Home » නිවසට කිරි උතුරන අට කොන් පූජාව

නිවසට කිරි උතුරන අට කොන් පූජාව

by Mahesh Lakehouse
February 3, 2024 12:35 am 0 comment

නිවසක ධන ශක්තිය මතු කරගත හැකි සරල පූජාවක්

මිනිසුන් ලෙස ජීවත්වන අප සැම දෙනාම අප වාසය කරන වාසස්ථානය ධනයෙන් පිරි පින් බිමක්, ජය භූමියක් කරගැනීමට නිරායාසයෙන් අපේක්ෂා කරන්නෙමු. එහිදී අප දන්නා පරිදි හැම දෙනෙකුම තමන් සාදන නිවහන සතුටින් පිරි, නිදහසින් පිරි ස්ථානයක් බවට පත්කර ගැනීමට උත්සාහ කරනු ඇත. ධනයෙහි පරමාර්ථය වන්නේ සතුට වේ. එය බුදුරජාණන් වහන්සේ විසින් “සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් දේශනා කර ඇත. බුද්ධත්වයට පෙර සිටම වාස්තු විද්‍යාව පැවත ආ අතර ඒ පිළිබඳව උමංග ජාතක කතා තුළ නිදසුන් ඇත. බුදු දහම චිරස්ථායි වීමට බෞද්ධ සංස්කෘතික උරුමයක් ලෙසත් වාස්තු විද්‍යාව තවදුරටත් පෝෂණය විය.

මෙම ලිපිය කියවන පාඨක ඔබට ධනය උතුරන වාස්තු විද්‍යා රහස් අතර අටකොන් පූජාව පිළිබඳව විග්‍රහ කරලීමට මෙවර බලාපොරොත්තු වෙමි.

තමාගේ සිහින නිවහන ඉදිකරන හෝ ඉදිකළ තමාට හිමි භූමි කොටස වෙන්කොට හඳුනා ගැනීමෙන් අනතුරුව හිරු පායන දිශාව උපයෝගී කොටගෙන හෝ මාලිමාවක් භාවිත කරලමින් නිවැරදිව ඉඩමේ අට කොන සොයාගත යුතුය.
අවශ්‍ය ද්‍රව්‍යය :- පැඟිරි කරු අටක් (අඩියක පමණ පැඟිරි කෝටු) මුඩ්ඩා සහිත පොල්ගෙඩි අටක්, බුලත් කොළ අටක්, එලඟිතෙල් පහන් අටක්, කිරිබත් ගොටු අටක් (ලුණු රහිත), පාට පහක මල්, සුවඳ කූරු, සුදු වැලි, දෙහිගෙඩි අටක්, තිරයක්, කපුරු, කාසි අටක් (කහ දියරෙන් සෝදා)
මෙම පූජාවට ශුභ මුහුර්තය වන්නේ (බ්‍රහස්පතින්දා දිනෙක රාත්‍රී 09.00 සහ රාත්‍රී 12.00 අතර කාලය වේ.)

නිවැරදි ලෙස සොයා වෙන්කර ගත් භූමියේ අට කොන්හි බිම සුද්ධ කර කරු සහිත පැඟිරි කෝටු අට සිටුවා එය පාමුල සුදුවැලි ඇතිරිය යුතුය. පිරිසිදුව පිළියෙල කරගත් කිරිබත් ගොටු අට පැඟිරි කරු මත තබා එම කිරිබත් මත එළඟිතෙල් පහන් අට දල්වන්න. පැඟිරි කරු පාමුල සුදු වැලි මත බුලත් කොළ තබා ඒ මත පොල් ගෙඩි තබන්න. පොල් ගෙඩිය මත කපුරු දල්වා ඒ අසල පාට පහක මල් විසුරුවා සුවඳ කූරු දල්වන්න. කාසි අට ද පොල්ගෙඩි මත එක බැගින් තබන්න. ඉන් අනතුරුව භූමියෙන් අවසර ගැනීමේ කවි ගායනා කළ යුතුය. එය පහත පරිදිය.

භූමියෙන් අවසර ගැනීම

පියුමක් එක් අතෙක
මල්දමක් කළසක් ද දෙ අතෙක
සක්ගෙඩියක් එකෙක
දරන අත් සතරෙකින් බබළන

සව්දෙව් අබරණින්
සුවඳ මල්දම් ගෙල සරාලා
නාරී රුවින් හෙබි
භූමීදේවි වඳිම් බැතියෙන්

මරු යුදවන් කල්හි
බුදුරදුන් දෙස් කළ තැනේදී
වෙව්ලවා දෙරණත
සාක්කිද දුන් නමම් මිහිකත

ඉන් අනතුරුව අටකොන් බහිරවයන් හට පින් දෙන කවි ගායනා කළ යුතුය.

