Home » නිපුණතා අංක 3 හිමි යුවතියකට අංක 5 හිමි තරුණයෙක් හිමි වීම සුබයි

නිපුණතා අංක 3 හිමි යුවතියකට අංක 5 හිමි තරුණයෙක් හිමි වීම සුබයි

මෙවර නිපුණතා අංක 3ට නිපුණතා අංක 5, 6, 7, 8, 9 හිමි අයගේ ගැළපීම

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

මේ ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කොතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 3 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

නිපුණතා අංක 3ට නිපුණතා අංක 5 වන අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගත හැකිය. විශේෂයෙන් මෙහිදී පිරිමියා අංක පහ වී ස්ත්‍රිය අංක තුන වෙනවා නම් වඩාත් හොඳින් ගැළපෙයි. ඉතා ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් ගතකිරීමට භාග්‍ය උදා වෙයි. පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක පහ වීම තුළ මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරයි. අංක තුන පුද්ගලයාට තිබෙන දක්ෂභාවය සහ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට තිබෙන කැමැත්ත සමඟ අංක පහ පුද්ගලයා තුළ තිබෙන විවිධත්වයට තිබෙන රුචිකත්වය අභියෝග භාර ගැනීම යනාදී ගුණාංගයන් මනා ලෙස සංකලනය වෙයි. දෙදෙනා තුළම සමාන ගුණාංගයන්ද දැකිය හැකිය. අංක පහ පුද්ගලයාට සෑම විටම වෙනස් තත්ත්වයන්වලට ඔරොත්තු දීමේ හැකියාව පවතී. අංක තුන පුද්ගලයා තුළ තිබෙන නිර්මාණාත්මක බව සමඟ එය එකතු වීමෙන් සෑම අවස්ථාවක්ම ඉතා ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීමේ හැකියාව ඇති කරයි. මේ දෙදෙනාට හොඳ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමේ හැකියාවද පවතින අතර දීර්ඝ කාලයක් විශ්වසනීයව සබඳතාව පවත්වාගෙන යෑමේ හැකියාවද ඇති කරයි.

නිපුණතා අංක 3ට නිපුණතා අංක 6 වන අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර ගැළපීමද ඉතා හොඳ සම්බන්ධතාවකි. දෙදෙනා තුළම සමාන ගුණාංගයන් පවතින නිසා ඉතා දීර්ඝ කාලයක් සතුටින් සම්බන්ධතාව පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි. මේ අංක දෙක තුළ යම් ආකර්ෂණීයභාවයක් ඇති කරයි. අංක තුන පිරිමියා තම හැකියා දක්ෂතාවලින් ඉතා ඉහළින් කටයුතු කරන අතර අංක 6 ස්ත්‍රිය තුළින් පිරිමියාට හොඳ සහයෝගයක් ලබා දෙන අතර ඉතා හොඳ ගෘහිණියක් විදිහටද කටයුතු කරයි. අංක තුන තුළ තිබෙන මූල්‍ය කළමනාකරණයත් අංක හය තුළ තිබෙන සකසුරුවම්භාවයත් නිසා ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත්භාවයක් ඇතිකර ගත හැකිය. මෙම අංක මාරුවී යෙදුණද එනම් ස්ත්‍රී අංක තුන වී පිරිමියා අංක හය වුවද ගැටලුවක් ඇති නොවේ. සතුටින් දීර්ඝ කාලයක් ප්‍රීතිමත් විවාහ ජීවිත ගත කිරීමේ හැකියාව ඇති කරයි. නමුත් අංක හය තුළ තිබෙන අධික කාර්යබහුලභාවය නිසා විවාහ ජීවිතය තුළ නිදහස අඩුවිය හැකි බැවින් ඒවා සීමා කරගැනීම ඉතා යහපත් වෙයි.

නිපුණතා අංක 3ට නිපුණතා අංක 7 වන අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර ගැළපීමේදී පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක හත වීම තුළ සාමාන්‍ය සම්බන්ධතාවක් ගොඩනැඟේ. එය එතරම් ශක්තිමත් සම්බන්ධතාවක් නොවිය හැකිය. නමුත් මෙම අංක දෙක මාරුවී එනම් පිරිමියා අංක හත වී ස්ත්‍රිය අංක තුන වීම තුළ වඩා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ හැකියාව ඇති කරයි. මෙම අංක දෙක තුළ සමාන ගති ලක්ෂණ ද පවතී. දෙදෙනාම බුද්ධිමත් වන අතර හොඳින් හිතා බලා කටයුතු කරන අාධ්‍යාත්මික නැඹුරුතාවක් ඇති අයයි. මෙහිදී අංක හත පිරිමියා විසින් අංක තුන ස්ත්‍රියව තමාගේ පාලනය යටතේ බලෙන් තබා ගැනීමට බලපෑම් නොකිරීම හොඳය. අංක හත ස්ත්‍රිය තුළ තිබෙන පැත්තකට වී තමාගේ පාඩුවේ සිටීමට ඇති කැමැත්තත් අනිත් කෙනා කෙරෙහි වැඩි විශේෂතාවක් නොදැක්වීමත් යන කරුණු මත ගැටලු ඇති කළ හැකිය. පිරිමියා අංක හත වී ස්ත්‍රිය අංක තුන වීම තුළ පිරිමියා තුළ පවතින විචක්ෂණශීලි ඥානය මනා පෞරුෂය දාර්ශනික ගති ලක්ෂණ ආදිය සමඟ අංක තුන ස්ත්‍රිය තුළ ඇති ප්‍රියමනාප සිත් ඇදගන්නාසුලු විනෝදශීලි ගති ස්වභාවය මනා ලෙස සංකලනය වීමෙන් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවීමේ හැකියාව ඇති කරයි.

