Home » මළවුන් සජීවි තලයක ස්ථානගත කළ මළවුන්ගේ අවුරුදු දා

මළවුන් සජීවි තලයක ස්ථානගත කළ මළවුන්ගේ අවුරුදු දා

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

පි ඔහු සොහොන් බිමට ඇරලූවෙමු. තමබොචි සුසානයට. මපියාණන්ගේ වළ ගාවට.

(මළවුන්ගේ අවුරුදු දා – 135 පිටුව)

මෘතදේහ රැගෙන යාමක් ගැන මිස ඇරලවීමක් ගැන සාමාන්‍යයෙන් අප අසා නැත. ඒ අසාමාන්‍ය, සාමාන්‍යයක් ලෙස හැඟී යන්නේ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාව කියවන විට ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මේ අපූරු නවකතාව මුලින්ම එළිදුටුවේ 1965 වසරේදී ය. එය නොකියවූ පාඨකයෙක් ඇත්තේ දැයි අපට සිතාගත නොහැකි ය. එහෙයින් මෙය ලියැවෙන්නේ කියවූ නවකතාවේ, අතපසු වූ, මඟ හැරුණු තැන් ස්පර්ශ කර බලන්නට, ඒ පිළිබඳ ස්මරණයන් අවදි කරගන්නට මිස පොත අලුතින් කියැවීම සඳහා උත්තේජනයක් සපයන්නට නොවේ.

කෙසේ වුව ද මේ සඳහා අපට එක්තරා උත්තේජනයක් සැපයුවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය උපදේශක සභාව විසින් සංවිධානය කරනු ලැබ, ඉකුත් ජනවාරි 24 දා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති මාසික සාහිත්‍ය දේශනය බව ද සඳහන් කළ යුතු ය. ‘මළගිය ඇත්තෝ’ නවකතාව පසුබිමෙහි තබා, ‘නෑවිත් යන්ට බැරිය; භාෂාව, ආදරය සහ මරණය’ වැනි කුතූහලය දනවනසුලු මාතෘකාවක් ඔස්සේ එහිදී සරච්චන්ද්‍රයන්ගේ තුන්කල් දැක්ම විමසීමට ලක්කරන ලද්දේ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිම්මි නාලිකා මැණිකේ විසිනි.

‘මළගිය ඇත්තෝ’ සහ ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා ද්වය තුළින් අපට මුණගැසෙන දෙවෙන්දොරා සං හා නොරිකො සංගේ හමුවීම් හරහා සරච්චන්ද්‍රයන් විමසන්නට උත්සාහ කරන මරණය නම් වූ ප්‍රපංචය හා ඒ රූපමය සංකල්පය හඳුනා ගැනීම වැදගත් යැයි සිතෙන්නේ මේ රටේ ද අතිමහත් බහුතරයක් තුළ මරණය හා මියයාම සම්බන්ධයෙන් පවත්නා ඍණ ආකල්පය නිසා ය. ජීවිතයේ ද මරණයේ ද අන්‍යොන්‍ය සහසබඳතාව විදාරණය කිරීම සඳහා සරච්චන්ද්‍රයන් මෙහිදී තෝරාගන්නේ මරණය ඥාතිත්වයෙන් සලකන ජපානයයි; ජපානයේ තෝකියෝවේ වෙසෙන නොරිකො නම් වූ තරුණියයි. ‘මළගිය ඇත්තෝ’ හි කථකයා වන්නේ දෙවෙන්දොරා සං වුව ද මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙන් හද විදාරණය කරනු ලබන්නේ නොරිකො සං විසිනුයි.

මේ අපූරු අන්දරය ලිවීමේදී සරච්චන්ද්‍රයන් යොදාගන්නා බස හෘදයංගම ය; ප්‍රාතිහාර්යාත්මක ය. ඔහු සිය වියමන ගොතාගෙන යන්නේ අපූරු වර්ණ සංකලනයකින් යුතු හුයපට කිහිපයකිනි. ගෙත්තම අපූරු නිමාවක් වන්නේ, නූල් භාවිතය තිතට නූලට ගැළපෙන හෙයිනි.

‘මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණෙතොත් ම පියාණන් මට නො පමාව හමු විය හැකිය’

පොත ආරම්භයේදීම නොරිකො සං එසේ කියන්නේ ද පියාණන්ගේ සොහොන ඉදිරිපිටදී ය. වැඩිදුරටත් ඇය මෙසේ ද කියයි; සිතයි.

