1971 ජේවීපී කැරැල්ලට සක්‍රියව සහභාගි වූ පුද්ගලයන් සංඛ්‍යාව දැන් ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින්නේ ’71 ජේවීපී කැරැල්ලට සහභාගි වී සිටි’ යන පාඨයත් සමඟය. මේ ජේවීපී කැරැල්ලට සහභාගි වූ ඇත්තන් බොහොමයක් තම අත්දැකීම් ග්‍රන්ථ ලෙස එළිදැක්වූයේ නැත. එවැනිම ජීවිතයේ අවසානය දක්වාත් ජේවීපී මතවාදයේ සිටි චරිතයක් පසුගිය ජනවාරි 29 වැනි දින ජන්මාන්තර ගතවී පෙබරවාරි 1 වැනිදා බොරැල්ල කනත්තේදී අවසන් ගමන් ගියේය. ඔහු වික්‍රමආරච්චි ඔස්මන්ඩ් ද සිල්වාය.
වික්‍රමආරච්චි ඔස්මන්ඩ් ද සිල්වා උපන්නේ 1944/06/17 වැනිදාය. මියයන විට 80කි. ඔහුගේ මව ජවිපෙ පක්ෂයේ අම්මා ලෙස සැලකෙන 2007 අප්‍රේල් 12 වැනිදා ජීවිතයෙන් සමුගත් සීලවතී ද සිල්වාය.
මීට සිව් වසරකට පමණ පෙර මා සේවය කළ පුවත්පත සඳහා විශේෂාංගයක් සැකසීමට ඔස්මන්ඩ් හමුවට ගියේ වනාතමුල්ලේ ඔහු සිටි නිවෙසටය. එහි සාලයේ ඔහු විජේවීර සමඟ පිරිසක් සිටින කළු සුදු ඡායාරූපයක් එල්ලා තිබුණි. මේ ගමනට මා සමඟ ගිය අනිත් සගයා වූයේ පුවත්පත්කලාවේදී මහින්ද ආරියවංශය. අපට මුලින්ම දැන ගැනීමට අවශ්‍ය වූයේ ඔස්මන්ඩ් ජේවීපීයට සම්බන්ධ වූ ආකාරයයි.
“මගේ ගම බොරැල්ල වනාතමුල්ල. ඒ කාලයේ ඉඳලා අපේ ආසනය වූ බොරැල්ල ආසනය වමට බර ආසනයක් වුණා. ලංකා සමසමාජ පක්ෂයේ හොඳ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් රැසක් අපේ ගමේ හිටියා. මම මේ කාලයේ තරුණයකු වශයෙන් ක්‍රීඩාවට ඉතාම ඇල්මක් දැක්වූවා. මල්ලවපොරවලට මම උනන්දුවක් දැක්වූවා වගේම ජයග්‍රහණ පවා අත්පත් කරගෙන හිටිය තරුණයෙක්. මගේ පියා සහ මව සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් වුණා. ඒ කාලයේ මගේ දක්ෂම සහ හොඳම කථිකයා වුණෙ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. විවියන් ගුණවර්ධනට, ඇම්.ජී. මෙන්ඩිස්ට අපි වැඩි කළා. මගේ අම්මා සීලවතී සිල්වා සමසමාජ පක්ෂයේ හොඳ ප්‍රබල ක්‍රියාකාරිනියක් වුණා. ක්‍රීඩාව සමඟ දේශපාලනය සමබරව ගෙන යෑමට හොඳ ඉවසීමක් ක්‍රීඩාවෙන් ද මට ලැබුණා. දවසක් මගේ යාළුවකු වු ටී.ඩී. සිල්වා (පසුව ලොකු අතුලගේ මාමණ්ඩිය) මට කතා කළා අලුත් දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා. කැමැතිද ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව ටී.