නිපුණතා අංක 3ට නිපුණතා අංක 8 වන අයගේ ගැළපීම

මෙවැනි අංක දෙකක් හිමි දෙදෙනකුගේ ගැළපීම එතරම් සතුටුදායක යැයි කිව නොහැකිය.මෙය දුර්වල සම්බන්ධතාවකි. නමුත් එසේ වන්නේ පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක අට වීම තුළින් පමණි. මෙම අංක දෙක මාරුවී යෙදීමෙන් එනම් පිරිමියා අංක අට වී ස්ත්‍රිය අංක තුන වීම තුළ සම්බන්ධතාව ගැටලු බාධා තිබුණත් ඒවා මැඬගෙන ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි. වගකීම් විරහිත චංචලභාවයෙන් යුතු දුර්වල ආර්ථික කළමනාකරණයක් ඇති සමහර විට ඉක්මනින් කෝප වන අංක තුන හිමි පිරිමියාට අත්තනෝමතික ලෙස ක්‍රියා කරන තරමක් ආත්මාර්ථකාමී ගති පැවැතුම් ඇති අංක අට ස්ත්‍රිය එකතු වීම තුළ සමඟියට බාධා පමුණුවන ගැටුම්වලින් ගහණ දෙදෙනාම අතෘප්තිකර තත්ත්වයට පත්වන ස්වභාවයක් ඇති කළ හැකිය. අංක අට හිමි ස්ත්‍රිය විසින් අංක තුන හිමි පිරීමියාව අබිබවා කටයුතු කිරීම නිසා අංක තුන හිමි පිරිමියාගේ සහයෝගය අංක අට හිමි ස්ත්‍රියට පූර්ණ ලෙස නොලැබෙන අතර ස්ත්‍රිය අතෘප්තිකර ස්වභාවයට පත්වනු ඇත. නමුත් මෙහිදී පිරිමියා අංක අට වී ස්ත්‍රිය අංක තුන වීම තුළ තත්ත්වය මීට වඩා යහපත් වන අතර අංක තුන හිමි ස්ත්‍රියගේ විනෝදකාමී සිත් ඇදගන්නාසුලු ස්වභාවයත් අංක අට හිමි පිරිමියාගේ ආරක්ෂාව සහ ආදරණීය බවත් නිසා යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 3ට නිපුණතා අංක 9 වන අයගේ ගැළපීම

යම් දෙදෙනකු මෙවැනි අංක දෙකක් සහිතව එකතු වීම තුළ ඉතා යහපත් සම්බන්ධතාවක් ගොඩනැඟෙන අතර දීර්ඝ කාලයක් සතුටින් ජීවිතය ගතකිරීමේ හැකියාව ඇති කරයි. මෙම සම්බන්ධතාව වඩාත්ම යහපත් වන්නේ පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක නවය වීම තුළය. කායික මානසික අාධ්‍යාත්මික බාහිර වශයෙන් දෙදෙනාගේ මනා සම්බන්ධතාවක් ඇති කරයි. ප්‍රියමනාප ගතිපැවතුම් ඇති බුද්ධිමත් කල්පනාකාරී එකිනෙකා කෙරෙහි ගෞරව දක්වන ස්වභාවය සහ අධික බලාපොරොත්තු නොමැති, ක්‍රියාශීලි ඉක්මන් තීරණ ගැනීමෙන් යුක්ත ගති පැවතුම් දෙදෙනාටම පවතින නිසා සම්බන්ධතාව ශක්තිමත්ව පවත්වා ගත හැකිය. නමුත් මෙහිදී අංක නවය පිරිමියා වී අංක තුන ස්ත්‍රිය වීම තුළ මේ තත්ත්වය යම් මට්ටමකින් වෙනස් විය හැකිය. අංක තුන හිමි ස්ත්‍රිය අංක නවය හිමි පිරිමියා විසින් යම් ආකාරයක පීඩාවකට ලක්වීමේ හැකියාව පවතී. මෙහිදී අංක තුන හිමි ස්ත්‍රිය මේ තත්ත්වය තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කිරීම මඟින් දෙදෙනාට සාර්ථක ජීවිතයක් ගෙවීමේ හැකියාව ඇති කරයි.

නිපුණතා අංක 4 අයගේ ගැළපීම් පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ඒ.ජේ. දීපාලෝක

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division