Home » ප්‍රසන්න – හකීම් ගැටුම නූලෙන් වැළකුණු හැටි

ප්‍රසන්න – හකීම් ගැටුම නූලෙන් වැළකුණු හැටි

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම පසුගිය 24 වැනිදා සිදු කෙරුණු අතර බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ ඔන්ලයින් පනත පිළිබඳවයි.

ඔන්ලයින් පනතේ උණුසුම මැකී ගියේ 25 වැනිදා අලුයම අසන්නට ලැබුණු දුක්මුසු පුවත හේතුවෙනි.

සනත් නිශාන්තගේ හදිසි අනතුර

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දී දරුණු රිය අනතුරකින් මියයාමේ පුවත 25 වැනිදා හිමිදිරියේම දේශපාලන ක්ෂේත්‍රය පුරා පැතිරී ගියේය. අලුයම 1.55ට පමණ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11-1 කණුව කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී මෙම මාරක රිය අනතුර සිදු වී තිබුණි.

ටිරාන්ගෙන් මහින්දානන්දට ලැබුණු ඇමතුම

මෙම අනතුරෙන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරිවරයා මියගොස් ඇති බව පොලිසිය විසින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුම්වත් කර තිබුණි.

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඒ බව දැනුම් දුන් අතර ටිරාන් අලස් අමාත්‍යවරයා ඒ බව මුලින්ම දැනුම් දුන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සාගල රත්නායකටය. එවිට අලුයම 3.00 පමණ වී තිබුණි.

මහින්ද දැඩි ලෙස කම්පා වෙයි

මන්ත්‍රි මහින්දානන්ද විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට මේ බව ඒ අවස්ථාවේදීම දැනුම් දුන්නේය.

මෙම පුවත සැල වූ වහාම මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ගියේ දැඩි කම්පාවකිනි.

ඉන් අනතුරුව බොරැල්ල මල් ශාලාවටත් යළිත් නිවසටත් ගොස් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ හා දරුවන් සිව්දෙනා සමඟ කතා කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කටයුතු කළේය.

මැති ඇමැතිවරුන් දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් නිවසට පැමිණෙමින් සිටි අතර මහින්ද රාජපක්ෂ ඔවුන්ට කීවේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ අභාවය වයඹ පළාතට මෙන්ම රටටම දරාගත නොහැකි පාඩුවක් බවයි.

ජනාධිපතිගෙන් ප්‍රසන්නට, වජිරට, සාගලට උපදෙස්

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් ගියේ සපුගස්කන්ද අබේසේකරාරාමය වෙතය. බානගල උපතිස්ස නාහිමියන් අභිනවයෙන් ඉදිකළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත කළ ජනපති එදා තමන් ආසන සංවිධායක ලෙස බියගම දියුණු කළ ආකාරයත්, දැන් ජනාධිපති ලෙස රට දියුණු කිරීමට ඇති වැඩපිළිවෙළත් ඉදිරිපත් කර සිටියේය.

සපුගස්කන්දේ සිට කොළඹ නිවසට එන අතරතුර රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්තගේ නිවසට ගොස් බිරිදට හා දරුවන්ට ශෝකය පළ කළේය. ඔහු නිවසට පැමිණෙන විට තවත් මැති ඇමැතිවරු පිරිසක් නිවසේ රැඳී සිටියේ තත්ත්වය ගැන කතා කිරීමටය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පැමිණියේ දැඩි ශෝකයෙනි. පවුලේ ඥාතීන් සමඟ කතා කළ ජනාධිපතිවරයා ඉන්පසු ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන, සාගල රත්නායකට උපදෙස් දුන්නේ ඉදිරි කටයුතු සියල්ල හොඳින් සොයා බලා අවශ්‍ය දේ සිදුකරන ලෙසයි.

මහින්ද වජිර හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන කිහිප අවස්ථාවක්ම මල් ශාලාවට පැමිණ මැති ඇමැතිවරුන් සමඟ සාකච්ජා කරමින් අඩුපාඩු සොයා බැලූ අතර මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ද ඊට එක්විය.