ඩී. සිල්වාගේ එඬේරමුල්ල නිවසට ගියා. එහිදී සතොසේ වැඩ කළ ජේමිස් සහෝදරයාත් ටී. ඩී. සිල්වාත් ඒ අලුත් දේශපාලන ව්‍යාපාරයේ තොරතුරු කියලා දුන්නා. නමුත් මට ඒක ඒ තරම් ආකර්ෂණය වුණේ නැහැ. දෙවැනි වතාවට නැවත එඬේරමුල්ලට ගියහම එදා ජේමිස් සහෝදරයා හමු වුණා. අපි රාත්‍රී එළිවෙන තුරු දේශපාලනය කතා කළා. එදා නම් අලුත් දේශපාලන ව්‍යාපාරය ගැන පුදුම තරම් ආකර්ෂණීය බවක් ඇති වුණා. එදාම රෝහණ සහෝදරයා කිවුවා දැන් නිකම් ඉඳල නම් බැහැ. වැඩේට බහින්න කියලා. ඒ අනුව ලැබුණු උද්දාමයත් ආත්ම විශ්වාසයත් තුළින් බොරැල්ල ඇතුළු කොළඹ ප්‍රදේශයේ වැඩ කරන්න පටන් ගත්තා. ඊළඟට සති තුනක අධ්‍යාපන කඳවුරකට ගියා. ගාල්ලේ අක්මීමන කරුණාරත්නලගේ නිවෙසට. එහිදී විමලගණේ බටපොළ අතුල, සුනන්ද දේශප්‍රිය, සුනන්දගේ පියා පියසේන ඉස්කෝලේ මහත්තයා කෙලී සේනානායක වැනි පුද්ගලයන් ඒ කඳවුරට ඇවිත් හිටියා.
ඔස්මන්ඩ් පවසා සිටියේ මුලින්ම වනාතමුල්ල ජනාවාස වූයේ 1944 දී කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ විසින් බවය. වනාතමුල්ල නිවාස යෝජනා ක්‍රමය තුළ ප්‍රධාන වශයෙන් නවාතැන් ගත්තේ බෲක් බොන්ඩ්, ලිප්ටන්, හේලිස් කොම්පැනිවල සහ රජයේ මුද්‍රණාලයේ මෙන්ම කොලොන්නාව රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවකයන්ය. ඒ කාලයේ “යශෝධරාවත” හරිම ලස්සනට වනාතමුල්ලේ මළ ගෙවල්වල ගායනා කරනවා. බොරැල්ල ආසනය නෙමෙයි ඉස්සර අපිට තිබුණේ දකුණු කොළඹ ආසනයට තමයි අපි අයිති වුණේ. ඒක බහුමන්ත්‍රී ඡන්ද කොට්ඨාසයක්. ජේ. ආර්. ජයවර්ධන හා බර්නාඩ් සොයිසා එහි මන්ත්‍රීවරුන් වුණා. බර්නාඩ් සොයිසා මහත්තයා තමයි මුලින්ම වනාතමුල්ලට විදුලිය අරන් දුන්නේ.”
ඔස්මන්ඩ් මුලින්ම දේශපාලනය අරඹා ඇත්තේ ලංකා සමසමාජ පක්ෂයෙනි. ඔස්මන්ගේ ගෙදරට ආ අමුත්තන් අතර ඇන්. ඇම්. පෙරේරා සහ විවියන් ගුණවර්ධන ද විය. කොල්වින් ආර් ද සිල්වා පාසල් වියේ ඔස්මන්ඩ්ගේ ප්‍රියතම කථිකයා විය.
“මගේ පියාගේ දේශපාලන පසුබිමත් මත මමත් ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වුණා. මම සමසමාජ පක්ෂයේ වනාතමුල්ල ශාඛාවේ උප සභාපති වගේම භට හමුදාවේ ද සාමාජිකයෙක් වුණා.”
