Home » 48 නිදහස් පණිවිඩය දාපු මංජුසාව අරන් දුවපු ධාවකයාගේ මතක ගොන්න…

48 නිදහස් පණිවිඩය දාපු මංජුසාව අරන් දුවපු ධාවකයාගේ මතක ගොන්න…

වසර හැත්තෑ හයකට පෙර නිදහස් උලෙළේ මතක අවදි කරන රත්නපුරේ ගුණවර්ධන හොයා ගෙන සිළුමිණ ගිය ගමන

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

පුරා වසර එකසිය තිහකට වැඩි කලක් බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ලෙස පැවති අපේ රට ස්වාධීන රාජ්‍යයක් ලෙස නිදහස ලබා මේ ගෙවෙන්නේ හැත්තෑ හය වන වසරයි. 1948 පෙබරවාරි 4 වන දා සිදු වූ එම ඓතිහාසික සිද්ධිය අතිශය උත්කර්ෂවත් ලෙසින් සමරන්නට එදා මෙදාතුර පත් වූ සියලුම පාලකයෝ කටයුතු කළේ පෙබරවාරි 4 වන දා අපේ ජාතික දිනය ලෙස නම් කරමිනි.

එදා අපට ඒ නිදහස උරුම කර දෙන්නට උර දුන් විරුවන් වෙත ජාතියේ ගරු බුහුමන් පුද කෙරෙන්නේ වියෝ වූ ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කරමිනි.

අපේ මේ කතාව ඒ ජාතික වීරයන් ගැන හෝ නිදහස් සැමරුම් උත්සව ගැන නොවේ. 1948 පෙබරවාරි 4 වන දා ලැබුණ නිදහස වෙනුවෙන් පළමුවෙන් ම පැවැත්වූ නිදහස් සැමරුම් උත්සවයේ අප නොදන්නා මතකයන් අවදි කළ එදා එම නිදහස් සැමරුම වෙනුවෙන් පාසල් සිසුවකු ලෙස සහභාගි වූ මේ වන විට 92 වන වියේ පසු වන වියපත් ඇත්තකුගේ මතක අවදි කරන්නටය.

ඔහු රත්නපුර හිදැල්ලන පණුකැරෑපිටියේ වෙසෙන මෙෂ්ටියගේ දොන් ගුණවර්ධන ගුණතිලක නම් වූ විශ්‍රාම ලත් විදුහල්පතිවරයාය. මේ වන විට දරු මුණුබුරන් සෙවණේ නිවී සැනසිල්ලේ සිටින ඔහුව හමු වූයේ ගමේ පන්සලේ වැඩිහිටි උත්සවයකට එක් ව සිටියදීය. පෙබරවාරි 4 වන දා පැවැත්වෙන නිදහස් උත්සවය කලකට ඉහතදී දිස්ත්‍රික් මට්ටමින් ගම් මට්ටමින් සංවිධානය කෙරුණත් මේ වන විට ප්‍රාදේශීය ව එය සිදු වන්නේ නාමමාත්‍ර ලෙසිනි. ගුණතිලක මහතා තම අතීත මතකයන් අවදි කළේ ඒ වෙනුවෙන් තමා සුවිශේෂී කොටස්කරුවකු බව සිහිපත් කරමිනි.

‘නවසිය හතළිස් අටේ නිදහස ලැබෙන කොට මම ඉස්කෝලෙ කනිෂ්ඨ පන්තියෙ. මම ඉගෙන ගත්තේ හිදැල්ලන කනිෂ්ඨෙ. එතකොට දැන් තියන සීවලිය ඔතන තිබුණෙ නෑ. මහ රබර් වත්තක් තිබුණෙ. රබර් වත්ත මැද්දෙන් තිබුණෙ කොළඹ පාර. බොහොම පටුයි. ඊළඟ අවුරුද්දෙ පෙබරවාරි 4 නිදහස ලැබිලා අවුරුද්දක් පිරෙන දවසෙ ලොකු නිදහස් සැමරුම් උත්සව රට පුරා පවත්වන්න මහා ආණ්ඩුව කටයුතු යොදලා තිබුණා. ගමේ නිදහස් උත්සව පැවැත්වුවෙ පාසලයි පන්සලයි මුල් කර ගෙන.   

මමත් ලොකු මහත්තයගෙ වගේම අනිත් ගුරුවරුන්ගෙත් හිත දිනාගෙන හිටියෙ. ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් දක්ෂකම් තිබුණා. කනිෂ්ඨ පන්තිය පාස් වෙලා ජ්‍යෙෂ්ඨෙ නැත්තන් සීනියර් විභාගෙ පාස් වෙලා ගුරු පත්වීමක් ගන්නත් මට පුළුවන් වුණා.

