Home » මොකක් හරි පවක් කරල ඇති මෙහෙම ගමනක් යන්න

මොකක් හරි පවක් කරල ඇති මෙහෙම ගමනක් යන්න

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment
හර්ෂණී වීරරත්න

– මම ජනප්‍රිය නොවුණට කමක් නැහැ. ගීතය ජනප්‍රිය නිසා සතුටක් දැනෙනවා
– අපි ආයේ එකතු වෙන්න ඕන. අමායාට දීපු ආදරේ තවත් වෙනස් වෙලා නැහැ
– දෛවය කොච්චර සරදම් කරනවා ද කිව්වොත් ගින්දර කියලා දැනගෙනම අත පුච්චාගන්න අවස්ථා තියෙනවා
– මම සාමාන්‍යයෙන් පරාජය භාර ගන්න කෙනෙකුත් නෙමෙයි උත්සාහය අතහරින කෙනෙකුත් නෙමෙයි
– මම හිතන විදිහට මම එච්චර ජනප්‍රිය කෙනෙක් නෙමෙයි මුළු ලංකාවම දන්න කෙනෙක් වෙන්න ඕනෙත් නෑ

රියැලිටිකරණයෙන් සංගීතයට අවතීර්ණ වෙන්න කලින් ගායකයෙක් වෙන්න ඔහු හීන මවමින් හෝටල්වල ගීත ගැයුවා. ඉන් ලැබූ පන්නරය නිසාම ඔහුට සංගීත ක්ෂේත්‍රයේ යම් තැනකට අද යන්න පුළුවන් වෙලා තියෙනවා. දක්ෂ ගායකයෙක් වූ ඔහු හර්ෂ ධනෝෂ්. අමායා අධිකාරි ආදරණීය බිරිඳ කරගත් ඔහු හා ඔහුගේ පවුලේ තොරතුරු ගැනයි මේ කතාබහ.

හර්ෂ අවුරුදු ගාණක් හෝටල්වල ගීත ගායනා කරලා රියැලිටි වේදීකාවට ගොඩ වුණු කෙනෙක්. ඇයි දැන් නිහඬ වෙලා ඉන්නේ කියලම කතාබහ පටන් ගනිමු.?    

මම 2014 අවුරුද්දේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් එන්න කලින් අවුරුදු 15ක් නුවර හෝටල්වල ගීත ගායනා කරලා පළපුරුද්දක් තිබ්බ කෙනෙක්. මම සාමාන්‍යයෙන් පරාජය භාර ගන්න කෙනෙකුත් නෙමෙයි. උත්සාහය අත හරින කෙනෙකුත් නෙමෙයි . ඒ නිසා තමයි මම ඩ්‍රීම්ස්ටාර් සීසන් 1,2, 3,4 වගේම සීසන් 5 ත් සම්බන්ධ වෙන්නේ. සීසන් ෆයිව් අවසන් හය අතරට ඇවිත් නමක් හදාගන්නේ ඔය කියන අත්නොහැරිමේ ගුණය නිසයි. මම නුවර ඉඳලා කොළඹ ඇවිත් කට්ටක් කාලා ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරන කෙනෙක්. ඉතිං දෛවය දෙන විදිහ තමයි මේ. මම විශ්වය විශ්වාස කරන කෙනෙක්. මොකක් හෝ පවක් කරලා ඇති මෙහෙම ගමනක් යන්නේ. ඒ අමාරු ගමන පහසු කර ගන්න ඕන තරම් පහසු ක්‍රම හා ජනප්‍රිය පිරිස හිටියත් මම මගේ වැඩ පහසු කර ගන්න ඒ කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. මම හිමින් ගමනක් යනවා. ටික කාලයක් නිහඬව හිටියත් දැන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා

ගායකයෙක් වෙන හීනය කරපින්නා ගන්නකොට අම්මා කිව්වා නේද සින්දු කියන එක පැත්තකින් දාලා රස්සවක් කරන්න කියලා ..?

පුංචි කාලේ ඉඳලා මට ඕන වුණේ ගායකයෙක් වෙන්න. මම හෝටල් වල සින්දු කියද්දි අම්මා කිව්වා ඕක පැත්තකින් තියලා රස්සාවක් කරන්න කියලා. මම දෙරණ ඩ්‍රීම්ස්ටාර් යද්දීත් ඒ ටිකම කිව්වා. ඒත් පහුවෙද්දි මල්ලි අයියා වගේම අම්මා තාත්තා මට උදව් කළා. ආශිර්වාද කළා. දැන් මාව ටීවි එකෙන් දකිද්දී වැඩිපුරම සතුටු වෙන්නේ එයාලා. මම වැටෙන තැන්වල අල්ලගත්තේ පවුලේ අය. මම අද යම් තැනක අද ඉන්න එක ගැන එයාලා සතුටු වෙනවා.

හර්ෂ කියන්නේ දක්ෂ ගායකයෙක්. නමුත් දක්ෂතා මතු කරගනිමින් කැපීපෙනෙන දේවල් කරන්න උත්සාහ නොගන්න හේතුවත් කම්මැළිකම ද ..?

