Home » ගී ලොව බබළන ජෝති තවමත් ජීවමානයි

ගී ලොව බබළන ජෝති තවමත් ජීවමානයි

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

(රිදී තිරය බැබළවූ ප්‍රවීණ ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතාගේ 88 වන ජන්මදින සැමරුම 2024 පෙබරවාරි මස 12 (හෙට) දිනට යෙදී තිබේ.

දශක හතකට පමණ ඉහත දී මෙරටදී තරුණයෙක් ුවන් ගමන් බලපත්‍රයක් නොමැතිව රත්මලාන ගුවන්තොටුපළ වෙත පැමිණියේය. ඒ අහස්යාත්‍රාවෙන් ඉන්දියාව බලා‌ පිටත්වීමටය. එසේ පැමිණි තරුණයාට සිදු වූයේ ඉන්දියාවට නොව නැවත නිවසබලා පිටත් වීමටය. එදා පාස්පෝට් එකක් නොමැතිව ඉන්දියාවට ගමන් කිරීම කෙසේ වෙතත්, සිංහල සිනමාවේ නිළි ගායිකාවක වූ රුක්මණීදේවී සමඟ යුග ගීතයක් ගායනා කිරීමට අවස්ථාවක් නොලද එකී තරුණයා වූයේ එච්. ආර් ජෝතිපාලයන් ය.

උසස් අධ්‍යාපනයට එතරම් ඇලුම් නොකළ ජෝතිපාලයන් සංගීතයට ප්‍රියකළ තරුණයෙක්. එවක දෙමටගොඩ ජේමිස් මාමාගේ කඩපිළෙහි හිඳ ගීත ඇසීමට ප්‍රිය කළ ජෝතිට සිහිනයක් තිබුණි. ඒ රේඩියෝ සිලෝන් එකට සම්බන්ධ වී ගීතයක් ගායනා කිරීමටය. ඒ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ඔහු කළේ එවක ජනප්‍රිය හින්දි ගීත රස විඳීමයි. හින්දි ගීත ගායනා කිරීමටත් ඔහු බොහෝ සේ ප්‍රිය කර තිබේ. එම වකවානුවේදී ජෝතිගේ ගායන විලාසයන් දුටු බජව් ගායකයකු වූ ටෝ‌ජෝ හසන්මහතා, ජෝතිපාලයන්ට මොහොමඩ් රාෆිගේ ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදී තිබේ. ගී ගැයීම වෙනුවෙන් රුපියලක සුළු දීමනාවක් ද සමඟිනි.

පසු කාලීනව ප්‍රකට තබ්ලා වාදකයකු වූ නඩරාජා මහතාගේ හිතවත්කම මත ජෝතිපාලයන්ට සංගීතඥයකු වූ බී. එස්. පෙරේරා මහතා හමු වී ඇත. ඒ හමුවත් සමඟ ඔහුට අවන්හලක ගීත ගායනා කිරීමටත්, අවස්ථාව උදා වී තිබේ. වර්ෂ 1952 දී රැජින ලොසින්ජර මඟින් මෙහෙයවූ ගුවන් විදුලියේ ආධුනික වැඩසටහනකට සහභාගි වී, සුක්‍රියා නැමැති හින්දි ගීතය ගායනා කර ප්‍රථම ස්ථාන දිනාගත් ජෝතිපාලයන්ට ත්‍යාගයක් ලෙස ලැබී තිබුණෙත් ලොසින්ජර පාර්සලයක්. ඒ වාගේම ජයග්‍රහණයේ පෙළපාළිය නැමති සංගීත වැඩසටහනේදීත්, ඔහු ගීතයක් ගායනා කර, ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පාකර් 51 පෑනක් දිනා ගෙන තිබේ.

