Home » සාක්කි

සාක්කි

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

සාක්කි යනු නොබල් ත්‍යාගලාභී ඉතාලි ජාතික දාරියෝ පෝ (1926 – 2016) නම් මහා නාට්‍යකරුගේ Morte accidentale di un’anachico නම් නාට්‍යයේ ඉංගිරිසි පරිවර්තනය වන Accidental death of an Anarchist ඇසුරෙන් සකස් කළ සිංහල පිටපතයි.

ඔහු රේඩියෝ නාට්‍ය රචකයකු, තිර පිටපත් රචකයකු, වේදිකා නාට්‍ය රචකයකු, නළුවකු, නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම වේදිකා නිර්මාණකරුවකු ද වී ය. ගීත රචකයකු ද වූ ඔහු ඉතාලි වාමාංශික දේශපාලන ධාරාවේ ප්‍රචාරකයෙක් ද විය. 1997 වසරේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගලාභියා වූයේ ඔහු ය.

පෝ වඩාත් ප්‍රකට ප්‍රහසන රචනය සහ නිර්මාණය සඳහා ය. ඔහුගේ නාට්‍ය සිංහල ද ඇතුළුව ලොව පුරා භාෂා තිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ශ්‍රී ලංකාව ද ඇතුළු ව රටවල් හතළිහක පමණ වේදිකා ගත කොට ඇත. හැට, හැත්තෑව අසූව දශකවල ඔහුගේ කෘති මිනීමැරුම්, දූෂණය, සංවිධානාත්මක අපරාධ, වර්ගවාදය, රෝමානු කතෝලික දේවධර්මය සහ යුද්ධය පිළිබඳ විවේචනවලින් පිරී ඇත. 1990 දශකයේ සිට 2000 ඔහු ඉතාලියේ මධ්‍ය දක්ෂිණාංශික Forza Italia පක්‍ෂය සහ එහි නායක සහ තුන්වරක් ම ඉතාලියේ අගමැති වූ සිල්විඕ බෙර්ලුස්කෝනි නිර්දය ලෙස විවේචනය කළ අතර, 2010 පසු ඔහු බෙප්පේ ග්‍රිලෝ ඇරැඹූ තරු පහේ ව්‍යාපාරයේ ප්‍රධාන දෘෂ්ටිවාදියා බවට පත් විය.

Mistero Buffo (විකට අබිරහස) ලෙස නම් කර තිබූ පෝගේ solo pièce célèbre (ඒකාංක සංදර්ශනය) වසර 30ක කාලයක් පුරා යුරෝපය, ආසියාව, කැනඩාව සහ ලතින් ඇමෙරිකාව පුරා වේදිකා ගත කිරීම සිදු කරන ලද අතර, පසු යුද සමයේ යුරෝපීය වේදිකාවේ වඩාත්ම මතභේදාත්මක සහ ජනප්‍රිය සංදර්ශනවලින් එකක් ලෙස පිළිගෙන තිබේ. අදේවවාදියකු වූ පෝගේ එම ප්‍රහසනය කතෝලික පල්ලියේ කෝපයට හේතු වූ බවත් වතිකානුව විසින් හෙළා දකින ලද බවත් සඳහන් ය.

පෝ විසින් රචිත නාට්‍ය සංඛ්‍යාව අසූ අටක් බව සඳහන් ය. ඒ අතරින් ප්‍රධාන පෙළේ පහළොවක් විචාරකයෝ හඳුනා ගනිති. ඔහුගේ වේදිකා නාට්‍ය බහුතරය ඒකාලාප (Monologue) වේ. එනම් නාට්‍යයේ ප්‍රධාන චරිතය වේදිකාවේ කතාවක් ඉදිරිපත් කරන බවයි. මෙය පොතේ ගුරු භූමිකාවෙන් වෙනස් වනුයේ කතාව කියන්නා ද චරිතයක් වන හෙයිනි. සිය නාට්‍යවල මේ කතන්දරකාරයාගේ භූමිකාව නිරූපණය කළේ ඔහුම ය. එය හාස්‍යෝත්පාදක ලෙස ඉදිරිපත් කිරීමේ ලා ඔහු සමතෙක් විය. අප මේ කතා කරන අරාජිකවාදියකුගේ මරණය ද එවැන්නකි.

