Home » අධෝරක්ත කැමරාව හදා අමෙරිකාව උඩු යටිකුරු කළ ලංකාවේ විද්‍යාඥයා සොයා සිළුමිණ ගිය ගමන

අධෝරක්ත කැමරාව හදා අමෙරිකාව උඩු යටිකුරු කළ ලංකාවේ විද්‍යාඥයා සොයා සිළුමිණ ගිය ගමන

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ගුරුවරු දෙවිවරු යැයි කියමනක් තිබේ. එවැනි හොඳ ගුරුවරයකුගේ හෝ ගුරුවරියකගේ සෙවණේ සිප්සතර හැදෑරිමට පින් ඇති දරුවෝ ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද අප්‍රමාණ වූ කීර්තියක් අත්කරගනිති. මහාචාර්ය සිවා සිවනාදන් ඊට හොඳම නිදසුනකි. දැනට දශක 4කට අධික කාලයක් අමෙරිකාවේ පදිංචිවී සිටින සිවනාදන් මහාචාර්යවරයා අත්කරගෙන ඇත්තේ එරට පුරවැසියන්ට පවා නොලැබෙන තරමේ විශාල කීර්තියකි. එය සැබැවින්ම ඔහුට පමණක් නොව පොදුවේ ශ්‍රී ලංකාවට ද ආඩම්බරයකි.‘ප්‍රොෆෙසර් සිවා‘ නමින් කාගෙත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ මේ 67 හැවිරිදි මහාචාර්යවරයා අමෙරිකාවේ දැනට සිටින ඉහළම මට්ටමෙ විද්වතෙකි. භෞතික විද්‍යාඥයෙකි. චිකාගෝ නුවර ඉලිනොයි විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකි. සංක්‍රමණික ව්‍යවසායකයකු සහ නවෝත්පාදන විශේෂඥයකු ලෙස ධවල මන්දිරයේදි ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ අභිමානවත් ශ්‍රී ලාංකික පුත්‍රයෙකි.

මහාචාර්ය සිවා මෙරට දරු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ වෙනත් සමාජයීය මෙහෙවර උදෙසා වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ඔහුගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිළුමිණ අපි ඔහු සොයා ගියෙමු.

එවකට යාපනය ප්‍රදේශයේ සිටි කීර්තිමත් ගුරු පියකුගේ සහ ගුරු මවකගේ දරුවන් 9 දෙනකුගෙන් යුතු පවුලක සයවැන්නා ලෙස යාපනයේ චාවකච්චේරියේ උපත ලැබූ සිවා සිවනාදන් මහාචාර්යවරයා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සරස්වතී මහා විද්‍යාලයෙනි. අනතුරුව යාපනය හින්දු විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම අමෙරිකාවට සේන්දු වූයේ භෞතික විද්‍යා උපාධිය ලැබීමෙන් පසුවය.

‘අපේ අම්මා ඒ කාලයේ නිතරම කියපු දෙයක් තමයි තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න හොඳම විදිහ තමයි ගමට අධ්‍යාපනය දීම කියලා. ඇය දරුවන්ට ඉගැන්නුවේ පුදුමාකාර කැපවීමකින්. ගෙදරත් ටියුෂන් පන්ති කළා. ඒක තමයි අපිටත් වැඩිදුරට ඉගෙන ගන්න බලපෑවේ. එතකොට අපි ආර්ථික අතින් එච්චර තැනක හිටියේ නැහැ. මම තාත්තාගෙන් ඉගෙන ගත්තු දෙයක් තමයි අපිට මොනවහරි අවශ්‍යතාවක් තියෙනවා නම් ඒවා ඉටු කරගන්න ඕන කරන මුදල දහඩිය මහන්සියෙන් උපයා ගන්න කියන එක. වත්තේ අඹ ගස් තියෙනවා, පොල්ගස් තියෙනවා කඩලා අරන් ගිහින් විකුණලා ඔයාට ඕන කරන අඩුපාඩු ගන්න… එහෙම තමයි කිව්වේ. මට මතකයි මම ඒ කාලේ පොල් ගෙඩි 200ක් විතර ලෙලි ගහලා තියෙනවා අවශ්‍ය කරන දේවල් මිල දී ගන්න මුදල් හොයා ගන්න. ඒවා ප්‍රයෝගිකව ජීවිතයට ගත්තා. අද මම අත්කර ගත්තු හැමදේම ඒකේ ප්‍රතිඵලය තමයි.‘ මහාචාර්යවරයා කතාබහට එක් වූයේ එලෙසිනි.

