අවුරුදු 17 දී මුම්බායි නුවර දේශීය තරග බිමට එකතු වූ යෂස්වි වැඩි කල් නොගොසින් අවුරුදු 19න් පහළ ප්‍රාන්ත කණඩායමටත්, එතැනින් අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායමටත් එකතු වූයේ දස්කම් පිට දස්කම් පෙන්වමිනි. ටෙස්ට් පිටියට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම මුහුණුවරකට ඔහු කදිමට ගැළපෙන පිතිකරුවෙකි. 2020 දී ඔහුට අයිපීඑල් තරග වරම් ලැබුණේ එබැවිනි. දැන් ඔහු අයිපීඑල් පිටියට නැතුවම බැරි ක්‍රීඩකයෙකි
‘ජයිස්වාල්‘- ක්‍රීඩා ලෝකයේ ශ්‍රේෂ්ඨතම කතාවක හිමිකාරයා‘ සමාජ මාධ්‍ය ජාලයේ එසේ සටහනක් තැබුවේ එංගලන්ත පිලේ හිටපු පිතිකරු කෙවින් පීටර්සන් ය. ඔහුට එසේ සටහන් කිරීමට හේතුවක් තිබිණි. වසර 12කට පසුව ඉන්දීය භූමියේදී ටෙස්ට් තරග මාලාවක් ජයගැනීමේ එංගලන්ත බලාපොරොත්තුව ඈතට තල්ලු කර දැම්මේ මේ තරුණ පිතිකරු යෂස්වි ජයිස්වාල් ය. හයිද්‍රබාද් නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගෙන එංගලන්ත ක්‍රීඩකයන් විශාකාපට්නම් නුවරට පැමිණියේ දෙවැනි තරගයෙන් එම වාර්තාව තැබීමටය.
පළමුව පන්දුවට පහර දුන්නේ ඉන්දීය පිලය. 22 හැවිරිදි මේ වමත් ආරම්භක පිතිකරුවා ලකුණු 209ක් රැස් කරමින් වේලාසනින්ම එංගලන්ත පිලේ ඔද තෙද බිඳ දැමුවේය. එය විස්මිත පිතිහරඹයකි. වාර්තා පිට වාර්තා බිහි කළ එකකි.
විශාකාපට්නම් ටෙස්ට් තරගයට එක් වෙද්දී ජයිස්වාල් සහභාගි වී තිබුණේ තරග 5කට පමණි. ඔහු ටෙස්ට් පිටියට පිවිස මාස 7ක්වත් නැත. මෙය ඔහුගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වූවා පමණක් නොව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ ළාබාලතම තුන්වැනි පිතිකරුවාගේ වාර්තාවත් අත්කර ගත්තේය. ඒ මදිවට අවුරුදු 16කට පසු ටෙස්ට් ද්විත්වයක් රැස් කළ පළමු වමත් පිතිකරුවා ද ඔහු ය. තවත් වාර්තා ගොන්නකි.
විශාකාපට්නම් විස්තර විචාරකයන්ගේ කුටියට වී නියපොතු සපමින් මේ සටන්කාමී පිතිකරුවාගේ විස්මිත දස්කම් දෙස බලා සිටි කෙවින් පීටර්සන් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සිය ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ එම කතාව ගැනය. සැබැවින්ම එය ශ්‍රේෂ්ඨතම කතාවකි. එය වූකලී රාමායණය වැනි ඓතිහාසික වීර කාව්‍ය රැසකටම උරුමකම් කියන ඉන්දියාව ලෝක ක්‍රිකට් පිටියට එකතුකළ නූතන යුගයේ වීර කාව්‍යයක් බඳු අසිරිමත් කතාවකි.
මීට අවුරුදු 12කට පෙර යෂස්වි සිටියේ මුම්බායි නුවර වීදියක ‘පානි පූරි‘ විකුණමිනි. එය අලුත් කතාවක් නොවන අතර, පසුකාලීනව ඉන්දීය පිලට ඔහු සේන්දු වීමෙන් පසු ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ඇති තරමට පට්ට ගැසූ කතාවකි. එහෙත් එය යළි යළිත් සිහිපත් කළ යුතු කතාවක් බවට පත්වී ඇත්තේ ඔහු ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ පරිච්ඡේද ගණනාවක්ම අලුතින් ලියමින් සිටින නිසාය.
මේ දිරිය සම්පන්න කොලුගැටයා අවුරුදු 11දී කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන මුම්බායි නුවරට පැමිණෙන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සූරියවන් ගමේ කුඩා හාඩ්වෙයාර් කඩයක් කරමින් සිටි යෂස්විගේ පියාට දරුවන් 6 දෙනකුගේ කුසගිනි නිවීමට කරමින් සිටි ජීවන අරගලය බර වැඩි වූ නිසාය. පොත්පත් සහ ඇඳුම් පැලඳුම් හිඟකම නිසාම මේ දරුවෝ පාසල් ගියේ ද යලට මහට ය. ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ පිස්සුවෙන් සිටි කුඩා යෂස්වි මුම්බායි නුවර සිය ඥාතියකු වෙත පිටත් කර හැරීමට පියා තීරණය කරන්නට ඇත්තේ. අඩුම තරමින් ක්‍රිකට් ගසා හෝ ගොඩ පලයන් යැයි නොකියා කියමින් වන්නට ඇත. මුම්බායි නුවර අසාඩ් මේඩ්න් නමැති කුඩා ජනාකීර්ණ ප්‍රදේශයේ පිහිටි ක්‍රිකට් ඇකඩමියට යෂස්වි ඇතුළත් කිරීමට පවුලේ ඥාතියා පොරොන්දු වී තිබිණි. කුඩා යෂස්වි ‘අන්කල්‘ ලෙස ආමන්ත්‍රණය කළ මේ වැඩිහිටි මිනිසා කොලු ගැටයාට ක්‍රිකට් ඇකඩමියට ඇතුළත් කිරීමට හා නවාතැන් දීමට එකඟවන්නේ ඔහුගේ කිරි කඩේ සේවය කරන්නේ නම් පමණක් බවට කොන්දේසි දමමිනි. එහෙත් අවුරුද්දකට වැඩි කාලයක් යෂස්විට මේ නවාතැනේ රැඳී සිටීමට නොහැකි වන්නේ කිරි කඩේ රස්සාව ඔහුගෙන් අකුරටම ඉටු නොවුණු නිසාය. යෂස්විගේ වැඩි අවධානය තිබුණේ ක්‍රිකට් පුහුණුවීම්වලටය. වැඩි කාලයක් ගත කළේ ද පිට්ටනියේ ය. ඒවා ඔහුගේ අන්කල්ට නොරිස්සන්නට ඇත. නවාතැනෙන් දොට්ට දැමූ යෂස්විට පිහිට වූයේ ක්‍රීඩාංගණයේ සේවය කළ කම්කරුවෙකි. මේ කම්කරුවා ජීවත් වූ තහඩු මඩුව අන්තිමේදී යෂස්විගේ ද නිවහන බවට පත් විය.
