Home » බුද්ධික එන්න කියයි…ෆොනි බෑ කියයි

බුද්ධික එන්න කියයි…ෆොනි බෑ කියයි

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

වැනි පාර්ලිමේන්තුවේ 05 වැනි සැසිවාරය පසුගිය 07 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් ඔහු සිදුකළ රාජාසන කතාව පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම අවධානයට ලක්වූ කාරණයකි.

රාජාසන කතාවෙන් සජබ බෙදෙයි

09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සභා ගැබෙන් පිටව ගිය ද පාර්ලිමේන්තු මන්ත්‍රි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් සභා ගර්භයේ රැඳී සිටමින් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්හ.

ඒ.එච්.එම්. ෆවුසි, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසීම්, වඩිවෙල් සුරේෂ් යන සජබ නියෝජනය කරන මන්ත්‍රිවරුන් ද විපක්ෂය නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රිවරුන් ද සභා ගර්භයේ රැඳී සිටියහ. මේ හැරුණු කොට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, පියංකර ජයරත්න, තිස්ස විතාරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩලස් අලහප්පෙරුම, ඩබ්ලිව්.ඩී. ජේ සෙනවිරත්න උදයන කිරිඳීගොඩ, චරිත හේරත්, ගුණපාල රත්නසේකර යන මන්ත්‍රිවරුන් සභාවෙහි රැඳී සිටියහ.

එමෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසුරිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්. තවරාසා, චාල්ස් නිර්මලනාදන් යන අයද සිටිනු දක්නට ලැබිණ.

මන්ත්‍රිවරු එළියට ගැනීමට බුද්ධික, තිස්ස උත්සාහයක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් සභාව තුළ සිටින බව සජිත් දුටුවේය.

සභා ගර්භයෙන් නික්ම යන සජිත් අනෙක් මන්ත්‍රිවරුන්ට කිවේ ෆොන්සේකාට හා රාජිතට මැති සබයෙන් ඉවත්වන්න දන්වන ලෙසයි.

ඉන්පසුව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ෆොන්සේකා අසලට ගොස් කතා කරන්නට විය.

“ අනේ සර් එළියට යමු. අපේ මන්ත්‍රි කණ්ඩායමේ සේරම යනවා. එළියට යමු. “යනුවෙන් බුද්ධික පතිරණ විසින් ඉල්ලීමක් කරන ලදී.

“බැහැ. බුද්ධික මන්ත්‍රිතුමා. මං එන්නේ නැහැ. “යනුවෙන් දැඩි ස්වරයකින් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

“සමගි ජන බලවේගයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිපත්ති තීරණයක් ගත්තා. ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වර්ජනය කරන්න.“ යනුවෙන් පැවසුවේ බුද්ධික පතිරණය.

මං පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වී‍මට ආවේ නැහැනේ. ඒක නිසා මට ඒක අදාළ නැහැ. “යනුවෙන් ෆොන්සේකා ප්‍රකාශ කිරීමත් සමඟම හිස් අතින් බුද්ධික පතිරණ සභා ගර්භයෙන් පිටවිය.

තිස්ස රාජිතට කතා කරයි

මේ අතර විරුද්ධ පක්ෂයේ ඉදිරි පෙළ අසුනේ අසුන්ගෙන සිටි දොස්තර රාජිත සේනාරත්න ද හරි‍බහි ගැසෙමින් සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට සවන් දීමටය.

රාජිත අසල සිටි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඉල්ලීමක් කළේ මැති සබයෙන් ඉවත්වන ලෙසයි.

“මන්ත්‍රිතුමා අපේ ගෘෘප් මීටින් එකේදී ගත්තු තීරණය අනුව අපි සභාවෙන් ඉවත්වෙන්න ඕන“ යනුවෙන් තිස්ස අත්නායක ප්‍රකාශ කළේය.

