පිඹිත් නළා සුරා මතින් යනු සම්මානලාභි අමෙරිකානු ලේඛිකා කැතරින් ඈන් පෝටර් ( 1890 – 1980) විසින් ලියන ලද Noon Wine නම් කෙටි නවකතාවේ සිංහල පරිවර්තනයයි. මෙය 1937 දී මුද්‍රණයෙන් නිකුත් වූ Pale Horse – Pale Rider නමැති එකිනෙකට අසම්බන්ධිත කෙටි නවකතා තුනකින් සමන්විත වූ කෘතියට ඇතුළත් විය. දිග අනුව මේවා ඇතැම් විචාරකයකු සලකන්නේ කෙටිකතා සේ බව පෙනේ. අප කියවන්නට යන මේ කතාව ඇතුළත් කෘතියේ පවා එය හඳුන්වා දී ඇත්තේ කෙටි කතාවක් ලෙසිනි. ඇතැමෙකුට අනුව ඒවා novella ය. එහෙත් කතුවරිය එකහෙළාම කියන්නේ novella නම් නිර්මාණ විශේෂයක් නොමැති බවයි. වර්ග හතරක් තිබේ. ඒවා නම්, short stories, long stories, short novels,novels ය.
කෙටිකතා නිර්මාණකාරියක ලෙස කීර්තියක් ඉසුලූ කැතරින් ඈන් පෝටර් විශාල කෘති සංඛ්‍යාවක් එළිදක්වා නැත. ඉහත සඳහන් කෙටි නවකතා තුන හැරුණු විට ඇය ලියා ඇත්තේ තවත් එක් නවකතාවක් සහ කෙටිකතා හතළිහකට ආසන්න සංඛ්‍යාවක් පමණි.
මේ අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ටෙක්සාස් හි පිහිටි කුඩා ගොවිපොළකි. රෝයල් අර්ල් තොම්සන් නමැති එහි හිමිකරු, බිරිඳ එලී සහ දරු දෙදෙනා වන හර්බට් සහ ආතර් සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියි. එක් දවසෙක හදිසියේ එහි පැමිණෙන අමුත්තෙක් රැකියාවක් ඉල්ලා සිටියි. ඔහුගේ නම ඕලෝප් හෙල්ටන් ය. ස්වීඩන් ජාතිකයකු වන ඔහු එන්නේ ඩැකෝටා හි සිට ය. අඩු වැටුපකට වැඩ කරන්නට එකඟ වීම නිසා තොම්සන් ඔහු බඳවා ගනියි. ඉන්පසු පවුලේ කෙනෙකු මෙන් වන හෙල්ටන් මහන්සි වී වැඩපළ කරයි. ඔහුගේ කාර්යක්‍ෂමභාවය නිසා ගොවිපොළ දියුණු වී තොම්සන් පවුලේ ආර්ථිකය යහපත් වෙයි.
හෙල්ටන් සතුව බටනළා කිහිපයක්ම තිබේ. වැඩක් නැති කාන්සියේ සිටිනා විට ඔහු ආශ්වාදයක් ලබන්නේ බටනළා පිඹීමෙනි. ඒවා තැන්පත් කැර තිබෙන්නේ ඔහු සිටිනා මඩුවේ රාක්කයක හෝ පියස්සේ ය. දවසක් හර්බට්ට සහ ආතර්ට ඔහු තදින් තරවටු කරනු එළිදකියි. පසුව දැන ගන්නා පරිදි ඒ ඔහුගේ බටනළා ඇද ඒවා පිඹින්නට යාම නිසා ය. ඔහු සමඟ සෙල්ලමට නොයන්නැ’යි මව දරුවන්ට තරයේ අවවාද කරන අතර ඔහුගේ දේවල් අදින්නට යන්නට එපා ය’යි පියා කියයි. ඉන්පසු කිසිවක් සිදුනොවේ. ඒ ආකාරයෙන් වසර නවයක් ගෙවී යයි.
මෙලෙස සිටිය දී දවසක් සවසක ගොවිපොළට අසරුවෙක් පැමිණෙයි. තොම්සන් සිටින්නේ දර පළමිනි. තමා හෝමර් ටී. හැච් නමැති අමෙරිකානුවෙකැ’යි හඳුන්වා දෙන ආගන්තුකයා, බොහෝ වල්පල් කතා කරයි. තොම්සන්ට මේ හාදයා එතරම් ප්‍රියමනාප නැතත් ඔහුට යන්නට කියන්නේ ද නැත. බොහෝ වල්පල් කතා කිරීමෙන් පසු හැච්, හෙල්ටන් ගැන විමසයි. ඔහුට අනුව හෙල්ටන් යනු සිය සහෝදරයා මරා දැමූ උන්මත්තකයෙකි. ඔහු එහි උන්මත්තකාගාරයක ප්‍රතිකාර ගනිමින් සිටියදී පලා ගොස් ඇත . තමා ඔහුව සොයන්නේ ඔහු අල්ලා ගෙන ගොස් එහි ෂෙරිෆ්ට භාර දෙන්නට ය.
