Home » කැපකිරීම් නොකර මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න බෑ…

කැපකිරීම් නොකර මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න බෑ…

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීර්ණ ණය පහසුකම (EFF) විධිවිධාන යටතේ පළමු සමාලෝචනය 2023 දෙසැම්බර් 12 දා අවසන් කරන ලදී. එම මුදල ලබා දීමේදී ඔවුන් සඳහන් කර ඇති අදහස මෙසේ දැක්විය හැකිය. “ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම, ස්වාරක්ෂක සංචිත නැවත ගොඩනැංවීම, උද්ධමනය අඩු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා රජයේ දැඩි කැපවීම ඉතා වැදගත් ය.

එසේම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට මෙම වැඩසටහන සහය වේ.”යන්නයි.

ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම යනු සුවිශේෂී මූල්‍ය ආධාර නොමැතිව හෝ ණය පැහැර හැරීමකින් තොරව වත්මන් සහ අනාගත ගෙවීම් වගකීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව නැවත තහවුරු කිරීමයි. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම යනුවෙන් අදහස් කරන්නේ මෙරට ආණ්ඩුවට වියදම් අවශ්‍යතා සඳහා ආදායම් උපයා ගැනීම හා එහි කාර්යක්ෂමතාව සහ සමානාත්මතාව තහවුරු කිරීමට බදු සහ ආදායම් පද්ධතිය සැකසීමයි. මෙම ප්‍රතිපත්ති ගැටලු අඩු කිරීමට හා ආයෝජනය දිරිගැන්වෙන ලෙස සැකසීමයි. එසේම ස්වාරක්ෂක සංචිත නැවත ගොඩනැංවීම යනු ශක්තිමත් විදේශ සංචිත සමුච්ඡය හරහා බාහිර ස්වාරක්ෂක සංචිත නැවත ගොඩනැඟීමයි. දුෂ්කර අවස්ථාවක එම සංචිත මුල්‍ය ආරක්ෂාව සපයයි. උද්ධමනය අඩු කිරීම යනු භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ නිරන්තර උච්ඡාවචනය පාලනය කර ගැනීමයි. අවධමනය යනු වැඩි වූ භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ නිරන්තර අඩු වීමකි. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම යනු බැංකු හා මුල්‍ය ආයතන කඩා නොවැටීමට වගබලා ගැනීම හා වෙ‍ෙළඳ පොළ අස්ථාවරත්ව මඟ හැරීමට කටයුතු කිරීමයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යනු ප්‍රධාන ආර්ථික සබඳතා සමතුලිතව ආරක්ෂා කර ගැනීමයි. එවිට සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇතිවෙයි. එසේම දේශීය ඉල්ලුම සහ සැපයුම, ගෙවුම් ශේෂය, රාජ්‍ය මූල්‍ය ආදායම් සහ වියදම්, සහ ඉතුරුම් සහ ආයෝජන අතර සමතුලිතතා ඒ මඟින් ඇති කර ගැනීමට හැකිවෙයි.

රාජ්‍ය පාලනය යටතේ යහපාලනය ප්‍රවර්ධනය කරන අතර අඛණ්ඩතාව, අපක්ෂපාතිත්වය සහ අවංකභාවය සහතික කිරීමට කටයුතු කිරීම ප්‍රවර්ධනය කරයි. දිළිඳුබව සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම යටතේ දරිද්‍රතාවය අඩු කිරීමේ සහ අවදානම් සහිත අය රැක බලා ගැනීමට කටයුතු කිරීම, ඒ සඳහා සහන ණය හා ආධාර ලබාදීම ද මෙහි අන්තර්ගත වෙයි. ඉහත සඳහන් ප්‍රතිපත්තීන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ IMF කොන්දෙසි මත හෝ වෙනත් බලපෑම් මත ක්‍රියාත්මක කළ යුතු වුවා නොව ඕනෑම ආර්ථිකයක දියුණුව උදෙසා ක්‍රියාත්මක කළ යුතු ඒවාය. ශ්‍රී ලංකාව මෙකී ප්‍රතිපත්ති නිදහසින් පසුව ක්‍රියාත්මක කළේ නම් මෙවැනි අර්බුදයක් ඇති වන්නේ නැත.

