Home » ‘‘..තානායමේම කෙනෙක් වෙන්න ඕනෑ..”

‘‘..තානායමේම කෙනෙක් වෙන්න ඕනෑ..”

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

‘‘අපි මොන වගේ තෑග්ගක්ද දරුවට අරගන්නේ..“

තානායමේ සිට නගරයේ කඩ වීදියට තුන්රෝද රියකින් මා සමඟ පැමිණි වේටර්වරුන් දෙදෙනා මගේ පැනයට සාවධාන වනු පෙනුණා.

‘‘.. ඉපදිලා සති දෙක තුනක දරුවෙක්නේ සර්.. ඇඳුම් පැලඳුම් දැන්ම වැඩක් නැහැනේ. අපි සබන් පවුඩර් වගේ දේවල් ටිකකුයි තුවායක් කිරි බෝතල් දමන බෑග් එකක් වගේ දේවල් කිහිපයක් අරගෙන දෙමු…“

දරුවන් සිටිනා වේටර්වරුන් ඔවුන්ගේ දැනුමට අනුව අදහස් දැක්වූවා.

අප තානායමේ මුළුතැන්ගෙයි සහායක අරක්කැමි සුගතේ මෑතකදී හා පුරා කියලා පිය පදවියට පත් වෙලා. ඔහුගේ බිරියට කුළුඳුලේම උපන් දරු සම්පත බැලීමට යාමේ ආයතනික යුතුකම ඉටු කරන්නට අප මෙසේ නගරයට ආවේ තානායමේ කාර්ය බහුලතාවය මදක් තුනී වූ මොහොතකයි.

‘‘..මෙන්න මේ වෙලාවට තමයි සර් ගෑනුන්ගේ අගේ තේරෙන්නේ… ඇත්තටම එක අතකින් බැලුවම අපි වැඩ කරන්නේ මහ කරුමක්කාර ආයතනයක. ඒ කියන්නේ රිසෙප්ෂන් කවුන්ටරේ ඉදපු මිස් ප්‍රමෝෂන් එකක් හම්බවෙලා යන්න ගියත් හරි බෙහෙතකට ගෑනු මූත්‍රා ටිකක් ඉල්ල ගන්න තානායම හරියෙ ස්ටාෆ් එකේය කියලා එකම ගෑනු පරාණයක් වත් නෑනේ…“

කවදත් තැන නොතැන බලා මුඛරි කතා කියනා වේටර් සෝමවීර ඔහුගේ සගයාට ඇසක් ඉඟිමරනවා පෙනුණා.

‘‘..හරි.. හරි.. කතාව ඇති.. අපි ආපූ කාරණාවට බහිමු..“

මා සේවකයන් දෙදෙනා නිහඬ කරවා ගනිමින් අසල වූ සුවිසල් තෑගි භාණ්ඩ කඩයකට ගොඩ වැදුණා. දැවැන්ත රාක්ක වැසීයන සේ නානාප්‍රකාර තෑගි භාණ්ඩ ගොඩ ගසා ඇති මෙම සාප්පුවෙන් අපේ සුගතෙගෙ දරුවාට රැගෙන යාමට තෑග්ගක් මිලට ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවන බව මට එසැණින් අවබෝධ වූවා.

‘‘..සර්ලා කීයක වගේ තෑග්ගක් ද බලන්නේ..“

සාප්පු සේවකයා නිවැරැදි තැනින් අපගේ ගැටලුවට ප්‍රවේශ වූවා.

‘‘..අපි ඉස්සර වෙලාම තෑග්ගක් තෝරගෙන ඉන්නම්..‘‘

දිවයිනේ නමගිය ආහාර පාන අලෙවි සන්නාමයක අලෙවිකරුවන් වන අප, ළමා තෑගි භෝග වෙළඳ සැලෙකදි ළමා පාරිභෝගිකයන් බවට පත්වී මුහුණෙන් මුහුණ බලා ගත්තා. සාප්පු සේවකයා ද අපේ සාකච්ඡාවට ඉඩහසර ලබාදී මඳක් මෑත් වූවා.

