Home » සැරින් සැරේ හිත වෙනස් වෙන්නෙ නැති කෙනෙක් හමු වුණොත් ඒ ගැන හිතනවා

සැරින් සැරේ හිත වෙනස් වෙන්නෙ නැති කෙනෙක් හමු වුණොත් ඒ ගැන හිතනවා

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

– ආදරය නිසා රියා ආදරණීය වෙලා එක රැයකින් ඒ වෙනස වුණා
– එදා බැනපු අයගෙම අද ආදරණීය චරිතය වෙලා ඒ ගැන මට සතුටුයි

ඇය රංගන දිවියට පිවිසෙන්නේ රුක්මාල් නිරෝෂ්ගේ තත්සරන්නිය ටෙලි නිර්මාණයෙනි. එහි අමිලියා වූ ඇයට ඒ සඳහා ඇරියුම් ලැබෙන්නේ ද වයලීන් වාදනයෙහි හැකියාව තිබූ නිසාවෙනි. නමින් නෙතූ ගම්ලත් වන ඇය මේ දිනවල නාළිකා කිහිපයක ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ වෙත එන්නීය. හසුන් සමීරගේ ජානු ටෙලි නිර්මාණයේ නොෂිකා වූ ඇය තිළිණ බොරලැස්සගේ සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ රියා ද වූවාය. විශ්ව ලංකාගේ කුලුඳුල් ටෙලි නිර්මාණය වන සීසර්ලාහි දෝණිගේ භූමිකාවෙන් ද ඔබ හමුවට එන ඇය ගැනයි අද අපේ කතාබහ.

එකම කාලයේ ඔබ නාළිකා තුනක චරිත ත්‍රිත්වයකින් ප්‍රේක්ෂකයා හමුවට ඒමෙන් ඔබේ රුව ප්‍රේක්ෂකයාට ඒකාකාරී වේවි කියලා හිතෙන්නෙ නැද්ද?

ජානු නාට්‍යයේ නොෂිකා, සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ රියා වගේම සීසර්ලාහි චාරු කියන්නෙ එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයක්. ඒ නිසා ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවක් දැනෙන එකක් නැහැ. සිත නිදි නෑ රියාගේ චරිතයේ හොඳ නරක දෙපැත්තම නිරූපණය වෙනවා. රියා කියන්නෙ ටොප් ලෙවල් ෆැමිලි එකක දුවක්. තාත්තා ලෝයර් කෙනෙක්. තමන්ට ඕන දේ කොහොමහරි ලබා ගැනීම එයාගෙ හැටියක්. හැමවෙලේම අංක එක වෙන්න දඟලන චරිතයක්. ඒ නිසා ගොඩක් අය එයාට බණිනවා. රියා කියන්නෙ මුලදි ගොඩක් බැණුම් ඇහුව චරිතයක්. ඒත් දැන් එයා වෙනස් වෙලා. ආදරය නිසා රියා ආදරණීය වෙලා. එක රැයකින් ඒ වෙනස වුණා. අනිවාර්යයෙන්ම ඒකෙ ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕන ලක්ෂාන් වතුහේවාට. ඔහු තමයි හිටි ගමන්ම රියාව වෙනස් කළේ. නැත්නම් හැමදාම බැණුම් අහලම එපාවෙයි. ඒ වගේම සීසර්ලා කියන්නෙත් මෙතෙක් විකාශය වූ ටෙලි නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් ටෙලි නිර්මාණයක්. එහි අධ්‍යක්ෂ විශ්ව ලංකාගේ සංකල්පය දෙබස්වලට පෙරළුවේ බුද්ධික සේමසිංහ. චාරු කියන්නෙ වෙනස්ම චරිතයක්. ගොඩක් අය කියන්නෙ එයාට දෝණි කියලා. කොල්ලො තුන්දෙනෙක් එක්ක වාහනේක නැඟල වාහන සීස් කරන්න යන, ගරාජ් එකේ ඉන්න, පාරෙ සින්දු කිය කියා නටන කොල්ලෙක් වගේම චරිතයක්. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. මං නොහිටිය දවසක සමහරු රැවටිලා තිබුණා මේ ඇත්තම සීසර්ලා කියලා. එහෙම අත්දැකීම් නැතුවමත් නොවෙයි. කොල්ලෙක් වගේ අඳින පලඳින කොල්ලෙක් වගේ හැසිරෙන දෝණිට ගොඩක් දුරට ප්‍රතිචාර විදිහට ලැබුණෙ බැණුම්. ඒ වගේම ඔයා ඒක හොඳට කරනව කියන අයත් හිටියා.