අද ප්‍රෙස් කොන්ෆරන්ස් නොහොත් මාධ්‍ය සාකච්ඡා වැහි වසා ඇත. අද බොහෝ දෙනකු ඒවාට යන්නේ ඒවා ඉවර වූ පසු හීන් අඩියක් ගැසීමටය. එහෙත් අඩි නොගැසූ විජේවීර මුලින්ම පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ බොරැල්ල වනාතමුල්ල ප්‍රජාශාලාවේය. ඒ 1970 සැප්තැම්බර් 5 වැනිදාය. එය මුළුමනින්ම සංවිධානය කොට තිබුණේ ඔස්මන්ඩ් සිල්වා විසිනි.
එදා ඒ මාධ්‍ය හමුවට පියතිලක සිසිල්චන්ද්‍ර, කළු ලකී සමඟ මමත් සහභාගි වුණා. ජනතා විමුක්ති කියන පක්ෂයේ නිල පුවත්පත බෙදා හැරීම කළේ අපේ නිවෙසින් තමයි. ඕනෑම කෙනෙක් එන්නේ අපේ ගෙදරට තමයි. පුවත්පතේ ලිපිනයට පවා පාවිච්චි කළේ අපේ නිවෙසේ ලිපිනය තමයි. මේ අනුව අපේ ගෙදර පක්ෂයේ නිල නොවන කාර්යාලය පමණක් නොවේ බොහෝ දෙනාගේ නේවාසිකාගාරය මෙන්ම ඕනෑම සහෝදරයකුට කෑම වේලකින් දෙකකින් නැතිනම් තුනකින් සංග්‍රහ කරන්න අපේ අම්මා බැඳිලා හිටියා. මම නිසා මගේ අම්මා 71 අරගලයේ ප්‍රබල කාන්තා චරිතයක් වුණා.
70 බලයට පත්වූ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේ නැවත JVPයට තර්ජන ගර්ජන තහංචි දාන්නේ මේ අතරය. ඒ අතරේ නැවත රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රඳවන ලදී. ඔස්මන්ගේ අම්මායි රෝහණ සහෝදරයාගේ අම්මායි යාපනය බන්ධනාගාරයට ගිය අවස්ථාවක ඒ දෙදෙනාටම රෝහණ විජේවීර විසින් දැඩිව පවසා ඇත්තේ සන්නද්ධ අරගලයකට නොයන ලෙසය. නමුත් හදිසියේම ඔස්මන්ඩ්ට එදා විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වූ වත්මන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සංඝාවාසයට එන්නට පණිවුඩයක් ලැබුණි. එතැන සිටි අයගෙන් ඔස්මන්ඩ් ඇසූ ප්‍රශ්නය සන්නද්ධ අරගලයකට සුදුසු පසුබිමක් තිබෙනවාද යන්නයි. කොළඹ නැතිවුණාට ග්‍රාමීය වශයෙන් ඉහළ ප්‍රතිචාර තිබෙන බව ලොකු අතුල ජේමිස් උයන්ගොඩ නොහොත් මහාචාර්ය ජයදේව උයන්ගොඩ එහිදී පවසා ඇත.
එහෙම නම් ප්‍රශ්නයක් නැහැ කියා මමත් කිවුවා. ඒ අනුව 5 වැනිදා උදේ පහර දෙන්න තමයි අපිට පණිවුඩය දුන්නේ. නමුත් ඒ පණිවුඩය වැරදීමකින් 4 වැනිදා පාන්දර පහරදීමක් ලෙස වැල්ලවායට ලැබීම නිසා මුලින්ම වැල්ලවාය පොලිසියට පහරදීමත් සමඟ කොළඹ සෑම පොලිසියක් ළඟම ලොකු ෆ්ලෑෂ් ලයිට් දාලා ආරක්ෂාව තර කරලා තිබුණා.”
හැත්තෑ එක කැරැල්ලේ බෝම්බ නිෂ්පාදනාගාරය තිබී ඇත්තේ වනාතමුල්ලේය. කැලණියේ පෙතියාගොඩ තවත් බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබී ඇත. පොඩි අතුලගේ අතක් බෝම්බයකට ගියේ එවැනි බෝම්බයක් පරික්සන්නට ගිහින්ය. සුලෙයිමන් රෝහලට ඇතුළු කළ වික්ටර් අයිවන්ට කෑම ගෙන ගියේ ඔස්මන්ඩ්ගේ අම්මාය වනාතමුල්ලේ ගෙදර සිටය.
