Home » ශ්‍රී ලංකාවේ අපනයන 28%කින් වැඩි කරන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම

ශ්‍රී ලංකාවේ අපනයන 28%කින් වැඩි කරන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීම රජයේ දැක්ම වන අතර රජය මේ වන විට දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියානු රටවල් සමඟ සවිමත් අර්ථිකයකට පදනම දමමින් සිටියි. මේ කාර්යයේදී තායිලන්තය සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා වැදගත්ය. මේ වන විට ඒ සම්බන්ධ සාකච්ඡා අවසන් කර ඇති අතර, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය සමඟ සාකච්ඡා දිගටම සිදු කරමින් පවතී.

තායිලන්තය යනු අමෙරිකානු ඩොලර් බිලියන 495ක (වර්ෂ 2022දී) දළ දේශීය නිෂ්පාදිතයක් සහ මිලියන 71.6ක පමණ ජනගහනයක් සහිත විශාල වෙළෙඳපොළක් ඇති රටකි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තයන්ට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 58.82ක් (2022) වූ මුළු අපනයන වටිනාකමක් සමඟ තායිලන්තය ශ්‍රී ලංකාවෙහි 37 වැනි අපනයන ගමනාන්තයයි. මේ වන විට තායිලන්තය වෙත ශ්‍රී ලංකාව සිදුකරන ප්‍රධාන අපනයන අතර, නිමි ඇඳුම්, තේ, රබර්, පොල්, මැණික්, විදුලි උපාංග, තිරිඟු පිටි සහ සක්‍රිය කාබන් යන අංගවලට හිමිව ඇත්තේ ඉහළ දායකත්වයකි.

තේ, ගම්මිරිස් සහ පොල්තෙල් සඳහා තායිලන්තය විසින් තීරු බදු කෝටාව ඇතුළු සීමා පනවා තිබුණ ද, මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අතර පවතී. අංශ ගණනාවක් ඔස්සේ දියුණු ආර්ථික සයෝගීතාව තුළින් දෙපාර්ශ්වයටම වර්ධනය කළ හැකි ආර්ථික ශක්‍යතා සහ අනුපූරක ආර්ථික ව්‍යුහයන් හඳුනා ගැනීම මත දෙරටේ පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 550 සිට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීම මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අපේක්ෂිතය.

තායිලන්තය සමඟ ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි ශක්‍යතාව පිළිබඳව, කොළඹ විශ්වවිද්‍යාලය විසින් අධ්‍යයනයක් සිදු කළේ වර්ෂ 2018 දීය. මේ හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, ආර්ථික සංවර්ධනයට මෙන්ම රටේ සමාජ සුබසාධනයට එය හිතකරවන බව හෙළි විය.

එහිදි එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ආනයන මත තීරුබදු ඉවත් කිරීමේදී තායිලන්තය වෙත ශ්‍රී ලංකාවේ අපනයන 38%කින් සහ තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට අපනයන 27.8%ක වැඩිවීමක් සිදු විය හැකි බව පුරෝකථනය විය.

මේ පිළිබඳ සාකච්ඡා ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් වූ අතර 2024 ජනවාරි 24 වන දින, ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම ගිවිසුමේ මූලික ප්‍රතිලාභ රැසක් හඳුනා ගෙන ඇත.

වෙළෙඳපොළ ප්‍රවේශය, අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ ලබා ගැනීම ඉන් එකකි. වසර 16ක් තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර වසර 15ක කාලයක් තුළ භාණ්ඩවලින් 80%ක තීරුබදු අදියර තුනකින් ඉවත් කෙරෙන අතර භාණ්ඩවලින් 5%ක තීරුබදු 16 වැනි වසර ආරම්භයේදී ඉවත් කිරීමට නියමිතය.

තීරුබදු ලිහිල් කිරීම යටතේ ලංකා තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ගෝලීය කෝටාව ඇතුළත තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි විය. තවද දේශීය අපනයන වන කුරුඳු, තෝරාගත් ඇඟලුම් නිෂ්පාදන, ධීවර නිෂ්පාදන සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා තීරුබදු ලිහිල්කරණ වැඩසටහන යටතේ තීරුබදු ඉවත් කිරීම හා නිදහස් කිරීම සිදු වේ.