මේ දවස්වල රියාට ප්‍රේක්ෂකයො ගොඩක් ආදරේ වෙලා නේද?

ඔව් මුලින් හොඳටම බැණපු අය මේ වෙද්දි පුදුම විදිහට ආදරේ වෙලා. ඒ වගේ චරිත සමාජයේ තියෙන නිසා ඒව ප්‍රේක්ෂකයාට දැනෙනව වැඩියි. මුලින් නම් ප්‍රතිචාර බලල අවුල් වුණා. ලැබෙන ප්‍රතිචාර සාපේක්ෂව භාර ගන්න පුරුදු වුණා. දැන් නම් රියාට ලැබෙන්නෙ ආදරණීය ප්‍රතිචාර. රියාව නොදැක්ක දවසට කෝ අද රියා නැද්ද කියල අහන තරමටම ප්‍රේක්ෂකයො වෙනස් වෙලා. එදා බැණපු අයගෙම අද ආදරණීය චරිතය වෙලා.

නෙතූව සිනමාවෙ දකින්න නැත්තේ ඇයි?

තාම සිනමාවට ආරාධනාවක් ලැබිලම නෑ. ආරාධනාවක් ලැබුණොත් ඒ ගැනත් කැමැත්තෙන් ඉන්නවා.

මියුසික් වීඩියෝවලට පෙනී සිටීමත් අද කාලෙ රංගන ශිල්පිනියන්ගේ රැල්ලක් වෙලා. ඔබත් ඒ රැල්ලට යන කෙනෙක් ද?

මං ගොඩක් ඒවට පෙනී ඉන්නෙ නෑ. හොයාගෙන යන්නෙත් නෑ. යාළුවන්ගෙ මියුසික් වීඩියෝ කීපයකට පෙනී ඉඳලා තියෙනවා.

ඔබේ පියා හමුදා නිලධාරියෙක්. ඔබ රංගන ශිල්පිනියක් වීම ගැන ඔහුගෙන් ලැබුණ ප්‍රතිචාරය මොකක්ද?

මුලදි නම් තාත්තාගෙ කැමැත්තක් තිබුණෙම නැහැ. පස්සෙ පස්සෙ මගේ ගමන දිහා බලල කැමති වුණා. අම්මා හෙද නිලධාරිනියක්. ඇය ඊශ්‍රායලයේ සේවය කරන්නේ. මේ දවස්වල නිවාඩුවට ලංකාවට ඇවිත් ඉන්නවා. මට ඉන්නෙ මල්ලි කෙනෙක්. එයාලගෙන් මගේ ගමනට ගොඩක් ලොකු සහායක් ලැබෙනවා.

ඔබට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ ඔබට හොඳින් වයලීන් වාදනය කරන්න පුළුවන් වුණු නිසා. රංගනයට ආවට පස්සෙ සංගීතයට තිත තැබුවද?

නෑ… නෑ… සංගීතය අතාරින්නෙ නෑ. මට හොඳට වයලීනය වාදනය කරන්න පුළුවන්. මම වයලීන් වාදනය විශාරද දක්වා කරල තියෙනවා. ඉදිරියේ දී සංගීතය පැත්තෙනුත් යමක් කරන්න අදහසක් තියෙනවා. වෝකල් පැත්තෙන් ගත්තොත් ඉන්දියන් ඩිප්ලෝමා දක්වා හදාරලා තියෙනවා. දැනට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරනවා.

දැන්වත් නෙතූට ආදරවන්තියක් වෙන්න සුදුසු කාලය ඇවිල්ලද?

තාමත් ආදරවන්තියක් නෙවෙයි. ඇත්තටම මට ඕන ආදරේ පටන් ගත්ත දවසෙ වගේම හැමදාමත් නොවෙනස්ව ආදරේ කරන කෙනෙක්. සැරින් සැරේ හිත වෙනස් වෙන්නෙ නැති කෙනෙක් හමු වුණොත් ඒ ගැනත් හිතනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division