“මං ගෘෘප් එකට ආවේ නැහැ. අනිත් එක මට ජනාධිපතිතුමාගේ කතාව අහන්න ඕන.“ යනුවෙන් රාජිත සේනාරත්න ප්‍රකාශ කළ නිසා තිස්ස අත්තනායකට සභා ගර්භයෙන් පිටතට යාමට සිදු වූයේ ද හිස් අතිනි.

තායි අගමැතිතුමා වඩාත් සතුටු වුයේ ඇයි?

තායිලන්තයේ අගමැති ශ්‍රෙස්ථා තවිසින් ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගි වූ 76 වෙනි නිදහස් දිනය චාම් හා අභිමානවත් ලෙස පැවැතියේ ඉකුත් ඉරිදාය. තායිලන්ත අගමැතිවරයා දින කිහිපයක් මෙහි රැඳී සිටීමට අපේක්ෂා කළ ද එය කළ නොහැකි වූයේ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම නිසාය.

රෝගී තත්ත්වයට අවශ්‍ය ඖෂධ ගනිමින් ඔහු මෙරට සියලු උත්සව අවසන් වන තෙක් ලංකාවේ රැඳී සිටීමට වගබලා ගත්තේය.

නිදහස් දිනයේ තායි භාෂාවෙන් එරට අගමැතිවරයා පිළිගැනීමට කටයුතු කිරීම තායිලන්ත අගමැතිගේ සතුටට කරුණක් විය.

චාම් හා අභිමානවත් නිදහස් උලෙළක්

76 වැනි නිදහස් සමරුව අවම වියදමකින් චාම් හා ගෞරවනීය ආකාරයට පවත්වන ලෙසට ජනපති රනිල් දුන් උපදෙස් අනුව කටයුතු කළ බැවින් මහා භාණ්ඩාගාරයෙන් අමතර කිසිදු ප්‍රතිපාදනයක් ගැනීමට අවශ්‍ය නොවුණි.

උරුමය වෙනුවෙන් ජනපති දඹුල්ලට

නිදහස් දිනයෙන් පසු ජනපති රනිල්ට තිබුණු ප්‍රමුඛතම වැඩකටයුත්ත වූයේ ඉඩමක හිමිකමක් නොමැති පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් සින්නක්කර ඔප්පු බෙදා දීමේ වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වීමය.

දඹුල්ල ක්‍රිඩාංගණය වෙත පැමිණි ජනපති රනිල් ඇතුළු පිරිස පිළිගනු ලැබුයේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමැතිවරයා සහ දඹුල්ල එ.ජා.ප සංවිධායක ප්‍රියාන් විජේරත්නය.

අනුරගේ පින්තූරයක් සාගල රනිල්ට පෙන්වයි

“ඉන්දියාවේ ශ්‍රී ලංකා මහෙකොමසාරිස් ක්ෂේනුකා ඉස්සර ප්‍රසිද්ධ වෙලා හිටියේ නාමල් එක්ක නටන පින්තුරයක් සමාජ මාධ්‍යයේ වයිරල් වෙච්ච නිසා. මෙදා සැරේ එයා ප්‍රසිද්ධ වුණේ අනුර දිසානායක එක්ක ගත්ත පින්තූරයක් වයිරල් වෙච්ච නිසා.” යැයි කියමින් සාගල රත්නායක ජනපති ඇතුළු පිරිසට එම පින්තූරය පෙන්වා සිටියේය.

මෙහිදි ටිරාන් අලස් ඇමැතිවරයා ද ජනපතිගෙන් සෘජුව විමසා සිටියේ අනුර දිසානායක ඇතුළු පිරිසගේ ඉන්දියානු ගමනේ අරමුණ කුමක් ද කියාය.

ජ.වි.පෙ. පංති 5න් ඉවත් කළ යුතු වගන්තිය

“මැතිවරණයක් කිට්ටු වෙනකොට ඉන්දියාව මෙවැනි දේ කරනවා. හැබැයි මේ ගමන නිසා වැඩියෙන්ම කලබල වෙලා ඉන්නේ සජබ නායකයෝ.” ජනපති කියා අහක බලා ගත්තේ සුපුරුදු සිනාවත් සමඟය.