‘මම අම්මාගෙන් ඉගෙන ගත්තු තව දෙයක් තමයි ඔබේ හැඟීම් පාලනය කරන්න ඔබේ හිතට ඉඩ දෙන්න එපා කියන එක. ඒ වගේම අනිත් අයට ඔබේ හැඟීම් පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියන එක. අන්තිමට හැඟීම් දිනාවි. ඔබ පරදීවි කියලයි අම්මා කිව්වේ. ඒවා මට ගොඩාක් උදව් වුණා මේ තත්ත්වයට එන්න. මගේ පාසල් ජීවිතය ගත වුණේ ඔය වගේ අම්මාගෙන් ලැබුණු වටිනා උපදෙස්මාලාව එක්කමයි. අම්මා කියන්නේ කන්දක එක පැත්තක ඉඳලා ඒ දිහා බලන කෙනකුට ඒක ලස්සනට පෙනේවි ඒත් කන්දේ එහා පැත්තේ ඉඳලා බලන කෙනෙකුට ඒ වගේ සුන්දරත්වයක් දකින්න නොලැබේවි කියලා. මිනිස් ජීවිතයත් ඒ වගේ තමයි. විවිධ පුද්ගලයන් තමන්ව දකින්නේ වෙනස් කෝණවලින්. ඔබ දකින පුද්ගලයා කොහොම කෙනෙක් ද කියලා විනිශ්චය කරනවා නම් එයාලගේ ගුණයහපත් කම, එයාලගේ ජීවිතය ගැන.. ඔබට දැනගන්න ලැබෙන්නේ මොනවද ඔබ කන්දේ අනිත් පැත්තට නොගියා නම්..?‘ සිය ජීවිතයේ සාර්ථකත්වයට මහාචාර්ය සිවා සිය මාපියන්ගෙන් ලද ගුරුහරුකම් බොහෝය.

‘මේවා මම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගත්තු දේවල්. ඒ වගේම මම මේ දේවල් අනිත් හැමෝටමත් කියා දුන්නා. සමාජයේ ඉහළට යන්න.. නායකයෙක් වෙන්න… මේවා මට ගොඩාක් වැදගත් වුණා. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය. ඒක හරි සුන්දරයි. අපි නිතරම අනුන් ගැන හිතනවා. අපේ රටේ මිනිස්සු හරි නිහතමානියි. මතක කියාගන්න නිහතමානීකම කියන්නේ දුර්වල කමක් නෙවෙයි. ඒක ජීවිතයට ලොකු ශක්තියක්.‘ ඔහු කීවේය.

දශක 4කට වැඩි කාලයක් අමෙරිකාවේ ගත කළ ද, මහාචාර්යවරයාට සිය මව්බිම ගැන ඇත්තේ පුදුමාකාර ළෙන්ගතු කමකි. ඔහු කියන්නේ ජීවිතයට අවශ්‍ය පදනම ලැබුණේ ශ්‍රී ලංකාවෙන් බවය. අපේ රටේ සාක්ෂරතාව එක කාලයකදී බ්‍රිතාන්‍යයට වඩා ඉහළින් තිබුණා. කාන්තාවන් හා පිරිමින් දෙගොල්ලන්ගෙම.‘

‘මම ලංකාවෙන් ගියේ 1982 දියි. ඒ වෙද්දිත් මට ලංකාවේ හොඳ ජීවිතයක් තිබුණා. හයේ පන්තියේ ඉඳලා යාපනය හින්දු විදුහලෙන් ඉගෙන ගෙන මම පේරාදෙණිය විශ්වවිද්‍යාලට ඇතුළත් වුණා. ගුරුවරු තමයි පදනම වුණේ. එයාලා දරුවන්ට උගන්වන්න මුළු ජීවිතයම කැප කළා. ඒ වගේ ගුරුවරු ලංකාවෙන් හැරෙන්න ලෝකේ වෙන කිසිම රටකින් හොයා ගන්න බෑ. මමත් වාසනාවන්ත වුණා ඒ ගුරු සෙවණෙන් බිහි වෙන්න. මම හොඳට ඉගෙන ගත්තා. උපාධිය ලැබුවා.‘ ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට මාපියන්ගෙන්, යාපනය හින්දු විදුහලෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලැබු අධ්‍යාපනය ගැන අද ඔහු කතා කරන්නේ පුදුමාකාර තෘප්තියකින් හා ගෞරවයකින් යුතුවය.