මෙරට වේගයෙන් දුර්වල වන්නා වූ යහපාලන කටයුතු වර්ධනය කර ගැනීමටත් මෙය හොඳ අවස්ථාවකි. ජාත්‍යන්තර විනිවිඳභාවය මනින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව මෙරට වංචා දුෂණ දර්ශක අගය 1995 සිට මේ දක්වා වන විට ඉතාමත් නරක මට්ටමකට වැටී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 190 අතුරෙන් 115 වන ස්ථානයේය. මෙය අඩු තරමින් 30-40 මට්ටමට ගෙන ඒමට යහපාලන ප්‍රතිපත්ති උපකාර වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ අර්බුදය උග්‍රවන විට රට ආර්ථික කළමනාකරණ ගැටලු, කොවිඩ් වසංගතය, බලශක්ති මිල ඉහළ යාම, බදු කප්පාදුව සහ ඉහළ උද්ධමනය, විදේශ විනිමය හිඟය, ආර්ථිකය හැකිළීම, ණය බර ඉහළ යාම රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන ලදී. ශ්‍රී ලංකා විදේශ ණය පමණක් 2023 අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 52.7ක් පමණ විය. මිට අමතරව දේශීය ණය විශාල ප්‍රමාණයක් ද විය. 2022 අප්‍රේල් 12, ශ්‍රී ලංකාව ප්‍රථම වරට සිය විදේශ ණය පැහැර හරින බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමෙන් පසු ආරම්භ වූ සර්පිලාකාර ආර්ථික අර්බුදය විසඳීම සඳහා IMF 2023 මාර්තු 20 දින ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණයක් අනුමත කළේය. IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් මූලික එකඟතාවකට එළැඹීමෙන් මාස හතකට පසුව මෙම ණය අනුමත කරන ලදී. බංකොළොත් බවට පත්වී වසරක පමණ කාලයකින් ණය මුදල අනුමත විය. මේ සමඟම ඩොලර් මිලියන 330ක පළමු වාරිකය ලැබුණි. එය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළ යටතේ ලැබුණ පළමු ණය වාරිකය විය.

රටක් IMF එකෙන් ණය ගන්නා විට, ඊට හේතු වූ ගැටලු මඟහරවා ගැනීම සඳහා එහි ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට රජය ජනතාව වෙනුවෙන් එකඟතාවයකට පැමිණ තිබිණි. මෙම ප්‍රතිපත්ති ගැළපීම් ණය සඳහා කොන්දේසි වන අතර ඒවා රට ශක්තිමත් සහ ඵලදායී ප්‍රතිපත්ති අනුගමනය කරන බව සහතික කිරීමට උපකාරී වේ යැයි විශ්වාස කරයි. IMF විස්තීර්ණ ණය මුදලේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට 2023 මාර්තු අග ලැබුණි. ඒ සමඟ ආර්ථික තිරසර බව ඇති කර ගැනීමේ වගකීම ද රටට භාර කරන ලදී.

IMF විධායක මණ්ඩලය 2023 දෙසැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලේ පළමු සමාලෝචනය පිළිගත් අතර එය දෙවැනි වාරිකය කරා යාමට ඉඩ සලසා දෙන ලදී.

