ඔය වෙලාවට හැමෝම කියන්නේ හැඟීම් පාලනය කරන්න. මතක් නොකැර ඉන්න. වෙන වෙන දේවල්වලට යොමුවෙන්න වගේ දේවල්. ඇත්තටම ඒක නිවැරැදිම ක්‍රමය නෙමෙයි . ඒකෙන් වෙන්නෙ ඒ හැඟීම හිතේ කොහෙ හරි අස්සක ගුලි ගැහිලා හැංගෙන එක් විතරයි.
එතකොට ඒක ආයෙත් කොයිම වෙලාවක හරි හිත උඩට ඇවිත් උඩ පනින්න පුළුවන්.
ඒ නිසා අපි කරන්න ඕන ඒ හැඟීම විඳලා විඳවල ශූන්‍ය කරලා නැත්තටම නැති කරලා දාන එක.
කරන්න ඕන මෙච්චරයි .
මුලින්ම අමතක කරන්න හදන එක නවත්තන්න. ඒ මතකයට ඔහේ පවතින්න ඉඩ දෙන්න.
ඔබ කෙනෙක්ව ආයසයෙන් අමතක කරන්න හදන සෑම අවස්ථාවකම ඔබ නොදැනුවත්වම ඒ කෙනාට තවත් අංශුවකින් හරි ළං වෙන එක විතරයි වෙන්නෙ .
ඒනිසා මුලින්ම අමතක කරන්න හදන එක අමතක කරලා දාන්න. ඒ හැඟීමට මොහොතක් නිදහසේ පවතින්න දෙන්න. ඒ පවතින්න ඉඩදෙන කාලේදී හිතට එන දේට ඔහේ එන්න දෙන්න. වෙනත් පාර්ශ්වයකට හානියක් නොවෙන තාක් ඒ හැඟීම ආයාසයෙන් පාලනය කරන්න උත්සහ කරන්න එපා .
දුක, වේදනාව, කඳුළු, මේ අයට ටික කාලයක් එයාලට ඕන විදිහට නටන්න දෙන්න .
ඕව හරියට පොඩි එවුන්ගෙ ඇඬිල්ල වගේ.
ඔයා නවත්තන්න කියන තාක් කල් උන් තව හයියෙන් අඬනවා, ඔයා නොදැක්ක වගේ සතේකට ගණන් ගන් නැතුව හිටියම එයාලට එපා වෙලා එයාලම නවතිනවා .
විරහවත් ඒ වගේ තමා.
ඔයා එයාලට වද නොදී හිටියොත් එයාල ටික කාලෙකින්ම වැඩේ අතඇරලා දානවා .
ආ ..ඊට පස්ස ඔයාව හොයාගෙන එන්නේ කලකිරී.
එයා එක්ක එකතු වෙලා ඔයා පොඩ්ඩක් විතර කලකිරෙන්න. ඒ කාලෙට ඒ කෙනා නිසා ඔයා අහිමි වුණු ,ඈත් වුණු දේවල් ගැනත් කලකිරීමට කියන්න.
ඕනෑම සම්බන්ධයක් ඇතුළේ ගැළපීම් නොගැළපීම් කියල කොටස් දෙකක් තියනවා. අපි කෙනෙක්ට කැමැත්තෙන් ඉන්න තාක් කල් හදවත අපිට පෙන්නන්නේ ඒ කෙනාගේ ගැලපීම් සහ හොඳ කියන කොටස විතරයි. පිට ඉන්න කෙනෙක් ඇවිල්ල නොගැළපෙන කැත ටික පෙන්නල දෙන්න හැදුවත් හදවත ඕක පිළිගන්නේ නැහැ .
මොකද හැඟීම් දැනීම් සම්බන්ධව ගත්තම හදවත ඉන්නේ හෙනම හෙන කම්මැලි සීන් එකක .
එයාට හොඳ නරක දෙක එක ශීට් එකකට ගෙනත් බැලන්ස් කරන්න තියන කම්මැලිකමට එයා අපි කැමති කොටස විතරක් අපිට මතක් කරලා ශේප් එකේ ඉන්නවා .
පිට කෙනෙක් ඇවිත් ඇත්ත පෙන්නුවත් හදවත කියන්නෙ ඒ වුනාට ඕක පිළිගන්න එපා කියල විතරයි .
ඔන්න ඔය වෙලාවට තමයි අපි බුද්ධියෙන් උදව් ඉල්ලන්න ඕනේ. බුද්ධිය ටිකක් වෙනස්.
එයා හදවත වගේ හැමවෙලේම පැනල දෙන්නෙ නැහැ .