දේශීය හා අපනයනය ඉලක්ක කරගත් සමාගම් සඳහා ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ ඇතුළුව ඇමරිකානු ඩොලර් මිලියන 292.68ක් වටිනා භාණ්ඩ ශ්‍රී ලංකාව විසින් 2022 වර්ෂයේදී ආනයනය කර ඇත. ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා, ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට තරගකාරී මිල ගණන් යටතේ තම කර්මාන්ත සඳහා අවශ්‍ය වන යෙදවුම් ලබා ගැනීමට හැකි වන පරිදි අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ ද ඇතුළත්ව තායිලන්ත භාණ්ඩ සඳහා මූලික වෙළෙඳපොළ ප්‍රවේශය ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇත. ගෝලීය වටිනාකම් දාමයන් තුළ ශ්‍රී ලංකාව වඩාත් තරගකාරී වීමට මෙය හේතු වනු ඇත.

අග්නිදිග ආසියානු රටවල සාමාජිකත්වයෙන් සැදුම්ලත් ආසියානු සංවිධානයේ (ASEAN) විශාලතම බාහිර ආයෝජකයන්ගෙන් එක් රටක් බවට තායිලන්තය පත්ව ඇත. වර්ෂ 2021 දී තායිලන්තය බාහිර ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 17.3ක් වූ අතර තායිලන්ත සමාගම විසින් විදේශයන්හි ආයෝජන සහ ව්‍යාපාර පුළුල් කිරීම අඛණ්ඩව සිදු කර ඇත. වර්ෂ 2005 සිට 2022 දක්වා කාලය තුළ තායිලන්තය විසින් ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 92කට අධික ඍජු විදේශ ආයෝජනයන් සිදු කර ඇත. රැකියා අවස්ථා 600කට අධික ප්‍රමාණයක් සපයමින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාණිජ ආයෝජන ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක වේ.

විදුලි හා ඉලෙක්ට්‍රොනික, වාහන උපාංග, සැකසූ ආහාර, ඇඟලුම් සහ ඖෂධ නිෂ්පාදන සහ සංචාරක, තොරතුරු තාක්ෂණ සහ සැපයුම් යන අංශවල නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා තායිලන්ත ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ අපේක්ෂා කෙරේ.

මේ හරහා තෙවන පාර්ශ්වීය රටවල ආයෝජන ද ශ්‍රී ලංකාව වෙත යොමු කිරීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය. මෙම ගිවිසුම හරහා අත්වන ප්‍රතිලාභ රැසකි. ශ්‍රී ලංකා අපනයකරුවන්ට තායි වෙළෙඳපොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් පහසුකම් සපයයි. පරීක්ෂණ සහ සහතික කිරීමේ ක්‍රියාවලීන් නැවත සිදුකිරීමේ අවශ්‍යතාව අවම කිරීමෙන් අනුකූලතා තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටි සරල කළ හැකිය. ලේබල් කිරීමේ අවශ්‍යතාවන්හි නම්‍යශීලීත්වය, ලංකාවේ අපනයනකරුවන්ට ගැටලු විසඳීමට මේ හරහා ඉඩ සලසයි. එසේම වෙළෙඳාමට අදාළ තාක්ෂණික සහ විශේෂඥ සහාය සහ දැනුම හුවමාරු කෙරෙයි. වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන, යටිතල පහසුකම් (ප්‍රවාහන සහ වරාය අංශය ඇතුළුව) කෘෂිකර්ම සහ කෘෂි කර්මාන්තය, ධීවර, මැණික් සහ ස්වර්ණාභරණ, සංචාරක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) මුල්‍ය සහයෝගීතාව, ඇසුරුම් කර්මාන්තය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), සහ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණුව එම ක්ෂේත්‍ර ය.

වර්ෂ 2030 වන විට ගෝලීය නවෝත්පාදන දර්ශකයේ හොඳම රටවල් 30 අතරට පැමිණීම තායිලන්තයේ අරමුණය. මෙම ගිවිසුම හරහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ දේශීය නීති සම්පාදනය පුළුල් වන අතර ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙතින් පැන නඟින බැඳීම් සපුරාලීමට ශ්‍රී ලංකාවට ඉඩ සලසයි.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ විනිවිදභාවය පිළිබඳ මූලධර්ම පිළිපැදීම අන්තර්ගත වීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටලු සාකච්ඡා සඳහා නිදහස් වෙළෙඳ කොමිසම (FTC) පිහිටුවීම මේ යටතේ සිදු වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division