නාමල් ඇඳෙන් බිමට පනී

25 බ්‍රහස්පතින්දා පාන්දර නාමල්ගේ දුරකතනය එක දිගටම නාදවන්නට විය. “ මහින්දානන්ද අයියා, මොකෝ මේ මහ පාන්දර“ නාමල් විමසීය. “මල්ලි මාර වැඩේ, සනත් නිශාන්ත නැතිවෙලා.“ මේක අහද්දී නාමල් ඇඳෙන් බිමට පැන්නේ නොදැනුවත්වමය. “ඇයි අයියේ ඒ මොනවා වෙලාද? රෑ මාත් එක්ක කතා කළා“ නාමල් පැවසීය. “හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක්. මම රාගම හොස්පිටල් එකේ ඉන්නෙ“ මහින්දානන්ද පැවසීය. “නෑ මම දැන්ම එනවා.“ නාමල් පැවසීය. නාමල් වහාම රාගම බලා පිටත් වූ අතර, ඒ වනවිට මහින්දානන්ද, අරුන්දික හා සනත් නිශාන්තගේ බිරිඳ රාගම රෝහලට පැමිණ සිටියහ.

ඉකුත් අරගල සමයේදී ඔහුගේ නිවස ගිනි තබා විනාශ කර තිබුණි. තවමත් නිවස ඉදිකර නොමැත. එබැවින් දේහය ආරච්චිකට්ටුවේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට ගෙන යෑමට තීරණය විය.

මරණයකිනුත් සතුටු වන මිනිස්සු

රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලවීමත් සමඟ ඒ ගැන සතුට පළකරමින් සමාජ මාධ්‍යවල ඒ ගැන පෝස්ට් පළ කර තිබුණි.

“මේ බලන්න සර්..”කියමින් මන්ත්‍රිවරයකු එවැනි පෝස්ට් කිහිපයක් ඇමැති ප්‍රසන්නට පෙන්වීය.

” ඕව… දේශපාලන පිසාචයන්ගේ වැඩ මල්ලි. ඕව පිටිපස්සෙ ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ”ඇමැති ප්‍රසන්න කීය.

“දසබල සේනා” නම සනත් නිශාන්තගේ

පසුගිය සතියේදි නාමල් රාජපක්ෂ දසබල සේනා නමින් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබිණි. මෙම දසබල සේනා නම රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ වීම විශේෂත්වයකි. මෙම දසබල සේනා වැඩ සටහන කොළඹින් ආරම්භ වූයේ සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවසිනි.

උගන්ඩා ගුවන් තොටුපළේ ජනපති රනිල්ට විශේෂ ස්ථානයක්

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුව සාර්ථකව නිම කළ ජනපති රනිල් වික්‍රමසිංහ කෙළින්ම ගියේ උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමටය.

නොබැඳී සමුළුවට සහභාගී වීමට කොළඹ සිට යමින් සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, රාජ්‍ය ඇමැති චාමර සම්පත්, මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, උදයකාන්ත ගුණතිලක, කුමාරසිරි රත්නායක හා සජබ මන්ත්‍රී කින්ග්ස් නෙල්සන් යන පිරිස ද ජනපති ගමන් ගන්නා ගුවන් යානයටම ගොඩ වූයේ ඩුබායි හීදීය.

උගන්ඩා ගුවන් තොටුපොළ, සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන්ගෙන් පිරී අධික තදබදයක් පැවැතිය ද ජනපති රනිල්ට විශේෂ ස්ථානයක් වෙන් කිරීමට එරට බලධාරීන් වගබලා ගෙන තිබුණි. ජනපති නතර වූයේ ද රාජ්‍ය නායකයන් රැසක් වෙනුවෙන් වෙන්කර තිබූ විශේෂ හෝටලයකය. විදේශ ඇමැති අලි සබ්‍රි සමුළුවට සම්බන්ධ වූයේ මේ අතරවාරයේය.