ඔස්මන්ඩ් ගැන කියන විට සිරිමාවෝ මැතිනියගේ රොස්මිඩ් වලව්වට පහරදී මැතිනිය අත්අඩංගුවට ගැනීමට කළ කුමන්ත්‍රණය කෙසේ නම් අමතක කරන්නද?
මරදානේ ඕඩේ පන්සලේ පිරිවෙනේ උගත් ගඩාපි නොහොත් එඩිසන් ගුණතිලක නිසා මේ කුමන්ත්‍රණය හෙළිදරව් විය. ගඩාපි පසු කලෙක පොලිසියේ ඉහලම තනතුරකට පත් විය. පිරිවෙනේ තරුණ ශිෂ්‍ය හිමිවරු සමඟ ජේවීපී යට බැඳුණු ගඩාපි මෙම කුමන්ත්‍රණයට එක්වූ බැවින් මුලින්ම ඔහුට පෙන්වා ඇත්තේ කොටහේනේ JVP අවි ගබඩාවය. එහි භාරකරු වී ඇත්තේ JVP පසුකලෙක නායකයා වූ සෝමවංශ අමරසිංහය. මේ ප්‍රහාරයේ සැලසුම්කරු වු ඔහුට පසුකලෙක ‘රොස්මිඩ් අඹරේ’ යන නම ද පටබැඳි ඇත. වනාතමුල්ලේ සිට ‘රොස්මිඩ් කැරැල්ල’ මෙහෙයවූ පුරෝගාමි සැලසුම්කරු වූයේ ද ඔස්මන්ඩ් ය. ගඩාෆි ඇතුළු පිරිස රොස්මිඩ් වලව්ව වටලන්නට යන අතරමඟ ඔවුනට තේරුම් ගියේ නායකයින් තමන්ව මඟ හැර තමන්ව බිල්ලට දී ඇති බවය. ගඩාපි ඇතුළු පිරිස රොස්මිඩ් පෙදෙසින් හැරී ඉන්පසු කෙළින්ම ගොස් ඇත්තේ වෝඩ් පෙදෙසේ ජේ.ආර්. ජයවර්ධනගේ නිවෙසටය.
ගඩාෆි වහාම “රොස්මිඩ් වලව්වට” එල්ල කරන්නට යන ප්‍රහාරය ජේ.ආර්. ට පවසා ඇත. ජේ. ආර්. ගඩාෆිව පුටුවක ඉන්දවා සැලැස්ම වහාම මැතිනියට ද දැන්වීමෙන් කුමන්ත්‍රණය අසාර්ථක විය.
1971 අප්‍රේල් 5 වැනිදා JVP කැරැල්ල ගැන ඔස්මන්ඩ්ගේ වචනවලින්ම කිව්වොත් මෙහෙමය.
“දෙණියාය, ඇල්පිටිය, අකුරැස්ස, කෑගල්ල ආදී ප්‍රදේශවල පාලන බලය අපි නතු කරගෙන දවස් ගණන් හිටපු බවත් ඇත්ත. අප්‍රියෙල් 6 වැනිදා මාව අත්අඩංගුවට ගත්තා. මගේ අතපය කඩලා දස වධ දුන්නා. බෝම්බ තියෙන තැන් ඇහුවා. වචනයක්වත් මගෙන් ගන්න ලැබුණේ නැහැ. බන්ධනාගාර රෝහලේ මාස 8ක් හිටියා. විශේෂ සිරමැදිරියක මාව දාලා හිටියා. පසුව වැලිකඩට මාව දැම්මා. එතැනදි වාසුදේව නානායක්කාර, ඇස්.ඩී. බණ්ඩාරනායක, කෙලී සේනානායක, දැවමොට්ටාවේ අමරවංශ හිමි, මීටියාගොඩ ගුණරතන හිමි, ප්‍රවීණ ලේඛක කරුණාසේන ජයලත් ද මා සමඟ සිටියා. පොලිසිවලට පහරදීම් මතක් කර කර තමයි මගේ අතපය කඩලා දැම්මේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළුව 1971 අප්‍රේල් රාජ්‍ය විරෝධී කැරැල්ල සම්බන්ධයෙන් දීර්ඝකාලීන සිර දඬුවම් විඳිමින් සිටි 125 දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවෙ 1977 නොවැම්බර් 3 වැනිදාය. ඔස්මන්ඩ් ද සිල්වා ද මේ අතර විය.