මා ක්‍රියා කළ සැටි වැරදි දැයි එවිට ම පියාණන්ගෙන් මට ඇසිය හැකි ය. ඔහු හොඳ කෙනෙකු බව මම දනිමි. දෙවෙන්දොරා සං ද මේ වග නිතර කියයි. ජීවත්ව සිටිද්දී ඔහු දුක් වින්දේ අනුන් ගැන වරදක් සිතන්ට ඔහු මැළි වූ හෙයිනි. ඔහු අකාලයේ මිය ගියේ ද මේ නිසා ම යැයි සිතමි. හිදෙජි සං, මගේ සහෝදරයා, ඔහු ගැන මඳක් වත් සැලකුවේ නම් ඔහුට එසේ නොවන්නේ යැයි මම විශ්වාස කරමි. මගේ මව නැති වූ දා සිට ඔහු බලා කියාගන්ට කෙනෙක් නොසිටියේ ය. මගේම ගෙදරක් දොරක් නොතිබුණු හෙයින් මට ද මේ කටයුත්ත ඉටු කරන්නට ඉඩ පාසුවක් නොලැබිණි. චියෙකො සං (ලේලිය) පෑ වෙනස්කම්වලටත් වඩා ම පියාගේ සිත පෑරී යන්ට ඇත්තේ අයියාගේ නොසැලකිල්ලෙන් ය. චියෙකො සං කළ කී දේ නුදුටුවා සේ අයියා කරබාගෙන සිටියේ ය.

(මළවුන්ගේ අවුරුදු දා – 5-6 පිටු)

මෙය නොරිකො සංගේ කතාව පමණක් නොවේ. අපගේ ද කතාවයි. මරණය ළං ළං වන විට, සොබාදහම ලබාදුන් සියලු ශක්තීන්, ප්‍රදානයන් සොබාදහම විසින්ම ආපසු ඇද ගනු ලබන අදියරේදී, මහලු වියේදී බොහෝ මිනිස්සු මේ තත්ත්වය අත්විඳිති. එය වඩ-වඩාත් සැහැසි වෙසක් ගනිමින් ඇත්තේ මේ තාක්ෂණ යුගයේදී ය.

අතීතයේ කිසියම් දිනෙක, දෙවෙන්දොරා සං ද සමඟ තමා මේ සුසානයේ ඇවිද ගිය අවස්ථාවක් නොරිකොට සිහිවෙයි. තාත්තා මෙලොව විසූයේ කිසිවකුගේ පිළිසරණක් නැතිව ය. මියගොස් සිටින්නේ ද ඒ ලෙසම ය. ‘මා පියා හොඳ කෙනෙකු නිසා මා කෙමෙන් නරක් වූ සැටි දකිමින් ඔහු දුක්වන්ට ඇත’ යි සිතමින් ඇය තැවුල් ගනී. ඔහුගේ අවසන් හුස්ම පිටවූ මොහොත ඇයට ළතැවිල්ලක් ශේෂ කර ඇත්තේ ඇය එදා යසුදා සං නම් වූ ජපන් තරුණයා ද සමඟ කෝපිහලකට ගොස් සිටි නිසා ය.

යසුදා සං කියන්නේ ඇගේ කාර්යාලයේ වැඩ කළ උසස් නිලධාරියකුට ය. ඔහුගේ මේසය ඇත්තේ ඇය වාඩිවී ටයිප් ගසන මේසයට ඉදිරිපසිනි. ටයිප් යන්ත්‍රයෙන් හිස ඔසවා බැලූ සෑම විටෙකම ඔහු එක එල්ලේ තමා දෙස බලා සිටිනු ඇයට පෙනෙයි. එය මහත් හිරිහැරයක් ලෙස හැඟී යන්නේ ඇයගේ ස්ත්‍රී ස්වභාවයට ය.

