Home » ගුරු ග්‍රහයාගෙන් ලැබෙන සුබපල

ගුරු ග්‍රහයාගෙන් ලැබෙන සුබපල

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

– ගුරු අපලයෙන් බේරෙන්න කළ යුතු වත්පිළිවෙත්
– ගුරු – බුධ සංයෝගයෙන් උපන් තැනැත්තා දක්ෂතා ඇති යහපත් අයෙක්

සුරගුරු, බ්‍රහස්පති යන නම් වලින් හඳුන්වන ගුරු යහපත් ග්‍රහයකු බව ජ්‍යොතිෂයේ දැක්වේ. අධ්‍යාපන ඥානකාරක, පුත්‍රකාරක ලෙස ද හඳුන්වන ගුරු ග්‍රහයා ඉතාමත් යුක්තිගරුක අාධ්‍යාත්මික වූ ග්‍රහයෙකි. අධ්‍යාපනය, නීතිය, ආගම, දර්ශනය, බැංකු, රක්ෂණ, වෙළෙඳ ව්‍යාපාර, ආර්ථිකය යන කරුණු කෙරෙහි ද බලපෑම් කරයි. විශේෂයෙන් නීතිය රකින ස්ථාන, භාණ්ඩාගාරය, හමුදා ස්ථාන, උගතුන් සිටින ස්ථාන, වෙහෙර විහාරස්ථාන, අධ්‍යාපන ආයතන යන ස්ථානවලට අධිපති වන්නේ ගුරුය. ශරීරයේ මේදය ඇති කිරීමට ගුරු මූලික වේ. පුරුෂ ග්‍රහයකු වන ගුරු දුර්වල වූ විට අක්ෂි ආබාධ, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යාම, ආම වාතය, නිදිමත ගතිය, සිහි විකල් බව, සෙංගමාලය, දියවැඩියාව, ශරීරය අධික ලෙස තරබාරු වීම, මුත්‍ර සමඟ ධාතු පිටවීම, උෂ්ණ රෝග ඇති කරනු ලබයි.

ගුරු කටක රාශියේ ගමන් කරන කාලය තුළ කටක, මේෂ, තුලා, මකර, ලග්නවලින් උපත ලබන දරුවන් වාසනාවන්ත අය වන අතර එම දරුවන්ට ‘ගුරු හංස’ නම් මහා පුරුෂ යෝගය පිහිටයි. මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට ගුරු ශුභ වන අතර වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, කුම්භ ලග්නවලට ගුරු පාප ග්‍රහයෙකු වේ. මකර ලග්නයට ගුරු මධ්‍යස්ථ පල උදා කරයි. කටක හා මේෂ ලග්න දෙකට ශනි පාප ග්‍රහයෙකු සේ පිහිටයි නම් සෙනසුරුගේ මහ දශාව හෝ අතුරු දශා ගත කරයි නම් හෝ ජන්ම අෂ්ටක ඒරාෂ්ටක ගත කරන්නේ නම් සුබපල නොලැබෙන තත්ත්වයන් ඇත. අන් ලග්නවලට ද පාපී ග්‍රහයෙකුගේ දශා අතුරු දශා ඒරාෂ්ටක ගත කරන්නේ නම් නියම වශයෙන් ලැබෙන සුබපල අවම බවත් පෙනේ. ගුරු ග්‍රහයා සමඟ අනෙකුත් ග්‍රහයන්ගේ සංයෝග ඇතිව විට ප්‍රතිඵල විමසා බලමු.

ගුරු – බුධ ග්‍රහ සංයෝගය

ගුරු – බුධ සංයෝගයෙන් උපන් තැනැත්තා දක්ෂතා ඇති යහපත් අයෙකු වේ. සියුම් කටයුතුවලට දක්ෂ මොවුන් ශාස්ත්‍රීය කටයුතුවල ද නිරත වේ. යුක්ති සහගතව කටයුතු කරන මොවුන් කරන කියන දේවලින් ජය ලබයි. විනිසුරු රැකියාවලට ද සුදුසු තත්ත්වයකි.