“ගුජරාට් ප්‍රාන්තය කියන්නේ සම්පූර්ණයෙන්ම නව ලිබරල් ධනේෂ්වර ක්‍රමයක් සහිතව පවත්වා ගෙන යන ප්‍රාන්තයක්. අනුරලා එදා මේවට විරුද්ධව කියපු කතා මතක් වුණා ද දන්නේ නෑ. ඉන්දියානු ව්‍යාප්තවාදය එයාලගේ පන්ති පහෙන් අයින් කරන්න වෙනවා.” වජිර කීවේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.

ජනපති ගයන්තව සිහිපත් කරයි

තේ පානයෙන් පසු පිරිස ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර අගමැති දිනේෂ් හා සජබ මන්ත්‍රි ගයන්ත ද එහි පැමිණ සිටියෝය. ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මෙන්ම ජනපති ද සිය කතාවේදී ගයන්තව සිහිපත් කළේ හිටපු ඉඩම් ඇමැති ලෙස සින්නක්කර ඔප්පු ජනතාවට දීමේ මුල්ම යෝජනාව පැමිණියේ ඔහුගෙන් බව පවසමිනි.

සින්නක්කර ඔප්පු ප්‍රදානය කරන අවස්ථාවේ දී පැමිණි ජනතාව ඉතා සංවේදි වූවේ ඔවුන් ජිවිතේ ලබන ලොකුම ත්‍යාගය මෙය වීම නිසාවෙනි.

සාගල මහ රෑ අනුරාධපුර පුජා භූමියේ

එදින රාත්‍රියේ ඔවුන් අනුරාධපුරයේ නවාතැන් ගත් අතර සාගල රාත්‍රියේම අනුරාධපුර පූජා භූමියට ගොස් රුවන්වැලි සෑය හා ජයශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේය.

අඟහරුවාදා සවස ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණේය. පක්ෂ දිස්ත්‍රික් සම්මේලන ගැන වාර්තාවක් මහ ලේකම් රංගේ විසින් ජනපතිට පිළිගැන් වූ අතර මනූෂ සංවිධානය කළ අනුරාධපුර සම්මේලනය සාර්ථකව පැවැත්වූ බවද පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් 12ක පක්ෂ සංවිධාන කටයුතු සාර්ථකව අවසන් කර ඇති බවත් තවත් දිස්ත්‍රික්ක කිහිපයක පමණක් යම් යම් අඩුපාඩු පවතින බව පෙන්වා දුන් මහ ලේකම් රංගේ උරුමය ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන්වලට එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් සහභාගි කරවීම ගැන ද විමසා සිටියේය.

නව සැසිවාරය චාම් ලෙස

ජනපති රනිල් බදාදා පෙරවරුවේ පැමිණියේ 09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. ආචාර පෙළපාළි, උත්සව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් ජනපති රනිල් එය අවම පිරිවැයකින් සාම්ප්‍රදායික කටයුතුවලට පමණක් ඉඩදි සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය.

තේ පැන් සංග්‍රය ජනපතිගේ පෞද්ගලික වියදමින්

මැති ඇමැතිවරු ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙනුවෙන් පිරිනමන තේපැන් සංග්‍රහයේ වැයබර සම්පූර්ණයෙන්ම ජනපතිගේ පෞද්ගලික වියදමින් කිරීමට ද ජනපති උපදෙස් දුන්නේ ලේකම් සමන් ඒකනායකටය. ජනපති රාජාසන කතාව අවසන් කළේ සියලු දෙනාට එක්වන ලෙස ආරාධනා කරමිනි.

තේ පැන් සංග්‍රහය රසබර කතා බහින් පිරි ගියේය. ජනපති කතාව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබ කණ්ඩායම සභාවෙන් නික්ම ගිය ද සජබ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් සභාවේ ඉතිරි වූයේය. ඔවුන් තේ පැන් සංග්‍රහයට ද එක්ව සිටියහ.