පානි පූරි කතාවේ ආරම්භය එය විය. ඔහු අසාඩ් මේඩ්න් ප්‍රදේශයේ ‘පානි පූරි‘ වීදි වෙළෙඳුන්ගේ අත්උදව්කාරයා බවට පත් වූයේ අතට කීයක් හෝ සොයා ගැනීමටය. අඟහිඟකම්වලට වඩා ඔහු පීඩා වින්දේ තහඩු මඩුවක ජීවත් වීමෙනි. ඔහු අවුරුදු 3ක්ම මේ ‘කට්ට‘ කෑවේ ආපසු ගෙදර එන්නැයි මාවුපියන් විසින් කරනු ලැබූ දහසකුත් ඉල්ලීම් හා බැගෑපත් වීම් ඉවතලමිනි. ඔහුට නිශ්චිත ඉලක්කයක් තිබිණි. ලොකු සිහිනයක් තිබිණි. එය සැබෑ කර ගැනීමට අවශ්‍ය ඕනෑම කැපවීමක් කිරීමට කොලුගැටයා මනසින් මෙන්ම සිරුරෙන් ද ශක්තිමත්ව සිටි බව වැටහෙන්නේ දැන් ය.
මේ කටුක ජීවිතයෙන් ගොඩ යෑමට යෂස්විට අවස්ථාව උදා වූයේ අවුරුදු 3කට පසුවය. ඒ වෙද්දී 14 හැවිරිදි වියෙහි පසු වූ යෂස්විගේ ක්‍රිකට් හැකියාව අවබෝධ කරගත් පුහුණුකරුවකු එහි සිටියේය. ඔහු ජ්වලා සිං ය. මුම්බායි නුවර ක්‍රිකට් ඇකඩමියක් පවත්වාගෙන ගිය මේ පුහුණුකරුවා යෂස්විට නවාතැන් දුන්නේය. වැඩි කාලයක් යන්නට මත්තෙන් මේ කොලුගැටයා ක්‍රීඩාවෙන් ඉහළටම යන බව මුලින්ම දුටුවේ ඔහු ය. යෂස්විගේ ක්‍රීඩා කෞෂල්‍යයත්, අඟහිඟකම් මැද ගත කළ ජීවිතයත් ඔහු හඳුනා ගත්තේය. හෙතෙම යෂස්විගේ බර කරට ගැනීමට තීරණය කළේ ඇටෝනි බලපත්‍රයකින් නීත්‍යානුකූලව ඔහුගේ භාරකරු හැටියට පත් වෙමිනි.
ඉන්දීය ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවා බවට පත්වීමට යෂස්විට අඩිතාලම වැටුණේ එලෙසිනි. මුලින්ම අවුරුදු 17 දී මුම්බායි නුවර දේශීය තරග බිමට එකතු වූ යෂස්වි වැඩි කල් නොගොසින් අවුරුදු 19න් පහළ ප්‍රාන්ත කණ්ඩායමටත්, එතැනින් අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායමටත් එකතු වූයේ දස්කම් පිට දස්කම් පෙන්වමිනි. ටෙස්ට් පිටියට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම මුහුණුවරකට ඔහු කදිමට ගැළපෙන පිතිකරුවෙකි. 2020 දී ඔහුට අයිපීඑල් තරගවරම් ලැබුණේ එබැවිනි. දැන් ඔහු අයිපීඑල් පිටියට නැතුවම බැරි ක්‍රීඩකයෙකි.
එදා විශාකාපට්නම් පිටියේදී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කරමින් යෂස්වි ලෝකයට පෙන්වූයේ සිය ජීවන ගමන් මඟේ අපමණ දුක් කන්දරාවක් විඳ දරා ගැනීමේ ප්‍රතිඵලය ගැනය. එවැනි අත්දැකීම් මුදලට ගත නොහැකිය. එහෙත් කීර්තිය අත්කර ගැනීමට හෝ ධනවතකු බවට පත්වීමට හෝ කෙනෙකුට අවශ්‍ය වන්නේ එවැනි දුක්බර ඉතිහාසයකි. මන්ද එවැනි අත්දැකීම් ඇති පුද්ගලයකු ලෙහෙසියෙන් ඇද වැටෙන්නේ නැති බැවිනි. වැටුණත් ඉක්මනින් යළි නැගිටීමේ කලාව හොඳින්ම ප්‍රගුණ කර ඇති බැවිනි.
ෆවුස් මොහොමඩ්