Home » නිදහස් දින පණිවිඩ

නිදහස් දින පණිවිඩ

by Mahesh Lakehouse
February 3, 2024 12:37 am 0 comment

මේ ගමන් මඟෙහිම ඉදිරියට යමු
– ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව දැන් මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මඟෙහි ම ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බව 76 වෙනි නිදහස් සමරු පණිවිඩයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වැනි නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි. ඒ අනේක දුෂ්කරතා මධ්‍යයේය.

දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළට සහායදීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි විණි.

මේ මඟෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත. ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත. 1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්‍ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත්

රාජ්‍යයක් බවට පත් වීමටය. අතීත වැරදි යළි සිදු නොකළ යුතුය.

රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.


දුෂ්කර කඩඉම් පසු කර ගනිමු
– අගමැති දිනේෂ් ගුණවර්ධන

ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් එම දුෂ්කර කඩඉම් අප පසු කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් දන්වා සිටී.

එම පණිවුඩයේ මෙසේද දැක්වේ. පෙර මුතුන් මිත්තෝ අප අභිමානවත් ඉතිහාසය නිර්මාණය කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අප එය අර්ථවත්ව මතු පරපුරට දායාද කළ යුතු වෙමු.

විටින් විට විදේශීය හා අධිරාජ්‍යවාදී ආක්‍රමණවලට මුහුණ දී සංග්‍රාමයෙන්, ලෙයින් දහදියෙන්, අරගලයෙන්, බුද්ධියෙන් පෝෂණය වෙමින් ලද නිදහසේ 76 වන වසර අද අප

සමරමු. 1818 හා 1848 ජාතික විමුක්ති සටන් හි සිට එවක් පටන් 1948 දක්වා ආගමික හා ගිහි ජාතික නායකයින් කළ චින්තන හා විප්ලවීය අරගල තුළින් 1948 දී අපි නිදහස ලදිමු. මේ මොහොතේ ඔවුන් අභිමානයෙන් සදානුස්මරණය කරමු.

එකී නිදහසෙන් පසුව වුවද 1956 ජනතා පෙරළිය, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ලද පූර්ණ නිදහස, තිස් වසරක යුද්ධය නිම කරන්නට ජීවිත, ඇස්, ඉස් මස්, ලේ දන් දුන් රණවිරුවන් මේ මොහොතේ කෘතවේදිව සිහිපත් කළ යුතුය.

විසල් ආර්ථික අර්බුදයකට මුහුණ පා කෙමෙන් නැවත නිවැරදි ඉලක්කයට ගමන් ගන්නා වකවානුවක අපි මෙවර නිදහස් දිනය සමරමු.

මෙම අභියෝග ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමේ අදිටන පෙරදැරිව ආර්ථිකයේ නව හැරවුමක් වන්නට 76 වන ජාතික නිදහස් දිනය සටහන් වනු ඇත. එකී සටන් මත, නිදහස සුරකිමින් රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන්, සැවොම එක්ව ඉදිරියට, දියුණුවට පියනගමු.


නිදහස සුරක්ෂිත කර ගැනීම අපේ වගකීමක්
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැපවීම පාලකයින්ගේ ද වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසා සිටී. එහි මෙසේද සඳහන්ය.

උත්තරීතර නිදහස වෙනුවෙන් ජාතිය මුහුණ දුන් සියලු‍‍ අභියෝග ජය ගැනීමට අතීතයේ සිට මේ දක්වා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු‍‍ දෑ හිතකාමීන්ට ජාතියේ ගෞරවයත් උපහාරයත් පුද කළ යුතු ය. ශ්‍රී ලංකාව නිදහස දිනා වසර 76ක් ගත වී ඇති නමුත් දිනා ගත් නිදහස ජාතික, ආර්ථික, සමාජීය, අධ්‍යාපනික හා ආගමික වශයෙන් වඩාත් අර්ථවත් කර ගැනීමට අප අපොහොසත් වී සිටිමු.

වසර 76ක් පුරා රටක් ලෙස අප විවිධ අභියෝගවලට මුහුණ දෙමින් ලබා ගත් දේශපාලනික නිදහස ආර්ථික මෙන් ම සාමාජීය නිදහස ලෙසට ද පරිවර්තනය කර ගැනීමේ වගකීම 1948 සිට අප සතුව තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් පටු භේද හා ජාතිවාදී මෙන් ම ආගම්වාදී හැඟීම්වලින් දේශපාලන ක්ෂේත්‍රය ඉතා අපිරිසිදු වීම නිසා අප රටක් ලෙස භේදබින්න වූවා මෙන් ම අවාසනාවන්ත ඛේදවාචකයන් රැසකට මුහුණ දෙන ලදී.

ඒ අනුව, දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන් ම පරාජයන් ද ඉක්ම ගිය වසර 76ක කාලය තුළ අපට අත්දැකීම් සපයයි. ‘නිදහස හා නිවහල් බව’ යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන් ම ආරක්‍ෂා කළ යුතු දෙයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division