දුමින්දගේ තීන්දුව ජනපති අතට

ජනපති රනිල් උගන්ඩා ගිය දිනම හිටපු මන්ත්‍රිවරයෙකු වූ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්ව තිබුණි. ලේකම් සමන් හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත්ට කතා කළ ජනපති තීන්දුවේ පිටපතක් ගෙන්වා ගෙන එය කියවා අවසන් කිරීමට ද අමතක නොකළේය.

රනිල් පලස්තීනය ගැන කළ අනාවැකියට පැසසුම්

නොබැඳී සමුළුවට සමගාමීව ජී. 77 සමුළුව ද පැවැති අතර ජනපති රනිල් එයට ද සම්බන්ධ වූයේය. පලස්තීන විදේශ ඇමැතිවරයා හමුවී පලස්තීනය තව අවුරුදු පහකින් සිටින තැන ගැන ජනපති රනිල් කළ අනාවැකිය කාගේත් ප්‍රශංසාවට බදුන් විය.

චාමර සම්පත් උගන්ඩාවේදී දෙමළෙන් කතා කරයි

උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති කනනාදන් විසින් සංවිධානය කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහයට තමිල්නාඩු ව්‍යාපාරිකයන් පිරිසක් ද එක්ව සිටි අතර ඇමැති චාමර සම්පත් දෙමළ භාෂාවෙන් ඔවුහු සමඟ කතා කළේ උස් හඬිනි. ඔහු උස් හඬින් කතා කරමින් සිටිනු ඊට මදක් ඔබ්බෙන් සිටි ජනපති රනිල් ද බලා සිටියේ සිනහ සෙමිනි.

මේ අතර ඇමැති චාමර සම්පත් හා මන්ත්‍රී කින්ග්ස් නෙල්සන් ජනපතිට කීවේ ටියුනිෂියාව ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන්ට එම රටට ගොස් ව්‍යාපාර කිරීමට වීසා පහසුකම් ලබා නොදෙන බවය. එම සමුළුවේ ටියුනීෂියාවේ රාජ්‍ය නායකයා ද සිටි බැවින් ඔහු මුණ ගැසුණු ජනපති මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේය. වහාම දුරකතනයෙන් අදාළ අංශ වෙත කතා කළ ටියුනීෂියා රාජ්‍ය නායකයා ගැටලුව විනාඩි කිහිපයකින් අවසන් කළේ ශ්‍රී ලංකාවට සුබ පතමිනි.

සජබ මන්ත්‍රී උගන්ඩාවට කරවල ගෙනයයි

මැති ඇමැතිවරු, නිලධාරීන් ඇතුළු දූත පිරිස මන්ත්‍රි කින්ග්ස් නෙල්සන්ගේ කාමරය අසල වැඩිපුර ගැවසෙන බවට ලැබුණු ආරංචිය ගැන සොයා බලද්දි නෙල්සන් මන්ත්‍රිවරයා කරවල හා දැල්ලන් බැදුමක් ගෙනවිත් ඇති බැවින් පිරිස ඒ අසල කරක් ගසන බව ජනපති රනිල්ගේ කනට ද ගොස් තිබුණි.

ජනපති රනිල් බදාදා දහවල් පාර්ලිමේන්තුවට පැමිණියේ ඇමැති මණ්ඩල හමුවට එක්වීමටය. එය නිමවා සිය කාර්යාලයට එද්දී ජනපති එනතුරු එහි රැදී සිටියේ චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාය. ඔහු දුටු ජනපති රනිල් “ආ.. ටී.එන්.එකේ නායකයෙක් ඇවිල්ලා ඉන්නේ” කියාගෙන ඔහුවත් කැඳවාගෙන කාමරයට ගියේය.

ජනපති එසේ කීවේ චාල්ස් මන්ත්‍රීවරයා දෙමළ සන්ධානයේ නායකත්වයට එස්. ශ්‍රීධරන් පත් කිරීමට කැපවී ක්‍රියා කළ අයෙකු වූ බැවිනි. උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට කියන්නැයි ජනපති කීවේ මන්ත්‍රි චාල්ස්ට ය.