ඒකාලෙ මේ පැත්තෙ හැමතැනම රබර් වගාව තමයි තිබුණෙ. වතු මැද්දෙන් වංගු වංගු පටු පාර. වාහන නෑ. දවසකට එක වාහනේකටහරි ගියේ වත්තේ සුද්දන්ගේ වාහන. සුද්දා වත්තේ ඇවිද්දෙ අශ්වයන්ගෙ පිටේ. තවත් හොඳට මතක තියෙන දෙයක් තමයි වයිට් හවුස් මංකොල්ලෙ. වයිට් හවුස් කියන සුද්දා රක්වානෙ වත්තට පඩි දෙන්න කොළඹ ඉදන් සල්ලි අරගෙන යද්දි ලෑතර බාස් කියලා මංකොල්ලකාරයෙක් ඔය පණුකැරෑපිටිය හන්දියට එහා තියන වංගුවේ පාලම උඩදි කාර් එකට පාර හරස් කරලා සල්ලි ටික මංකොල්ලකාලා සුද්දව වෙඩි තියලා මැරුවා. සුද්දගේ නෝනා වෙඩි කාපු මහත්තයවත් උකුලෙ තියාගෙනම කාර් එක එළව ගෙන රත්නපුර පොලිසියට ගිහින්. ඒක බලන්නත් කට්ටිය ආවෙ පෙරහර පොලේ යන්නා වාගේ. ඔය වගේ තවත් මතක දේවල් තියෙනවා. ඒ වෙඩි තියාපු තැන තිබිලා අහුලපු පිස්තෝලයක් අරගෙන ගිය කණ්ණම්බි මහත්තයාගේ බේකරියෙ වැඩ කරපු කෙනෙක් නිකන් කරදරේ පටලැවුණා.

කොළඹ පාරට කිට්ටුව තිබුණු අපේ ඉස්කෝලෙට විශේෂ වගකීමක් පැවරුණා. ඒ තමයි නිදහස් පණිවිඩය අරගෙන ලංකාවෙ සිවු කොණින් එන මානවකයන් අතරට එක් මානවකයෙක් එක් කිරීම. අපේ ඉස්කෝලෙන් ඒ වගකීම පැවරුණේ මට. මට තිබුණෙ ලංකාවෙ නැගෙනහිර කොණ. මඩකලපුව ඉඳලා අරගෙන එන පණිවිඩය සහිත මංජුසාව ගමට ඇතුළු වන තැන ඉඳලා ගම් කෙළවරට අරගෙන යන්න.

මඩකලපුවේ කලින් දවස උදේ 10.15 ට උත්සවාකාරයෙන් ගමන් අරඹපු ධාවන ශූරයා හැල්මේ දුවගෙන ඇවිදින් ඊළඟ දූතයා අතට දෙනවා. මේ විදිහට මඩකලපුව, අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, බෙරගල, බෙලිහුල්ඔය, බළංගොඩ‍, රත්නපුර, පහු කරගෙන නිදහස් පණිවිඩය රැගත් මංජුසාව ගෙනාව ධාවන ශූරයො හිදැල්ලන ගම මායිමට එන කොට පෙබරවාරි 4 උදේ හතට විතර ඇති. නිදහස් පණිවිඩය මංජුසාවක දාලා ඒක අතින් අරගෙන ගමින් ගම පහු කරගෙන එදා හවස දෙක හමාරවෙද්දි කොළඹට යන්නයි සැලසුම.

කොළඹ කිරුළපන පාලම ළඟින් ගමින් ගමට එන දූතයන්ගෙ ගමන නිමා වෙනවා. එතන ඉඳලා නිදහස් චතුරස්‍රය ළඟට දුවන්නෙ විශේෂයෙන් සූදානම් කරපු මාණවකයො.

උතුරෙ පේදුරුතුඩුවෙන් ආ පණිවිඩය රැගත් මංජුසාව තොට ළඟ පාලම ගාවටත් දෙවුන්දරතුඩුවෙන් සහ මඩකලපුවෙන් ගෙනා මංජුසාවත් කිරුළපන පාලම ළඟටත් තමයි අරන් යන්නෙ. ගාලුමුවදොරින් පටන් ගත්තු ධාවන ශූරයත් එක්ක සිවු දෙසින් ම පැමිණි මානවකයො තමන්ගෙ නිදහස් පණිවිඩය රැගත් මංජුසාව දැනට නිදහස් චතුරස්‍රය තිබෙන තැන විශේෂ පීඨිකාවෙ ආණ්ඩුකාරතුමා ඇතුළු රාජ්‍ය නායකයන්ට භාර දීමට තමා කටයුතු යොදා තිබුණෙ.