ගුරු – කුජ ග්‍රහ සංයෝගය

මෙම යෝගය යහපත් වූ එකක් වන අතර මෙය ශුභ මංගල යෝගයක් මෙන්ම රාජ යෝගයක් ද වේ. දියුණුව ඇති වන අතර ඉඩකඩම්, වාහන, ධනය, අධ්‍යාපනය, රැකියාව වැනි කුමන හෝ අංශයකින් මෙම තත්ත්වය ඇතිවේ. තම නෑදෑයන්ට උදවු කරන පාලනයට දක්ෂතා ඇති කෙනෙකි.

ගුරු – සඳු ග්‍රහ සංයෝගය

මෙම යෝගයෙන් උපන් අයට යහපත් තත්ත්ව අයහපත් තත්ත්ව දෙකටම පොදුවේ මුහුණ දෙන්නට සිදුවේ. මේ තත්ත්ව ඇති අයට විවාහ ජීවිතයේ ගැටලු ඇති කරන අවස්ථා තිබේ. ආඩම්බර ගති ඇති මොවුන් උසස් දැනුම් ඇති නම්බුකාරයන් සේ සිතයි. ස්ථිර දේපළක් හා රැකියාවක් ලැබෙන මොවුන්ට මෙම පිහිටීම් දුෂ්ට ස්ථානවල නම් යහපත් නොවනු ඇත.

ගුරු – රවි ග්‍රහ සංයෝගය

ගුරු – රවි සංයෝගය යහපත් වන අතර ශරීර ශක්තිය නීරෝගි බව ලැබෙනු ඇත. මල්ලවපොර ශූරයන්ගේ කෙෂ්ත්‍රවල මෙම පිහිටීම බොහෝ විට තිබේ. ඉගෙනීම කඩිසර ගතිය ඇති ලෝක පූජිත අයෙකු වීමට මෙම පිහිටීම බලපානු ඇත.

ගුරු – ශනි ග්‍රහ සංයෝගය

මෙයද වාසනාවන්ත ග්‍රහ සංයෝගයකි. ටිකෙන් ටික දියුණු වෙමින් මැදි වයස වන විට ධනවත්ව උසස් රැකියාවක් ලැබේ. ගෞරවය ලබන අයෙකු වනු ඇත. අන් අයගේ ධනය නිරායාසයෙන් ලබයි. අසුබ ස්ථානයක පිහිටීමෙන් ලැබීම් අඩු කරයි.

රවි – කිවි ග්‍රහ සංයෝගය

ගුරු – කිවි සංයෝගය ලත් තැනැත්තා ඉඩකඩම්, නිවාස, මිල මුදල් ලැබ යහපත් වාසස්ථාන ලබන අයෙකු වේ. ගුණවත් කාන්තාවකක් විවාහයට ලැබෙන අතර වාසනාවන්ත දරුවන් ලැබේ. කතාවෙහි දක්ෂ මොවුන් වාසනාවන්තයකු ලෙස ප්‍රසිද්ධියට පත්වේ.

ගුරු අපලයට කළ යුතු පිළියම්

පැලඳිය යුතු මැණික් – මිලි ග්‍රෑම් 546ක් බරැති පුෂ්පරාග මැණිකක් රන් මුදුවක බහා වෙදැඟිල්ලේ පලඳින්න.

දාන – හකුරු, කහ, ධාන්‍ය වර්ග කහපාට වස්ත්‍ර, ලුණු, දීකිරි මිශ්‍ර බත්

ස්නානයට ඖෂධ – හෙළ අබ, වැල්මි, ඉරිවේරිය, දෑසමන්, බොලිද්ද මල්

යන්ත්‍ර – ගුරු පංජරය 19000 වරක් ජීවම් කළ පැලඳිය යුතුය.

මල් – කහපාට මල්ද, ගිතෙල් පහන්ද, ඉඹුල් මැලියම් දුම් සහ සඳුන් කොකුම් ආදී සුගන්ද පූජා කරන්න.

දේවතාවා – විෂ්ණු දෙවියන්ට පින් පෙත් දෙන්න ගුරු අපලයට දිනපතා භාවිත කළ යුතු ග්‍රහ ස්තෝත්‍ර

“දේවතානංච සංෂි නාංච – ගුරු කාංචන සන්ති නම්

බුද්ධි භූතං තිලෝකේශය – තංනමාමි බෘහස්පතිම්”

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී උපුල් ජයශ්‍රී ද සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division