මෙම නිදහස ලැබුවේ එවක ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පළමුව ජීවිතාන්තය දක්වා බන්ධනාගාරයට නියම වී, ඉන්පසු අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව විසින් කරන ලද වෙනසක් අනුව විසි අවුරුදු සිර දඬුවමකට කැපවූ රෝහණ විජේවීර බොරැල්ලේ නව මැගසින් බන්ධනාගාරයේ මුදා හරිනු ලැබුවේ එදින දහවල් 12ටය.
රජය විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා (ඉවත් කිරීමේ) පනත නීතිගත කරන ලද්දේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා මුල් නීතිය යටතේ විශාල පිරිසකට අසාධාරණකම් සිදු වී ඇති බව ඒත්තු ගනිමිනි.
ඔවුන් හැම දෙනාම හිරගෙවල්වලින් නිදහස් වී එළියට ආපුවාවේ. එසේ එළියට ඇවිත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කිරීමේ නිදහස හා රැස්වීම් පැවැත්වීමේ නිදහසේත් නිසි ඵල භුක්ති විඳපුවාවේ. එහෙත් ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට නම් යළිත් නොපෙලඹිය යුතුය. එසේ මා කියන්නේ අනතුරු හැඟවීමක් වශයෙනුයි. ඔබ හැම දෙනාම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම අපේ අරමුණයි. මන්ද ප්‍රචන්ඩ ක්‍රියා අප විසින් වසර ගණනාවකින් පසු දිනා ගන්නා ලද නිදහස විනාශ කරන බැවිනි යනුවෙන් එවකට අගමැති ජේ.ආර්. ජයවර්ධන පවසා ඇත.
ඉතිහාසයේ ලිඛිතව සඳහන් පරිදි 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් එම කැරැල්ල මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගත කරන ලද්දේ 1974 දෙසැම්බර් 20 වැනිදාය.
අපරාධ යුක්ති කොමිෂන් සභා නීතිය යටතේ පත්කෙරුණු අපරාධ යුක්ති විනිශ්චය කොමිසම (අප්‍රේල් කැරැල්ල) මගින් විජේවීරට මේ දඬුවම නියම කෙරුණි.
අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයගෙන් 13 වැනි චූදිතයා විජේවීරය. ඔස්මන්ඩ් එම නඩුවේ 21 වැනි චුදිතයා විය. අප්‍රේල් කැරැල්ල පිළිබඳ ප්‍රධාන නඩුවේ චුදිතයන් හැටියට විජේවීර සමඟ තවත් 32කට දඬුවම් නියම විණි.
නීත්‍යානුකූලව තෝරා පත් කර ගත් ලංකා ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමත්, ඒ අනුව 1971 අප්‍රේල් 4 සහ ජූලි 30 යන කාලය ඇතුළත මහරැජිනට විරුද්ධව යුද්ධ කිරීමත් ඔවුන්ට විරුද්ධව එල්ල කෙරුණු ප්‍රධාන චෝදනාව විය. ඔස්මන්ඩ් නිතිපතා හිරගෙදරදී ලේ දන් දී ඇත. එසේ එකතු කර ගත් රුපියල් 20/= බැගින් පරිත්‍යාග කොට ඇත්තේ ජේවීපී අරමුදලටය.