නිර්මාණ කරන්න හිතේ නිදහසත් තියෙන්න ඕන. පහුගිය කාලේ මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ටිකක් මතු වුණා, ඒ මානසික පීඩනයෙන් නිර්මාණ කරන්න මහන්සි ගත්තේ නැහැ. එහෙම නැතුව කම්මැළි කමට නිර්මාණ නොකර ඉන්නේ නැහැ. මම වැඩක් කරද්දී ඒක හරියට කරනවා. කැපවෙලා මහන්සි වෙලා වගේම කාලේ අරගෙන කොලිටි වැඩක් කරන්න තමයි උත්සහ ගන්නෙ

අලුත් දෙයක් කරන්න තවම සුදානම් නැද්ද ..?

අවුරුදු දෙකකට පස්සේ මම අතීතය නුඹයි කියලා ගීතයක් කළා. මේ ගීතය කසුන් පතිරණ ලිව්වේ. අශාන් ප්‍රනාන්දු සංගීතය සැපයූවේ. ප්‍රතිචාර තරමක් දුරට හොඳයි . ටිවි හා එෆ් එම් නාළිකාවලට ඒ ගීතය දුන්නා. ප්‍රචාරය වෙනවා. ඊට පස්සේ තිලිණ රුහුණුගේ සංගීතය කළ සිසිර කුමාර ලියූ ඉන්දීය ක්ලැසිකල් රොක් සංගීතයට කළා ගීතයක්. එය පෙබරවාරි මාසේ 10දා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. රෝස පෙති මල් ඔබේ කියලා. දැන් හිමින් වැඩ ටිකක් කරගෙන යනවා.

වඩාත් ජනප්‍රිය වූ ගීත කිහිපයක්ම හර්ෂ සතුයි. ඔබේ හඬ ජනප්‍රිය වුණාට ඒ ගීත කියන්නේ ඔබ කියලා දන්නෙ නැති පිරිසකුත් ඉන්නවා නේද ..?

ඇස් කතා කරනවා, බොල් පිනි වෑහෙන වගේ ගීත වසර ගණනකට පෙර කළත් තවමත් ජනප්‍රිය ගීත. මම හිතන විදිහට මම එච්චර ජනප්‍රිය කෙනෙක් නෙමෙයි , එහෙම මුළු ලංකාවම දන්න කෙනෙක් වෙන්න ඕනත් නැහැ. නමුත් මට ආදරේ කරන මගේ ගීත අහන රසිකයින් පිරිසක් ඉන්නවා. ඒ අතරට අලුත් අයත් එකතු වෙනවා නැතුව නෙමෙයි. නමුත් මම මට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙනවා. ඇත්තටම ඇතැම් අය ගීතය අහලා රස විඳිනවා. ගායකයා මම කියලා නොදන්න අයත් ඉන්නවා. මම ජනප්‍රිය නොවුණට කමක් නැහැ. ගීතය ජනප්‍රිය නිසා සතුටක් දැනෙනවා.

හර්ෂ ගායකයෙක් වුණේ අහම්බයකින් නොවුණට හඬ කැවීම් ශිල්පියෙක් වෙන්නේ අහම්බයකින් ..?

ඒක ඇත්ත. මම මීට කලින් ඩබින්වලට සම්බන්ධ වෙලා නැහැ. මිණි පහන ඔබයි කියන නාට්‍යයේ සිගන්දර් චරිතයට මට අවස්ථාව හිමි වෙන්නෙ අහම්බෙන්. ඒ චරිතයට වොයිස් ටෙස්ට් කරපු ජනප්‍රිය තරු ගොඩක් හිටියත් මගේ හඬ තමයි තේරුණේ. ඇඟ ඇතුළේ තියෙන ස්කිල් එකක් ඒ විදිහට එළියට ආවා. තවමත් මට සිගන්දර් කියලා කතා කරන අය ඉන්නවා. මේ දවස්වල දෙරණ එෆ්. එම් නාළිකාවේ සතියේ දින පහේ යන අපූර්වා නාට්‍යයේ කවිෂගේ චරිතයටත් හඬ කවනවා.

අමායාගෙන් හා දරුවන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක පහසු නැතුව ඇති. අපි ඒ ගැනත් කතා කරමු..?

අපි අවුරුද්දක් විතර ඇති දෙපැත්තකට වෙලා. දැන් සෙපරේට්. ඒත් මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුව හා පුතාලා දෙන්නා. මේ අය තමයි මගේ ජීවිතේ කවුරු කොහොම කිව්වත්. මම මැරෙනකල් මගේ යුතුකම් ඉටු කරන්න ඕන. එයාලට එයාලගේ තාත්තා නැති වෙන්න මම ඉඩ දෙන්නෙ නැහැ. අමායා හා දරුවෝ ළඟ නැතුව මම මේ ගෙවන්නේ අසීරූ කාලයක්.

ආයෙමත් එකතු වෙලා සතුටින් ජීවත් වෙන්න ලැබුණොත්..?