සජබ ගැන ජනපතිගෙන් අනාවැකියක්

අගමැති දිනේෂ්, ජනපතිගෙන් ඇසුවේ “සජබයෙත් දැන් බෙදීම් ඇති වෙලා නේද” කියාය. ජනපති මුවගට නඟා ගත් සිනහවක් සමඟ කීවේ “තව ඉස්සරහට තවත් ගොඩක් දේවල් වේවි” යනුවෙනි. ඔවුන් අසල සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කොක් හැඬලූවේ ජනපතිගේ කතාව අසාය.

තේ පැන් සංග්‍රහය නිමකර ජනපති රනිල් පැමිණියේ පාර්ලිමේන්තුවේ ඔහුගේ කාර්යාලය වෙතය. පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු රැසක් එහි පැමිණ සිටියෝය. ඒ අතර සජබ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද වූයේය.

දෙදෙනා අතර කතා වූ දේ දන්නේ ඔවුන් දෙදෙනා පමණක් වීමද විශේෂත්වයකි. අනුර දිසානායකගේ ඉන්දියානු ගමන ගැන ද මෙහිදි ඇදී ආවේය.

අනුර කැඳවු හේතුව රනිල් කියයි

“ඉන්දියාව අනුර කැඳවීමේ එක හේතුවක් තමයි සජබ කෙරෙහි විශ්වාසයක් නැතිවීම. සාමාන්‍යයෙන් ඔවුන් කරන්නේ විපක්ෂ නායක කැඳවීමයි. එය තමයි සම්ප්‍රදාය. නමුත් එය වෙලා නෑ.” ජනපති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.

පැමිණ සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු විමසුවේ සරත් ෆොන්සේකා කීවේ කුමක් ද කියාය. ජනපති සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. ඊට පිළිතුරු දුන්නේ එහි සිටි වජිර මන්ත්‍රිවරයාය. “දයා රත්නායකට මහ ලොකු ඡන්ද පදනමක් නෑ. දයා සඳගිරි අද ඉන්න තරුණ පරපුර අඳුරන්නේ නෑ.” වජිර කීවේ එවැන්නකි.

එදා ප්‍රේමදාස ජනාධිපති බේරාගත් හැටි රනිල් කියයි

“පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ට යහපාලන ආණ්ඩුව කාලේ කොච්චර කඳුළු ගෑස් ගැහුවද? කී දෙනෙක් අත්අඩංගුවට ගත්ත ද. නමුත් ඒ අය රට ගැන හිතලා ආර්ථිකය ගැන හිතලා මාත් එක්ක වැඩ කරන්න තීන්දු කළා. එහෙම තියෙද්දි මේ අය කඳුළු ගෑස් උණ්ඩයකට රටේ ආර්ථිකය ලඝු කරන්න හදන එක ගැන නම් කණගාටුයි. අනෙක ජනාධිපති ප්‍රේමදාසව බේර ගත්තේ මම. එදා දෝෂාභියෝගය පැරදිලා එතුමා ගෙදර ගියා නම් පුතාටත් දේශපාලනය කරන්න වෙන්නේ නෑ.” ජනපති කීවේ කනගාටුවෙනි.

ජනපති රනිල් එදින රාත්‍රියේ ලංකාවෙන් පිටව ගියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමටය. නැවත ඔහු සෙනසුරාදා රාත්‍රියේ මෙරටට පැමිණියේය.

රනිල්ට සහය ලබාදිය යුතු හේතුව ප්‍රසන්න කියයි

“ඇමැතිතුමා ජනාධිපතිවරණයේදී අපි මොකද කරන්නෙ?” ඒ කටාන සංවිධායක ආනන්ද හරිස්චන්ද්‍රය.

“ඕක හැමෝම මගෙන් අහනවා. මම කියන්නේ මේ වෙලාවෙදි අපි රනිල් ජනාධිපතිතුමාට බැක් කරන්න ඕන කියල. මොකද ආර්ථික අර්බුදයෙන් රට බේර ගන්න පුළුවන් එතුමට විතරයි” ඇමැති ප්‍රසන්න සෘජුවම පැවසීය.