සුමන්තිරන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙයි

දෙමළ සන්ධාන මන්ත්‍රි සුමන්තිරන් මාර්ගගත ආරක්ෂක පනතට විරුද්ධව සභාවේ අදහස් දැක්වීමෙන් පසු නිලධාරීන්ගේ කුටියේ සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු හමුවිය හැකිදැයි දන්වා චිට් පතක් යැව්වේය. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රිවරයා එහි පැමිණියේ සහකාර මහලේකම් ද සමඟිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ සියලු කරුණුවලට පිළිතුරු සැපයූ බැවින් ඔහුට එය පිළිගැනීමට සිදුවිය. මේ අතර සජබ මන්ත්‍රීවරු පිරිසක් ද ජනපති කාර්යාලය වෙත පැමිණ ජනපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡා කොට යන අයුරු එහි පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ද දැකගත හැකිවිය. මන්ත්‍රිනි රාජිකා එහි සිටි මහාචාර්ය ආශුට කීවේ “කට්ටිය ඇවිත් ජනාධිපතිතුමාව මුණ ගැසෙනවා නේදැයි” කියාය.

වේත්‍රධාරී, ජනපති හමුවෙයි

ජනපති පාර්ලිමේන්තුවෙන් පිටත් වීමට සිය නිල රථයට ගොඩ­‍ෙවද්දී එහි පැමිණ ආචාර කළේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ය. ඔහු දුටු රනිල් වහාම නිල රථයෙන් බැස්සේ තමන් මෙම මස අගදී විශ්‍රාම ගන්නා නිසාවෙනි. වාහනයෙන් බැස නරේන්ද්‍රට අතට අත දී සුබ පැතූ රනිල් ආශුට කීවේ “අපේ පොටෝ එකක් ගන්න. මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සෑහෙන කාලයක් මෙතුමත් එක්ක වැඩ කළානේ” කියමිනි.

“ඔන්ලයින් පනතට විරෝධය පළ කරන්නේ කණ්ඩායම් දෙකක් විතරයි. එකක් මාධ්‍ය ආයතනවල සේවය කරමින් පෞද්ගලිකව සමාජ මාධ්‍යයේ කටයුතු කරන අය. අනෙක් කොටස විපක්ෂයේ අය. හැබැයි මේ දෙගොල්ලොම දන්නවා මේ පනත ගේන්නේ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් කියලා.” මන්ත්‍රි වජිර කීවේ කතාව අරඹමිනි.

ඔන්ලයින් පනත ගැන ජනපතිගේ මතය

“ඔව් දරුවෝ කාන්තාවෝ මිලියන හතකට වැඩි පිරිසක් සමාජ මාධ්‍ය තුළින් ලිංගික හිංසනයට ලක්වෙලා තියෙනවා. මේක නවත්තන එක වැරදි කියලා ද විපක්ෂය කියන්නේ.” මේ ප්‍රශ්නය මන්ත්‍රි දොලවත්තගෙනි.

“ප්‍රසිද්ධියේ විරුද්ධ වුණාට ඒ අය ජනාධිපතිතුමා හමුවුණාම පනත ගේන්න කියලා කියනවා.” ඇමැති ප්‍රසන්න කීවේ සිනහවක් ද සමඟිනි.

“ඉන්දියාව මෙවැනි පනතක් ගෙනල්ලා තියෙනවා, එංගලන්තය, සිංගප්පූරුව ගෙනැල්ලා තියෙනවා. .” ඇමැති බන්දුල ද කතාවට එකතු වූයේ එලෙසිනි.

“අපි සමාජ මාධ්‍ය වාරණය කරන්නේ නෑ. නමුත් කාන්තාවන් හා දරුවන් මේ හරහා අපයෝජනය වෙන බවට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය තුළ තමන් කියන කරන දේට වග කියන කණ්ඩායමක් ඉන්නවා. හැබැයි මෙතන එහෙම නෑ. බොරු ගිණුමක් හදාගෙන ඕන තරම් අපහස කරන්න පුළුවන්. කාන්තාවන්, දරුවන් අපයෝජනය කරන්න පුළුවන්. මේක නවත්වන්න තමයි ආණ්ඩුවට ඕනේ.” කතාව අවසන් වූයේ ජනපති රනිල්ගේ මේ ප්‍රකාශයත් සමඟිනි.

