Home » මිනිසාට සැප සම්පත් උදාකරන රුද්‍රාක්ෂයේ නිධාන කතාව

මිනිසාට සැප සම්පත් උදාකරන රුද්‍රාක්ෂයේ නිධාන කතාව

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

අපල උපද්‍රව, ලෙඩ දුක්, ධන හානි සිදුවන විට සමාජයේ බොහෝ දෙනෙක් විවිධ ශාන්තිකර්ම පුද පූජා යන්ත්‍ර මන්ත්‍රවල පිහිට පතති. ග්‍රහ අපල දුරු වීමටත්, සම්පත් සාධනය වීමටත් විවිධ මැණික් වර්ග පැලඳීමට, තඹ තහඩුවල ප්‍රස්තාර කර ජීවම් කරන ලද සුර පැලඳීම, තෙල් වර්ග පැලඳීමටද බොහෝ දෙනා පුරුදු වී සිටිති. භව සසර සැරිසරන සත්ත්වයා අතුරින් මිනිස් ලොවට පැමිණි මනුෂ්‍යයාට ජීවත්වන කාලය තුළ නොයෙක් අභියෝගවලට මුහුණ දීමට සිදුවීම ස්වාභාවිකය. එකම විඥානය උරුම කරගෙන ප්‍රතිසන්ධිය ලැබුවද බොහෝ දෙනෙකුට මුහුණ දෙන්නට සිදුවන පළිබෝධ, වෛරස්, බැක්ටීරියා, ක්ෂුද්‍ර ජීවීන් නිසා සිදුවන හානි අතිමහත්ය. මනුෂ්‍යාත්මභාවයක් ලැබ ජීවත් වුණද නොපෙනෙන ලෝකයේ සැරිසරන ප්‍රේත, පිශාච, යක්ෂ, බහිරව ආදීන් අතුරින් ඇතැම් ගන්ධබ්බයින් සහ මනෝකායන්ගේ ආක්‍රමණයන්ට ලක්වේ. මොවුන්ට මනුෂ්‍ය මනස් මෙහෙයවිය හැකිය. ආලෝපිතකමින් හෝ ද්වේෂයෙන් හෝ වෛරයෙන් හෝ අණවින කොඩිවින පළි දැරීම් නිසා හෝ නොයෙක් භූතාත්මයන්ගේ ග්‍රහණයන්ට ලක්වීමට සිදු වීම අවබෝධ නොවේ.

අපගේ විශ්වයේ ප්‍රධානියා සූර්යයා වන අතර, පෘථිවියේ සිටින මනුෂ්‍යයෝ අනෙක් ග්‍රහලෝකවලද බලය, ආකර්ෂණය, බලපෑම ගතට සිතට පරිසරයට බලපෑම් කරන බව දනිති. පන්සලක, කෝවිලක, බෝධියක පුද පූජා පවත්වන බැතිමතුන් හා පූජකවරුන් දෙස බැලූ විට යන්ත්‍ර, සුර, තෙල්, වාලම්පුරි, මැණික් දක්නට ලැබේ.

දෙවියන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට දායාදයක් ලෙස ලැබුණ ඉතා උසස් ගණයේ මෙවලමකි ‘රුද්‍රාක්ෂ’. රුද්‍රාක්ෂ යනු රුද්‍රාෂ ජප මාලා ලෙසත්, නවගුණ වැල ලෙසත් ඇතැමුන් අතර භාවිත වුවද ඊටත් වඩා ආකර්ෂණීය වූත්, බලවත් ශාක බීජයක් වූ රුද්‍රාෂ භාවිතය ගැන හින්දු බැතිමතුන් අතර ප්‍රචලිත වුවද සිංහල බෞද්ධ සමාජය තුළ භාවිතය අල්පය.

අපගේ මිනිස් සිරුර ක්‍රියාත්මක වනුයේ විදත් බලයකිනි. එය ආලෝකය, විදුලි බල්බය, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන තාප විදුලි බලය මෙන් නොව ජීව විදත් බලයක් ඇත්තේ රුද්‍රාක්ෂය තුළය. එපමණක් නොව එහි ජීව චුම්බක ශක්තියක් ද ඇත. රුද්‍රාක්ෂ පැලඳීමෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ගොඩනැඟේ. නොපෙනෙන බලවේගයන්ට ආකර්ෂණය වන, ක්‍රියාත්මක වන රුද්‍රාක්ෂය පැලඳ ගැනීමෙන් ඉහළ බලවේග වූ දෙවියන්ගේ උදවු උපකාර පමණක් නොව සම්බන්ධතාව ලබාගත හැකිය.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ඇදුරන් තඹ, රිදී තහඩුවලට ප්‍රස්තාර කර ජීවම් කර පිහිට ලබා දෙන සුර භාවිත කරති. රත්රන්, රිදී, ලෝහවලට සම්බන්ධ කරන ලද මැණික් ගල් වර්ග පැලඳීමද තවත් උපකාරකයකි. සරස්වතී තෛලය, මාතාංගේෂ්වරී තෛලය, තෙයියෝරුව ආදී තෙල් වර්ගද සුරවල දමා පලඳින ක්‍රම ද ඇත.

