Home » සැනසිල්ලෙ ඇස් පියාගන්න නම් කරන්න ඕන දේ මෙන්න

සැනසිල්ලෙ ඇස් පියාගන්න නම් කරන්න ඕන දේ මෙන්න

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

කුඩා කල සිටම දරුවන්ට මනුස්සකම් උගන්නන්න. අනාගතේ ඔවුන් මනුස්සකම් හඳුනන මිනිසුන් වේවි. කොතරම් පොහොසත් වුණත් මිලදී ගත නොහැකි ඒත් ජීවිතේට අත්‍යවශ්‍යම ආදරය, කරුණාව, දයාව වැනි හැඟීම් දැනීම් කියා දෙන්න. ඔහු ධනවත් වුණා හෝ නොවුණා ජීවිතේ දැනෙන විඳින මිනිසෙකු වේවි.

ඔබ කොතරම් කාර්ය බහුල වුවත් ඔවුන් සමඟ කාලය ගත කරන්න. ඔවුන් වැඩිහිටියන් වූ පසු ඔබ සමඟ ගෙවූ කාලය ඔවුන්ගේ මුවට සිනහවක් ගෙන ඒවි.

ඔවුන්ගේ මනසේ මවුපියන් ගැන සුන්දර මතක සටහන් ලියා තබන්න. ඒ මතකවල ආදරණීය බව නිසාම ඔවුන් අනාගතයේදී ඔබ වෙනුවෙන් පොඩි කාලයක් හෝ වෙන් කරාවි .  

අනෙකා පරදවා ජයගැනීමට, වාර විභාග වලින් යාළුවන්ට වඩා ලකුණු ගැනීමට, නිතරම පළවෙනියා වී අනුන් සමඟ තරග කර ජය ගැනීම වෙනුවට තමන් වෙනුවෙන් ඉලක්ක සාදාගෙන දහමෙන් සෙමින් ඒ ඉලක්ක කරා යන මඟ උගන්වන්න.

හැකි අයුරින් දන් දීමට, බෙදා හදාගැනීමට කියල දෙන්න. ඒ දේවල් ප්‍රයෝගිකව කර පෙන්වන්න. එවිට අනාගතයේ ඔවුන් මවුපියන්ටවත් සත පහක් නොදෙනා මසුරන් බවට පත් නොවේවි.

දරුවන්ට දැනෙන්නට ආදරේ කරන්න. දරුවෝ වෙනුවෙන් තියෙන ආදරේ හිත ඇතුළේ හංගගෙන හිරකරගෙන නොයිඳ ඔවුන්ගේ හිතට ගතට දැනෙන ලෙස ආදරේ කරන්න. ඔවුන් අනාගතයේ ආදරයේ වටිනාකම දන්නා ආදරණීය මිනිසුන් වේවි.

වැදගත් මවුපියන් දෙස ජීවත් වන්න. දෙන්න දෙමහල්ලන්ගේ පුද්ගලික ජීවිතයේ රණ්ඩු සරුවල්, නොගැළපීම් දරුවන් ඉදිරියේ කතා කරමින් දරුවන්ගේ ළමා මනසට අනවශ්‍ය බරක් නොදෙන්න. ඔවුන් මානසිකව පීඩාවට පත් නොකරන්න. එවිට පීඩනයෙන් තොරව ඔවුන් සමාජගත වේවි.

දරුවන් වැඩිහිටියන් වුණු පසු ඔවුන්ට ඔවුන්ගේ ජීවිතවල තීරණ ගන්නට ඔවුන්ට ඉඩ දෙන්න. දරුවන්ගේ විශේෂ ඉල්ලීමක් නොමැතිව ඔවුන්ගේ ජීවිත මැදට පනින්නට නොයන්න.

වයස සම්පූර්ණ වූ පසු ඔවුන්ගේ අනාගත සහකරු සහකාරිය තෝරාගැනීමට නිදහස දෙන්න. ඒ සඳහා ඔබගේ කුල මල, නෑදෑ පරපුර, වත් පොහොසත්කම්, ඉඩ කඩම්, දෑවැදි අදාළ කරගෙන බාධා නොකරන්න. වැරද්දක් ඇත්නම් පෙන්වාදී ඔවුන්ට ඒ තීරණ ගැනීමට නිදහස දෙන්න.

ඔබ අදහන කුමක් හෝ ආගමක් ඔවුන්ට උගන්වන්න. ඔවුන් ජීවිතවල අසරණ වන විට තනි වන විට සහනය ලබාගැනීමට ආගම වැදගත් වේවි.

ඔබගේ සියලු දේපළ ධනය, දරුවන් වෙනුවෙන් වැය නොකරන්න. ඔබ වෙනුවෙන් යමක් ඉතුරු කරගන්න. අනාගතයේ ඔබට තනි වීමට සිදු වුවහොත් එය ඔබට ශක්තියක් වේවි .

ඔබ සතු යමක් ඔබ කැමැත්තෙන් දරුවන් වෙත ලබාදීමට සූදානම් නම් එය ඔබගේ සියලු දරුවන් අතර එක සමානව බෙදා දෙන්න.

(මහ ගෙදර පොඩි එකාට, ලොකු එකා පෝසතා, පොඩි දුව පිටට දීපු එකීනේ) කියා ඔබ විසින් සකසා ගත් හිතළුවලට ඔබ සතු දේ බෙදා දීම වර්තමානයේ මවුපියන් දරුවන් සහ සහෝදර සහෝදරියන් අතර ගැටලු මතුවීමේ මූලිකම සාධකය වී ඇත. ඒ නිසා දරුවන්ට දෙන යමක් වේ නම් සමානව බෙදා දෙන්න.

මේ සියල්ල අතරේ ඔබ ඔබේ ජීවිතය විඳින්න. එවිට අනාගතේ දරුවන් ඔවුන්ගේ ජීවිතවල සැනසෙන විට ඔබට කොනකට වී විඳවීමට, පසුතැවීමට දෙයක් නැත.

දරුවන් පෝෂණය කර උස් මහත් කරනවා සේම ඔවුන්ව, ගුණවත්, ආදරණීය මනුසත් කමෙන් පිරි මිනිසෙකු ලෙස සමාජගත කිරීම ද සෑම මවුපියකුගේම යුතුකමක් වගේම වගකීමක්‌ ද නිසා,

සල්ලි ගොඩවල් පස්සෙ විතරක් දුවන හැඟීම් දැනීම් නැති රොබෝවරු වෙනුවට, සතුටෙන් ජීවත් වෙන්න දන්න ආදරණීය දරුවෙකුගේ මවුපියෙකු ලෙස, සැනසිල්ලේ ඇස් පියාගන්න ඕනෙ නම් කල් නොදමා දරුවන්ට යහපත් කම් උගන්නන්න.

අනිශා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division