගංජා නීතිගත කරන්න ඕන, නයිට් ක්ලබ් කැසිනෝ අවශ්‍යයි කියලා ඔබ කියනවා. මේ දේවල්වලටද හාමුදුරුවරුන් ඔබ සමඟ විරුද්ධ?

නැහැ . ස්වාමින් වහන්සේලා විරුද්ධ නැහැ. ගංජා නීතිගත කරනවා කියන්නේ ගංජා බොන්න කියලා නොවෙයි. මේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්නයි මම කියන්නේ. කැනබීස් කියන දේ නීත්‍යනුකූලව ඖෂධීය ගුණයක් තියන දෙයක් හැටියට අපනයන භාණ්ඩයක් ලෙස සම්පූර්ණ ආරක්ෂාව ඇතිව පිටයන්න ඉඩ නොදී කරන්න පුළුවන්. මේ රටේ මෙය ඖෂධයක් කියලා පිළිගන්න ස්වාමින්වහන්සේ ඉන්නවා. ඒත් කිහිපදෙනෙක් බොරුවට කෑගහනවා. මම නම් කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක තරහා නැහැ.

මම කියන්නේ සත්‍යය. අතන මෙතන ගිහින් ඩීල් කතා කරනවා. කැසිනෝවලට ඉඩ දෙන්න බැරිද කියලා අහලා හොර පාරෙන් සමහරු ගිහින් අහනවා දේශීය අයට දෙන්න බැරිද ලයිසන් එක කියලා. ඒවගේ ඩබල් ගේම් මේවා. කැසිනෝ කියන්නේ මේ රටේ එක්කෙනෙක් විතරයි කරන්නේ. මේක විවෘත වෙන්න අවශ්‍යයි. මේ රටට විදෙස් විනිමය එනවා, ඒ මඟින්. අපි මේ විදෙස් විනිමය පිට නොයන විදිහට නියාමනය කරන්න අවශ්‍යයි.

පොහොට්ටුවේ 69 ලක්ෂය බිංදුවට වැටිලා කියන්නේ ඇත්තද?

පොහොට්ටුවේ හැටනම ලක්ෂය බිංදුවට වැටිලා ද කියන්න මම දන්නේ නැහැ. මම පොහොට්ටුවේ නෙවෙයි. නමුත් මම විධායක ජනාධිපති ක්‍රමයට සහ එම ධුරයට සහය දෙනවා. නමුත් මම දන්න විදිහට හැට නම ලක්ෂය බිංදුවට වැටුණ පෙනුමක් නැහැ. පසුගිය කාලයේ ජනතාව අතර ලොකු ප්‍රශ්න තිබුණා. රටේ සිදු වුණ අරගල සහ රටට සිදු වූ දේවල් සමඟ යම් කඩා වැටීමක් තිබුණා. නමුත් අද වන විට නැවත පිබිදීමක් තියෙනවා.

දේශපාලන විරුද්ධවාදීන්ට පොහොට්ටුවේ සැලුන් දොර විවෘතයි කියනවා?

දේශපාලන විරුද්ධවාදීන්ට පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිතර කියනවා සියලු දෙනාට සැලුන් දොර විවෘතයි කියලා .


කුණු වෙච්ච පක්ෂ එක්ක අපේ සන්ධාන නෑ
– ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

මෙතෙක් කල් ජවිපෙ ප්‍රසිද්ධ වේදිකාවල කතා අහන ජනතාව මැතිවරණයේදී ඡන්දෙ දුන්නේ නැහැ නේද; ඉදිරියේදිත් එහෙම වෙයිද?