අමෙරිකාවේ චිකාගෝ නුවර ඉලිනොයි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පසුකාලීනව එහි ශාස්ත්‍රපති උපාධියත්, අනතුරුව ආචාර්ය උපාධියත් ලැබූ සිවා සිවනාදන් මහාචාර්යවරයා එම විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙස පත්වීම දක්වා පැමිණි ගමන්මඟ අතිශය කැපවීම් කන්දරාවක ප්‍රතිඵලය විය. හෙතෙම විවිධ පර්යේෂණ තුළින් සිදු කළ නව සොයා ගැනීම් ඔහුගේ විශිෂ්ටත්වය සහ කීර්තිය අමෙරිකාව පුරා ප්‍රචලිත වීමට මං විවර කර දුන්නේය. අධෝරක්ත කිරණ භාවිතයෙන් රාත්‍රි කාලයේ අඳුරේදි මිනිසුන් හා වෙනත් ජීවීන් හඳුනා ගැනීම සඳහා මූලද්‍රව්‍ය කිහිපයක් සංකලනය කරමින් නව තාක්ෂණයක් ලොවට දායාද කරනු ලැබුවේ සිවා සිවනාදන් මහාචාර්යවරයා ය. ඔහුගේ මේ අසාමාන්‍ය සොයා ගැනීම පසුකාලීනව අමෙරිකාවට අතිශය වැදගත් මෙවලමක් බවට පත්වූ අතර, අමෙරිකාවේ විශේෂ මෙහෙයුම් බළකාය විසින් 2011 වසරේ මැයි මස 23 වැනිදා ඇෆ්ගනිස්තානයේදී සිදු කළ අල් කයිඩා ත්‍රස්තවාදී නායක උසාමා බින් ලාදේන් වැටලීමේ මෙහෙයුමේ ප්‍රබලතම සාධකය බවට ද පත් විය.

දැඩි අඳුරේ සිදුවූ එම මෙහෙයුමේදී අමෙරිකානු හමුදාව පැලඳ සිටියේ රාත්‍රි කාලයේෙදී මිනිසුන් පැහැදිලිව හඳුනා ගැනීම සඳහා මහාචාර්ය සිවා සිවනාදන් විසින් සොයා ගනු ලැබූ අධෝරක්ත කිරණ තාක්ෂණය භාවිත කරමින් නිපදවනු ලැබූ ඇස් කණ්ණාඩියයි. එහෙත් පසුකාලීනව බින් ලාදේන් මෙහෙයුම සඳහා මහාචාර්ය සිවා එම තාක්ෂණය සොයා ගත් බවට ලොව ඇතැම් මාධ්‍ය සාවද්‍ය වාර්තා රැසක් පළ කර තිබිණි. මහාචාර්යවරයාගේ අතිශය සාර්ථක සොයා ගැනීම ලොව පුරා අවධානයට ලක් වූව ද, පර්යේෂණ මට්ටමේදී නම් ඔහුට කිසිවකුගේ යහපත් ප්‍රතිචාර නොලැබිණි.

‘ගොඩාක් අවස්ථාවලදී අසාර්ථක වුණා. මම දුක්වුණු අවස්ථා ගණනාවකුත් තිබුණා. මේ පර්යේෂණය කවදාවත් සාර්ථක වෙන්නේ නෑ කියලා හැමෝම වගේ කිව්වා. ඒත් අද වෙද්දී අමෙරිකානු හමුදාවට විතරක් නෙවෙයි ඕනෑම අභ්‍යවකාශ ගවේෂණයකට මේ තාක්ෂණය අතිශය තීරණාත්මක සාධකයක් වෙලා තියෙනවා. මට මේ පර්යේෂණයට අවුරුදු 20ක් ගත වුණා. එහෙම තමයි ඕනෑම වාර්තාගත සොයා ගැනීමකට දශක ගණනාවක් ගත වෙනවා. සමහර විට අවුරුදු 40ක් විතර ගත වෙන්නත් ඉඩ තියෙනවා.‘ මහාචාර්යවරයා එසේ කීවේය.