නමුත් මෙම රුද්‍රාක්ෂ නම් ගසින් වැටෙන කුඩා ගෙඩි විශේෂයක් ලෙල්ල ඉවත් කර ගත් විට කැටයම් සහිත ගන ගෝලාකාර ශාක බීජයක් දක්නට ලැබේ. මෙහි කඳ හා මුහුණ ලෙස බෙදී යන පරිදි එක මුහුණ සිට මුහුණු 21ක් දක්වා විවිධ කාරණා හා අවශ්‍යතා සඳහා භාවිත කෙරේ. මුහුණ යන තීරුව මුඛී යනුවෙන් හඳුන්වයි. මෙම ශාක බීජය මැදිව පෙණ්ඩනයක් ලෙසත් ආකර්ෂණයක් ලෙසත් සකස් කරගත හැකිය. මේවායේ කිසියම් ඕරා බලයක්, විශ්ව ශක්තියක්ද ඇත. පුරාණ වේද සාහිත්‍යයෙන් උරුම වූ ස්තෝත්‍ර මන්ත්‍ර භාවිත කර බලය හා ශක්තිය අන්තර්ගත කරගත හැකිය. එවිට අදාළ දෙවිවරුන්ද සම්බන්ධ කර ගත් විට පිහිට ලැබේ.

පපුවේ රුද්‍රාක්ෂය ස්පර්ශ වන විට හෘදය හා පෙණහලුවලට කිසියම් ජීව විදත් හා චුම්බක ශක්තියක් ගෙන දී ක්‍රියාත්මක වන්නට පටන් ගනී. බ්‍රේස්ලට් හෙවත් වළල්ලක් ලෙස මැණික් කටුවේ ස්පර්ශ වන විට නිල 3ක් ක්‍රියාත්මක වේ. රෝග පීඩා දුරු වීම, දෙවියන්ගේ ආශීර්වාදය හිමිවීම, ධන සම්පත් ලැබීම, බලය කීර්තිය ලැබීම, ධාරණය, නුවණ ලැබීම, අභියෝග ජය ගැනීම වැනි විශාල සංඛ්‍යාවක් අපේක්ෂා ඉටුකර ගත හැකි මෙවලමකි රුද්‍රාක්ෂ. ග්‍රහ අපල දුරු කර ගැනීමට දෙවිවරු ප්‍රසාදයට පත්කර ගැනීම, ග්‍රහයන්ට අදාළ දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබීම මින් ඉටුකර ගත හැකිය.

තමන්ට අහිතකර පීඩාකාරී අමනුෂ්‍ය බලවේග දුරු කරගැනීමටත් , මහේශාක්‍ය දෙවිවරුන්ගේ පිහිට ලබා ගැනීමටත් රුද්‍රාක්ෂ භාවිතයෙන් හැකි වේ.

රුද්‍රාක්ෂ දේව මණ්ඩපයක තබා බීජ මන්ත්‍ර, ගයත්‍රි මන්ත්‍ර කවච, අෂ්ටෝත්තර, ශ්ලෝක ගායනා කර බලය වර්ධනය කර ගත යුතුය. පැලඳ ගැන්මෙන් පසුද වරින්වර හෝ මසකට වරක්වත් රුද්‍රාක්ෂය පිසදා, රෝස පිනිදියෙන්ද පිස, සඳුන් තෙල් ආලේප කරගත යුතුය. පැලඳ ගැනීමෙන් පසු තමන්ද වරින්වර ජංගම දුරකතනයෙන් චාජ් කරගන්නා මෙන්, රීලෝඩ් කරගන්නා මෙන් ජප කිරීමෙන් බල වර්ධනය වී තමන්ට සම්බන්ධ වේ. දෙවියන්ට දෘශ‍ය වේ. පිහිට වේ.

රුද්‍රාක්ෂ කතන්දරයේදී ශිව හෙවත් ඊශ්වර දෙවියන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබේ. මෙහි සම්භවය සුරඅසුර යුද්ධය හා සම්බන්ධය. එක්තරා යුගයක සුරයන් හා අසුරයන් අතර මහා සංග්‍රාමයක් හටගත් අතර සුරයන් රැකවරණයට ඉදිරිපත් වූ දේව සමූහයා අතරින් ඊශ්වර පෙරමුණ ගත්තේය. සුරයන්ට වූ හානිය දැක භාවනානුයෝගීව කෛලාශ කුටියේ සිටි ඊශ්වර අවදි වී ඇසින් වැටුණ කඳුළින් මිහිකත බිහිකළ රුක්ෂය රුද්‍රාක්ෂ නම් විය. රුද්‍රාක්ෂ ඊශ්වර දෙවියන්ගේ කඳුළින් බිහි වූ බව වේදයේ සඳහන් වේ.

ශිව දෙවියන්ගේ චිත්‍රයක් දුටු විට දිස්වනුයේ රුද්‍රාක්ෂ වැල ගෙලෙහිද, වරලසෙහිද , බාහුවලද පැලඳ සිටින බවයි. ශිව දෙවියන්ගේ බිරිය වූ පාර්වතී දේවිය ද පලඳින්නේ රුද්‍රාක්ෂ මාලාවකි. රුද්‍රාක්ෂ පිරිමි කාන්තා දෙපාර්ශ්වයටද පැලඳිය හැකිය. රුද්‍රාක්ෂ දිව්‍යමය නිපැයුමක් ලෙස සලකන අතර ඍණාත්මක ප්‍රතික්‍රියා අවම කර ධනාත්මක ප්‍රතික්‍රියා වර්ධනය කරගත හැක. අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි මෙවලම් විශේෂයක් ලෙසත් භෞතික හා ලෞකික වශයෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමටත් දේව පිහිට ලැබෙන සම්බන්ධීකරණ වස්තුවක් ලෙසත් සැලකීමට පිළිවන.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ. ඒ. ඩී. පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division