නැහැ. ඒක බොරු මතයක්. දැන් මේ මතයක් හදනවා. අපිට හැමදාම සෙනඟ හිටියා. ඒ වුණාට ඡන්දය නැහැ, ඉදිරියේදිත් අපිට ඡන්දය නැහැ යන මතය තමයි මේ හදන්න හදන්නේ. අපිට මහ ලොකු සෙනඟක් ඉදලා නැහැ. දැන් තමයි ඉන්නේ. අපිට හිටපු සෙනඟ අපිට ඡන්දය දෙනවා. මේ ඔක්කෝම බලා ගන්න තිබුණා දැන් වුණත් ඡන්දය තිබ්බා නම්. ජනතා ප්‍රසාදය තියෙන්නේ කාටද කියලා ඡන්දයක් තියලා බලන්න කියලා අපි කියන්නේ. ජනතාව පාලකයෝ එක්ක ඉන්නේ කලකිරිලා. ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ.

ඒත් ජවිපෙ ඡන්ද 12% පමණයි උඩට යන්නේ කියලා පොහොට්ටුවේ මන්ත්‍රිවරු කියන්නේ?

අපිට කමක් නැහැ ඒ අය කියා ගත්තාවේ. ඒ අයට සතුටක් ලබන්න කියපුවාවේ. දේශපාලනික වින්දනයක් ඒ අය තනියම විඳිනවා. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. තව ටික දවසයි කියලා අපිට කියන්න තියෙන්නේ. එතෙක් සැපෙන් සනීපෙන් ජීවත් වෙන්න කියලා අපි කියන්නේ. මාස හයක් හතක් යනකොට මේ වින්දනය ඉවරයි.

විධායක ක්‍රමය සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය?

මේ වෙලාවේ අපි විධායක ජනාධිපති ක්‍රමය සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රබල ලෙස සාකච්ඡාවකට ගන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියන්නේ ව්‍යවස්ථාවේ තියන විදිහට ඡන්දය තියන්න කියලා. මේ අවස්ථාවේ තිබිය යුතු විදිහට ඡන්දය තියන්න කියලා. නිසි ලෙස ජනාධිපති මැතිවරණය තියන්න කියලයි අපි කියන්නේ. ඊට කලින් මහමැතිවරණයක් වුණත් තියන්න. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. තිබිය යුතු ක්‍රමයට මහමැතිවරණය සහ ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු විනා මේ මාතෘකාව අරගෙන වෙට්ටු දාලා ඡන්දය නොතියා පැනලා යන්න සූදානම් වුණාට ඒ දේවල්වලට අපි සූදානම් නැහැ.

ඒත් විධායක ක්‍රමය අහෝසි කළහොත් ජනාධිපති මැතිවරණයක් නැහැ?

මේ අයට ඒක කරන්න බැහැ. අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ඕන. ජනමත විචාරණයක් අවශ්‍යයි. තුනෙන් දෙකක් ගන්නත් බැහැ. මේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් දෙමළ මන්ත්‍රිවරු මේවට එකතු වෙන්නේ නැහැ. අපිත් එකඟ නැහැ. මේ වෙලාවේ මේවා කතා විතරයි. සමාජය ව්‍යාකූලත්වයට පත් කරන්න කියන කතා. මැතිවරණ කල්දාන්න පාලකයන්ට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් බලනවා මොනවද කරන්න පුළුවන් කියලා මොනවා හරි වෙට්ටුවක් දාන්න තමයි මේ බලන්නේ .

ජාජබ පසුගිය දිනවල ඇතැම් පක්ෂ සමඟ සාකච්ඡා කළේ වෙනත් පක්ෂ සමඟ සන්ධානගත වීමට ද?

අපි සමඟ වෙනත් පාර්ශ්වයන් සාකච්ඡා කරන්න අවශ්‍යයි කිව්වොත් සාකච්ඡා කරනවා. දේශපාලනයේදී වෙනත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන්න අපි එකඟයි. ඒත් 76 වසරක් දේශපාලනයේ කුණුවෙච්ච ජනතාවගෙන් වියෝ වෙච්ච එවැනි සන්ධාන සමඟ අපිට ගහන්න සන්ධාන නැහැ. ජනතාවත් සමඟ අපි සන්ධානගත වෙනවා. ඒ අය මේ කුණු වෙච්ච දේශපාලන පක්ෂ සමඟ අපි සන්ධානයකට ගියොත් අපිවත් දාලා යනවා. ඒ නිසා මේ අයට වඩා අපිට ජනතාව වටිනවා.