මේ දිනවල නොරිකො සං පත්ව සිටින්නේ ජපන් පිරිමින් නොරුස්නා තත්ත්වයකට ය. දෙවෙන්දොරා සං ඇගේ සිතට පිවිසෙන්නේ, එහි ඔහු කඳවුරු බැඳ ගන්නේ මෙවැනි පසුබිමකදී ය. ඔහුගේ චිත්ත සන්තානය ක්‍රියා කළේ අපූරු ආකාරයකිනියි ඇයට සිතෙයි. ඔහු නිතරම පාහේ ‘මරණය’ ගැන කතා කරයි. ජපන් රටේ ආත්ම ඝාතන පිළිබඳ පුරාවෘත ගණනාවක් ඔහු දැන සිටියි. ඒවා ගැන කතා කරන්නට ඔහු බෙහෙවින් කැමති ය. එහෙත් ඔහු විනෝදයට ද කැමැත්තක් දක්වයි. ඔහුගේ රටේ ගීයක් ගයන්නැයි වරක් ඇය ඉල්ලා සිටි අවස්ථාවක ඔහු ගැයූ ගීතයට ඇත්තේ ශෝකාලාපයක් බඳු රාගයකි.

‘දෙවෙන්දොරා සංගෙ රටේ ඔක්කොම සින්දු ඔය වගේ දුක්මුසු ඒවා දැ’ යි මම වරක් ඇසීමි.

‘නෑ, ප්‍රීතිමත් ඒවත් තියෙනවා.’

‘ඇයි එහෙනම් මේක විතරක් නිතරම කියන්නෙ?’

‘මේ සින්දුවෙ අදහසට මම කැමැතියි. ඒකෙ තියෙන්නේ ජීවිතය ගැන ඇත්තක්.’

‘ඇත්තක් වෙන්නෙ කොහොම ද? මට තේරෙන්නේ නෑ. මම ආලය කරන තැනැත්තා මට ලැබුණ නම් කොයි තරම් ඒකෙන් සැනසෙනව ද? ලැබුණෙ නැත්නම් තමයි දුක ඇති වෙන්නෙ.’

‘ලැබුණත් පස්සෙ දි එපා වෙනව. මිනිහගෙ හිත වෙනස් වෙනව කල් යනකොට. හැමදේම එක වගේ තියෙන්නේ නෑ නෙ. වෙනස් වෙන හින්ද තමයි දුක ඇති වෙන්නෙ.’

(මළවුන්ගේ අවුරුදු දා – 11 පිටුව)

මේ සුනිර්මිත, සුනිශිත ආදර අන්දරය හරහා දර්ශනවා ද අසබඩින් කෙටි ගමනක් යන්නට අපට සිතෙන අවස්ථාවකි මේ. නිර්මාණ සාහිත්‍යයට අනුපානයක මට්ටමින් හෝ දර්ශනය පසුබිම් විය යුතු යැයි වරක් පවසා ඇත්තේ කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයන් ය. ‘මළගිය ඇත්තෝ’ සහ ‘මළවුන්ගේ අවුරුදු දා’ කියවන පාඨකයාට හේතුවක් ඇතුව හෝ නැතිව දැනෙන විරහ වේදනාව ගැඹුරු ය. මේ පොත් ද්වයම ආස්වාදයක් ගෙන එන්නේ ශෝක රසය මුල්කොට ය. ශෝකයේ හේතුව වන්නේ වෙනස්වීම ය; අනවරත වෙනස ය. ‘අනිත්‍යය’ ලෙස අප හඳුන්වන්නේ ද ඒ ය. එහෙත් ‘අනිත්‍යය’ කියන්නේ අශුභයකට ද, එය රැගෙන එන්නේ ශෝකය පමණක් ද යන විවාදාපන්න ප්‍රශ්නය මතුකරන්නෝ ද සිටිති. නිත්‍යය හා අනිත්‍යය පිළිබඳ අලුත්ම කතාවක්, වෙනස්ම කතාවක් වරක් ප්‍රකාශයට පත් කර ඇත්තේ තිච් ඥතාන් නම් වූ වියට්නාම් ජාතික යතිවරයාණෝ ය. උන්වහන්සේගේ ප්‍රශ්නය වන්නේ නිත්‍ය භාවය වුව ශෝකයක් නොවන්නේ ද යන්නයි. නිදසුනක් වශයෙන් වී ඇටය ගනිමු. වී ඇටය නිත්‍ය වුවහොත් එය ගොයම් ගසක් ලෙස වැඩෙන්නේ නැත. සහල් ඇටයක්, බත් ඇටයක් බවට පත්වී කුස් පුරවන්නේ ද නැත. ඒ වෙනස, වර්ධනය සිදුවන්නේ අනිත්‍යතාවට පින් සිදුවන්නට ය. කලලයක් වර්ධනය වී, දරුවෙක් බවට පත්වන්නේ ද එසේ ය. කලලය නිත්‍ය වුවහොත් ජීවියකු නූපදී.