‘‘….සර්.. සර්.. අන්න අර බුවා.. ඔව්.. ඔව්.. මෑන් තමයි ඩයල් එක..“

වේටර් සෝමවීරගේ දෑස සාප්පුවේ කෙළවරක සිටිනා රැවුල්කාර තරුණයෙකු වෙත එල්ල වී තිබුණා. මුහුණ පුරා ඝන රැවුලක් වවා සිටිනා ඔහු කවරෙක්ද?

‘‘..මතක නැද්ද සර්.. අර මෑත දවසක වෙඩින් එකකින් පස්සේ ජෝඩුවට හම්බවෙච්ච තෑගි පෙට්ටියක් අඩුය කියලා අපිට මහ සද්දයක් දැම්මේ… අන්න මෑන්. අර ඉන්නේ කැෂියර් කවුන්ටරේ ගාව..“සෝමවීර මගේ මතකය වහ වහා අවදි කළා.

‘‘.. ඔව්.. ඔව්.. එයා තමයි..“

මා සෝමවීරටත් නෑසෙන අයුරින් තොල් මතුරා මතකය තහවුරු කර ගනිමින් ඒ අමිහිරි සිදුවීම සිහියට නඟා ගත්තා.

එදා විවාහ උත්සවයේ මංගල සභාව අවසන් වීමත් සමඟ අසුන්වලින් නැඟී සිටි විවාහ උත්සවයේ ආරාධිතයින් පිරිස මනාල යුවළට සමාචාර දක්වන්නට පටන් ගත්තා.

දශක දෙක තුනක් තිස්සේ විවාහ උත්සවයක යුවළක් සමුගනිද්දී සුපුරුදු ලෙස වාදනය වන සුජාතා අත්තනායක ශිල්පිනිය ගායනා කළ ‘පුංචි දවස් වල නින්දට යද්දී..“ නමැති ගීතයේ අනුවාදනය සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා ශ්‍රැතිය නොබිඳා වාදනය කරමින් තිබුණා.

මංගල රියේ නැඟී මනාල යුවළ නික්ම ගිය පසු උත්සවයට පැමිණි අමුත්තන් තානායම දෙස හැරී බලන්නටවත් පමා නොවී තම තමන්ගේ වාහනවල නැඟී පිටව යමින් තිබුණා.

ඒ අතරතුර මනාලියගේ සොහොයුරා කඩිමුඩියේ පිළිගැනීමේ කවුන්ටරය අසලට ළංවූවා.

කවුන්ටරය අසල වූ විශේෂ මේසයක තබා තිබූ අමුත්තන් විසින් මනාල යුවළ වෙත රැගෙන ආ තෑගි පාර්සල් පෙට්ටි අත්සන් ලේඛනය සමඟ සසඳමින් ඔහු ඒවා වෙනම ගොඩකට එකතු කරමින් සිටියා.

‘‘..කෝ.. මේ මැනේජර් මහත්තයා.. අංක නමය තෑගි පෙට්ටිය නෑ.. ලේඛනේ නම තියෙනවා.. තෑගි පෙට්ටිය මිසිං..“

රැවුල්කාර තරුණයා උස් හඬින් කියා සිටියා.

‘‘..කොහොමද එක තෑගි පෙට්ටියක් අඩු වුණේ.. එකත් එකටම කවුරුම හරි ඒක උස්සලා.. වෙන කවුද ඉතින්.. තානායමේ කවුරුම හරි වෙන්ඩ ඕනෑ…“

තරුණයා දිගින් දිගටම කියා සිටියා.

‘‘..හරි.. එකපාරටම තීරණවලට නොයා.. අපි දෙන්නම චෙක් කරලා බලමුද?..“මා සුහද හඬින් යෝජනා කළා.

