Home » ජනතාවගේ විශ්වාසයක් නැතිව ආර්ථිකයක් ගොඩ නඟන්න බෑ…

ජනතාවගේ විශ්වාසයක් නැතිව ආර්ථිකයක් ගොඩ නඟන්න බෑ…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

වර්තමාන ආණ්ඩුවේ ගමන් මඟ ගැන සෑහීමට පත් වෙන්න පුළුවන්ද?

ආණ්ඩුවේ ගමන ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මිනිසුන්ට තියෙන ආර්ථික පීඩනය දරා ගන්න බැරි තත්ත්වයට ඇවිත්. රටේ ජනතාවගෙන් 1/3ක් දුගීභාවයට පැමිණිලා කියලයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් වාර්තා වෙන්නෙ.

ඒ තත්ත්වයට අමතරව ජනතාව ගන්න ආහාර වේල් ගාණ ගැනත් අපට බලන්න පුළුවන්, ගන්න ආහාර වලිනුත් බලන්න පුළුවන්, ඒ කියන්නෙ පෝෂ්‍යදායක ආහාර ලැබෙනවද කියලා. ඒ වගේම ගන්නා ආහාර ප්‍රමාණය ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ආහාර මිලෙන් බලන්නත් පුළුවන් රටේ තත්ත්වය.

ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනය ලබා දෙන්න බැරි තරමට පාසල් උපකරණවල මිල ඉහළ ගිහින්. පිටු 80ක පොතක් කලින් රුපියල් 40යි. දැන් රුපියල් 100යි. කොහොමද දරුවන් පාසල් යවන්නෙ. කොයි පැත්තෙන් බැලුවත් ආර්ථික පීඩනයෙන් ජනතාව මිරිකිලා ඉන්නෙ. කිසිම ලෙසකින් සෑහීමකට පත් වෙන්න බැහැ දැන් තියෙන තත්ත්වය ගැන.

මේක ආර්ථික අර්බුදයක්නෙ. ඔබ නැත්නම් සජබය මොනවද කරන යෝජනා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න.

ආර්ථික මූලධර්ම ගැන හුඟක් අයට වැටහීමක් නැහැ. මේ හැම දෙයක්ම ප්‍රායෝගික වෙන්න ඕන. ආර්ථිකයක් ගොඩ නඟන්න මිනිසුන්ගෙ විශ්වාසය ගොඩ නැඟෙන්න ඕන. බැංකුවකින් ණයක් ගන්න ගියහම අදාළ ව්‍යාපාර යෝජනාවට කලින් බැංකුව බලන්නෙ ඒ ඉල්ලුම්කරු කවුද කියන එකයි. එයා අවංක පුද්ගලයෙක්ද, කලින් මේ පුද්ගලයා අවංකව කටයුතු කරල තියෙනවද කියල.

ඒ වගේම ඉන් පසුව බලන්නෙ ඒ කාර්යය සම්බන්ධව ඔහුට අත්දැකීම් තියෙනවද කියල ඒ වගේ කාර්යයක් සිදු කරන්න.

ඒ වගේ රට හදන්න ගියත් මූලික සිද්ධාන්තය වන්නෙ රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙන ආණ්ඩුවක්. ආයෝජකයන්ට විශ්වාසයක් තියෙන්න ඕන ඒ රටේ ආයෝජනය කරන්න. අපේ රට තවත් දේශීය වෙළෙඳපොළක් පමණක් නෙමේ. අපි අන්තර්ජාතික වෙළඳපොළක් එක්කයි කටයුතු කරන්නෙ. ඒ නිසා අන්තර්ජාතික සබඳතා අනුව කටයුතු කළ යුතු වෙනවා. අපේ රටේ අගමැති නීත්‍යනුකූලයි, ජනාධිපති නීත්‍යනුකුලයි, ආණ්ඩුව නීත්‍යනුකූලයි. ඒත් ජනතා විශ්වාසයක් ඒ රජයට නැහැ.

විශ්වාසය රැක ගන්න කළ යුත්තේ කුමක්ද?

දැන් විශ්වාසය රැක දීම පිණිස කළ යුතු එකම ක්‍රමවේදය මැතිවරණයක් පවත්වා ජනතා විශ්වාසය රැක දී ඒ වෙනුවෙන් අවශ්‍ය ජනතා නියෝජිතයන් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමයි. ඉතිහාසය දිහා බලන්න ජනතාව කියන්නෙ මොනවද කියලා. 2015 රජය බලයට පත්වුණේ මේ ක්‍රමය වෙනස් කරනවා කියලා. නමුත් වෙනස් කළේ නැහැ. ජනතාව ඒ බව දන්නවා.

දූෂණ විරෝධී කමිටුවක් හැදුවා. අගමැති, ජනාධිපති ඒව අධීක්ෂණය කළා. අනුර කුමාර මහත්තයත් හිටිය කියල කියනවා මට නම් හරියට මතක නැහැ. අන්තිමේදී වළක්වපු දූෂණය මොකක්ද?