නොරිකො දිනපතා දෙවෙන්දොරා සං සිටින තැනට ගොස් ගෙදර දොර වැඩ කටයුතු, ඉවුම්-පිහුම් කර දෙන්නේ ඔහුට චිත්‍ර අඳින්නට, ඔහුගේ ශිල්පයෙහි නිරත වෙන්නට වැඩි ඉඩ-කඩක් සලසා දීම සඳහා ය. එහෙත් ‘මොකට ද මං චිත්‍ර අඳින්නේ?’ යි ඔහු වරක් අසයි. ඇය අන්දමන්ද වී සිටියි. ‘මං අඳින චිත්‍රවලින් මට වැඩකුත් නෑ. අනිත් අයට වැඩකුත් නෑ.’ කියා ද කියයි. විටෙක ඔහු තෝකියෝව හැරයයි. යළි පැමිණෙයි. එවැනි එක් වතාවක, පිටව යන්නට දෙතුන් දිනකට පෙර අන්තිම වරට ඔහු බලන්නට ඇයට ඕනෑ වෙයි.

මා ගියේ පැයකින් දෙකකින් ආපසු එන්ට අදහස් කරගෙන ය. එහෙත් ඔහුගේ දුක්බර විලාසය බලා ඔහු දමා යන්නේ කෙසේ දැයි මම කල්පනා කෙළෙමි. පැය දෙකක් පමණ කාලයක් තිස්සේ අප දෙදෙනා තතමි පොළොව මත වාඩි වී හුන්නා මිස, කිසිවෙකුගේ මුවින් වචනයක් පිට නොවී ය. පිටත් වන දවස උදේ අපේ ගෙදර එන්ට යැයි මම ඔහුට ආරාධනා කෙළෙමි.

‘අද අන්තිම දවස නොවේ’ යයි මෙනෙහි කරන්ට වූයෙන් ඒ වේලාවේ හදවතට දැනුණු හිරවීම ක්ෂණයෙන් ලිහිල් වූවා සේ විය.

(මළවුන්ගේ අවුරුදු දා – 30 පිටුව)

මෙහිදී බහුල ලෙස පාඨකයාට හමුවන්නේ ‘අද අන්තිම දවස නොවේ’ වැනි අදහසකි. බොහෝවිට ඔවුන්ගේ ද හදවත් ඉහිල්-ලිහිල් වන්නේ අප ඇතැම්විට ‘බාලගිරි දෝෂය’ වශයෙන් හඳුන්වන තත්ත්වය ඔස්සේ ය.

‘අද නෙවෙයි හෙට’

ඒ රාත්‍රියේදී ඔවුන්ගේ දෙපා ඔවුන් රැගෙන යන්නේ සොහොන් බිමකට ය. ඔවුන් එහි බිම් කණ්ඩියක හිඳ සිටී.

‘මෙහේ නිස්කාන්සුවෙන් අපට ඉන්න පුඵවන්.’ යි මම කීවෙමි.

‘ඔව්, අපට නිස්කාන්සුවෙන් කල් යවන්න පුඵවන් මළගිය ඇත්තන් එක්ක විතරයි නෙ. ජීවතුන් අතර අපට තැනක් නෑ.’ යි ඔහු කීවේ ය.

(මළවුන්ගේ අවුරුදු දා – 31 පිටුව)

සොහොන් බිම් හැරුණුවිට සෞන්දර්ය ආස්වාදනයට අවකාශ විවර කරන තවත් බොහෝ තැන් කරා ද ඔවුහු යති. වසන්තාරම්භයේ තෝකියෝව පුරාම සකුරා මල් පිපෙන කාලයේ ඒවා නරඹන්නට ඔවුන් ගිය ගමන, ඒ පිළිබඳ විස්තරය සරච්චන්ද්‍රයන්ගේ භාෂා ප්‍රාගුණ්‍ය පරිපාකයට ළඟාවීම පිළිබඳ නිදසුනක් වශයෙන් ඇතැම් විද්වතුන් පෙන්වා දී තිබේ. සිංහල භාෂාවට ප්‍රාතිහාර්ය පාන්නට හැකි බව අපට ද හැඟෙන්නේ එය කියවන විට ය.