මේ සිවු දෙසින් නිදහස් පණිවිඩය රැගෙන ආ ගමන සහ එතනදි කෙරුණ දේවල් ගැන පුංචි පොතක් මුද්‍රණය කරලා තිබුණා. මටත් ඒකෙ පිටපතක් ලැබුණා. ඒක නම් කරලා තිබුණෙ මහා ධාවනය පිළිබඳ කතා පුවත කියලා.ගුණතිලක මහත්මයා තමන් ළඟ සුරක්ෂිතව තියාගෙන තිබුණු ඒ පුංචි පොත අතට ගත්තෙ මහා අනර්ඝ වස්තුවක් ලෙසය. ඒක ඇතුළෙ සිංහ ලාංජනය තියෙන ලස්සනට ගෙත්තම් කරපු බැජ් එකකුත් තිබුණා.

මොකද්ද මේ ලාංඡනේ මම ඇහුවා.

එදා ධාවන තරගයට එක් වන අයව හඳුන ගන්න තිබුණු විශේෂ ලාංජනය තමා මේ. ඒක අදටත් පරිස්සමේ මං ගාව තියනවා. මේ පොතත් ඒ වගේ.ලංකාවෙ හතර දිග්බාගෙන් ආපු ධාවන ශූරයො ගැන, මාණවකයො ගැන ඒකෙ සඳහන් වෙනවා.

මඩකලපුවෙන් පටන් අරගෙන ආව ධාවන ශූරයන් අතර ඒ කාලෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉඳලා තියෙනවා. හපුතලේදි ඒ වගේම නුවරදි කඩුගන්නාවෙදි කෑගල්ලෙදි ඒ වගේ මන්ත්‍රීවරු එකතු වෙලා තියෙනවා.

උතුරෙ පණිවිඩේ අරගෙන මුලින් ම ගමන ආරම්භ කරලා තිබුණෙ පෙබරවාරි දෙ‌ෙවනිදා පාන්දර 2.32 ට. ඒ තමයි එස්. සුන්දරලිංගම්. මඩකලපුවෙන් එදාම රෑ දහයට මට ඒ අවස්ථාව ලැබුණෙ. මමත් ඒ වෙද්දි දිස්ත්‍රික් ධාවන ශූරයෙක් විදිහට කප් ගහලා හිටපු නිසා. සීවලි පිට්ටනිය වටේ එක හුස්මට හැතැම්ම දෙකක් දුවලා දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වෙලා හිටියෙ මම. ඒකයි මාව මේ ගමනට තේරුණේ.

මට තව මතකයි ඉස්කෝලෙට පණිවිඩය අරගෙන ආවෙ ආරච්චි මහත්තයා. අපේ ඉස්කෝලෙ ලොකු මහත්තයා තෙන්නකෝන් ගුරුතුමා. කොණ්ඩෙ බැඳලා ටුවිට් රෙද්දට යටින් කෝට් එක ඇඳලා බෙල්ල හිර වෙන්න ටයි එකකුත් බැඳලා හිටියෙ. ටුවිට් රෙද්දට යටින් කලිසමකුත් ඇඳලා හිටියා. ඒක හන්දා කොල්ලෝ විහිළුවට කිව්වා රෙද්ද අස්සෙ මහත්තයා කියලා.

මුල් ගුරුන්නාන්සෙ හරි වසයි. හිටපු ගමන් කෝට් අත අස්සෙ තියෙන වේවැල එළියට අරන් දිගට හරහට වනන වෙලාවලුත් තියෙනවා. ඒත් අපි වගේ කිහිප දෙනකුට බොහොම ආදරෙයි. එදා උදේ රැස්වීමෙදි තමයි පළවැනි නිදහස් සැමරුම් උත්සවය ගැන පණිවිඩය අපිට දුන්නෙ.

මට තිබුණෙ උදේම පන්සලට ගිහින් බුදුන් වැඳලා රත්නපුරේ ඉඳලා එන දූතයව හිදැල්ලන ගම මායිමේදි පිළි අරගෙන මංජුසාවත් අරගෙන පණුකැරෑපිටියට දුවන එක. ඒ කාලෙ අද මැරතන් දුවනවා වගේ පස්සෙන් යන්න වතුර ගහන්න වාහන තිබුණෙ නෑ. අපේ වයසෙම කොල්ලො කුරුට්ටො ටික තමයි පස්සෙන් දිව්වෙ. මඟ දෙපැත්තෙ කට්ටිය බලාගෙන හිටියා. මම නැවතුනේ ඊළඟ කෙනාට මංජුසාව දීලම තමා. ඒක මට ලොකු ආඩම්බරයක්. අදටත් මේ පුංචි පොතයි බැජ් එකයි මම බොහෝම ගෞරවයෙන් ආරක්ෂා කරනවා.

පොතේ පිටු අතරෙ එදා නිදහස් චතුරස්‍රයෙ පැවැත්වුණු උත්සවේ ගැන ඒකට සහභාගී වුණ අයගෙ නම් තියෙනවා. එදා ලංකාවෙ හතර දිග්බාගෙන් මේ විදිහට ගෙන ආ මංජුසා තැන්පත් කරලා තමයි නිදහස් චතුරස්‍රය ඉදි කරලා තියෙන්නෙ.

ධර්මප්‍රිය ලියනආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division