‘මේ හැමදෙයක්ම මට ලැබුණේ මම ලංකාවේදි යාපනය හින්දු විදුහලෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබපු ශක්තිමත් අධ්‍යාපනය නිසයි. ලංකාවේදී පදනම හරියට දමා ගත්තා නම් ලෝකේ කොහේ ගියත් දිනන්න පුළුවනි. අනිත් එක මගේ අම්මාගෙන් ලැබුණු වටිනා ඔවදන් නිසයි. අම්මා කියපු විදිහට කන්දේ අනිත් පැත්ත දකින්නේ නැතිව විනිශ්චය කළා නම් ඒක ඉගෙන ගත්තේ නැතිනම් අද මම මෙතැන නෑ.‘ ඔහු නැවත නැවත කෘතවේදිත්වය පුද කරයි.

මහාචාර්යවරයාට දැන් අමෙරිකාවේ දිනාගත යුතු තවත් කිසිවක් නැති තරම්ය. එහෙත් ඔහු තවදුරටත් සිය පර්යේෂණ මෙහෙයුම්වල නිරතව සිටී. ඒ සඳහා ඊපීඅයිආර් ටෙක්නොලොජීස් නමින් ඔහුගේම පර්යේෂණාගාරයක් ද, සිවනාදන් රසායනාගාරය නමින් තවත් රසායනාගාරයක් ද ආරම්භ කරමින් අමෙරිකානු පුරවැසියන් රැසකට රැකියා අවස්ථාවන් ද ලබා දී තිබේ.

එහෙත් ඔහුගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අවසන් වී නැත. උපන් බිමට සේවය කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන මහාචාර්ය සිවා ඒ සඳහා දායකත්වය ලබාදෙමින් සිටින්නේ දශකයකට වැඩි කාලයක සිටය.

‘මම පෙරළා යමක් මගේ මව්බිමට දිය යුතුයි. මේක මගේ හදවතේ හැමදාම තැන්පත්වෙලා තිබුණා. මගේ දුවට අමෙරිකාවේදී උපාධිය දක්වා ඉගෙන ගන්න මට ඩොලර් මිලියනයක් වියදම් වුණා. ඒත් මම ලංකාවේ උපාධිය ලැබුවේ නිදහස් අධ්‍යාපනයෙන්.‘ ඔහු එසේ සඳහන් කළේය.

‘ඒකට අඩිතාලම වැටුණේ 2009 අවුරුද්දෙයි. මට අමෙරිකාවේදි මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මුණ ගැහුණේ ඒ අවුරුද්දේදි. මහාචාර්ය ලක්ෂමන් ඒ කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ ගුරුවරයෙක්. එයා නිවාඩුවකට අමෙරිකාවට ඇවිත් හිටියා. මම මහාචාර්යවරයා මගේ ලැබ් එකට ගෙන්නුවා. අපි සාකච්ඡා කළා. මම කිව්වා මට ලංකාවට සේවයක් කරන්න ඕනා කියලා. මොනවද දෙන්නේ කියලයි අපි දෙන්නා කතා කළේ. ඒ විදිහට තමයි පටන් ගත්තේ. අපේ අවධානය යොමු වුණු ප්‍රධාන ගැටලු දෙකක් තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පස්සේ අපි සිසුන් කොටසකට කියනවා ඔයාලා උසස් පෙළ කරන්න බැරි විදිහට ඕ ලෙවල් අසමත් වුණා කියලා. ඒ වගේම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පස්සෙදිත් අපි සිසුන් කොටසකට කියනවා ඔයාලා අසමත් කියලා. ඇත්තටම මම දැක්කේ ඒක එයාලගේ අසමත්කමක් නෙවෙයි කියලයි. ඇත්ත කතාව එයාලා උසස් පෙළට ගැළපෙන්නේ නෑ කියන එකයි.

