Home » උළුවහු පනිද්දී මේ චාරිත්‍ර ඉටු කරන්න

උළුවහු පනිද්දී මේ චාරිත්‍ර ඉටු කරන්න

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

– උළුවහු පනිද්දී සජ්ඣායනා කළ යුතු ගාථා
– නිවසක් ඉදි කිරීමේදීඋළුවහු තැබීම සහ පැනීම ශාස්ත්‍රානුකූලව ඉටු කළ යුතු කාර්යක්

නිවසක් ඉදි කිරීමේදී සිදු කළ යුතු චාරිත්‍ර අතර උළුවහු තැබීම සහ පැනීම ශාස්ත්‍රානුකූලව, නිවැරැදිව කළ යුතු ඉතා වැදගත් කාර්යයකි. උළුවහු තබන දිනයේදී පහන් පැලක් සාදා බුලත්,පඬුරු, මල්, පහන්, සුවඳ ආදිය තබා වඩු කාර්මිකයා හෝ පෙදරේරුවා සුදු ඇඳුමින් සැරසී පංචශීලය සමාදන්ව නව අරහාදී බුදු ගුණ සහිත ඉතිපිසෝ ගාථාව සහ උළුවහු පැනීමේදී සජ්ඣායනා කළ යුතු සුවිශේෂ ගාථා සහ විශ්වකර්ම ස්තෝත්‍ර ගායනා කර විෂ්ණු දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන් වහන්සේට පින් දිය යුතුය. මේ අවස්ථාවේ පිරිත් සජ්ඣායනය කිරීමද ඉතා සුදුසුය. උළුවහු පැනීමේදී සජ්ඣායනා කළ යුතු එබඳු ගාථා කීපයක් පහත දැක්වේ.

බ්‍රහ්මේන්ද්‍ර මාධී මඛිලං –
භුවනේසු භූතං
මෝහාන්ධකාර භජිතං –
භව හාර හාරං
ලොකුත්තමං සරණතං –
යදි දේව දේවං
ජිනේන්ද්‍ර සීහ පවරං –
සිරසා නමාමි

මුනින්ද්‍රහාරි වදනං –
බුජ ගබ්භ ගබ්භේ
සම්භූත භූත සරණං-
පරමං රසානං
ධම්මේන ධම්ම කූලං –
නඛිලං හියංතං
ජිනේන්ද්‍ර ධම්ම පවරං –
සිරසා නමාමි

සන්තින්ද්‍රියන් විභත පාප –
මලංජලන්තං
සම්බුද්ධ සාසන වරං –
විය පුණ්ණ වංදන්
අං අග්ග පුග්ගල පවග්ග –
මහග්ඝදානං
ජිනේන්ද්‍ර සංඝං පවරං –
සිරසා නමාමි

විශ්ව කර්ම ස්තෝත්‍ර කීපයක්
නමාමි විශ්ව කර්මාණං –
සර්ව පුත්‍ර ප්‍රවර්තකම්
මණ්ඩපාදි ප්‍රසිද්ධ්‍යාර්ථං –
සර්ව සිද්ධි සමෘද්ධිදම්

විශ්ව කර්මා ජන්මාතා –
විශ්ව කර්මා ජගත් ගුරු
විශ්ව කර්මා ජගත් දේවං –
විශ්ව කර්මා නමාමි

කර්තා ශිල්ප සහඝ්‍රාණං –
ත්‍රිදශානාංච වර්ධකිං
මනුෂ්‍යා ශ්වෝප ජීවන්ති
ශිල්පං චෛ භූෂණාදිකම

මංගල උළුවස්ස තැබීමේදී සිදු කළ යුතු චාරිත්‍ර මාලාවක් ඇත. වර්තමානයේ මෙබඳු චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමයෙන් ගිලිහී යන බැවින් තරුණ වඩු කාර්මික මහතුන්, පෙදරේරු මහතුන් මේවා පිළිබඳ දැනුම්වත්ව නිසි පරිදි කටයුතු කිරීම බෙහෙවින් අවශ්‍ය වේ.