“ඒත පක්ෂය තවම මුකුත් කියල නෑ” පළාත් පාලන නියෝජිතයකු කීය.

මහින්ද රාජපක්ෂගේ තීන්දුව

“මහින්ද මහත්තය හරි වෙලාවට හරිම තීන්දුව ගනීවි. මම කියන්නේ මේ වෙලාවේ රනිල් ජනාධිපතිතුමාට වඩා සුදුස්සෙක් පක්ෂයේ ඉන්නවනම් අපි එයාට අවස්ථාව දෙන්න ඕන. එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිතුමාටම අපේ සහයෝගය දෙන්න ඕන.” කීවේ ප්‍රසන්න ඇමැතිවරයාය.

මාලිමාවට දිසාව මාරු වෙයිද?

“අනුර කුමාර මහත්තයල හැදුවෙ අපිව ගමෙන් පන්නන්න. හැබැයි මම ගමට එනවා.”ඇමැති ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

“පොහොට්ටුව තවමත් ගමේ ශක්තිමත්. අපේ ගෙවල් ගිනි තිබ්බේ, අපිට ගැහුව්වේ අපිව ගමෙන් එලවන්න. එකෙන් සිද්ද වුණේ ගම තවත් අපිට ළං වුණ එකයි.”

“ජේ.වී.පී. තියෙන්නේ ලේ ගෑවුණු ඉතිහාසයක්. ඒ අය මාලිමාවෙන් අද පාර අහගෙන එන්නෙත් පරණ ඉතිහාසය අලුත් කරන්න. ඒකට අහුවෙන්න එපා” ඇමැති ප්‍රසන්න කීවේ උදාහරණ ද සහිතවය.

ඇමති ප්‍රසන්න සමඟ නටන රූමතිය කවුද?

ඇමැති ප්‍රසන්න රණතුංග සුරූපී තරුණියක සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙමින් තිබේ. එයට ඉහළ ප්‍රතිචාර ද ලැබේ. ඉකුත් සතියේදී පාර්ලිමේන්තුවේ දී තරුණ මන්ත්‍රිවරුන් ද මේ ගැන කතා විය.

“සර්… නැටුම ලස්සනයි” මන්ත්‍රි සහන් ප්‍රදීප් කීය.

“ඒක තමයි. සර් අපේ පාටිවලට ඇවිල්ල නටන්නෙ නෝන එක්ක. හැබැයි මෙතන ඉන්නෙ වෙන කවුද? කවුද සර් ඒ ලස්සන කෙල්ල.” කෝකිලා හර්ෂනී කීවේ සිය දුරකතනයෙන් නැටුම බලන ගමන්මය.

“සර්… මෙහෙම ලස්සන ගෑනු ළමයි එක්ක නටනකොට අපි පවුනේ සර්. අපිට අපි ගැනම දුක හිතෙනවා” තවත් මන්ත්‍රිවරයකු කී කතාවට ඇමැති ප්‍රසන්නට ද සිනා පහළ විය.

“ඔය නිශාන්ත අයියගේ දුව. සෙනුරි” ඇමැති ප්‍රසන්න කීය.

“බොරු කියන්නෙපා සර් “කෝකිලා යළි කීය.

“ඕක වීරවිල හිල්ටන් එකේ තිබුණු වෙඩින් එකක දී ගත්ත වීඩියෝ එකක්. වෙඩින් එක හිල්ටන් එක අයිති කෙනාගේ පුතාගේ. දැන් මාසෙකට වැඩියි. නිශාන්ත අයියගේ දුව එයාගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ දාල තිබුණා. ජේ.වී.පී. මඩ බලකාය ඕක එයාලාගේ පේජස්වල ගහල වයිරල් කළේ, ඒ ඉන්ස්ටග්‍රෑම් එකෙන් අරන්.” ඇමැතිවරයා පැහැදිලි කළේය.

මඩ ගහන්නේ කවුද?

“එයාලා ඔය වගේ වැඩ තමයි කරන්නෙ. අනුන්ට මඩ ගහන්න ට්‍රයි කරන එක එයාලගේ සතුට” සහන් කීය.