එගොල්ලන්ට වෙනත් අධ්‍යාපන මාර්ගයක් තිබිය යුතුයි. සමහරු කලාවට කැමැතියි. සමහරු චිත්‍රවලට කැමතියි. නැතිනම් වඩුවැඩවලට, තාක්ෂණයට. ඒවා වැරදි මාර්ග නෙවෙයි. ඒවා වෙනස් මාර්ග. ඒ විදිහට මානසිකත්වය හැඩගැස්විය යුතුයි. එවැනි දරුවන්ට වෙනම ඇකඩමියක් තිබිය යුතුයි. ඇකඩමි උපාධියක් ලබාගන්න පුළුවන් විදිහට. ලංකාවට 50%කට වැඩි බලශක්ති ප්‍රමාණයක් ලැබෙන්නේ හයිඩ්‍රොලික් පද්ධතිවලින්. අපිට පුළුවන් නම් සූර්ය හෝ සුළං බලශක්තිය භාවිත කරන්න ඇත්තටම ලොකු ඉතුරුවක් වේවි. අපේ රටේ ආදායම් මාර්ග උත්පාදනය කරන ක්ෂේත්‍රයක් වේවි. ‘සෝලා පවර්‘ මේක තමයි ආරම්භ කළ යුතු වැඩසටහන. මම එහෙමයි මහාචාර්ය ලක්ෂ්මන්ට කිව්වේ.අපිට පුළුවනි අලුත් රැකියා ක්ෂේත්‍රයක් බිහි කරන්න.‘ මහාචාර්යවරයා එසේ පැහැදිලි කළේය.

අනතුරුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අඩිතාලම එසේ වැටුණු අතර, අනතුරුව ඔහු විසින් යාපනය, පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල ඒකාබද්ධව ආචාර්යවරු පිරිසක් ඉලිනොයි විශ්වවිද්‍යාලයට ගෙන්වනු ලැබුවේ සිය මුදල් වැය කරමිනි. ඔහු කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවීය. එකම ඉලක්කය නිදහස් අධ්‍යාපනය ලබා අමෙරිකාවේ ගෞරවය දිනාගැනීම උදෙසා සිය මව්බිමට කෘතවේදිත්වය පළ කිරීමය. මෙරට දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ට යහපත් අනාගතයකට මං විවර කරදීමය.

‘අපි ඉලිනොයි විශ්වවිද්‍යාලයේද වැඩමුළු කිහිපයක් පැවැත්වූවා. ලංකාවෙන් ආපු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවශ්‍ය කරන අවබෝධය දැනුම සපයා දුන්නා. ඊට පස්සේ එයාලා ආපහු ලංකාවට ගියාම පාසල්වලට ගිහින් සාමාන්‍ය පෙළ පන්තිවලට දේශන පැවැත්වුවා. ‘සෝලා ටෙක්නීෂියන්ස්ලා බිහි කරන්නේ කොහොමද කියලා වැඩි අවබෝධයක් ලබා දුන්නා. මුලදි ගොඩාක් අය මට කිව්වා ලංකාවේ කිසිම දෙයක් හරියට කරන්න බෑ කිසිම වේගවත් බවක් නෑ වැඩ හරි ප්‍රමාදයි කියලා. ඒත් ඒ කතාව වැරදියි කියලා මම ඔප්පු කළා අපි සාර්ථකව පාඨමාලාව ආරම්භ කළා. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. නයිටා තමයි මේ ඩිප්ලෝමා පාඨමාලාව මෙහෙයවන්නේ.‘මහාචාර්යවරයා එසේ පැවැසීය.