ඔන්ලයින් පනතින් මැති සබය උණුසුම්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතව පිළිබඳ පනත් කෙටුම්ප⁣ත සම්බන්ධයෙන් වූ විවාදයේ දෙවැනි දිනයේදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා චෝදනාවක් කළේය.

“මේ සංශෝධන අධිකරණ තීන්දුවට සම්පූර්ණ පටහැනියි” වීරක්කොඩි මන්ත්‍රිවරයා චෝදනා කළේය.

“නෑ… එහෙම එකක් නෑ. අධිකරණ තීන්දුව අනුව තමයි සංශෝධන ගෙනාවේ” ඒ සභානායක සුසිල්ය.

මන්ත්‍රි දයාසිරි ජයසේකරද කතා කළේ මන්ත්‍රී චන්දිමගේ කතාවට පක්ෂවය.

“අධිකරණයට විරුද්ධව පාර්ලිමේන්තුවට තීරණ ගන්න බෑ” සුමන්දිරන් කීය.

ප්‍රසන්න – හකීම් මුහුණට මුහුණ

මේ කතාව දුරදිග යද්දී රවුෆ් හකීම් මන්ත්‍රිවරයා යමක් කියමින් වේගයෙන් ආණ්ඩු පක්ෂය දෙසට ආවේය.

එයට පිළිතුරු දෙන්නට ඇමැති ප්‍රසන්න නැඟී සිටියේය. ඔහු වේගයෙන් හකීම් දෙසට ගියේ ඔහුට මුහුණ දීම සඳහාය

“ඇමැතිතුමා වාඩිවෙන්න. අපි මෙයාට උත්තර⁣ දෙන්නම්” කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් රොත්තක්ම ඉදිරියට ආවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වන ප්‍රසන්නගේ ගමන ඒ හැටි හොඳ නැති බව වැටහුණු නිසාය. හිටපු ඇමැති මහින්දානන්ද ද සභාගර්භය මැදට පැන ප්‍රසන්න ගේ අතින් අල්ලාගෙන ඔහු වැළැක්වූයේය.

සනත් නිශාන්ත, සුමිත් උඬුකුඹුර, චාමර සම්පත්, සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් සභාගර්භය මැදට බැස්සේ එන ඕනෑම දේකට මුහුණ දීමේ සූදානමෙනි.

ඒ සමඟම විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසකුත් නැඟී සිටියහ.

“මේ ගොල්ලන්ට ඕන රැස්වීම නවත්වන්න. ඔයාල ගිහිල්ලා සෙංකෝලේ බලාගන්න” ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට කී ඇමැති ප්‍රසන්න කෙලින්ම ගියේ කතානායකවරයා අසලටය.

“කථානයකතුමනි, අපි සංශෝධන ඉදිරිපත් කරනවා. ඒකට අවස්ථාව දෙන්න”

ඒ අනුව ඇමැති සුසිල් පනතේ සංශෝධන ඉදිරිපත් කළේය. ඒ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ බාධා මැදය.

සුමන්තිරන් ආණ්ඩු පක්ෂයට?

මේ අතරදී පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්දිරන් හදිසියේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නිල කාමරයට ආවේ පාර්ලිමේන්තුවේ සහකාර ලේකම්වරයා සමඟය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂ මන්ත්‍රිවරුන් ආණ්ඩුවේ නිල කාමරයට එන්නේ නැත.ආණ්ඩුව පනත සම්මත කරගැනීමට කටයුතු කරනු දුටු සුමන්දිරන්ට සම්ප්‍රදාය අමතක වී තිබිණි.

ආණ්ඩුවේ නිල කාමරයේ සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඔහු වාදයට පැටලුනේ පනත ඉදිරිපත් කිරීමට නොහැකි බව කියමිනි.

“අපි සංශෝධන ඉදිරිපත් කරල තියෙන්නේ අධිකරණ නියෝග අනුවයි”ආණ්ඩුවේ නිල කාර්යාලයේ සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සුමන්දිරන්ට කීවේය. සුමන්දිරෙන් එය පිළිගත්තේම නැත. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සුමන්දිරන්ට නීතිය කියා දුන්හ.