“හරියට හරි… අපේ පවුලෙ අය හමුවුණාම කාල බීලා සතුටු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ජේ.වී.පී. අයට පවුල් ජීවිතයක් නැතිවුණාට මම මොකක් කරන්න ද? මේ වීඩියෝව දාලා ඒ අය බැලුවේ මට මඩක් ගහන්න. පවුලේ හිතවතෙක්ගේ මඟුල් ගෙදරක දී බාප්පාටයි, දුවටයි නටන්න බැරි ද?” ඇමැතිරයා යළි කීය.

නව සන්ධානයේ දෙවනි රැළිය හයිඩ් පිටියේදී

නව සන්ධානයේ දෙවන මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ නායකත්වයෙන් සහ සුගීශ්වර බණ්ඩාරගේ සංවිධානත්වයෙන් එම කටුයතු සිදුකෙරෙන බව රාජගිරිය පිහිටි පක්ෂ කාර්යාලය පවසයි.

මෙවර මහජන රැලිය සඳහා අලුත් මුහුණු කිහිපක් එකතුවීමට ද නියමිතයි.

ඉන් දෙදෙනෙකු නැඟෙනහිර පළාත නියෝනය කරන සහ ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයින් වීමද විශේෂත්වයකි.

ආයතන සභාපතිවරු ලාන්සා හමුවෙති

මේ අතර නව සන්ධානයේ දේශපාලන කටයුතුවලට සහාය දීම සඳහා රාජ්‍ය ආයතන සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානින් බොහෝ දෙනෙකු මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා හමුවී සාකච්ඡා පවත්වමින් තිබේ. එවැනි විශේෂ සාකච්ඡා දෙකක් පසුගිය සතියේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්විණ. එහිදී ඔවුන් කියා සිටියේ නව සන්ධානය පිළිබඳව සමාජයේ කතිකාවක් ඇතිවී තිබෙන බවය.

වෙනත් පාරක් ඇත්නම් පෙන්වන ලෙස වජිර කියයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

පසුගිය බදාදා දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කරමින් සිදුකළ ප්‍රකාශයේ දේශපාලන අරමුණ පහැදිලි කිරීම මෙම මාධ්‍ය හමුවේ අරමුණ වී තිබුණි.

ඒ අනුව එම ප්‍රකාශය ඉතා අර්ථවත් ලෙස වජිර පැහැදිලි කළේ මාධ්‍යවේදීන්ට ද මේ පිළිබද මනා අවබෝධයක් ලබාදෙමිනි. එසේම පසුගිය 74 වසරක කාලය සාපයක් ලෙස හඳුන්වන පිරිසට ද වජිර ඉතා අගනා පිළිතුරක් මෙහිදී ලබාදීමට කටයුතු කළේය.

ඒ වගේම ජනාධිපතිතුමා පෙන්වා දී ඇති මාර්ගය හැර වෙනත් මාර්ගයක් නොමැති බවත් ජනාධිපතිතුමා රට භාරගන්නා අවස්ථාවේදී සිටි සියලු දෙනාම එකතු වෙමු යැයි කිවූ ස්ථාවරය කිසිසේත් වෙනස් වී නොමැති බවත් එය තවදුරටත් වලංගු බවත් වජිර මෙහිදී අවධාරණය කළේය.

පොළොවේ අයිතිය ලබාදුන් හැටි වජිර කියයි

“ අපට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය වුණේ අපේ සම්පූර්ණ ආර්ථිකය ඇනහිටීමයි. අපිට කෑම බීම නැති වුණා. අපට අවශ්‍ය කරන මූලික පහසුකම් නැති වුණා. ගෑස් නෑ, පෙට්‍රල් නෑ, භූමිතෙල් නෑ, ජීවත් වෙන්න විදියක් නෑ. බලාපොරොත්තුවක් නැති වුණු ජාතියක් බවට අපි පරිවර්තනය වුණා.

