Home » මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ දිලුලන තරු කවුරුන් විය හැකිද?

මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ දිලුලන තරු කවුරුන් විය හැකිද?

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

ඉන්දියාවේ ජනප්‍රියම සිනමා සම්මාන උලෙළ කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර වනු ඇත්තේ ‘ෆිල්ම්ෆෙයාර්’ සිනමා උලෙළ යන්නයි. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උලෙළ මෙවර 69 වැනි වතාවටත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. ඒ අද (28) රාත්‍රියේ යි.‍

2024 ෆිල්ම්ෆෙයාර් උලෙළ පැවැත්වීමට නියමිතව ඇත්තේ ගුජරාත් ප්‍රාන්තයෙහි GIFT City නගරයේ යි. පසුගිය වසරේ තිරගත වූ හොඳම සහ ජනප්‍රියම හින්දි සිනමාපටවලටත්, විශිෂ්ට දස්කම් දැක් වූ නළු නිළියන් ඇතුළු ශිල්පීන්ටත් අද දින සම්මාන පිරිනැමීමට නියමිතයි. මෙහිදී කුමන සිනමාපට සඳහා කවර ශිල්පීන් සම්මාන හිමි කරගනු ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සිනමාලෝලීන් තුළ ඇත්තේ විශාල කුතුහලයක්.

කෙසේ හෝ වේවා, මෙවර සම්මාන සඳහා නිර්දේශ වී ඇති සිනමාපටවල සහ ශිල්පීන්ගේ නම් මෙයට ටික දිනකට පෙර ප්‍රසිද්ධියට පත් කර තිබුණා. ෆිල්ම්ෆෙයාර් සම්මාන උලළේ එක් විශේෂත්වයක් වන්නේ ජනප්‍රිය සම්මාන සහ විචාරක සම්මාන යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමීමයි.

මෙවර සම්මාන වැඩිම ගණනක් සඳහා නිර්දේශ වී ඇත්තේ පසුගිය වසරේ ප්‍රේක්‍ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ චිත්‍රපටය යි. සුප්‍රකට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම සිනමාපටය සම්මාන 20ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. රන්වීර් සිං සහ ආලියා භාත් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ. ‘රොකී ඕර් රාණි’ ට පසු සම්මාන වැඩිම සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වී ඇත්තේ රන්බීර් කපූර් රඟපෑ Animal චිත්‍රපටයයි. එය සම්මාන 19ක් සඳහා නිර්දේශිත යි. ෂාරුක් ඛාන් රඟපෑ ‘පතාන්’ සහ ‘ජවාන්’ යන සිනමාපට පිළිවෙළින් සම්මාන 16ක් සහ 15ක් සඳහා නිර්දේශ වී තිබෙනවා.

ජනප්‍රිය සම්මාන කාණ්ඩය යටතේ හොඳම චිත්‍රපටය සම්මානය සඳහා චිත්‍රපට හයක් නිර්දේශ වී ඇති අතර ඒ සියල්ලම පසුගිය වසරේ උපරිම ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනා ගත් නිර්මාණ යි. එම සිනමාපට හය නම් Animal, ජවාන්, පතාන්, OMG 2, රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි, 12th Fail යන ඒවා යි. මෙම කාණ්ඩය යටතේ හොඳම නළුවා සම්මානයට රන්බීර් කපූර් (Animal), ෂාරුක් ඛාන් (ඩන්කි), ෂාරුක් ඛාන් (ජවාන්), රන්වීර් සිං (රොකී ඕර් රාණි), සනි ඩියෝල් (ගදාර් 2), විකී කෞෂාල් (සෑම් බහදූර්) යන නළුවන් නිර්දේශ වී සිටිනවා. හොඳම නිළිය සම්මානයට නිර්දේශ වී සිටින්නේ ආලියා භාත් (රොකී ඕර් රාණි), භූමි පෙද්නෙකාර් (Thank You for Coming), දීපිකා පදුකෝන් (පතාන්), කියාරා අද්වානි (සත්‍ය ප්‍රේම් කී කතා), රාණි මුඛර්ජි (Mrs Chatterjee vs Norway), තාප්සි පන්නු (ඩන්කි) යන නිළියන් සය දෙනායි.

හොඳම සහාය නළුවා සම්මානයටත් නළුවන් සය දෙනෙකු නිර්දේශ වී සිටිනවා. අනිල් කපූර් (Animal), බොබි ඩියෝල් (Animal), ආදිත්‍ය රවාල් (ෆරාස්), එම්රාන් හෂ්මි (Tiger 3), ටොටා රෝයි චෞද්රි (රොකී ඕර් රාණි), විකී කෞෂාල් (ඩන්කි) මෙම සම්මානයට නිර්දේශ වී සිටින සය දෙනායි. ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ නිළියන් දෙදෙනෙක් මේ වසරේ හොඳම සහාය නිළිය සම්මානය සඳහා නිර්දේශ වී සිටිනු දැකිය හැකියි. ඒ, ජයා බච්චන් සහ ෂබානා ආස්මි යන දෙදෙනායි. ජයා “රොකී ඕර් රාණි’ සිනමාපටය වෙනුවෙන් නිර්දේශ වී සිටින අතර ෂබානා සිනමාපට දෙකක් වෙනුවෙන් නිර්දේශ වී සිටිනවා. ඒ ‘රොකී ඕර් රාණි’ සහ ‘Ghoomer’ සිනමාපට වෙනුවෙන්. ඔවුන් දෙදෙනාට අමතරව රත්නා පතාක් ෂා ‘දක් දක්’ සිනමාපටය වෙනුවෙන් ද, ත්‍රිප්ති දිම්රි Animal සිනමාපටය වෙනුවෙන් ද, යාමි ගෞතම් OMG 2 සිනමාපටය වෙනුවෙන් ද නිර්දේශ හිමි කරගෙන සිටිනවා.

විචාරක සම්මාන කාණ්ඩය යටතේ හොඳම චිත්‍රපටය සම්මානය සඳහා පසුගිය වසරේ තිරගත වූ තවත් අපූරු සිනමාපට හතක් නිර්දේශ වී තිබෙනු දකින්න පිළිවන්. එම චිත්‍රපට නම් 12th Fail, භීද්, ජොරාම්, Three of Us, ස්විගතෝ, සෑම් බහදූර්, ෆරාස් යන ඒවායි. අභිෂේක් බච්චන් (Ghoomer), මනෝජ් බජ්පායි (ජොරාම්), රාජ්කුමාර් රාඕ (භීද්), විකී කෞෂාල් (සෑම් බහදූර්), ජයිදීප් අහ්ලාවාත් (Three of Us), පන්කජ් ත්‍රිපති (OMG 2),වික්‍රාන්ත් මසී (12th Fail) හොඳම නළුවා විචාරක සම්මානයට නිර්දේශිත යි. හොඳම නිළිය විචාරක සම්මානය සඳහා නිර්දේශිත නිළියන් වන්නේ දීප්ති නවාල් (Goldfish),ෆාතිමා සනා ෂායික් (දක් දක්), රාණි මුඛර්ජි (Mrs Chatterjee vs Norway), සයියාමි කේර් (Ghoomer), ෂහානා ගෝස්වාමි (ස්විගතෝ), ෂෙෆාලි ෂා (Three of Us) යන අයයි.

කරන් ජොහාර්, අයුෂ්මාන් කුරානා, මනිෂ් පෝල් මෙවර උලෙළේ නිවේදන කටයුතු කිරීමට නියමිතයි.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division