Home » අවුරුදු තුනක් ඇතුළත සියලු බලපත්‍රලාභීන්ට පූර්ණ ඔප්පු අයිතිය ලබා දෙනවා

අවුරුදු තුනක් ඇතුළත සියලු බලපත්‍රලාභීන්ට පූර්ණ ඔප්පු අයිතිය ලබා දෙනවා

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

ලපත්‍ර සහ හිමිකම් පත්‍ර අයිතිය මත ඉඩම් පරිහරණය කරනු ලබන ලක්ෂ තිහකට අධික පිරිසක් සඳහා පූර්ණ අයිතිය ඇති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට රජය කටයුතු කර තිබෙන අතර මේ සඳහා අවශ්‍ය යෝජනා 2024 අය වැය යෝජනා මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉදිරිපත් කළ අතර එම වැඩසටහන පෙබරවාරි 05 වැනි සඳුදා ‘උරුමය‘ නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුලු ක්‍රීඩාංගණය අසල පස්වරු 4.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ එම වැඩසටහන පිළිබඳ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි සමඟ කළ සංවාදයකි.

මොකක්ද මේ උරුමය වැඩසටහන. ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

උරුමය කියන්නේ අවුරුදු සියයකට වැඩි කාලයක් අපේ රටේ පාරම්පරික ජනතාව වෙත අහිමි කරන ලද ඉඩම් අයිතිය නැවත ජනතාව වෙත ලබා දීම . ඇත්තෙන්ම එදා පොදු ජනතාවට තිබූ ඉඩම් තමයි මුඩු බිම් පනත යටතේ එවකට තිබූ සුදු ආණ්ඩුවට පවරා ගනු ලැබුවේ. එදා සුදු ජාතික ආණ්ඩුවේ නියෝගය බවට පත්ව තිබුණේ ලිඛිත අයිතියක් නැති සියලු ඉඩම් ආණ්ඩුව වෙත පවරා ගන්නා ලෙසයි. එදා පැවැති තත්ත්වය තුළ ඉඩම්වලට ලිඛිත අයිතිය තිබුණේ ඉතාමත් සුළු පිරිසකටයි.

විහාර දේවාල ඇතුළු ඒවාට අයිති ඉඩම් සහ නින්දගම් සහිත ඉඩම්වලට පමණයි ලිඛිත අයිතිය තිබුණේ. ඒ නිසයි, ඒවා හැර සාමාන්‍ය ජනතාව සතු සියලු ඉඩම් මුඩු බිම් පනත යටතේ ආණ්ඩුවට පවරා ගනු ලැබුවේ.

එදා ඒ විදිහට පවරා ගනු ලැබූ සියලු ඉඩම් එදා තේ, රබර්, පොල් ඇතුළු වෙනත් වගා සඳහා යොදවා ගනු ලැබුවා. එදා ඒ ආකාරයට සිදු වූ වගාවලට යොදාගනු ලැබුවේ සාමාන්‍ය ජනතාව වෙත හිමි වූ ඉඩම්. ඒත් මේ තත්ත්වය පිළිබඳව ශත වර්ෂයක් ගියත් පොදු ජනතාවට සාධාරණයක් ඉටු වුණේ නැහැ.

එක්දහස් නවසිය තිහ දශකය මැද වන විට ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නැවත ජනතාව වෙත ලබාදීම ආරම්භ වුණා. ගොවි ජනපද ව්‍යාපාර විදිහටත් නේවාසික කටයුතු සඳහාත් මේ ඉඩම් ලබා දීම සිදු කළා එහෙත් මේ ඉඩම් ලබා දීමේදී ජනතාවට ඒවායේ පූර්ණ අයිතිය ලැබුණේ නැහැ. ඒ නිසා වගා කටයුතු සඳහා සහ නේවාසික කටයුතු සඳහා ලබා දුන් ඉඩම් ජනතාව භාවිතා කළේ බලපත්‍ර ක්‍රමයක් යටතේයි.

මේ බලපත්‍ර ක්‍රමයේ සහ සාමාන්‍ය සින්නක්කර ඉඩම් අතර තිබෙන වෙනස පැහැදිලි කළ හැකිද?