එය වෙනස් කරන්න තමයි අවසානයේ ජන අරගලයකින් පසුව එහි නායකත්වය කවුරුවත් භාරගන්නේ නැතිකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ නායකත්වය භාරගත්තේ. එතුමා එය භාරගෙන මැයි 13 වෙනිදා පාර්ලිමේන්තුව අමතලා කිව්වා එතුමාට සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි කියලා. දැන් මෙවරත් පාර්ලිමේන්තුව අමතලා එතුමා කිව්වා එකිනෙකාගේ වෙනස්කම් තබාගන්නා ගමන් රට ගැන හිතලා වැඩ කරමු කියලා. තමන් ගැන හිතලා වැඩ කරන එක අත්හරින්න කියලා. “තමා තමාට පහනක් වී ජීවත් වෙන්න උත්සාහ කරන්න“ කියලාත් එතුමාගේ කතාවේදී එතුමා පැහැදිළි කළා.

ඒ වගේම තව ඓතිහාසික තීන්දුවක් ගත්තා. නිදහසට පෙරත්, පසුවත් රටේ පෝසතුන්ට පමණක් තිබුණු අයිතිය මධ්‍යම පන්තියටත් දුප්පත් පන්තියටත් ලබා දුන්නා. පළමුවෙනි පියවර හැටියට එතුමා 12000ට මෙය ලබාදෙමින් ලක්ෂ 20කට භුමියේ අයිතිය ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ රට් ඕනෑම පුරවැසියෙකුට එතුමා ඒක ලබා දෙන ගමන් කිව්වා “මේක ඔබට ලබාදෙන්නේ ඔබේ භාර්යාවට, ඔබේ දරුවන්ට, ඔබගේ අනාගත පරපුරට ආරක්ෂා කරගන්නයි කියලා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන් සුදුසු ප්‍රදේශයක පදිංචි වීමේ අයිතිය තිබෙන නිසා ඔහුට හිතුනොත් අනිත් අයට වගේම ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙලා වෙන ප්‍රදේශයකට යන්න ඒ ඉඩම මිල කරලා එයින් මුදල් ලබාගෙන තවත් ප්‍රදේශයක පදිංචියට යන්න පුළුවන්. දැන් ඒ අයිතිය ලබා දීලා තිබෙනවා. ඒක ලංකා ඉතිහාසයේ සිදුවුණු පොළොවේ අයිතිය ශ්‍රී ලාංකික මහජනතාවට ලබා දීපු අවස්ථාවක්. යනුවෙන්ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

නාමල් සද් ජන රළ සමඟ පො‍ලොන්නරුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කළ සද් ජන රළ වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවත්වූයේ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් ගිරිතලේ ඩියර් පාක් හෝටලයේදීය. තවද මෙහි දසබල සේනා යටතේ ප්‍රාදේශීය නායකයින්ගේ හමුවක් ද සංවිධානය කර තිබිණි.මේ සඳහා නාමල් රාජපක්ෂ, සිරිපාල ගම්ලත්, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, තිස්සකුට්ටි ආරච්චි, තේනුක විදානගමගේ, ජගත් සමරවික්‍රම ඇතුළු බොහෝ මැති ඇමැතිවරු සහභාගී වී සිටියහ. පක්ෂ සංවිධානය පිළිබදව දැනුම්වත් කිරීම් සිදුකොට ප්‍රාදේශීය නායකයින් සමඟ ද ඵලදායි සාකච්ඡාවක් නාමල් පවත්වා තිබිණි. තේ බොන අතරවාරයේ කතා වුණේ අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ගැනය.

