Home » කැලණි මිටියාවතෙන් හමා ආ නිදහස් සුවඳ

කැලණි මිටියාවතෙන් හමා ආ නිදහස් සුවඳ

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

ධනවාදය ද ශිෂ්ටාචාරයේ එක් නවාතැනකදී ලාංකිකයාට හමු වන්නේය. ලන්දේසීන්ගේ කුරුඳු වගාව සහ රේන්ද බදු දීම හේතුවෙන් නව වාණිජ පන්තියක් අප අතරින්ම බිහි විය. වැසියෝ සහ රජු ප්‍රමුඛ ප්‍රභූ පිරිසක් සිටි ස්ථරායන ද්විත්වය වෙනුවට, නව වෙළෙඳ පන්තියක් පැන නැඟීම, ලාංකේය සමාජ හැඩතලය නව මුහුණුවරක් සඳහා කැඳවාගෙන ගියේය. පාලන බලය සහිත බලවතා වෙනුවට, ධනයෙන් ආඪ්‍ය වූ ප්‍රජාවක් සමාජයේ තව තැනක බලවත්ව සිටියේය. ආණ්ඩුව යනු පෞද්ගලික ගතිකයක් නොවූ කල්හි, ඒ සඳහා වැඳ වැටීමේ අවශ්‍යතාවක් ජනයාට නොවීය. එහි සරණ යම්තාක් අවශ්‍ය වූයේ නමුදු, ධනය සහිත නොසැලෙන බලයක් හිමි පන්තිය ඉදිරියේ සාමාන්‍ය සමාජය සලිත වී තිබුණි. මෙම වෙළෙඳ පන්තියේ අනභිභවනීය බිහිවීමක්, කැලණි මිටියාවතේ සේදවත්ත අද්දර සිදු වන්නේය.

මතුගමට ආසන්න ගමකින් පැමිණි තුඩුගලගේ පිලිප් විජයවර්ධන කොන්ත්‍රාත්කරුවෙක් ලෙස වැඩට බැස්සේය. හෙලේනා ඩැප් වීරසිංහ සමඟ ඔහුගේ ආවාහය පවුලක පෑහීමකට සිමා නොවීය. සිය මව් තොමෝ 1902 වසරේදී කැලණි විහාරයේ පුදසුන කිරිගරුඬෙන් නිමවා පූජා කරන අයුරු දහසය හැවිරිදි ඩී. ආර්. විජයවර්ධන බලා සිටියේය. මේ මතකය සිය ජීවිතය පුරා සිතුවමක් සේ ඇඳගත් හෙතෙම එතැන් සිට සිය මෙහෙවර සඳහා සම්බුද්ධ ශාසනය ප්‍රමුඛ කර ගත්තේය. මේවා මිනිසුන්ගේ ගුණානුස්මරණය සඳහා ඔහේ ලියාගෙන, කියාගෙන යන දේ නොවේ. රටක හැඩගැස්ම සඳහා තනි මිනිසෙක්, සිය හදගැස්ම යොමු කළේ එහෙමය. කැලණිය රාජ මහා විහාරය වටා අලුත් ලංකාවක් බිහි වෙන්නට පටන්ගෙන තිබුණි. කැලණි මිටියාවත යනු දේශපාලනය සඳහා තෝතැන්නකි. බොරලුගොඩ පිලිප් ගුණවර්ධන ලංකාවේ වමේ ව්‍යාපාරය සඳහා ඒ පැත්තෙන් කැලණි මිටියාවත අතික්‍රමණය කර තිබුණි.

මැද හරියේදී කැලණිය වමේ වන විට මුහුදට වැටෙන්න කිට්ටුව එයට ධනවාදී පෝෂණයක් ලැබී තිබුණි.

කැලණි විහාරය සිය උරුමය කරගත් විජයවර්ධන පරපුර, එහි සියලු ප්‍රතිසංස්කරණ සඳහා බරපැන පමණක් දැරුවේ නැත. එහෙම ෂේප් න්‍යායයෙන්, පන්සල් නඩත්තු කර දිනා ගැනීමට ඔවුනට දෙයක් තිබුණේ නැත. එය අත්‍යන්තයෙන් නැඟ ආ වගකීමක් විය. ගරාවැටුණු කැලණිය, බුදු පා පහස ලද බිමක් හෙයින් එය ශ්‍රී විභූතියෙන් සැරසීම සඳහා විජයවර්ධන පරපුර ‘ඇඟට ගෙන’ වැඩ කළහ. කැලණිය මහ වෙහෙර මැණික් පුටුව නිදන් කර ධාන්‍යාකාර හැඩයෙන් ඉදිව තිබුණි. විහාර මන්දිරය ද එවන් උරුමයක් සහිතව ඉදි කළ යුතු යැයි ‘විජයවර්ධන’ තීරණය විය.