සාමාන්‍ය සින්නක්කර අයිතිය තිබෙන ඉඩමක අයිතිය පූර්ණ ලෙසම ඉඩම් හිමිකරු සතුයි. ඔහුට බැංකු ණයක් ලබා ගැනීමේ සිට ඉඩම විකුණා දැමීම දක්වා ඕනෑම දෙයක් කරන්න හැකියාව තිබෙනවා.එහෙත් බලපත්‍ර අයිතිය මත භුක්ති විඳින ඉඩමකට අයිතිකරුට ඒ ස්වාධීන අයිතිය නැහැ. ඔහුට සියලු භුක්ති විඳීම් කිරීමට හැකියාව තිබෙන්නේ කොන්දේසිවලට යටත්වයි. ඇත්තෙන්ම පරම්පරා කිහිපයක් භුක්ති වින්ද ඉඩමක හිමිකරුට ඒ ඉඩමේ පූර්ණ අයිතිය අහිමි නම් ඇත්තෙන්ම එය නරක දෙයක්. එහෙත් දසක අටක් නවයක් ගත වුණත් මේ දේ නිවැරැදි කිරීමට කිසිදු ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයකු කටයුතු කළේ නැහැ. එහෙත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පසුගිය 2024 අය වැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවක් වූයේ මෙම බලපත්‍ර මත අයිතිව තිබෙන ඉඩම්වල පූර්ණ අයිතිය ජනතාවට ලබා දිය යුතු බවයි. ඒ අය වැය යෝජනාව තමයි දැන් ‘උරුමය’ නමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ. ඇත්තෙන්ම මෙයින් මෙරට ලක්ෂ තිහකට වැඩියෙන් සිටින බලපත්‍ර ඔප්පු හිමි සියලු දෙනාට තම ඉඩම්වල පුර්ණ අයිතිය හිමිවෙනවා. ඒ අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු සින්නක්කර ඔප්පු බලපත්‍ර ඔප්පු කියලා නැහැ සියලු ඔප්පුවලට පූර්ණ ඔප්පුවකට හිමි සියලු වරප්‍රසාද අයිති වෙනවා. ඒ ගැන ජනතාව විශාල ලෙස සිය සතුට සහ ප්‍රසාදය පළ කරනවා.

උරුමය වැඩසටහනෙන් ඉඩම් ලාභීන්ට ඉඩම්වල පූර්ණ උරුමය ලැබුණු පසු ඔවුන්ට ලැබෙන අයිතිවාසිකම් ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඇත්තෙන්ම මේ පූර්ණ අයිතිය ලැබීමෙන් පසු සාමාන්‍ය සින්නක්කර ඔප්පු ඇති පුද්ගලයකුට තිබෙන සියලු නීත්‍යනුකූල හිමිකම් පූර්ණ හිමිකම්ලාභියාටත් ලැබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ නීති විරෝධි යැයි සඳහන් දේවල් හැර අනෙක් ඕනෑම දෙයක් සඳහා ඔප්පු ලාභියාට අයිතිය තිබෙනවා.උරුමය වැඩසටහනේ ප්‍රතිලාභ ලැබීමෙන් පසු පූර්ණ හිමිකම් ලැබෙනවා පමණක් නොවෙයි පෙර පැවැති කොන්දේසි සියල්ල ඉවත් වෙනවා. උදාහරණයක් විදිහට ගොවි ජනපදයේ සිටින ගොවි මහතෙක්ගේ පුතෙක් ඉන්නවා ඔහු නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් වෛද්‍යවරයකු බවට පත් වෙනවා ඒත් ඒ වෛද්‍යවරයාට තමාගේ පියාට හෝ තමාට අයිති බලපත්‍ර ඉඩමේ ඩිස්පෙන්සරියක් දමන්න බැහැ. එකට හේතුව බවට පත් වෙන්නේ මේ බලපත්‍ර ඉඩම් ලබා දුන් කාර්ය කෘෂිකර්මය නම් එයින් බාහිර දෙයක් කරන්න අයිතියක් පැවරුම්ලාභියාට නැහැ. එහෙත් උරුමය වැඩසටහන මඟින් ඉඩමේ පූර්ණ අයිතිය ලැබුණ පසු ගොවි මහතාගේ පුතාට තමන්ගේ ඉඩමේ ඩිස්පෙන්සරිය දැමීමට කිසිදු බාධාවක් නැහැ.

මේ වැඩසටහන මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කුමන ආකාරයටද මුලින්ම ප්‍රතිලාභ ලබන ප්‍රමාණය කොපමණද ඒ ගැන හැඳින්වීමක් කළ හැකිද?

අපේ රටේ බලපත්‍රලාභී ඉඩම් හිමියන් ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඒ සියලු දෙනාට මෙම උරුමය වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා.

ආරම්භයක් විදිහට මූලිකව තෝරාගත් දසදහසක් සඳහා උරුමය ඔප්පු ලබා දීම සඳහා වූ සියලු කටයුතු මේ වන විට අවසාන අදියරේ තිබෙන්නේ. ඉන්පසුව සෙසු පිරිස් වෙතද හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරනවා.

මෙරට සිටින බලපත්‍ර ලාභීන් ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණය සඳහා පූර්ණ හිමිකම් ඔප්පු ලබා දීමට කෙතරම් කාලයක් ගත වෙයිද?

අපි දැනටමත් වේගයෙන් වැඩ කරමින් සිටින්නේ ඒ නිසා අපේ ඉලක්කය බවට පත්ව තිබෙන්නේ අවුරුදු තුනක් ඇතුළත සියලු බලපත්‍ර ලාභීන් වෙත පූර්ණ අයිති ඔප්පු ලබා දීමයි. මෙය ජාතික වැඩපිළිවෙළක් විදිහට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. අප අමාත්‍යාංශයක් විදිහට සියලු දෙනාම මේ කාර්ය සඳහා ඉතාමත් උනන්දුවෙන් සහ සහෝදරත්වයෙන් උරදී වැඩ කළා ඒ ගැන උරුමය

වැඩසටහන භාරව සිටින අතිරේක ලේකම්වරයා විදිහට සියලු දෙනාට මම ස්තුතිය පළ කිරීමට කැමැතියි.