‘ඒ කාලයේ තමයි මට සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමැතිවරයා මුණ ගැහුණේ. ඔහු එවකට විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා හැටියටයි හිටියේ. මම පස් අවුරුදු සැලැස්මක් ඔහුට දුන්නා. ඒකට ලොකු මුදලක් වැය වෙනව මිලියන 250ක් විතර කියලත් කිව්වා. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත්තා. හරියටම 2017 අවුරුද්දේ අපි පළමු ඩිප්ලෝමා පාඨමාලාව පටන් ගත්තා. දැනට පාඨමාලා තුනක් ඉවර කරලා තියෙනවා. එක වතාවකට ඩිප්ලෝමාධාරීන් 200ක් සමාජයට එකතු වෙනවා. ඔවුන්ට කාර්මික ක්ෂේත්‍රය තුළ රැකියා සඳහා අවස්ථා උදා වෙන්නේ පාඨමාලාව ඉවර වෙනනත් කලිනුයි. මේක එච්චරටම ඉල්ලුමක් තියෙන රැකියාවක්. අනිත් එක හොඳට හිතන්න අපිට ඇති ප්‍රමාණයකට සූර්යබලශක්ති තාක්ෂණවේදින් බිහි වුණාට පස්සේ ඔවුන්ට පුළුවනි විදේශ රටවලටත් සේවය කරන්න. සෞදි අරාබියට ගිහින් ඔවුන්ගේ සෝලා පැනල් පද්ධතිවල සේවාවන් ඉටු කරලා දෙන්න පුළුවනි. ඉන්දියාවට යන්න පුළුවනි. තව තව රටවල්වල සෝලා පැනල් පද්ධතියේ සේවාවන් කරන්න පුළුවනි. මේ විදිහට සේවා කර්මාන්තයක් බිහි කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු පුදුම කැපවීමකින් හා උනන්දුවකින් මේ වැඩසටහනට දායකත්වය ලබා දෙනවා. ඒක කොයිතරම් දෙයක්ද?‘ ඔහු සඳහන් කළේය.

එපමණක් නොව වර්තමානයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ඉල්ලීම මත ඔහු දැන් මෙරට දරු දැරියන්ට අලුතින් හඳුන්වා දී ඇති ‘ස්ටෙම්‘ අධ්‍යාපන ක්‍රමවේදයට ද සිය දායකත්වය ලබාදෙමින් සිටී. ඔහුගේ මැදිහත්වීම මත ඉලිනොයි විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ හුවමාරු සහයෝගිතා ගිවිසුමකට ද අත්සන් කර තිබේ.

‘දැන් තාක්ෂණය වෙනස් වෙලා තියෙන්නේ. සම්ප්‍රදායේ එල්ලිලා හිටියොත් අපි කඩාගෙන වැටෙනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි ඉංජිනියරිං කරන්න ෆිසික්ස් ඕනා. කෙමිස්ට්‍රි කරන්න ඉංජිනියරිං ඕනා. අනාගත වෛද්‍ය විද්‍යාවේ පදනම වැටිලා තියෙන්නේ සහ ප්‍රධාන සාධකය වෙන්නේ නවීන තාක්ෂණයේ යන්ත්‍ර භාවිතයයි. ඉතින් ඒකට ඉංජිනියර්ස්ලාත් වෛද්‍ය විද්‍යාවේ කොටස්කරුවන් වෙන්න ඕනා. ‘ස්ටෙම්‘ අධ්‍යාපන ක්‍රමයත් ඒ වගෙයි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය ඉංජිනියරන් එකට එකතු කළ අධ්‍යාපන ක්‍රමවේදයක්. දැන් තියෙන අධ්‍යාපන රටාව ලෝකෙට ගැළපෙන්නේ නෑ. බ්‍රිතාන්‍යය පවා දැන් ඒ පැරැණි අධ්‍යාපන රටාවෙන් ඉවත් වෙලා ඉන්නේ. සාර්ථක වෙන්න නම් හැම විෂයක්ම හැම ක්ෂේත්‍රයකටම අවශ්‍යයි.‘ මහාචාර්යවරයා කීවේය. 1අපි නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනයක්. ලෝකේ කොහේ ගියත් ඒක අමතක කරන්න බෑ.‘

මහාචාර්යවරයා දැන් සිදු කරමින් සිටින්නේ ඒ සඳහා කෘතවේදිත්වය පුද කිරීමය. ඔහු දැන් සිය ජීවිතය වර්ණවත් කර ගැනීමට නිදහස් අධ්‍යාපනය ලබාගත් මව්බිමේ තවත් දහස් සංඛ්‍යාත දරු දැරියන්ගේ ජීවිත පාට කරන පින්සල බවට පත් වී ඇත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division