ඩාර්ලි පාරේ රහස් හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියා පිළිවෙත මේ වනවිට සැබෑ ශ්‍රී ලංකාකාරයන් ලෙස හඳුන්වාදිය හැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධි ආසන සංවිධායකවරුන් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයන් අතර දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතියි.

පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊට ටික දිනකට පසු ඉදිරි මැතිවරණවලදී වමේ බලවේග සමග එක්ව සන්ධානගතවී ඉදිරි ගමනක් යාම සදහා වාමාංශික දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කළේ එම බලාපොරොත්තුවලට නව පණක් ගෙන එමිනි.මේ අතර,සමගි ජන බලවේගය සමග සාකච්ඡා කොට සන්ධානගතවීමට ඇති හැකියාව ගැනද පක්ෂය අභ්‍යන්තරයේ අදහස් පළවිය.

කෙසේවුවද,පසුගිය ජනවාරි 22 වැනි දින සිදුවූ රහස් හමුවක් නිසා, මෛත්‍රිපාල සිරිසේන යනු ඝෘජු මතයක පිහිටා කටයුතු කරන නායකයෙකු නොවන බව පක්ෂයේ සාමාජිකයන්ට නැවත වරක් තහවුරු විය.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් ආණ්ඩුවේ ඇමතිධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හමුවීමට “ලංසා ” පිලේ ඉදිරි පෙළ මන්ත්‍රීවරු කිහිපදෙනෙකි. නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, නලින් ප්‍රනාන්දු සහ ජගත් පුෂ්පකුමාර එදින සාකච්ඡාවට එක්වූ එම පිරිසට අයත් විය. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට අමතරව නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න,මහින්ද අමරවීර සහ දුෂ්මන්ත මිත්‍රපාලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවට එක්වූහ.මෙම සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවති බවද වාර්තා වෙයි.

සවුදි ණය අරමුදල අම්පාරේ පාරවල් හදයි

සවුදි ණය අරමුදල යටතේ රුපියල් කෝටි 300ක් වැයකර අම්පාර – උහන – මහඔය මාර්ගයේ කෙවිලියමඩුව සිට මහඔය දක්වා වන කිලෝමීටර් 25ක මාර්ගය ප්‍රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කෙරිණි.

ඊට අම්පාර දිස්ත්‍රික්කයේ සංඝ නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

එම ප්‍රදේශයේ පාරවල් රැසක් ද පසුගියදා ගං වතුරෙන් විනාශ වී තිබිණි. එම අවස්ථාවට එක්ව සිටි අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්. ඩී. වීරසිංහ එහිදී සඳහන් කළේ අරගලකරුවන් විසින් පසුගියදා ගිනි තබා විනාශ කළ තම නිවස සඳහා ලැබුණු වන්දියෙන් රුපියල් ලක්ෂ 48ක් වැය කරමින් ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට තමන් කටයුතු කළ බවයි. ඒ හැරෙන්නට කිසිදු අරගලකරුවෙක් ගංවතුරෙන් විපතට පත් ජනතාවට අබමල් රේණුවක යමක් දෙන්නට නොපැමිණි බවද මන්ත්‍රිවරයා එහිදී කියා සිටියේය.

ගෝඨාභයගේ ප්‍රතිපත්ති හැදු කෙනා සජිත් ළඟ

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නායකත්වය දෙන නිදහස ජනතා සභාවේ 06 දෙනෙකු සජබ සමඟ එක් වන්නට තීරණය කර තිබේ. ඊට ඇතුලත් මහාචාර්ය ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ දැනටමත් ඉතා සමීපව කටයුතු කරන බවද නොරහසකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිර්මාණය කිරීම භාරව සිටි නාලක ගොඩහේවා හා බොහෝ නීති උපදෙස් දුන් මහාචාර්ය ජී. එල්. පීරිස් දැන් සජිත් සමඟ එම කටයුත්තේම නිරතවන්නට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු සජිත් හමුවෙති

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පෙර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සමාජ මාධ්‍ය පරිශීලනය කරන කණ්ඩායම් , මාධ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු විවිධ වෘත්තිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබුණි. ඒ අනුව බ්‍රහස්පතින්දා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම කණ්ඩායම්වල නියෝජිතයන් සමඟ විපක්ෂ නායක සාකච්ඡාවකට එක්විය.