හෙල්ටන් තමා ළඟ සිටිනා බව අවංක මිනිසකු වන තොම්සන් පිළිගනියි. එහෙත් ඔහු නපුරු උන්මත්තකයෙකැයි යන්න හේ ඉඳුරා ම බැහැර කරයි. එහෙත් හැච් සිය මතයේ දැඩිව එල්බ ගෙන සිටියි. හෙල්ටන් සිය සහෝදරයා මරා දමන ලද්දේ බටනළාවක් සම්බන්ධ ආරවුලකට ය. සහෝදරයා හෙල්ටන්ගේ බටනළාවක් ගෙන ආපසු දුන්නේ නැත. එවිට හෙල්ටන් කළේ උකුණු රිටකින් ඇන ඔහු මරා දැමීමයි. එතරම් සුඵ දෙයකට තමන්ගේ සහෝදරයා මරා දමන්නේ උමතුවක් නිසා හැර අන් කවරක් නිසා ද?
මේ අතර හෙල්ටන්ගේ සුපුරුදු සන්ධ්‍යා බටනළා වාදනය ඇසෙයි. ඒ වෙරි වූ විට කියන සිංදුවක තාලයක් බව හැච් කියයි. ඊට පිළිතුරු වශයෙන් තොම්සන් කියන්නේ එහි මධුර ස්වර අනුව එබන්දකැයි කියා කිව නොහැකි බවයි.
එහෙත් කිසිදා හෙල්ටන්ගේ දොසක් දැක නැති තොම්සන් හැච් කියන දෑ නො පිළිගන්නා අතර මේ කාරණය අරභයා ඔවුන් අතර විවාදයක් හට ගනියි. මාංචු ජෝඩුවක් සහ පිහියක් සිය ඇඳුම තුළින් එළියට ගෙන ඒවා පෙන්වන හැච් හෙල්ටන් අත්අඩංගුවට ගැනීමට තමාට උදව් කරන්නැයි තොම්සන්ගෙන් ඉල්ලා සිටියි. මිනීමරු උන්මත්තකයකු තමාගේ ගොවිපොළේ නවත්වා ගෙන සිටින බව අසල්වාසින් දැනගතහොත් එය නපුරට සිටිය හැකි ය.
ඒ කාරණය ඇත්ත බව තොම්සන් දනියි. මේ නිසා කිසියම් පැකිළීමක් ඇති වුව ද හෙල්ටන් අල්ලා දෙන්නට ඔහු එකඟ නොවෙයි. සිය වත්තෙන් යන ලෙස තොම්සන් හැච්ට කියයි. ඔහු අනවසරයෙන් ඇතුඵ වුවකු නිසා ඒ මාංචුම භාවිත කරමින් ඔහු අත්අඩංගුවට ගන්නට තමාට හැකි ය. මෙවිට තත්ත්වය උණුසුම් වන අතර කොහේදෝ සිට හෙල්ටන් ද එතැනට එයි. හැච් හෙල්ටන් අල්ලා ගන්නට පිහිය අමෝරා ගෙන පනින අතර තොම්සන් දකින්නේ හෙල්ටන්ට පිහි පාර වැදුණු බවකි. මින් වික්‍ෂිප්තියට පත් වන තොම්සන් හැච්ට පොරෝ පහර එල්ල කරයි. හැච් මිය යයි. පසුව දැන ගන්නා පරිදි හෙල්ටන්ට පිහි පාරක් වැදී නැත. ඔහු දිව පලා ගොස් ය.
මනුෂ්‍ය ඝාතනය ආත්මාරක්‍ෂාවේ අයිතිය නිසා කරන්නට සිදු වූවක් බව නඩු විභාගයේ දී අධිකරණය පිළිගන්නා අතර තොම්සන් නිදහස් වෙයි.
තමන් අතින් සිදු වූ මිනීමැරුම නිසා යහපත් මිනිසකු වූ තොම්සන් සිටින්නේ මහත් තෝන්තුවෙනි. නීතියෙන් නිදහස් වුව ද තමා නපුරු මිනිමරුවෙකැ’යි ඔහුට හැඟෙයි. වුවමනා විණි නම් හැච් නොමරා මේ ප්‍රශ්නය විසඳා ගත හැකිව තිබිණි. හැච් හෙල්ටන්ට පිහියෙන් ඇන්න බව සැබෑ ය. එහෙත් එය ඔහුට වැදී නැත. ඒ අනුව තමා දුරදිග නොබලා හැච් මැරූයේ සිය කෲරකම නිසා ය. අනෙක් සියල්ලන් ද එසේ සිතන බවක් ඔහුට හැඟේ. මේ නිසා ඔහු සිය අසල්වැසියන් හමුවට ගොස් සිය නිදොස්බව පිළිබඳව කරුණු කියන්නට පෙලඹෙයි. එසේ කියුවත් කිසිවකු තමා විශ්වාස නොකරතැ’යි සැමවිට ම ඔහුට සිතෙයි. සිය බිරිඳ හා දරුවන් ද සිතන්නේ තමා කෲර මිනීමරුවකු බව ‘යැයි ද තමා ඔවුන්ගේ ද පිළිකුලට භාජනය වී සිටින්නේ යැ’යි ද සිතමින් දැඩි පසුතැවිල්ලට පත් වන තොම්සන් අවසානයේ දී වෙඩි තබා ගෙන සියදිවි හානි කැර ගනියි.
මේ කෙටි නවකතාව එසමයේ බොහෝ අමෙරිකානු සරසවිවල සාහිත්‍ය පාඨමාලාවල නිර්දිෂ්ට ග්‍රන්ථයක් ව තිබී ඇති බව වාර්තාගත ය.