එදා රාත්‍රියෙහි, රුප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬව ඔහු සමඟ සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුණ ද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේසා ආස්වාද විඳින්ට ලැබීම මහත් භාග්‍යයක් යැයි මම කල්පනා කෙළෙමි. මාළිගා ප්‍රාකාරය අසල වූ වේ මග, මුදුනෙහි උනුන් වෙත නැඹුරු වූ අතුපතර ඇති සකුරා වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් දෙපසින් හෙබියේ, මලින් ගොතන ලද උඩු වියනින් අලංකෘත වූ එකම දීර්ඝ ලිය මඬුල්ලක් සේ විය. ඔහුගේ හැම අවයවයකින්ම මනා සේ වූ නිසසල සුවය මගේ ඇඟට ද නොදැනුවත්ව වැදී එහි පැතිර යන ලෙසක් මට දැනුණි. අවුරුදු ගණනාවක් ම සකුරා බලන්ට මා ගොස් තිබුණු නමුත් ඒවායේ සෞන්දර්ය දෙස මගේ සිත නියම ලෙස යොමු වූයේ මේ වතාවේ පමණි. සකුරා උත්සවය විනෝද වීමට අවස්ථාවක් කොට ගත් මුත් අපි මල් නැරඹීමේ ආස්වාදය නොවින්දෙමු. වීදියෙන් විසිර ආ විදුලි එළිය නිසාදෝ ළා දලු පැහැයෙන් යුත් මලේ පෙති සඳ රැසින් ඔප් නැඟුණු කලක් මෙන් ශ්වේත වර්ණ කාන්තියක් විහිදුවේ ය. මා වරක් දුටු උකියො-එ සකුරා සිතුවමක් මට සිහි විය. ඒ චිත්‍රයේ මල්වලින් සුදු කැලුම් විහිදුණේ කෙසේ ද යනු මට මෙතුවක් කල් විසඳිය නොහැකි රහසක් සේ පැවතුණි.

(මළවුන්ගේ අවුරුදු දා – 79 පිටුව)

දෙවෙන්දොරා සංගේ ඇවතුම් පැවතුම් නොරිකොගේ සිතුවිලි එකලස් කිරීමට ඉඩ සලසන්නේ නැත. යසුදා සං ප්‍රතික්ෂේප කළ දවසේ ඇය ඒ බව දෙවෙන්දොරා සංට පවසන්නේ ඔහු සතුටට පත්වනු ඇතැයි සිතමිනි. එහෙත් ඔහු ඇය දෙස බලන්නේ භග්නාශාවක් පිළිබිඹු වන බැල්මකිනි.

කාර්යාලයෙන් අස්වන්නට යැයි ඔහු ඇයට කිසිදා නොකියයි. වරක් අසකුසා පෙදෙසේ ධජපතාක, පහන්කූඩු එල්ලා ඇති මංපෙතක් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර ඔහු ඇයට ගෙන එන්නේ බරපතළ යෝජනාවකි. ඔහු මේ යෝජනාව කරන්නේ විවාහය ගැන තීරණයකට ද එළඹ සිටින අතරේ ය.

‘අපි දෙන්නා එක්ක දිවි නසා ගනිමු. නියම පාරම්පරික පෙම්වතුන් දෙන්නෙක් වගේ.’

‘ඉස්සර කාලෙ එහෙම කෙරුවෙ පෙම්වතුන් දෙන්නෙකුට එක්වෙන්න මාර්ගයක් නැති වුණාමයි. අපි මොකට ද එහෙම කරන්නේ?’ යි ඔහුගේ මුහුණ මැනවින් පරික්ෂා කරමින්, සිනාවකින් යුතුව මම කීවෙමි.

‘නොරිකො සං මේ වටාපිටාවෙන් වෙන් කරල ගෙනියන්න හිත නෑ. එතකොට නොරිකො සං වෙනස් වෙයි කියල මට බයයි. මට මෙහේ ඉන්න විදියකුත් නෑ. ඒ නිසා දිවිනසා ගැනීම විතරයි තියෙන්නේ.’