එහෙම සන්ධාන ගැන අපි කතා කරලා නෑ
– නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම

ජවිපෙ සමඟ සාකච්ඡා කළා නේද? ජවිපෙ සමඟ සන්ධානගත වීමකට ද ඒ සාකච්ඡාව?

අපි සන්ධානයක් ගැන කතා කරලා නැහැ. එතුමන්ලා අපිත් එක්ක සන්ධානයක් ගැන කතා කරලත් නැහැ. අපි රටේ පොදු කාරණා ගැන විටින් විට සාකච්ඡා කරනවා. සන්ධාන මැතිවරණයක් ගැන නොවෙයි පොදුවේ විපක්ෂයක් ලෙස අපි කතා කරනවා. ප්‍රතිත්‍රස්ත පනත සමාජ මාධ්‍ය නියාමන පනත ආවාම ඒවායේ බරපතළ තත්ත්වයන් ගැන අපි කතා කරනවා. මෙවැනි කාරණා සම්බන්ධයෙන් අපි සියලු දෙනා සමඟ සාකච්ඡා කරන්න එකඟයි.

නිදහස ජනතා සභාවේ ඉදිරි වැඩපිළිවෙළ කොයි වගේද?

අපි මුලදි උත්සාහ ගත්තා ප්‍රධාන විපක්ෂයේ ධාරා එකතු කරන්න. අවශ්‍ය තරම් ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. නමුත් එයින් අධෛර්ය්‍යට පත් වෙන්නේ නැතුව මේ ආණ්ඩුවට විකල්ප වැඩ පිළිවෙළ සහිත විකල්ප ආර්ථික, දේශපාලනික ප්‍රතිපත්තීන් ඉදිරිපත් කරන අතර අවම වශයෙන් සමගිය ගොඩනගා ගතයුතුයි කියන ක්‍රියාන්විතය තමයි අපි මේ මොහොතේ කරන්නේ.

මැතිවරණය ඉලක්ක කරගෙන පොහොට්ටුව සමඟ නැවත සන්ධානගත වීමට සුදානමක් තියෙනවාද?

නැහැ. පැහැදිලිවම නැහැ; අපි පුද්ගලයන් මත නොවෙයි තීන්දු ගන්නේ; අපි තීන්දු ගන්නේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙනුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළත් සමඟ බද්ධ වෙච්ච කවුරුන් එක්ක සාකච්ඡා කරනවාද යන ප්‍රශ්නයම අපිට අදාළ නැහැ.

ජනාධිපති මැතිවරණය නොතියන්න ආණ්ඩුව වෙට්ටු දානවා කියලා ජවිපෙ කියන්නේ?

පුරවැසියන්ට සැකයක් මතු වෙන එක අතිශයින්ම සාධාරණයි. ජාතික මැතිවරණ දෙකක් කිසිදු හේතුවක් නැතිව කල්දාලා තියෙනවා. පළාත් සභා මැතිවරණය 2017 කල්දාපු එක තාමත් එහෙමමයි. අවුරුද්දකට ඉස්සර වෙලා පළාත් පාලන මැතිවරණය කල්දාලා තියෙනවා. අවුරුද්දකුත් මාසයක් ගතවෙලා තියෙනවා. මේ නිසා ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා; ජනාධිපති මැතිවරණය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 ව්‍යවස්ථාවේ දෙක තුන වගන්තිවල ජනාධිපති මැතිවරණය ගැන පැහැදිලිවම සඳහන් කරනවා. පළාත් පාලන මැතිවරණය වගේ නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමක් කරන්න මේ රාජ්‍ය නායකයන්ට ඉඩදෙන්නේ නැහැ. පුරවැසියන් එයට ඉඩදිය යුතු නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. එය රැක ගැනීම වෙනුවෙන් සියලු දෙනා කොන්දේසි විරහිතව කටයුතු කරන්න අවශ්‍යයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division