මම අමායා එක්ක කතාබහ කරනවා. අපි ආයෙමත් ඉස්සර වගේ සතුටින් ජීවත් වෙන්න ඕන කියලා අපි දෙන්නම දන්නවා. මම පව් කරලා ඇති කිව්වේ මුලින් ඒකයි. දැන් මට හිතෙනවා පව් ටික ටික ගෙවිලා යනවා කියලා. අපි ආයේමත් එකතු වෙන්න ටික දවසක් යයි. එතකල් මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මම පවුල් ජීවිත ගත කරන හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා පවුල් ජීවිතේ විනාස කරන්න පවුලට එබෙන්න මිනිසුන්ට ඉඩ දෙන්න එපා. සතුටින් හිටපු මගෙත් අමායාගේ ජීවිතේටත් එහෙම අයගෙන් ආපු බලපෑමක් නිසයි දුරස් වුණේ. ඒ අය අපිව විරසක කරලා පීඩාවට පත් කරලා වින්දනයක් ලැබුවා වෙන්න ඇති. අපි ළඟින්ම ඉන්න අයගෙන් තමයි අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන. දෛවය කොච්චර සරදම් කරනවා ද කිව්වොත් ගින්දර කියලා දැනගෙනම අත පුච්චාගන්න අවස්ථා තියෙනවා.

ගැහැනු බොහෝ දෙනෙක් කොච්චර සැප සම්පත් දුන්නත් ඊට එහා ගිය ආදරයක්, ආරක්ෂාවක් ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. අමායත් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ. ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා ..?

මට කියන්න තියෙන්නේ මම අමායාට ගොඩක් ආදරේ කරනවා කියලා විතරයි. ඒ ආදරේ කොච්චර ද කියලා ඇහුවොත් මට කියන්න නිර්වචන නැහැ. මම ආදරේ කරන එකම කෙනා මගේ බිරිඳ අමායා විතරයි. මට තාත්තා කියන හැඟීම දුන්නේ අපේ හෙවන් පුතා. හෙවන්ගේ වයස අවුරුදු හතරාමාරයි. පොඩි පුතා නිර්වාන්. අවුරුදු තුනහාමාරයි. අපේ දුවගේ වයස අවුරුදු 11ක් . එයා ලෝරියානා. මේ තුන් දෙනාගෙ ආදරේ මට ළං කළේ අමායා. අපි ආයේ එකතු වෙන්න ඕන. අමායාට දීපු ආදරේ තවත් වෙනස් වෙලා නැහැ .

අමායාව බිරිඳ කරගත්ත තීරණය වැරදි තීරණයක් කියලා හිතිලා තියෙනවාද ..?

කවදාවත් මගේ හිතට එහෙම හිතිලාවත් දැනිලාවත් නැහැ. මම එයාට ආදරේ කරනවා. ඒ ආදරේ නිසානේ අපි පවුල් ජීවිතයක් ගත කළේ. ප්‍රශ්න එනවා, වැරදි වෙනවා. ඒවා ජීවිතේට පාඩම් කියා දෙනවා කියලයි මම හිතන්නේ. ඉතිං ඒ අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න තමයි මම ඉදිරියේ දි උත්සාහ කරන්නේ. ඒ වගේම කියන්න ඕන ළඟදි දවසක මම එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදි ප්‍රශ්නයක් ඇහුවා මගෙන් අම්මව හරි බිරිඳව හරි තෝරා ගන්න වුණොත් දෙන්නගෙන් කාවද තෝරා ගන්නේ කියලා. ඒ දෙන්නම මට නම් ඇස් දෙක වගේ. අත් දෙක වගේ. අපිට එක ඇසක් හෝ එක අතක් නැති වුණොත් කොහොමද. ඒක අමාරු අවස්ථාවක්. මගේ බිරිඳටත් දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ අම්මා අමායා. ඉතිං මගේ අම්මත් එහෙමයි. අම්මලා දරුවන්ට දක්වන ආදරේ වෙනස්. එය අමායා හොඳින් තේරුම් ගෙන හිටපු කෙනෙක් කියලා මතක් කරන්න ඕන

අමායා කියන්නේ දක්ෂ නිරූපණය ශිල්පිනියක් ..?

අමායා කියන්නේ පෞද්ගලික ජීවිතේ නිසා උපරිම දුකක් විඳපු කෙනෙක්. ඒ වගේම එයා ටිකක් ඉක්මනින් කලබල වෙනවා. ඒ හැර එයා මම වගේම පරාජය වෙන්නෙ නැහැ අවශ්‍ය දේ ලැබෙනකල් එය ලබා ගන්න උත්සාහ කරනවා. කෙටියෙන්ම කිව්වොත් දරාගැනීම උපරිමයෙන් තියෙනවා. ඒ වගේම එයත් කලාවට දක්ෂ කෙනෙක්. එයාගේ වරදක් කියන්න තරම් දෙයක් දකින්නෙ නැහැ. ඒ තරම් හොඳ කෙනෙක් තමයි අමායා කියන්නේ. සැමියා විදිහට එයාගේ දක්ෂතා ගැන මම සතුටු වෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division