ඔහුගේ නාට්‍යවල තවත් විශේෂිත කරණයක් වූයේ සමාජයේ එදිනෙදා සිද්ධි ඇසුරින් සිය නාට්‍ය රචනා කිරීම ය. මේ නාට්‍ය, 1969 වසරේ අවසාන දවස්වල ඉතාලියේ ඇති වූ ශ්‍රමිකයන්ගේ විරෝධතාවක් අතරතුර බෝම්බ පුපුරා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇතුළට ගන්නා ලද අසූවක් පමණ දෙනා අතරින් පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගිය වාමාශිකයකු මෙන් ම අරාජිකවාදියකු ද අදේවවාදියකු ද වූ ගිසෙප් පිනෙලිගේ මරණය සිදු වූ ආකාරය වේදිකා ගත කිරීමයි. පිනෙලි මිය ගියේ ජනේලයෙන් වැටීමෙන් බව මුලින් නිවේදනය කරන පොලිසිය පසුව කියන්නේ ඔහු ජනේලයෙන් පැන්න බවකි. මෙහි සැක සහිත බව ප්‍රශ්න කළ ‘අනවරත අරගලය’ (Lotta Continua) නම් කැරලිකාර කණ්ඩායමේ එනමින් යුත් පුවත්පතට එරෙහිව පොලිසිය නඩු පැවරී ය.

පෝ මේ නාට්‍යයෙන් ඉදිරිපත් කරන්න් එම කතාවයි. මේ සඳහා ඔහු චරිත පහක් උපයෝගී කැර ගනී. පළමුවැන්නා ප්‍රධාන චරිතය වන පාඋලෝ ගැන්ඩොවිච් ගැන්දෙල්පො ය. ඔහු ලේඛයකු මෙන් ම සමාජ ක්‍රියාධරයෙක් ද වෙයි. ඔහුගේ මේ නම සඳහන් වන්නේ වරක් හෝ දෙවරක් පමණකි. නාට්‍යය පුරාම ඔහු හැඳින්වෙන්නේ උන්මාද (maniac) යන නමින් ය. උන්මාද යනු රංග උන්මාදයෙන් පෙළෙන සංකීර්ණ චරිතයකි. මුල් දර්ශනයේ දී අපට ඔහු හමු වන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඉදිරියේ විකාර කතා කියමින් සිටිනා පුද්ගලයකු ලෙස ය. තමා එකොළොස් වතාවක් වෙස් මාරු කැර ගෙන ආවත් පොලිසියට තමා හඳුනා ගන්නට නොහැකි වූ බව ඔහු ප්‍රේක්ෂාගාරය හිනස්සවමින් කියයි.

ඒ සම්බන්ධයෙන් පෝ කියන්නේ මෙවැන්නකි : ‘රඟහලට පැමිණි මහජනයා – ප්‍රගතිශීලී සිසුන්, කම්කරුවන්, පමණක් නොව, පහළ මධ්‍යම පාන්තිකයන් ද ඇතුළු බොහෝ දෙනා – නාට්‍යය පෙළගස්වා ඇති විකාර සහගත සහ ප්‍රකට උමතු ආකාරය විසින් අබිබවනු ලැබුවා. හාස්‍යජනක හා ඒ සමඟම උපහාසාත්මක සංකල්ප මගින් ඇති කරන ප්‍රයෝගවලට ඔවුන් සිනා පුපුරුවා හැරියා. ඒත් රංගය ඉදිරියට යද්දී, තමන් සිනාසෙමින් සිටින්නේ සාපරාධී සහ ගුප්ත සිදුවීම් වන රාජ්‍ය අපරාධ සහ ඔවුන්ගේ ම්ලේච්ඡත්වයට බව කෙමෙන් ඔවුන්ට වැටහුණා.’

මේ නාට්‍ය අංක දෙකකින් සමන්විත ය. පළමුවන අංකය කොටස් දෙකකින් යුක්ත ය.

මුලින් සාමාන්‍ය ආකාරයෙන් පෙනී සිටින උන්මාද පසුව මාර්කෝ නම් විමර්ශන නිලධාරියකු හෙවත් ඉහළ උසාවියේ විනිසුරකු ලෙසත් ඉන්පසු රෝමයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාර්ක් අන්තෝනියෝ ලෙසත් පෙනී සිටියි. මේ අතර පුවත්පතක නියෝජිතයකු වන ෆෙලෙති මෙනෙවිය ද කාමරයට ඇතුළු වෙයි.