‘‘.. බලමු.. බලමු.. ඔයා නෙමෙයි ඕන ලොක්කෙක් ඇවිත් චෙක් කරලා බලන්න.. කතා දෙකක් නෑ.. අංක නමය තෑගි පෙට්ටිය මෙතන නෑ.. ඒක මෙහේ කවුරු හරි උස්සලා.. ගල් කරලා.. ඒක ෂුවර්..“

මා තරුණයාගේ වචනවල අරුත තඹ ශතයකට මායිම් නොකොට අත්සන් ලේඛනය හා තෑගි පෙට්ටි එකිනෙකට සැසඳුවා.

‘‘..එතකොට මහත්මයා මේ මොකක්ද තියෙන්නේ..මෙන්න හය.. මෙන්න නමය තෑගි පෙට්ටිය.. නමය මේ පැත්තට හරවලා තිබ්බහම හය තමයි.. ඉතින් ඇයි ඔබතුමා නමය වැහෙන්න ඒක උඩින් හය තෑගි පෙට්ටිය තියලා අංක නමය නෑ කියලා ඝෝෂා කරන්නේ..‘‘

මා එක හුස්මට විමසා සිටියා.

‘‘..සොරි බොස්.. මේ රැපින් පේපර් ඔක්කොම එක වගෙයි නේ.. ඒකයි මට පැටලෙන්න ඇත්තේ..“

රැවුල්කාර තරුණයා රැස් හිඳී යන සෝඩා බෝතලයක් මෙන් එසැණින් නිහඬ වූවා.

‘‘..බොරුව ගෙනිච්චෙ සර්… මිනිහා කපටියා.. හයයි නමයයි පැටලුනත් අංක හය තෑගි පෙට්ටි දෙකක් තියෙනවා කියලා මිනිහා කෑ ගැහුවෙ නෑනේ.. හොඳ වෙලාවට සර් වැඩේට බැස්සේ..“

සෝමවීර එදා තෙපලූ වදන් මට තෑගි භාණ්ඩ සාප්පුවේදීත් නින්නාද වී ඇසුනා.

‘‘.. ඇයි සර් මොකද්ද ප්‍රශ්නේ..“

වෙළඳ සැල් සේවකයා අපගේ කසු කුසුව වටහා ගත නොහැකිව විමසා සිටියා.

‘‘..සමාවෙන්න අහනවට.. කවුද අර රැවුල වවපු මහත්තයා..“

‘‘..ආ.. එයා ඇවිත් ඉන්නේ අපේ මුදලාලිගෙන් සල්ලි වගයක් අරගෙන යන්නයි..“

‘‘..නෑ..නෑ.. සල්ලි අත මාරුවක් ණයක් නෙමෙයි… එයාලාගේ වෙඩින් එකට හම්බ වෙච්ච ප්‍රසන්ට් තොගයක් එයා අපේ බොස්ට වික්කා.. වැඩිපුරම තිබුණේ ටේබල් ලෑම්ප්.. වීදුරු සෙට්.. සේරම අපේ කඩේ මුදලාලි මෙහාට අරගත්තා. සමහර ඒවා අපේ කඩෙන්ම ගෙනියපුවා..“

වෙළඳ සහායකවරයා කියාගෙන ගියා.

මා නැවතත් හැරී එදා අපිට දොස් නැඟූ තරුණයා දෙස බැලුවා.

ඔහුගේ මුහුණේ අද ඇත්තේ එදා තිබූ ජවසම්පන්න බැල්මට වඩා හාත්පසින්ම වෙනස් අසරණ බැල්මකි.

වර්තමානයේ විවාහ උත්සවයක පසු වියදම් පියවා ගැනීම මෙතරම්ම අසීරුකාරියක්ද?

මගේ මුවින් සුසුමක් පිටවුණා.

‘‘.. හරි සර්.. අපි මොකද් ද ගන්නෙ..?

සෝමවීර මා පියවි ලොවට රැගෙන ආවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division