ශ්‍රී ලංකාව “හිඟ වියදම් පිළිබඳ හැර, ජුනි අවසානය සඳහා සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සපුරා ඇත. බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක සපුරා ගන්නා ලදී. බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු 2023 ඔක්තෝබර් අවසානය වන විට ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක විය. මෙම සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති අතර, වේගවත් උද්ධමනය, සැලකිය යුතු ආදායම් මත පදනම් වූ මූල්‍ය ගැළපීම සහ සංචිත ගොඩනැඟීම සමඟ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරයි.” ශ්‍රී ලංකා IMFඑක ජ්‍යෙෂ්ඨ නියෝජිත මාධ්‍ය හමුව 2023 දෙසැම්බර් 12 පැවැත්විණි. IMF නියෝජිත පිරිසක් 2024 මාර්තු-අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණ දෙවන සමාලෝචනය කරුණු ඇත. දෙවන සමාලෝචනය අවසන් කිරීමට පෙර එනම් අඩුම තරමින් 2024 අප්‍රේල් වනවිට ශ්‍රී ලංකාවට චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළත් නිල ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළැඹීමට හා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශ පුද්ගලික ණය හිමියන් සමඟ අවබෝධතාවකට එළැඹීම අවශ්‍ය වී ඇත. එසේම ශ්‍රී ලංකාව සිය බදු ආදායම ඉහළ නංවා ගැනීම කළ යුතුය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම ද අවශ්‍ය වෙයි. ශක්තිමත් විදේශ සංචිත ගොඩනැඟීමට අවශ්‍ය වේ. ද්විපාර්ශ්වීය ණය හිමියන් සහ පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අභියෝගය ඉහළින්ම ඇත. විශේෂයෙන්ම, IMF සෑහීමට පත්වන ආකාරයට මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය වෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට කැමති බව IMF එක ප්‍රකාශ කරයි. මෙකී ඉලක්ක නිරායාසයෙන් ළඟා වෙන්නේ නැත .එය ආයාසයෙන් ළඟා කරගත යුතුය. ඒ සඳහා විශාල කැප කිරීම් සියලු දෙනා විසින්ම කළ යුතුය.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකත්වයට පත්වීමේ මුල් සලකුණු පෙන්වා දෙයි. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2023 තුන්වන කාර්තුවේදී වසරින් වසර 1.6%ක ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අතර එය අඛණ්ඩව කාර්තු හයක පළමු ප්‍රසාරණය විය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අඩු වී ඇති අතර උද්ධමනය පාලනය වී ඇත. 2023 වසර තුළ දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5කින් ඉහළ ගොස් ඇති අතර, 2023 සිව්වන කාර්තුවේදී මූල්‍ය ආදායම් එකතු කිරීම් වැඩි දියුණු කිරීමට මූලික දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම වැඩි දියුණු කිරීම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට පරිවර්තනය කිරීමට අවශ්‍ය බැවින් එය ඉදිරියේ ඇති අභියෝගයකි. ණය තිරසාරත්වය කරා යන මාවතකට යොමු කරමින් බලධාරීන් ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම වැදගත් සන්ධිස්ථානයක් විය. නිල ණය හිමියන් සමඟ අවසන් ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සහ බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ විසඳුමකට එළඹීම ඉතා වැදගත් වේ.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකත්වයට පත්වීමේ මුල් සලකුණු පෙන්වා දෙයි. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2023 තුන්වන කාර්තුවේදී වසරින් වසර 1.6%ක ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අතර එය අඛණ්ඩව කාර්තු හයක පළමු ප්‍රසාරණය විය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අඩු වී ඇති අතර උද්ධමනය පාලනය වී ඇත. 2023 වසර තුළ දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5කින් ඉහළ ගොස් ඇති අතර, 2023 සිවුවන කාර්තුවේදී මූල්‍ය ආදායම් එකතු කිරීම් වැඩිදියුණු කිරීමට මූලික දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම වැඩි දියුණු කිරීම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට පරිවර්තනය කිරීමට අවශ්‍ය බැවින් එය ද අභියෝගයක්ව පවතී. ණය තිරසාරත්වය කරා යන මාවතකට යොමු කරමින් බලධාරීන් ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම වැදගත් සන්ධිස්ථානයක් විය. නිල ණය හිමියන් සමඟ අවසන් ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සහ බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ විසඳුමකට එළඹීම ඉතා වැදගත් වේ.”ප්‍රථම ඇගැයීමෙන් පසු IMFඑක මාධ්‍ය නිවේදනයක් ලෙස 2024 ජනවාරි 19 වැනි දින මෙය නිකුත් කර ඇත. මෙරටට තීරණාත්මක මැතිවරණ කීපයක් ඉදිරියේ ඇත. මැතිවරණ වර්ෂයක් තුළ ආර්ථිකය තිරසර බවකින් කළමනාකරණය කිරීම කුමන පක්ෂයක් බලයේ සිටියත් අභියෝගයකි.

IMF එක සමඟ එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කිරීම අභියෝගයකි. අතිමහත් බහුතරයක් ජනතාව ආර්ථික වශයෙන් තම ඉවසීමේ සීමාවේ කෙළවර සිටියි. අනෙකුත් දේ අතර මන්ද පෝෂණය, විරැකියාව, දුප්පත්කමද ඉහළ ගොස් ඇත. මෙවැනි අභියෝගාත්මක පරිසරයක් තුළ ඊළඟ ඇගැයුම සඳහා IMF එක පැමිණෙන විට අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි ද යන්න විශාල අභියෝගයක් අප හමුවේ වෙයි.

ශ්‍රී ලංකාවට IMF එකේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එම ආයතනයේ හෝ වෙනත් කිසිම රටක හෝ ආයතනයක බලපෑමක් නැත. තම ශක්තිය යටතේ හෝ වෙනත් පාර්ශ්වයක ආධාර යටතේ පවත්නා ආර්ථික අගාධයෙන් ගොඩට ඒමට හැකියාවක් තිබේ නම් වඩා යහපත් වේයැයි සිතිය හැකිය. එහෙත් ඒ දෙකම හුදු සංකල්ප දෙකක් පමණකි. මෙරටට එවැනි විශාල ආධාරයක් කිරීමට ඉදිරිපත් වන වෙනත් කිසිවකු නැත. මේ අවස්ථාවේදී හුදකලා රටක් ලෙස ගොඩනැඟීමද අසීරුය. පවතින ආර්ථික ක්‍රමවේදයන් අනුව හුදකලා වූ ස්වංපෝෂිත සමාජයක් කරා ආපසු ගමන් කිරීම අසීරුය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division