විජේවීර – බෝපගේ හා ඔස්මන්ඩ් බන්ධනාගාරගත වූ දිනයේ සිට රඳවා ඇත්තේ ටේලර් පාටියේය. ටේලර් පාටිය කියන්නේ බන්ධනාගාරයේ ඇඳුම් මැසීමේ අංගණයයි. විජේවීර – ඔස්මන්ඩ් ඇතුළු පිරිස නිදහස් කරන දින ඔවුන් පිළිගැනීමට කිසිම අමුත්තකු – ඥාතියකු පැමිණ සිටියේ නැත. එවක බන්ධනාගාර අධිකාරිවරයා පවසා ඇත්තේ මොවුන් නිදහස් කරන බව කිසිවකු දැන නොසිටීම ඊට හේතුව බවය.
හිරෙන් නිදහස් කරනු ලැබූ සැණින් ජනතා විමුක්ති පෙරමුණු නායක රෝහණ විජේවීර ඉන් මඳ වේලාවකට පසු කොල්ලුපිටියේ ලංකා වෙළඳ සංගම් මූලස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී තම පක්ෂයේ අනාගත ප්‍රතිපත්තිය පැහැදිලි කළ අතර එයට ඔස්මන්ඩ් ද සහභාගි විය.
ඊට පෙර නව මැගසින් බන්ධනාගාරයෙන් පිටවී ගිය සියලුදෙනාටම ඔවුන්ගේ ගම් රටවල් බලා යාමට අත්තිකාරම් මුදලක් බන්ධනාගාර කොමසාරිස් ජේ. පී. දෙල්ගොඩගේ නියෝගයක් පිට ගෙවනු ලැබ ඇත. ඒ ඒ අය සිටින දුර ප්‍රමාණය අනුව රුපියල් 10 – 15 වශයෙන් මුදල් ඔවුහු ලබා ගත්හ. ඒ ඇතැම් මුදල් ද ඔස්මන්ඩ් ඇතුළු පිරිසක් ඉහත රැස්වීමේදී පක්ෂ අරමුදලට පරිත්‍යාග කොට ඇත.
මේ අයට ගෙවීමට නියමිත වේතන කඩිමුඩියේ දීමට නොහැකි නිසා තාවකාලිකව මෙවැනි මුදලක් ලබා දුන් බවත් ඔවුන්ගේ වේතන මුදල් යථා කාලයේදී ලැබෙන්නට සලස්වන බවත් බන්ධනාගාර අධිකාරි පෙරේරා පසුදින පුවත්පත්වලට පවසා තිබුණි.
බන්ධනාගාරයෙන් නිදහස් වී මොහොතකට පසුව පැවති සාකච්ඡාවට විජේවීර පැමිණ ඇත්තේ ඔස්මන්ඩ් කියු පරිදි සුදු කපු රෙද්දෙන් මැසූ අත් දිග කමීසයක් හා සුදු සරමක් ද ඇඳගෙනය. වැඩුණු රැවුලෙන් හා කොණ්ඩයෙන් යුතු ඒ විජේවීර අත වටිනා යමක් වී නම් ඒ කණ්ණාඩි කූට්ටම හා පෑන පමණකි. ඔහුගේ පයේ සෙරෙප්පු කූට්ටමක්වත් නොවීය.
“අනාගතයේදී ආයුධ සන්නද්ධ අරගලයක් කිරීමට අප තීරණයක් ගෙන නැහැ. කරදර විඳින්න අප සතුටු නැහැ. සාමකාමී ලෙස මෙම සමාජ ක්‍රමය වෙනස් වෙනවා නම් අපිත් කැමතියි.” යැයි කී විජේවීර සාමකාමී ලෙස සමාජ රටාව වෙනස් කිරීමට ධනපති පන්තිය සූදානම් නම් තමනුත් ඊට කැමති යැයි ද කීය.