ජ.වි.පෙ. රොබෝලා ගැන වජිර කට අරී

එක්සත් ජාතික පක්ෂයේ පුහුණුව ලැබූ කථිකයන් සඳහා සාමාජික හැඳුනුම්පත් නිකුත් කිරීමේ උත්සවය පසුගිය සති අන්තයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මෙහිදි විශේෂ දේශනයක් පැවැත්වීම කාගෙත් අවධානයට යොමු විය.

“ඔබ හෙට සිට යන්නේ අපිට විරුද්ධව තිබෙන බලවේගවලට පිළිතුරු ලබා දෙන්න. එසේනම් ඔබ මුලින්ම අපිට විරුද්ධව තිබෙන බලවේග හඳුනාගත යුතුයි.

විමුක්ති පෙරමුණේ රැස්වීමකට සහභාගි වෙන අය පෝලිමේ ඇවිත් ඉඳගන්නවා. හරියට පුහුණු කරපු රොබෝලා වගේ. එයාලා කවුරුත් තමන්ගේ පුද්ගලික කතා කරන්නේ නැහැ. ඉඳගන්න කිව්වම ඉඳගන්නවා. හිටගන්න කිව්වම හිට ගන්නවා. එන්න කිව්වම එනවා, යන්න කිව්වම යනවා. එයාලාව කොහොමද ඒ විදිහට පුහුණු කරලා තියෙන්නේ? දැන් එක්සත් ජාතික පක්ෂයේ ඔබ ගමේ රැස්වීමක් තියන්න ගියාම මිනිස්සු එනවා, තමන්ගේ තියෙන ප්‍රශ්න අපිට කියනවා, අපිත් එක්ක කතා කරනවා, අදහස් හුවමාරු කරගන්නවා. “යනුවෙන් වජිර අබේවර්ධන පැවසීය.

‍වජිරගේ පාර්ලිමේන්තු කතාවට ප්‍රසාදය

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ වජිර අවධාරණය කළේ, මෙම පනත් කෙටුම්පත හරහා භාෂණයේ නිදහසට හා ප්‍රකාශනයේ අයිතියට කිසිම බාධාවක් නොවන බවයි.

එසේම මෙවැනි පනතකට පාර්ලිමේන්තුව දෙකට නොබෙදී සහයෝගය ලබාදීම තුළින් මුළු මහත් සමාජයටම හොඳ ආදර්ශයක් ලබාදිය හැකි බවද වජිර ප්‍රකාශ කළේය.

ශ්‍රිලනිපයට නායකත්ව මණ්ඩලයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ශ්‍රීලනිපය අලුත් දීගයක යන්නට සැරසෙන බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක් වී තිබේ. ඇය සමග ශ්‍රීලනිපයේ වත්මන් සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ඇතුළත් නායකත්ව මණ්ඩලයක් සමඟින් නව සන්ධානයක් ගොඩනැගීමේ අරමුණක්ද ඒ තුළ වන බව දැනගන්නට තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කැඩී ගිය අනුර යාපා,නිමල් ලංසා කණ්ඩායමද එක් කර ගැනීමේ සාකච්ඡාවන් පැවැත්වෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.

අජිත් රාජපක්ෂට විපක්ෂයේ ප්‍රසාදය

ඔන්ලයින් පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙවැනි දින පැවති විවාද‍යේදී බොහෝ දෙනෙකුගේ අවධානය ‍යොමු වූයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානයක අජිත් රාජපක්ෂ කරන ලද කතාව සම්බන්ධයෙනි.

සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකෙරෙන අසත්‍ය හා අපහාස කිරීම් පිළිබඳව ‍දීර්ඝ විස්තරයක් කළ අජිත් රාජපක්ෂ ‍දේශපාලඥයින් මේ නිසා ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කළේ උදාහරණ ද සහිතවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division