ජෝතිපාලයන් එච්. එම්. වී තැටියකට මුල්වරට තම හඬ මුසු කරනු ලැබුවේ වසන්තා සන්දනායක සමඟ “මහවැලි නදියේ” ගීතය ගායනා කරමිනි. ඔහුට එම ගීතය ගායනා කිරීමට අවස්ථාව හිමිවුවද ගීතයේ ගයන්නට තිබුණේ “තොටියෝ” යන වචනය පමණි. මුල්කාලයේ ජෝතිපාලයන්ට රිදී තිරයේ පසුබිම් ගායකයකු ලෙස පිවිසීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ. ඔහු විසින් ගනු ලැබූ බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි. ඉන් ප්‍රධාන අවස්ථාවක් වූයේ සිරිසේන විමලවීරයන් අධ්‍යක්ෂණය කළ “පොඩිපුතා” චිත්‍රපටයට ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව අහිමි වීමයි. එවක සංගීත අධ්‍යක්ෂවරයකු වූ ටී. ආර්. ලතීෆ්ගේ උපකාරය මත ලැබුණු එම අවස්ථාව, අහිමි වූයේ, ජෝතිපාලයන්ගේ කටහඬ නිසි ලෙස නොගැළපෙන බව සිරිසේන විමලවීරයන් පැවසීමත් සමඟය.

එහෙත් ජෝතිපාලයන් කිසි විටකදී ගීත ගායනා කිරීමේ නොතිත් ආශාව අත් නොහළේ ය. ජෝතිපාලයන්ට තම සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ලැබෙන්නේ, සංගීත අධ්‍යක්ෂ ස්ටැන්ලි ඔමාර් මහතා හමුවීමත් සමඟය. ඒ අනුව වර්ෂ 1956 දී සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ “සුරතලී” චිත්‍රපටියට ගීතයක් ගායනා කිරීමට ජෝතිපාලයන්ට අවස්ථාව හිමි වේ. “සිරියා මේ සාරා… නැගෙවි හද මෝරා…”ජෝතිපාලයන් චිත්‍රපටියකට ගායනා කළ මුල්ම ගීතය වී තිබෙන්නේ. ඒ චිත්‍රපටියේ සංගීතය නිර්මාණය කරනු ලැබුවේ ටී. ආර්. පාපා විසිනි. ඒ අයුරින් සුරතලීගෙන් පටන්ගෙන ඇය ඔබට භාරයි දක්වා චිත්‍රපටි 400ට පමණ ගීත ගායනා කළ ජෝතිපාලයන් සිංහල සිනමාවට නැතිවම බැරි ගායකයෙක් වීමත් විශේෂයක්. ජෝතිපාලයන් රංගන ශිල්පියකු බවට පත් වූයේ, වර්ෂ 1958 දී. ඒ “දස්කම” චිත්‍රපටියේ ගීතමය දර්ශනයකට පෙනී සිටිමිනි. පසුව වර්ෂ 1963 දී රොබින් තම්පෝ මහතා අධ්‍යක්ෂණ කළ “සුදු සඳේ කළුවලා” චිත්‍රපටයේ ප්‍රේක්ෂක අවධානය හිමි කර ගෙන රංගනයක නියැළුණු ජෝතිපාලයන්, චිත්‍රපටියක කථා නායකයකු වූයේ, වර්ෂ 1966 දී තිරගතවූ “ඇතුල්වීම තහනම්” චිත්‍රපටියේ රඟපෑමෙනි. පසුව චිත්‍රපටි 25ක පමණ රඟපෑ ජෝතිපාලයන් ස්වකීය ජීවිතය අළලා චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමටත් සමත් වී තිබේ. ඒ වර්ෂ 1983 දී නිර්මාණය කළ “සුමිතුරෝ” චිත්‍රපටියයි.

සිනමා ලෝලීන් අතර පමණක් නොව, සංගීත සංදර්ශන වෙත පැමිණෙන ගීත ලෝලීන්ගේත් ආකර්ෂණය දිනා ගනු ලැබූ ජෝතිපාලයන්ට, සෑම විටම හිමි වූයේ, ඉහළ මට්ටමේ ප්‍රතිචාරයන්ය. එලෙසින්ම ලක්ෂ සංඛ්‍යාත ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ජෝතිපාලයන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සෝසුසුම් මැද නික්මගියද, ඔහු මේ මහපොළොව මත දැල්වූ ගී සිළ අදටත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පැසසුම් මධ්‍යයේ නොනිමී පැවතීම ද විශ්මය දනවන්නකි.

අනුෂාද් වෙදගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division