(1) ඉන්දු දෙසින් පැමිණ සිටින
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(2) අග්නි දෙසින් පැමිණ සිටින
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(3) යාම දෙසින් පැමිණ සිටින
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(4) නිරිත දෙසින් පැමිණ සිටින
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(5) වරුණ දෙසින් පැමිණ සිටින
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(6) වයඹ දෙසින් පැමිණ සිටින
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(7) සවුම දෙසින් පැමිණ සිටින
පිරිවර සමගින සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

(8) ඊසාන දෙසින් පැමිණ සිටින‍
පිරිවර සමඟින් සිටින
දුන් පුද පිදමින් ගෙන
යන්ට අවසරයි පින් ගෙන

මෙලෙස අට කොන බහිරවයන් වහන්සේට පින් දෙමින් සිංහලද්වීපයට අධිගෘහිත සිව්වරම් දෙවිවරුන්ට කන්නලව් කළ යුතුය. මෙම කන්නලව්ව අට වාරයක් සිදු කළ යුතුය. කහ දියරයෙන් සෝදාගත් ගිරය සහ දෙහි ගෙඩි අට එක් එක් පැඟිරි කණුවක් ළඟට ගොස් පහන් සුවඳ කූරු කපුරු දැල්වෙන අට කොන්හි එක් කණුවක් ළඟ එක්වර බැගින් මෙම දේව කන්නලව්ව විශ්වාසයකින් යුතුව සතුරු උපද්‍රව ඇස්වහ කටවහ දුරුවී තම නිවසට ශ්‍රියා කාන්තාව වඩිත්වා යන පැතුමෙන් සිදු කළ යුතුය. එය මෙසේය.

බුදුන් වහන්සේගේ අවසරය පරිදි ශක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේගේ අණවරං ලැබ මේ සිංහලද්වීපය සහ බුද්ධ ශාසනයේ ආරක්ෂා කර දීමට ඇප කැප වී දෙවුන්දර මහා දේවාලයට අධිගෘහිතව වැඩ වාසය කරන ඛදිර දේහාලී වංශෝද්භූත උත්පලවර්ණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට ද ශ්‍රී පාදස්ථානය භාරව සබරගමු මහ සමන් දේවාලයට අධිගෘහිතව බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා වැඩ වාසය කරන සුමන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට ද කිරි වෙහෙර භාරව, කතරගම දේවාලයට අධිගෘහිතව සිංහල ජාතිය ආරක්ෂා කිරීමෙහි පුරෝගාමීව ජීවමාන තේජෝබල පරාක්‍රමයෙන් වැඩ වාසය කරන කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට ද, කැලණි මහා චෛත්‍යය භාරව කැලණි මහා දේවාලයට අධිගෘහිතව වැඩ වාසය කරන විභීෂණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට ද සැලකර සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන වැඩ වදාරා සිංහලද්වීපයේ ප්‍රධාන සතර දේවාලයට අධිපති ඔබවහන්සේලා මේ භූමියේ, මේ නිවසේ සකලාරිෂ්ට දෝෂාන්ධකාර දූරිභූත කර දෙවා මුළු පවුලටම කිරි උතුරවා ඉෂ්ටාර්ථ සංසිද්ධිය සලසා දෙන සේක්වා!

එක් කණුවක් ළඟ එක් වතාවක් දේව කන්නලව්ව කර ගිරයට හිර කළ දෙහි ගෙඩිය බැගින් කපා එම ස්ථානයේ භූමියට දමන්න. මෙලෙස අට කොනටම සිදු කළ යුතුය.

පසු දින පූජාවට ගත් පොල්ගෙඩි අටෙන් ආහාර පිස සුනඛ කපුට ආදී සතුනට දානයක් ලෙස ලබා දී පැඟිරි කෝටු ආදී කපුරු පෙති මල් ආදී අවශේෂ ද්‍රව්‍යය ගලා යන වතුරකට දමන්න. මෙම පූජාවෙන් ඔබට ධන වාසනාව ගෙන දෙනවාමය.


මහනුවර මොලගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලයේ ආචාර්ය
පාරම්පරික හෙළ වෛද්‍යාචාර්ය
ජ්‍යොතිර් විද්‍යා ශිරෝමණි
ශාස්ත්‍රපති කොට්ටාවේ සමිත හිමි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division