මේ වනවිට උන්මාද, පිනෙලිගේ මරණය හෙවත් ඝාතනය ගැන සියලු තොරතුරු හෙළිදරව් කැර ගෙන ඇති අතර ඒවා තමන් රහසේ ගෙනා යන්ත්‍රයක් මඟින් පටිගත කැරගෙන ද ඇත. ෆෙලෙති මෙනෙවියගේ විමසීම් ඇසුරෙන් පොලිස් නිලධාරීහු තවතවත් අනාවරණය වෙති.

මාර්ක් අන්තෝනියෝ පෙනී සිටින්නේ ආබාධිතයකු ලෙසිනි. කියන පරිදි ඔහුගේ එක් අතක් ද පයක් ද නැත. කෙසේවෙතත් බෙර්තෙසෝගේ මතකයේ ඔහු ගැන කිසියම් හෝඩුවාවක් තිබේ. එහෙත් එය නිශ්චිත නැත.

මේ අතර බෙර්තෙසෝ, උන්මාද හඳුනා ගනියි. තමන් හසුවී සිටින්නේ ලේසි පහසු කෙනෙකුට නොවන බව මුලාදෑනි තිදෙනාම වටහා ගනිති. මොහු ‘අනවරත අරගලය’ පත්තරයේ තර්තෘ මාණ්ඩලිකයෙක් ද වෙයි. උන්මාදට වෙඩි තබන ලෙස ඉහළ නිධාරියා බෙර්තෙසෝට නියෝග කරයි. උන්මාද සිය ගමන් මල්ලෙන් බෝම්බයක් ගෙන එය පුපුර වන බවට තර්ජනය කරයි. එවිට ෆෙලෙති මෙසේ කියයි. ‘තමා මේ මිනිස්සුන්ව මැරුවොත් ඔහේගෙත් මෙවුන් අතරෙත් වෙනසක් නෑ. තමා ඔය ප්‍රදර්ශනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන අතිධාවනකාරී වමේ අදහස්’

උන්මාද එවිට ෆෙලෙතිලාගේ මාධ්‍යයේ දෙබිඩි පිළිවෙත ද විවේචනය කරයි.

පිස්තෝලය මේසය මත තබා ජනෙල් කණ්ඩිය මත හිඳ ගන්නා ලෙස උන්මාද පොලිස්භටයන් තිදෙනාට අණ කරයි. මිනිත්තු පහකින් බෝම්බය පිපිරේ. කතාව එතෙකින් අවසන් බව පෙනෙයි.

එහෙත් පෝගේ පිටපතේ තිබෙන්නේ ඒ ආකාරයෙන් නොවේ’යි කියන උන්මාද නැවත දර්ශන තලයේ පෙනී සිටියි. පොලිසියේ තුන්දෙනා මාංචුවලින් මුදන ලෙස ඔහු ෆෙලෙතිට කියන අතර ෆෙලෙති එසේ කරයි. ඔවුහු කාමරයෙන් පිටව යන්නට ගොස් ආපසු හැරී අවුත් ෆෙලෙති ජනෙල් කණුවේ තබා මාංචු ලා පැන දුවති. ෆෙලෙති විලාප තියයි. බෝම්බය පිපිරෙයි.

වේදිකාව අඳුරුවී නැවත එළිය වී උන්මාද පෙනී සිටියි.

ඔහු ප්‍රේක්ෂාගාරයට මෙසේ කියයි. :‘ඔබ දැන් දෙපැත්තම දුටුවා. තීරණය ඔබ සතුයි. සුබ රැයක්…’

මේ නාට්‍යයෙන් පසු පෝ නිපැයූ Non Si Pagaæ නාට්‍යය ද බෙහෙවින් ජනප්‍රිය වූවකි. Dont Pay – Want Pay නමින් ඉංගිරිසියට පරිවර්තනය වී ඇති එය අන්තර්ජාතික වේදිකාව අතික්‍රමණය කළේ ය.

‘සාක්කි’ විජිත ගුණරත්නගේ කෘතියකි. ඔහු විසින් ම නිෂ්පාදනය කරන ලද ‘සාක්කි’ නාට්‍යය 1987 ජනවාරි මාසයේ දිනෙක කොළඹ දී සිය මංගල දර්ශනය පවත්වා ඇති අතර ඉන්පසු දිවයිනේ ස්ථාන කිහිපයක ම වේදිකා ගත කරනු ලැබූ බව සඳහන් ය.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division