උළුවහු පනින තැනැත්තා සුදු කමිසයක් හා සුදු සරමක් හැඳ සුදු රෙද්දක් හිස සිට පොරවාගෙන සුදු කුකුළෙක්ද, ඊතලයක් හෝ ඊතණ මිටක්ද, පොල් ගෙඩියක්ද, දෙහි ගෙඩියක්ද, බුලත්ද, මල් වර්ග සහ කෙසෙල් සහිත පලතුරුද, රන් රිදී මුදල්, කැවිලි ආදියද සහිත වට්ටියක් අතැතිව පළමුව ප්‍රධාන උළුවස්සෙන් පැනිය යුතුය.

උළුවහු පනිනවා යනුවෙන් අදහස් කරන්නේ උළුවස්සෙන් කීප විටක් එහා මෙහා යෑමයි. එහිදී උළුවහු පනින වඩු කාර්මිකයා විසින් මුලින්ම උළුවස්ස අවට සුවඳ දුම් අල්ලා යතුකැටය, මිටිය, නියන, අතකොළුව වැනි උපකරණ එකට ගැට ගසා ඒ සියල්ල උළුවස්සෙන් ඇතුළට දැමිය යුතුය. සුබ මොහොත එළඹි විට පැන් භාජනයක් අතින් ගෙන උළුවස්සෙන් තුන්වරක් එහාට මෙහාට පැන, ඉන් පසු පහන් පැල අසලට ගොස් පැන් කළය බිඳ දමා වස් දොස් හැර දෙවියන්ට පින් දිය යුතුය. උළුවස්ස පැනීමෙන් පසු වඩු කාර්මික මහතා එදින වෙනත් කටයුතුවල නොයෙදෙයි. ඒ අවස්ථාවේ වට්ටියේ ඇති සියලු දේ සහ වඩු කාර්මික මහතාගේ සිත සතුටු වන ලෙස තෑගි බෝග පිරිනැමීම ගෘහමූලිකයා විසින් සිදු කළ යුතුය.

කවර අවස්ථාවක වුවද උළුවහු පැනීම කිසි විටෙකත් ගෘහමූලිකයා විසින් නොකළ යුතු අතර එසේ වුවහොත් එය බලවත් අසුබ පල ගෙන දෙන දෝෂයක් ලෙස සැලකේ. උළුවහු පනින අවස්ථාවේ නිවැසියන් ඒ අසල නොසිටීම ද ඉතා යහපත්ය.

නිවසක ප්‍රථමයෙන්ම තැබිය යුත්තේ ප්‍රධාන උළුවස්ස වන අතර එය අනිවාර්යයෙන්ම තැබිය යුත්තේ සුබ නැකතකටය. පුර පක්ෂයෙහි 2, 3, 5, 7, 10, 13 යන තිථියක් සහිත බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනයක්ද බුධ, ගුරු හෝ සිකුරු හෝරාවක් ද උළුවහු තැබීමට සුබ වේ. මුවසිරස, රෙහෙන, සිත, අනුර, රේවතී, තුනතුරු නැකතත් සමඟ තත්කාල ලග්නය ලෙස වෘෂභ, සිංහ, කුම්භ, වෘශ්චික ලග්නයක් උදාවන මොහොතද අස්විද, රෙහෙන, පුෂ, හත, තුනතුරු නැකතත් සමඟ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නයක් උදාවන මොහොත ද උළුවහු තැබීමට වඩාත් සුබ වේ. තත්කාල කේන්දරයේ චන්ද්‍රයා ලග්නයේ ද, 7 වැන්නේ ගුරු ද, 10 වැන්නේ බුධ ද සිටීම ඉතා යෝග්‍යය. කුජ, ශනි 3 හා 11ද ගුරු 4 ද, සඳු 10 ද සිටීම තවත් සුබ යෝගයකි. ලග්නයේ ගුරු ද 7 වැන්නේ සඳු ද 10 වැන්නේ බුධද සිටීම සුබය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී, විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division