අජන්තාවේ සිතුවම් නිරීක්ෂණය සඳහා ද තෝරා ගත් චිත්‍ර ශිල්පියා යැවිය යුතු බවට සිය මවට යෝජනා කළේ ඩී. ආර්. තරුණයාය. එවන් මතක සිටින චිත්‍ර කර්මාන්තයක් කැලණියට දායාද කරනු වස් සෝලියස් මැන්දිස් වෙත භාර වන්නේ අජන්තාව සඳහා හේ පිටත් කිරීමෙන් පසුවය. ඇඟ මැලි කඩා ගැනීමට හෝ පන්සලට කළ පමණින් එන ‘වල් වාසි’ බලාපොරොත්තුවෙන් සිදු කරනා පින්කම් වෙනුවට ඒ පරපුර සිය යුතුකම ඉදිරියට දමා අනලස්ව කාර්යයේ නිරත විය. ‘ටෙස්ට් රන්’ එකක් ලෙස මාපිටිගම රාජ මහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය සඳහා සෝලියස් යවන ලද්දේ ඩී. ආර්. විජයවර්ධනයන් විසිනි. සතියට දෙතුන් විටක් එම චිත්‍ර කර්මාන්තය නිරීක්ෂණය සඳහා තෙමේම යන්නේ, අනාගත පරපුර වෙත දායාද කරන දේ සම්බන්ධයෙන්, ඩී. ආර්. විජයවර්ධන තමන් වෙත පවරා ගත් වගකීම හේතුවෙනි. තමන් බලාපොරොත්තු වූ හැඩය එයින් ලැබුණු බව දැන පිළිසිඳ ගත් වන, කැලණි රජමහා විහාරයේ බිතු සිතුවම් ඇඳීම සඳහා මෙන්දිස්ට හාර කරන්නට හෙතෙම, අවස්ථාව ලබා දුන්නේය.

ආගමික සේවයකට වඩා, මේ වනාහි රටේ අලුත් නිදහස් ව්‍යාපාරයේ දොරටු හැරීම විය. ඩී. ආර්. විජයවර්ධනයන්ට අවශ්‍ය වන්නට ඇත්තේ මේ රටේ මිනිසුන් වෙත නිදහස උරුම කරදීම පමණක් නොවන්නට ඇත. ජාත්‍යාලයෙන් සිතන පිරිසක් නොවනතාක් නිදහස වනාහි ලැබුණ ද අගයක් නොමැති තැනකට පත්වන හෙයින් නිදහසේ පදරුත් අපේකමෙන් වරනැඟීමේ වුවමනාවක් ඩී.ආර්. විජයවර්ධනයන් වෙත අවශ්‍යව තිබූ බව කිව හැක්කේ භාෂා සාහිත්‍යයේදී සිංහලය සඳහා පණ දීමට හෙතෙම නිතර සිය පුවත්පත් මෙහෙයවිය. පනස් හයේ සිංහලය රජ බස නොවූයේ නම් එය කුස්සියේ බස වීමට නියමිතව තිබුණි. මේ සඳහා මාවත විවර කරන ලද්දේ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ පුවත්පත්ය.

1924. අප්‍රේල් මස 5 වැනිදා දිනමිණ පුවත්පතේ ‘ගමරාලගේ‘ ලිපියේ එන මේ ඡේදය වනාහි, ඩී. ආර්. විජයවර්ධනයන්ගේ භාෂාව පිළිබද චින්තනය හෙළි කරන තැනකි.‘සිංහල බස තුච්ඡ කොට පාගා දමා අනික් භාෂා වැලඳ ගනී නම් එයින් සිදු විය හැකි හානි වඩාත් බලවත් ය. ස්ව භාෂා පොත පත බැලීමත්, අමුත්තන් සමඟ සිය බසින් කතා කිරීමත් ලජ්ජාවක් කොට සිතන්නා නියම සිංහලයෙක්දැයි වටහා ගත යුතුයි. මවුපියන් නොතකන්නා හට මොන ජාතියක් ද? සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් ජාතියක් වශයෙන් අභිවෘද්ධියට පැමිණෙන්නට සිංහල වර්ගයා කැමැති වේ නම් ස්ව භාෂාව ඉගෙන, ඒ භාෂාව කෙරෙහි නිසි සම්මානය දැක්වීම ද ස්ථිර ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බව කියම්හ.’

එවන් මුලපිරීමක් එතුමාණෝ සිදු කළේ ආගමික, භාෂා සාහිත්‍ය, චිත්‍ර කලාව යන තැනදී පමණක් නොවේ. ලේක්හවුස් මන්දිරය ඉදි කරන ලද්දේ සිංහල බෞද්ධ කලා ශිල්පය ගෘහ නිර්මාණය සඳහා දායක කර ගනිමින් හෙයින් එය ද මේ රටේ නව මානයක් බවට පත්විය.

ඒ මිනිසා නූපන්නේ නම් නිදහස යනු සමහරවිට අදහසක් පමණක්ව අද ද අප යටත්විජිතයක සිට, චාල්ස් මහ රජ වෙත සිරස නමනා තැනක සිටිනු ඇත්තේය.

ජාතියක උස් නිදහස වෙනුවෙන් දුරදිග බැලූ එතුමාණෝ උපත ලද්දේ 1886 පෙබරවාරි 23 වෙනිදාය. පරපුරෙන් පරපුර අනුස්මරණය කරන ඒ මහඟු චරිතය වෙත මේ කතුවැකිය උපහාර මල් කලඹක් වේවා යැයි මේ සතියේ සිළුමිණ ප්‍රාර්ථනා කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division