මෙම උරුමය වැඩසටහන පිළිබඳව ජනතාව දක්වන්නේ මොන වාගේ ප්‍රතිචාරයක්ද ?

ඇත්තෙන්ම ජනතාව අප වෙත ඉතාමත් ඉහළ ප්‍රතිචාර දක්වනවා, ඔවුන් පරම්පරා ගණනාවක් දරා ගෙන සිටි අපේක්ෂාවක් යථාර්ථයක් බවට පත්වීමක් විදිහටයි ඒ අය කියන්නේ. ජනාධිපතිතුමා මේ සඳහා සිදු කරනු ලබන කැපවීම සහ දායකත්වය අගය කරනු ලබන බවයි.

උරුමය වැඩසටහන තුළින් හිමිකම් සහතික මත තම කටයුතු කරනු ලබන පිරිස් වෙත පූර්ණ හිමිකම් ලැබෙනවා, ඒ සමගාමීව රජයේ දෙපාර්තමේන්තු රක්ෂිත ඉඩම්වල සිටින පිරිස් වෙත ද පූර්ණ හිමිකම් ලැබෙනවාද?

නැහැ රජයේ බලපත්‍ර හිමිකම් සහ රජයේ රක්ෂිත ඉඩම්වල කටයුතු කිරීම කියන්නේ එකක් නොවෙයි, දෙකක්. රජයේ දෙපාර්තමේන්තුවකට අයත් රක්ෂිත ඉඩමක භුක්තිය කිසිම දවසක එහි සිටින කෙනෙකුට පැවරෙන්නේ නැහැ. අවශ්‍ය නම් මුදලක් ගෙවලා බදු පදනම මත මේ ඉඩම් භුක්ති විඳින්න පුළුවන්. ඒත් අවශ්‍ය ඕනෑම වෙලාවක ඔවුනට මෙම ඉඩම් රජයේ සංවර්ධන කාර්යයකට පවරා ගැනීමට හැකියාව තිබෙනවා.

උරුමය වැඩසටහනට සමගාමීව මහල් නිවාසවල ඇති නිවෙස්වල ස්ථිර අයිතියද ලබා දීමට රජය කටයුතු කර තිබෙනවාද?

මේ සඳහා කාර්ය සිදු කරනු ලබන්නේ අප අමාත්‍යාංශය නොවෙයි නිවාස සංවර්ධන අධිකාරිය ,නාගරික සංවර්ධන අධිකාරිය මඟිනුයි. එම මහල් නිවෙස්වල අයිතිය පූර්ණ ලෙස ලබා දීමට අය වැය මඟින් යෝජනා කර තිබෙනවා.ඇත්තෙන්ම මෙම වැඩසටහන් සියල්ලම බලපත්‍ර ලාභි සහ රජයේ සෙසු පදනම් යටතේ ඇති පිරිස් වෙතද සාධාරණය ඉටු කිරීම සඳහා ගත් ක්‍රමයක් විදිහට සඳහන් කිරීමට පුළුවන්.

මෙම පූර්ණ අයිතිවාසිකම් ඇති ඔප්පු ලැබීමෙන් පසු එය ප්‍රාදේශීය ලෙස ආර්ථික සංවර්ධනය සඳහා විශාල බලපෑමක් සිදු කරනවා නේද?

අනිවාර්යෙන්ම මෙම පූර්ණ හිමිකම් ඔප්පු ලැබීමත් සමඟ එම ප්‍රදේශවල ඉඩම්වල වටිනාකම විශාල ලෙස ඉහළ යනවා මෙමඟින් විශාල ආර්ථික ප්‍රබෝධයක් වගේම සමාජ සංවර්ධනයක් ඒ පළාත්වල ඇති වීමට ලොකු ඉඩක් විවර වෙනවා.

ඒ වගේම රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ග්‍රාම නිලධාරීවරයා දක්වා තිබූ අධික වැඩ ප්‍රමාණය පූර්ණ හිමිකම් ඔප්පු ලැබීමත් සමඟ අඩු වෙනවා. එදා බලපත්‍රලාභී ඉඩම් හිමියකු බැංකු ණයක් ගන්න ගියොත් ඒක සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබුණේ අනුමත කිරීමේ ලියුම් ගන්න රජයේ කාර්යාල රැසකට යාමට සිදු වුණා එහෙත් ඒ දේ උරුමය වැඩසටහන සමඟ ලොකු වෙනසකට භාජනය වෙනවා. උරුමය කියන්නේම මෙරට ආර්ථික , සමාජ ක්‍රියාවලිය ලොකු පරිවර්තනයක් වෙත යොමු කරනු ලබන වැඩසටහනක් බව සඳහන් කළ කළ යුතුයි.

ඡායාරූප – රංජිත් අසංක

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division