ඔස්මන්ඩ් විජේවීර ගැන කියු වදනක් මට නම් අදත් මතකයේ ඇත.
“හිරෙන් ආපු පළමු රැස්වීමේදී විජේවීර කිවුවා 71 දී තමන් පිස්සෙක් යැයි කියපු ෆීලික්ස් ඩයස් එම පිස්සා හිරේ යැවීමට කටයුතු කළ නිසා තමාට වඩා පිස්සෙක් කියලා
ඔස්මන්ඩ් පැහැදිලිව කියූ කරුණක් නම් සුවඳින් හා පාටින් පමණක් මිනිසුන් හඳුනාගත නොහැකි බවය. විජේවීර පාවා දුන් 20,000ක් පමණ කැරලිකරුවන් අතර අනුර බණ්ඩාරණායක හා ඔහුගේ මස්සිනා වූ කුමාර් රූපසිංහ පිටුපස ගොස් ගැලවුණ බව ඔස්මන්ඩ් පැවසුවේ ඔවුන් පිළිකෙව් කරමිනි.
ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වීමට ගිය විට වියපත් පුද්ගලයකුගෙන් ඔස්මන්ඩ් ගැන අසා සිටියේය.
“ඔස්මන්ඩ් මේ පැත්තේ පුදුම වැඩ කළා හැත්තෑ ගණන්වල සීවලි විද්‍යාලයේ ග්‍රවුන්ඩ් එක මැද බෝගහක් තිබුණා. හාමුදුරු පිරිසක් මෙතැන පන්සලක් හදන්න ගියා. ඔස්මන්ඩ් ඉළන්දාරිය කාලේ ගමේ පිරිසක් එක්ක ගිහින් භූමිතෙල් කුප්පි පත්තු කරගෙන එළිවෙන කොට ගහ ඉවත් කළා. නැත්නම් ඉස්කෝලෙට ග්‍රවුන්ඩ් එකක් නැහැ.
හිරෙන් නිදහස් වු ඔස්මන්ඩ් පිටකොටුව බස් නැවතුමේ ටයිම් කීපර්වරයකු වශයෙන් සේවය කළ බව හැත්ත එක නඩුව එවකට ඇත්ත පුවත්පතට වාර්තා කළ දයා ලංකාපුර මා හට පවසා ඇත.
71 නඩුව අහන දවසට මට කියලා කියවන්න ඕන පොත් මිටියක් ඔස්මන්ඩ් ගෙන්න ගන්නවා යැයි දයා අප සමඟ පැවසීය.
ඔස්මන්ඩ් අවසන් කාලයේ තම නිවෙසට වී විසිතුරු පැළ වගා කරමින් ලැබුවේ පුදුමාකාර ආස්වාදයකි.
හැත්තෑ එක කැරැල්ලට බන්ධනාගාරගතව එළියට පැමිණි දින විජේවීර සහෝදරයා කළ ප්‍රකාශයක් ඔස්මන්ඩ්ගේ කාමරයේ එවකට අලවා තිබුණි. එහෙත් විජේවීර 87 දී නැවතත් අවි ගත්තේය. එහෙත් 1971 කැරැල්ලෙන් නිදහස්ව කළ ප්‍රකාශය සමඟ කළ යුතු වන්නේ ඔස්මන්ඩ් ද එය ඇදහූ නිසා විය යුතුය.
කලින් අප මර්දනය කළ නිසා ඒ මර්දනයට මුහුණ දීමට බෝම්බ ආදිය හැදුවා. මේ සැරේ අපි ඒ වෙනුවට කරන්නේ මිනිසුන් හදන එකයි. එය කරන්නට බැරි වුණොත් අප දේශපාලන සිරකරුවන් වශයෙන් ජීවිතාන්තය දක්වා හිරේ ජීවත් වෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ විජේවීර 87 දී අවි ගත්තත් ඔස්මන්ඩ් නැවත අවි අතට නොගැනීම විය යුතුය.
ඡායාරූප – සුදත් මලවීර
වජිර ලියනගේ