Home » ‘රිදම් ඔෆ් ශ්‍රීමත්‘ සිතුවම් දැක්ම පෙබරවාරි 14 සිට 18 දක්වා කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේ දී

‘රිදම් ඔෆ් ශ්‍රීමත්‘ සිතුවම් දැක්ම පෙබරවාරි 14 සිට 18 දක්වා කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේ දී

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ගුවන්විදුලිය, රූපවාහිනිය, පත්තර කලාව යන මාධ්‍ය ත්‍රිත්වයම ස්පර්ශ කරමින් කුඩා කල පටන් ඇලුම් කළ චිත්‍ර කලාව තම දිවියේම කොටසක් කරගත් ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ගේ ‘රිදම් ඔෆ් ශ්‍රීමත්‘ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා උදෑසන 10.00 සිට රාත්‍රී 7.00 දක්වා නුගේගොඩ මිරිහානේ පිහිටි කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වේ. පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ප්‍රේමවන්තයින්ගේ දිනය නිමිති කොට ගෙන භාවසූචක මෙන්ම ආලේක්‍ය ලෙස වර්ණ සහ කළු සුදු පැහැයෙන් නිම කළ චිත්‍ර සියයක් එහිදී ප්‍රදර්ශනය වෙයි.

නිවසේ බිත්තිවල අඟුරු කැබැල්ලකින් ඇඳි බලි කුරුටු රටාවන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය මෙන්ම කොළඹ නාලන්දා විද්‍යාලය දක්වා ඔහු ඔසවා තබන්නට තරම් පන්නරයක් විය. නාලන්දා විද්‍යාලයේ චිත්‍ර ගුරු ජී. ගුණවර්ධන සහ ගුරු උපදේශක එච්. ඒ. කල්දේරා මෙන්ම ප්‍රකට ගායක හා චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්න සහ ජර්මන් ජාතික බෝෆින්ගර්ගේ වෙතින් ලද අධ්‍යයනය හා පුහුණුව ශ්‍රීමත් ඉන්ද්‍රජිත් චිත්‍ර ශිල්පියකු ලෙස මේ දක්වා සාර්ථක ගමනක් ගෙන එන්නට තරම් ශක්තිමත් විය.

තම හැකියාව මෙවන් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකරන ශ්‍රීමත් ග්‍රන්ථ කංචුක, පෝස්ටර්, කටවුට් වැනි චිත්‍ර කලාවේ සකලවිධ අංගයන් කරා ද විහිදුවා ඇත. ලේක්හවුස් ආයතනයේ වසර 20ක සේවා කාලයක් හිමි ඔහු මේ වන විට පොත් 35ක් රචනා කර තිබීම ද විශේෂත්වයකි. වසර 25ක් සපුරන ලංකාවේ පළමු නිවේදක පාඨමාලාව වන කටහඩ නිවේදක පාඨමාලාවේ නිර්මාතෘවරයා ද වන ඔහු ගුවන්විදුලි, රූපවාහිනී මාධ්‍ය නිවේදක නිවේදිකාවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ සම්ප්‍රදාය ද හඳුන්වා දුන්නේය. ඔහු මේ දිනවල තම පියා වන ගුණදාස ලියනගේ විසින් රචිත දෝන කමලාවතී ග්‍රන්ථය සිනමාවට නැඟීමේ පිඹුරුපත් සකසමින් සිටියි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division