by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය (අභ්‍යාස සහිත)

කෘතිය – සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය
(අභ්‍යාස සහිත)
කර්තෘ – ටියුඩර් අමරසේන
ප්‍රකාශන – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
මිල- රු 800
පිටු ගණන- 110

සිංහල භාෂා පඬිවරයෙකු වූ ටියුඩර් අමරසේනගේ මෙම කෘතිය සිංහල භාෂාව, ව්‍යාකරණ ඉගෙන ගන්නන්ට මහැඟි ග්‍රන්ථයකි. කර්තෘ විසින් පවසන පරිදි මෙම ග්‍රන්ථය හරහා සිංහල භාෂාවේ ඛේදනීය තත්ත්වය වෙනස් කිරීමට කර්තෘ මෙම කෘතිය හරහා ගත් වැයම සාර්ථකය. උක්තාඛ්‍යාත පද නිවැරැදිව භාවිතය, ක්‍රියාපද, බහුවචන පද මෙන්ම වාක්‍යයන් නිවැරදිව භාවිතා, ලේඛනය ආදිය සවිස්තරාත්මකව පැහැදිලි කර ඇති අතර, මෙම පොත භාවිතා කරන්නන්ට එහි අභ්‍යාස හරහා තමන්ගේ අඩුපාඩු නිවැරැදි කර ගැනීමේ හැකියාව පවතියි. පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, බස හසුරවන්නන්ට මෙන්ම මාධ්‍යවේදීන්ට ද මෙය අගනා කෘතියකි.


ගේය පද රචක නාමාවලිය

කෘතිය – ගේය පද රචක නාමාවලිය ( 1 වන කාණ්ඩය)
කර්තෘ – ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය
ප්‍රකාශන – රසාංජලි ප්‍රකාශකයෝ
මිල- රු 750
පිටු ගණන- 152

විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිංහලෙන් ශබ්දකෝෂ, නාමාවලී සැකසි තිබුණ ද ගේය පද රචක නාමාවලියක් සම්පාදනය වන්නේ පළමුවරටය. මෙහි වැදගත්කම නම් ගේය පද රචකයින්ගේ ඡායාරූප, ලිපින, දුරකතන අංක, විද්‍යුත් ලිපින සහ ඔවුන්ගේ ගීත පිළිබඳ සංක්ෂිප්ත සටහනක් මෙයි අන්තර්ගත වෙයි. ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය විසින් නිර්මිත මෙම ග්‍රන්ථයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් 125 දෙනෙකුගේ තොරතුරු අන්තර්ගත වෙයි. මෙම තොරතුරු සකස් කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවී ඇති බව සඳහන් කරන අතර, ඉදිරි අනාගතයේදි මේ පිළිබඳව හදාරන විද්‍යාර්ථීන්ට මේ කාතිය මහැඟි ග්‍රන්ථයක් වනු ඇත. මෙම ග්‍රන්ථයට නිර්මාණකරුවන් තෝරා ගැනීමේදි වර්ග කිරීමකට ලක් නොකළ බවත් ඉදිරියේදි මෙහි දෙවැනි කොටස එළි දැක්වීමට කටයුතු කරන බවත් එම සංගමය පවසයි.


දන්නා ගීයක සැඟවුණු අරුත්

කෘතිය – දන්නා ගීයක සැඟවුණු අරුත් – අසා ගන්නයි සවන් ඇත්තේ, හිතාගන්නයි හිතක් ඇත්තේ
කර්තෘ – ධම්මික ජයරංජන්
ප්‍රකාශන – කර්තෘ ප්‍රකාශනයක්
මිල- රු 700
පිටු ගණන- 154

ධම්මික ජයරංජන්ගේ මෙම ක‍ෘතිය හරහා ගීයක් තමා විසින් අත්විඳ , සුවිශේෂි ආකර්ෂණයකින් විචිත්‍රවත් කොට අවසානයේ නිර්මාණාත්මක ලේඛනයක් ලෙසින් සහෘද පාඨකයා අතට පත් කිරීමට මෙම කෘතිය හරහා කර්තෘ ගත් වෑයම සාර්ථක වී ඇත. යුග යුග සිංහල සංගීත ක්ෂේත්‍රය නැළවූ විවිධත්වයෙන් යුතු ගීත ඔහු විසින් මේ සඳහා තෝරාගෙන ඇති අතර, එහි සැඟවුණු අරුත්හි අපූර්ව චිත්‍රයක් ඔහු විසින් කෘතිය හරහා පාඨකයින්ට මවා පාන්නට වැයම් දරා ඇත්තේය. මෙය කතුවරයාගේ පස්වැනි ග්‍රන්ථයයි.


කතා කරන බූරුවා

කෘතිය – කතා කරන බූරුවා ( කෙටිකතා සංග්‍රහය)
කර්තෘ – අයිවෝ චිරන්ත ප්‍රනාන්දු
ප්‍රකාශන – සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල- රු 400
පිටු ගණන- 79

කතා කරන බූරුවා කෘතිය අයිවෝ චිරන්ත ප්‍රනාන්දුගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය වන අතර, ඔහුගේ අටවන සාහිත්‍ය කෘතියයි. විවිධ මාතෘකා හතකින් පරිමිත වූ මෙම කෙටි කතා සංග්‍රහය කියවන පාඨකයාට අපේක්ෂිත වින්දනය උකහා ගත හැකිවන පරිදි සරල වාග් කෝෂයක් භාවිතා කරමින් ඒ ඒ කෙටි කතා ඉදිරිපත් කරන්නට වෙර දරා ඇත්තේය. මෙම කෙටි කතා හරහා පෙනී යන්නේ ඔහුට නිර්මාණාත්මක බස හැසිරවීමට ඇති සුවිශේෂි හැකියාවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division