Home » එකම සිහිනය ගැන ආක්ෂේ කරන හෙළිදරව්ව

එකම සිහිනය ගැන ආක්ෂේ කරන හෙළිදරව්ව

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment
කසුන් අරවින්ද

සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් අද වන විට හින්දි සිනමාවේ ධනවත්ම නළුවකු වුවත් ඔහුගේ ළමා සහ යොවුන් කාලයන් ගත වූයේ බොහෝ අගහිඟකම් මැද යි. මෑතක දී ඔහු සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවකදීත් ආක්ෂේ මේ අතීතය ගැන සිහිපත් කර තිබුණා. පසු කාලයේ මුම්බායි නුවරට පැමිණීමට පෙර ඔහු සහ ඔහුගේ පවුලේ අයත්, සමීප ඥාතීනුත් ජීවත් වී තිබුණේ දිල්ලි නුවර යි. ඒ කාලයේ ඔවුන් වාසය කළ කුඩා නි‍ෙවසේ ඥාතීන් 24 දෙනකු ජීවත් වූ බව ඔහු පවසනවා. මෙම නිවසේ තිබුණේ එකම එක කාමරයක් පමණක් බවත්, 24 දෙනාම නිදා ගත්තේ එම කාමරයේ බවත් ආක්ෂේ මෙම සාකච්ඡාවේ දී අනාවරණය කර තිබුණා.

උදේ අවදි වී කාමරයෙන් එළියට යන විට නිදා සිටින අයගේ සිරුරුවලට උඩින් පනිමින් යන්නට සිදු වූ ආකාරය ගැනත් ඔහු සඳහන් කර තිබෙනු දැකිය හැකි වුණා.

මුම්බායි නුවර පදිංචියට පැමිණීමෙන් පසුව ආක්ෂේ සිය මවුපියන් සහ සහෝදරිය සමඟ ජීවත් වී තිබුණේ ඉතා කුඩා නි‍ෙවසක යි. මේ නි‍ෙවසේ කුලිය හැටියට ගෙවුවේ ඉන්දියානු රුපියල් 100ක් පමණක් බවයි ඔහු පවසන්නේ.

මොන තරම් අගහිඟකම් තිබුණත් මේ කාලය ඉතා සතුටින් ගත කළ කාලයක් බවත් ආක්ෂේ කියනවා. “අපි හැමෝම හරි සතුටින් සිටියා. සිනාවෙන් විහිළු තහළු වලින් තොරව එක දවසක්වත් ගත වුණේ නැහැ. අද අපිට සල්ලි තිබුණත් සමහර වෙලාවට අපි ඉන්නේ කනගාටුවෙන්. නමුත් ඒ කාලයේ එහෙම නැහැ. තියෙන දෙයක් කාල බීලා හරි සතුටින් හිටියා. කනගාටු වෙන්න දෙයක් තිබුණේ නැහැ” යැයි ඔහු ඉහත සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබුණා.

සෑම සෙනසුරාදාවකම චිත්‍රපටයක් බලන්නට යාමේ පුරුද්දක් ද ඒ කාලයේ පවුලේ අය තුළ තිබුණු බවත් ඔහු පවසනවා. මේ ගමන සඳහා සමහර විට වේලක් දෙකක් නොකා මුදල් ඉතුරු කරගත් බවයි ඔහු කියන්නේ. සිනමා ශාලාවේ දී තම පියා සමෝසා සහ අයිස්ක්‍රීම් අරන් දෙන බවත් ආක්ෂේ පවසා තිබුණා.

ආක්ෂේ ඉගෙන ගැනීමට එතරම් උනන්දුවක් දැක්වූ කෙනකු නොවෙයි. සත් වැනි පන්තියේ සිටිය දී ඔහු වසර අවසාන විභාගයෙන් අසමත් වී තිබුණා. එම අවස්ථාවේ තම පියා තමාට ගහන්නට ආ බවත් ආක්ෂේ සඳහන් කරනවා. පියා තමාව අල්ලාගෙන “මොනවද තමුසෙට කරන්න ඕනේ?” යැයි ඇසුවා ලු! නළුවකු වීමේ කිසිදු ආසාවක් ඒ කාලයේ නොතිබුණත් ආක්ෂේ තාත්තාට කියා තිබුණේ නළුවකු වීමට වුවමනා බව යි.

කෙසේ හෝ වේවා, ඒ කාලයේ ආක්ෂේගේ එකම සිහිනය වී තිබුණේ සටන් කලා (Martial Arts) ශිල්පියකු වීම යි. මේ නිසා ඉහළ පන්තිවල අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ ඔහු පාසලට සමුදුන්නා. එයින් පසු ආක්ෂේ තාත්තාට කීවේ තමාට සටන් කලා ඉගෙන ගන්නට වුවමනා බව යි. ආක්ෂේගේ පියා මුදල් ටිකක් ඉතුරු කර තම පුතාට සටන් කලා ඉගෙන ගනු පිණිස තායිලන්තයට යැවුවා. තායි බොක්සිං වැනි සටන් ක්‍රම ඉගෙන ගනිමින් ආක්ෂේ වසර පහක් පමණ තායිලන්තයේ කාලය ගත කළා. ඒ කාලයේ ඔහු කෝකියකු හැටියටත්, වේටර් කෙනකු හැටියට කටයුතු කළ බව පැවසෙනවා.

තායිලන්තයේ සිට නැවත ඉන්දියාවට පැමිණීමෙන් පසුත් ඔහු විවිධ රැකියා කරමින් කාලය ගත කළා. මේ කාලයේ ආක්ෂේ සටන් කලා ගුරුවරයකු හැටියටත් කටයුතු කර තිබුණා. ඔහුට නිරූපණ ශිල්පියකු ලෙස වැඩ කරන්නට අවස්ථාවක් උදා වුණේ ඔහුගේ සටන් කලා පන්තියකට සහභාගි වූ සිසුවකුගේ පියා හරහා යි. මෙම ගමන අවසන් වුණේ ආක්ෂේ බොලිවුඩයේ මුල් පෙළේ රංගන ශිල්පියකු බවට පත් වෙමිනු යි.

අද වන විට ඔහු බොලිවුඩ් සිනමාවේ ධනවත්ම සහ වැඩිම ගාස්තුවක් අය කරන නළුවෙක්. ආක්ෂේ චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක් (ලංකා රුපියල් කෝටි 380 ක්) පමණ අය කරන අවස්ථාත් තිබෙනවා.

ආක්ෂේ විවාහ වී සිටින්නේ කලක් ජනප්‍රිය නිළියක වූ ට්වින්කල් ඛන්නා සමඟ යි. ඔවුන් මේ වන විට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමින් සිටිනවා. මේ දෙදෙනා විවාහ වුණේ 2001 වසරේ යි. ට්වින්කල් ඛන්නා යනු අතීතයේ හින්දි සිනමාවේ සුපිරි නළු නිළි යුවළක් වූ රාජේශ් ඛන්නා- ඩිම්පල් කපාඩියා දෙදෙනාගේ දියණියක්.

ආක්ෂේ සහ ට්වින්කල් මේ වන විට දරු දෙදෙනකුගේ මවුපියන්. වැඩිමලා පුතෙකු වන අතර ආරව් නමැති ඔහු විදේශයක අධ්‍යාපනය ලබමින් සිටිනවා. බාල දියණිය වන නිතාරාගේ වයස තවම අවුරුදු 11ක් පමණයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division