මහ බැංකුවේ බැඳුම්කර වංචාව වගේ ඒව ජනතාවට අමතක නැහැ. විශ්වාසය නැති වෙලානෙ තියෙන්නෙ. ඒ විතරක්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයෙන් අතිවිශාල වන්දි මුදලක් නියම කළා, වරදකරු කරමින්. ඉතින් විශ්වාසයක් කොහෙද? ඒ විශ්වාසය ඇති නොකර යහපත් ආර්ථිකයක් ඇති කරන්න බැහැ.

සජබ ආර්ථිකය ගොඩනංවන වැඩපිළිවෙළ මොකක්ද?

දූෂණය නැති කිරීම තමයි සජබ පළමු පියවර වන්නේ. මේ රජය ගෙන ආ දුෂණ විරෝධී පනතට අපි සහාය දුන්නා. ඊට පෙර මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා, මහජන නියෝජිතයන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න කියලා. දූෂණ විරෝධී පනත ගෙන ඒමේදී එහි සංශෝධන 80ක් පමණ සිදු කර එය සකස් කළ නිසා මගේ පනත මම ඉල්ලා අස්කර ගත්තා. ඒ එහි කරුණුත් මේ පනතට අඩංගු කළ නිසා.

එය සමස්ත ආර්ථිකයක්ම හසුරවන සාධකයක් වෙන්නෙ නැහැනෙ.

අපි කොහෙන් හරි වැඩක් පටන් ගන්න එකයි කරන්න ඕන. දූෂණය. වංචාව ඉවත් කරමින් ඒ ගමන ආරම්භ කිරීමයි අප කළේ. ඒ වගේම අප යෝජනා කර තියෙනවා ස්වාධීන නඩු පැවරීමේ ආයතනයක් ස්ථාපිත කිරීමටත්. මම අද ඇමැති කෙනෙක්. හෙට හොරකම් කරනවා. මට නඩු දැම්මහම මම නීතිඥයෙක් උසාවියට ඉදිරිපත් කරල අධිකරණයට මුහුණ දෙනවා. ඒ නීතිඥයා මට විරුද්ධව නඩුවලට පෙනී සිටින්නෙ නැහැ. ඒ වගේම අධිකරණය ස්වාධීනව හා අධිකරණය විනිවිදබවින් යුක්ත වීමත් වෙනුවෙන් නඩු පැවරීම ස්වාධීන ආයතනයක් හරහා සිදුවිය යුතුයි. එවිට අදාළ සියලු චෝදනා සහිතව එම අධිකාරිය එම කටයුතු කරාවි. ආණ්ඩු මාරු වුණත් ඒ අධිකාරියට ඒක ගැටලුවක් නෙමෙයි.

ඒ සියල්ල හොඳයි ආර්ථිකය දළ ජාතික නිෂ්පාදිතය නැංවීමට කරන යෝජනා මොනවාද?

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරල වැඩපිළිවෙළක් සකස් කරනවා.

80 දශකයේ අපේ දළ දේශීය නිෂ්පාදිතය 20%ට වැඩියෙන් තිබුණා. අපෙන් ආණ්ඩුව අරගෙන අපි ආපහු ආණ්ඩුව ගන්නකොට එය 10%ට බස්සල තිබුණෙ. අපි අවුරුදු 2 ½ක් තුළ ආපහු 13%ක් දක්වා වැඩි කළා. අපි අලුත් ආදායම් බදු පනතක් ගෙනාවා. ඒ වෙනකොට තිබුණු බදු ලිපි ගොනු ලක්ෂ 7 වෙනුවට අලුත් බදු ලිපිගොනු ලක්ෂ 17ක් දක්වා වැඩිවුණා. බදු ගෙවීමේ ජාලය වැඩි කරගත්තා. ඒ ක්‍රමවේදය තුළ අපේ රටේ ආර්ථිකය අපි නිසි මට්ටමට තබා ගත්තා. අප්‍රේල් මාසෙවත් බඩු මිල ඉහළ ගියේ නැහැ.

බැංකුවකින් ණයක් ගන්න ගියත් පොලිය උපරිම 12%ක් වගේ තිබුණෙ. ගෙයක් හදන්න, වාහනයක් ගන්න එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගැටලුවක් තිබුණෙ නැහැ.

පහුගිය දවස්වල මොකක්ද මේ රටේ තිබුණු ආර්ථික තත්ත්වය. ආහාර උද්ධමනය 100%ත් ඉක්මවා ගියා. උද්ධමනය 90%ක් විතර ඉහළ ගියා. පොලී අනුපාත 25%ක් විතර ඉහළට ගියා.

ජනතාව බදු බරින් මුදවා ගන්න, නැත්නම් ජනතාවගේ ජීවන බර අඩු කරන්න ඔබතුමාලගෙ අලුත් යෝජනා මොනවද?

අපි මෙතනදි කරන්නෙ පවතින බදු ජාලය ක්‍රියාත්මක කිරීමයි. ඒ වගේම බදු ජාලය වැඩි කරනවා. ගෙවන්න පුළුවන් අයගෙන් නැති බැරි අයට ලබා දෙනවා. බඩු මිල ඉහළ යන්න බලපාන වැට් බද්ද වගේ බදු අඩු කරනවා. අඩු වන ඒ ආදායම සොයා ගන්න ඍජු බදු, ආදායම් බදු යන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා. ඩිජිටල් තාක්ෂණය ක්‍රියාවට නංවන්න ඕන. කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕන. දූෂණය නාස්තිය අඩු කරන්න කටයුතු කරන්නම වෙනවා.

ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා ආදායම වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේද සියල්ල බලාත්මක කළ යුතු වෙනවා.

ඒ වෙනුවෙන් ආදායම් බදු අධිකාරියක් ස්ථාපිත කළ යුතු වෙනවා. ඒ කියන්නෙ ආදායම් බදු ඇතුළු සියලු ගෙවීම් එක් ස්ථානයක් හරහා සිදු කිරීමේ ක්‍රමයක් ඇති කළ යුතු වෙනවා. එවිට ඩීල් දාන්න බැහැ. වෙනත් රටවල මෙවන් ක්‍රමවේද තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ හරහා දූෂණය, හොරකම, වංචාව මේ සියල්ල මැඬලීමට හැකියාව ලැබෙනවා.

ඒ ක්‍රමවේද හොඳයි තමයි, අපේ රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගන්න කිසිම රජයක් කටයුතු කළේ නැහැනෙ.

අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියනවනෙ. පිහිටීමේ හැටියට අපට හිමි ස්වභාවික සම්පත් අතුරින් විශේෂ ලෙස වරාය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වරාය හරහා අපට නෞකාවන්ට පහසුකම් සපයා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. සිංගප්පූරුව එවැනි තත්ත්වයකට පත්ව ඇති රටක්. ඒ වාසිය අපට තවමත් හරිහැටි ලබා ගන්න බැරිවුණා.

අපේ රටේ ගැඹුරු වරායන් හරහා අපට ලබාගත හැකි පහසුකම් බොහෝයි. ඉන්දියාවේ මෙන්ම බංග්ලාදේශයේ වරායන්හි මුහුදු ගැඹුරින් අඩු නිසා එම වරායන්ට විශාල නෞකාවලට ළඟාවීම අපහසුයි. නමුත් අපට ස්වභාවිකවම ගැඹුරින් යුක්ත වරායන් ඇති නිසා විශාල නෞකා වරායන්ට ගෙන්වා ගෙන පහසුකම් සපයන්න පුළුවන්. ඒ හරහා ආදායම් වැඩි කර ගැනීමේ මාර්ග තියෙනවා.

ඒ වගේම ඉන්දීය ආයෝජනයෙන් අපේ බටහිර ජැටියක් නවීකරණය වෙනවා. ඒවා අප අගය කරනවා. දේශීය මුදල් වැය නොකර අපට ආයෝජන ගෙන ඒම ගැන. නමුත් ගැටලුව ඇත්තේ ඒවා විනිවිද කටයුතු විය යුතු බවයි. සොබා දහමේ වාසිය අප අනුගමනය කළ යුතු වෙනවා. මේ කාර්යයන් අපට අමුතුවෙන් වියදම් නොකර ආදායම් උපදවා ගත හැකි බව පෙන්වා දිය හැකියි.

අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සජබ ප්‍රතිපත්තිය ගැන පැහැදිලි කළොත්.

අපේ රට මිලියන 22ක් වගේ ජනගහනයක් ඉන්න රටක්. ඒ කියන්නේ ඉන්දියාවෙ නැත්නම් චීනයෙ නගර දෙකක ඉන්න ජනගහනය වගේ. අපේ දරු සම්පත රැක ගන්න විධිමත් අධ්‍යාපනයක් අප ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ අනුව හැම දරුවකුටම අධ්‍යාපනයක් ලබා දීමේ ක්‍රමවේදයක් අප සකස් කළ යුතු වෙනවා.

එක පවුලක දරුවන් 3 දෙනෙක් හිටියොත් ඒ තුන් දෙනා විවිධ අංශවල අය වෙන්න පුළුවන්. එක්කෙනෙක් පොත්පත් ඉගෙනුම වෙන්න පුළුවන්. තවත් අයෙක් අත්කම් නැත්නම් කාර්මික අංශයෙන් වෙන්න පුළුවන්, තවත් අයෙක් නැටුම්, සංගීතය වගේ කලා අංශයෙන් වෙන්න පුළුවන්. මේ ඕනෑම අංශයකින් ඉදිරියට යන්න අවස්ථාව සකස් කර දීමේ වගකීමක් අප රජයක් විසින් ගනු ලබනවා. ඒ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය හෝ ලබාදීමට අවශ්‍ය පියවර අප ගනු ලබනවා. බොහෝ විට විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ගන්නා උපාධි රැකියාවෙන් ගන්නා වැටුපට වඩා වැඩි වැටුපක් වෘත්තීය අධ්‍යාපනයෙන් ලබා ගන්න පුළුවන්.

අපි ඇති නැති පරතරය බලන්න ඕන අධ්‍යාපනයෙන්. අපේ රටේ ඒ පරතරය වැඩියි. එය ඉතා ආසන්න මට්ටමට ගෙන ඒම අපේ අපේක්ෂාවයි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division