(මළවුන්ගේ අවුරුදු දා – 122-123 පිටු)

විවිධ අවස්ථාවන්හි ඇය තුළ විවිධ සැකසංකා හටගන්නේ ඔහුගේ පැවැත්මේ වෙනස අදහන්නට අමාරු නිසා ය. ඔහු ඇසුරු කරන්නට වූ දා පටන්ම ඇයට අත්දකින්නට සිදුව ඇත්තේ වියෝදුක් ය.

එවර ඔහු ගත කළ කාලය ගෙවී යන්නේ පියසැරියක් පරිද්දෙනි. මුලදී බඩගගා මෙන් හෙමින් ඇදී ගිය කාලය හදිසියේ නැඟී දුවගෙන යන්නාක් මෙන් හැඟෙන්නේ අවසාන භාගයේදී ය. දෙගිඩියාවක් ඇයට උරුම කර දී ඇත්තේ අවිනිශ්චිතතාවයි. විටෙක ඔහු හැරයන්නට තරම් සැහැසි ලෙස නැඟී සිටින්නේ ද එයයි.

ඔහුගේ මුහුණ බැලීමට වත් මම අකැමැති වීමි. ඔහුගේ සිනා මුහුණ හා තැන්පත් ඉරියව් සියල්ලක්ම ඇතුළත වූ කුටිල සිත වසන් කර ගැනීමට ඔහු ලා ගන්නා වේශයක් යැයි මට සිතුණි. මේ රට ගැන කරුණු දැන ගැනීමට ඔහු මා ආයුධයක් කොට ගනී. තව මසක් ගතවන්ට පෙර ඔහු මා ඉවත දමා සිය කීර්තිය සොය වෙන රටවලට යයි. මේ රටින් ගිය විට ඔහුට මා තවත් වුමමනා නැත. ඔහු දිවි නසා ගන්ට කළ තැත ද ව්‍යාජයක් සේ මට පෙනිණි. ඇත්තෙන්ම දිවි නසා ගැන්මේ අධ්‍යාශයක් ඔහුට තිබිණි නම්, එය නිට්ටාවට ඉටු කර ගැනීමට කිසිදු බාධාවක් නොවී ය. තමා කෙරෙහි එතරම් ඇලුම් කරන ඔහු වැනි කෙනෙක් කිසි විටක තමාගේ දිවි තමා ම ගෙන මරණයට නොපැමිණේ. ඔහු ඒ ව්‍යාජය කෙළේ මගේ අනුකම්පාව දිනාගෙන මා අවනත කරන්නට ය. මා තමාට ඕනෑ අතට හරවා ගත හැකි දුබල සිතක් ඇති ස්ත්‍රියක් බව ඔහු දනී.

(මළවුන්ගේ අවුරුදු දා – 85 පිටුව)

එහෙත්…? එවර ඔහු කරුණු යොදාගෙන තිබුණේ සිතාමතාම ය. හරජුකු රෝහලේ ඇම්බියුලන්ස් රථය සමඟ ඔහුගේ බෙහෙත් කුප්පිය ද ගෙනයන්නට ඇයට බලකරන්නේ අතීත මතකයන් ය. ගේ පුරා සෙවූ බෙහෙත් කුප්පිය ඇයට සොයා ගත හැකිවන්නේ ඔහුගේ වැහි කබායේ සාක්කුවකිනි.

දෙවෙන්දොරා සං වරක් නොරිකොට මෙසේ ද කියා තිබේ.

‘තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකට ද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්’

දැන් නිදහසේ කල්පනා කරන්නට සිදුවන්නේ මේ අදහස පිළිබඳව ය. උපත හා විපත? අප උපදින්නේ මරණය සමඟ අත්වැල් බැඳගෙන යැයි බොහෝවිට අපට අසන්නට ලැබෙන්නේ පාංශුකූලයකදී, ධර්ම දේශනාවකදී ය. එය අනුමත කරමින් සාදුකාර දුන්න ද අප සුදුකොඩි ඔසවන්නේ මරණයකදී මිස උත්පත්ති අවස්ථාවකදී නොවේ. කවදත් අපට උත්පත්තිය යනු සැණකෙළියකි; මංගල්‍යයකි.

printgraphic2@gmail.com

කැත්ලීන් ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division