අපි ඉල්ලීම් කරලා කරලා එන්න කිව්වොත් තමා එයා ගේමට එන්නේ. එයා ආවම පොඩ්ඩක් විතර හදවතේ රැස් බහිනවා. එයා කරන්නේ අපිට අමතක කරන්න ඕන කෙනාගේ හොඳ නරක දෙකම එකම තැනකට ගෙනත් වැලියු කරන එක .
බුද්ධිය ආව කියන්නේ මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු යටි හිතත් ටික ටික අවිස්සෙන්න ගන්නවා. අපිට අමතක වෙලා තිබ්බ සිද්ධි ටික, ඒ නොගැළපීම් ටික , ඔහු හෝ ඇය නිසා ඔබ වේදනාවට පත් වුනු විදිහ අර මුලින් ඔයාට උඩු හිත ඔයාට අමතක කරවල තිබ්බ ඔක්කොම කුණු ටික යටි හිත උඩට ගෙනත් දෙනවා .
අන්න ඒ වෙලාවට කොළයක් පෑනක් අරන් ඔන්න ඔය ටික කොහෙ හරි ලියල තියාගන්න පස්සට ඕන වෙනවා .
ඒත් එක්කම එයා නිසා ඔයාට මඟහැරුණු ඔයාගේ හීන, ඔයාගෙ අනාගතය වගේම ඔයාගේ වටිනාකමත් බුද්ධිය ඔයාට ලස්සනට ප්ලේට් එකකට දාලා පෙන්නනවා.
ඔය අස්සේ ඉතින් බුද්ධිය පේන්න නැති වෙලාවට හදවත අයෙත් ඇවිත් ඔයාට අර සින්තටික් හොඳ ටික පෙන්නලා ආයේ ඔයාව නම්මගන්න හදන අවස්ථාත් නැතුවම නෙමෙයි .
ඒ වෙලාවට අර බුද්ධියයි යටි හිතයි ඇවිත් ඔයාට පෙන්නපු යථාර්ථය කොළේක ලියාගත්ත මතකයි නේද ?අන්න ඒ කොළේ දෙතුන් සැරයක් කියවන්න. ඒක කියවද්දී බුද්ධිය ඇවිස්සෙනව කියල දැනෙනකොටම හදවත ශේප් වෙලා යන්න යනවා .
ඔයාට අමතක කරන්න ඕන කෙනාව මතක් වෙනකොට කිසිම විශේෂ හැඟීමක් නොදැනී ඒක එක සිද්ධියක් විතරක් වෙලා දැනෙන දවස වෙනකම්ම මේ ටික කරන්න .
ඔයා හරියට මේ වැඩේ කන්ටිනියු කලොත් ඔයා හිතනවට වඩා ගොඩක් ඉක්මන්ට ඔයාට කලින් හිටපු ඔයාටත් වඩා ලස්සනට ආයෙත් ඔයාව මුණගැහෙනවාම තමයි.
එහෙම නැතුව කෙනෙක්ව අමතක කරන්න ඕන වුණාම ඔයා බිසී වෙන්න,වෙන අයට ළං වෙන්න, හොබීස් කරන්න කිව්වට ඕකෙන් වෙන්නේ, රබර් බෝලයක් වතුර යට ආයාසයෙන් හංගන් ඉන්නව වගේ දෙයක් විතරයි. අත ඇරපු ගමන උඩට එනවම තමයි. හැබැයි ඒ එන්නෙත් නිකම්ම නෙමෙයි වටේ ඉන්න අයවත් තෙමාගෙන මුළු වතුරම කළඹවගෙනයි ඉන්නේ. හැඟීම් පාලනයත් එහෙම තමයි .
එක හැඟීමක් පාලනය කරන්න ඒ හැඟීම වෙනත් හැඟීම් වලට පරිවර්තනය එතරම්ම සුදුසු නැහැ. සම්හරවිට දරාගෙන ඉඳල ඒ පීඩනය පරිවර්තන හැඟීමේදී වර්ධනය වෙලා වයිරයක් තරහවක් බවට පත් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි .
දරාගන්න හැඟීම් හංගන හැඟීම් පාලනය කරන හැඟීම් ඔක්කොම යටි හිතේ අපි නොහිතන තැනක තැන්පත් වෙනවා. ඒත් ඒක නමෙයි වෙන්න ඕන .
ඒ හැඟීම ශූන්‍ය කරලා උගුල්ලලා දාන එකයි වෙන්න ඕන. ඒකට කරන්න ඕනේ හොඳම සහ ස්තිරම විසඳුම මම මුලින්ම කියපු විදිහ.
මොකද සමහර මිනිස්සුයි ඒ මතකයි තියනවා ඒවා හිත්වල යට කොටසේවත් තියෙන්න ඕන නැහැ. මුලින්ම උගුල්ලලා දාන්න ඕනේ .
අන්න එතකොට තමයි ඔයාට ඔයාව හම්බෙන්න පටන් ගන්නේ .
අනිශා ජයකොඩි