“අන්න අනුර කුමාර ඉන්දියාවට ගිහින් පොලොන්නරුව මන්ත්‍රි ජගත් සමරවික්‍රම පැවසීය. ඔව් ඔව් මමත් දැක්කා ඩී.වී චානක ද කතාවට එක්විය. ඇත්තටම ජවිපෙ පන්ති පහේ කතාකරපු එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. දැන් ඉතින් එහෙම එකක් ජවිපෙට නෑ වගේ“ නාමල් කීවේ සිනාසෙමින්ය. “මට නම් ආරංචිය ජයශංකර් මහත්තයා අනුරට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පන්තියක් කළා කියලා. මෙසේ මන්ත්‍රිවරයෙක් කියූ විහිළුවට කී කතාවට සියල්ලන්ටම සිනහව නවතාගත නොහැකි විය.ඉන්දියන් ව්‍යාප්තවාදය විතරක් නෙවෙයි පහුගිය කාලෙ කීයක් නම් ඉන්දියන් ආයෝජන ජනතා විමුක්ති පෙරමුණ නිසා නැති වුණාද“ නාමල් පැවසීය.

නාමල්ගේ බාල්දි කතාව මොකක්ද?

“හැබැයි අපේ මිතුරෙක් ඉන්දියාව කියන්නෙ ඉතින් ඉන්දියන් ආයෝජනවලට. ආයෙ බාල්දි දාන එකක් නෑ. “ ඒ නාමල්‍ රාජපක්ෂය. “මොනදේ වුණත් අපට අමාරු වෙලාවල්වල උදව් කලේ ඉන්දියාව කියන එකත් අමතක කරන්න හොඳ නෑ“ නාමල් තවදුරටත් පැවසීය. “කොහොම හරි අන්තිමට පන්ති පහත් වෙනස් වුණා.“ එහෙනම් තේනුක විදානගේ පැවසීය

“ ඔව් අපි හිතමු ඉදිරියේ ඉන්දියන් ආයෝජනවලට ජවිපෙ විරුද්ධ නොවේවා“ කියා නාමල් කතාව අවසන් කළේය. ඉන් අන්තුරුව නාමල් කෙළින්ම ගියේ පසුගිය අරගල කාලයේදී මියගිය අමරකීර්ති අතුකෝරල මන්ත්‍රිවරයාගේ නිවසටය.

අනුරට පාඩමක් ඉගැන්වු බව තුෂාර ඉඳුනිල් කියයි

සමගි ජන බල‍වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය ගැන කතා කළහ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ ඉන්දියාවට එරෙහිව ඉන්දියානු ව්‍යාප්තවාදිය උඩරට සෝදා පාළුව නම් ජනතා විමුක්ති පෙරමුණේ පළමු පන්තිය පැවැත්වුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර බවයි. ඉන්දියානු විරෝධය 88- 89 කාලයේ ඉන්දියානු භාණ්ඩ වර්ජනය දක්වා ක්‍රියාත්මක කළ මොවුන් මොනරාගල උක් වගාවක් සඳහා පැමිණි ඉන්දියානු අයෝජකයන් තිදෙනෙක් ද මරා දැමු බවයි.

“අනුර ඉන්දියාව ඇන්ඳුවා ද – ඉන්දියාව අනුරව ඇන්ඳුවා ද රනිල් අදානිට අම්බානිට ලංකාව තුළ නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න. ඉන්දියාව ලවා අනුරට පාඩමක් කියලා දෙන්නට රනිල් වික්‍රමසිංහ දැමූ ඩිල් එකක් ද මේක මහා“ හඩින් සිනාසෙමින් කීවේ තුෂාර ඉදුනිල් මන්ත්‍රිවරයාය.

“විපක්ෂ නායකතුමා කීවේ කලබල නොවී අපි අපේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරමු. දේශපාලන ඩීල්කාරයින්ගේ ඩීල් අපට දැකගන්න ලැබේවී.“

ගමේ බිත්තර නිෂ්පාදනය වැඩි කිරීමට අජිත් රාජපක්ෂ මැදිහත් වෙයි

බිත්තර ගැටලුවට විසඳුමක් වශයෙන් රජය සහ “සණස” සමිති එක්ව ග්‍රාමීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩසටහනක් ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මෙමඟින් ග්‍රාමීය බිත්තර අවශ්‍යතාවයෙන් 50%ක් එම ගම තුළින්ම නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා සණස ව්‍යාපාරය එක්ව මෙම වැඩසටහන තෝරාගත් සණස සමිති 1250ක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division