– දුෂ්කර මාවතක් තියෙන්නෙ. අපිත් කැමැත්තෙන් නොවේ යන්නෙ. ඒ මාර්ගය හැරෙන්නට වෙනත් මාර්ගයක් නැහැ
– වරාය හා සම්බන්ධිත කුලුනු මත ඉදිවන ගුවන් අධිවේගී මාර්ගයේත් වැඩ කටයුතු 90%ක් පමණ අවසන්. එය මේ වසරේ නිමා කරන්නට හැකිවේවි
වරායේ ආදායම් ඉපයීම ගැන ඔබ තෘප්තිමත්ද?
ඉතාම තෘප්තිමත් වෙනවා. හොඳ ආදායම් උත්පාදනයක් අපි සිදු කර තියෙනවා. වරාය කියන්නේ රටේ ආර්ථික මර්මස්ථානයක් අපේ රටේ බහාලුම් ප්‍රතිඅපනයනය කටයුතු 1981 වසරේ සුළුවෙන් ආරම්භ වුණා. ඒත් මේ වෙනකොට අපේ බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ වන විට වසකරට බහාලුම් මිලියන 8.5ක් අපි ප්‍රතිඅපනයනය කරනවා. ලෝකයේ බහාලුම් ප්‍රතිඅපනයන කරන රටවල් අතර ඉහළ තැනකට ඒම අපේ අපේක්ෂාවයි. බංග්ලාදේශය, වියට්නාමය මෙන්ම ඉන්දියාවේ කුඩා වරායන්ගෙන් මෙරටට රැගෙන එන බහාලුම් විශාල නෞකා හරහා ප්‍රතිඅපනයනය කෙරෙනවා. ඒ වගේම විශාල නෞකාවලින් මෙරටට ගෙන එන බහාලුම් කුඩා නෞකා හරහා චිතගොං වැනි වරායවල්වෙත ප්‍රතිඅපනයනය කෙරෙනවා.
වරායේ සංවර්ධන කටයුතු ගැන විස්තර කළොත්?
අපට තිබුණෙ JCT ජැටිය විතරයි. දැන් පෞද්ගලික ජැටි දෙකක් වරායේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනවා. ඊට අමතරව ජැටියක් අදානිටත් ලබා දුන්නා. ඊට අමතරව ඇමෙරිකන් ඩොලර් මිලියන 580ක වියදමින් අලුත් පර්යන්තයක් හදනවා. මේ වන විට එහි ඩොලර් මිලියන 400ක පමණ මුදලක් වියදම් කර එහි වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ලබන මාසයේ එහි මෙහෙයුම් වෙනුවෙන් ක්‍රේන් අපි ගෙන්වනවා. මේ වසරේදී එහි මෙහෙයුම් කටයුතු අරඹන්නට අපට හැකි වේවි. ඒ හරහා අපට වැඩි නෞකා ප්‍රමාණයක් මෙහි මෙහෙයුම් පිණිස ඇද ගැනීමට පුළුවන් වේවි. ඒ හරහා අපේ අපේක්ෂාව මේ වසරේ බහාලුම් මිලියන 10ක් දක්වාත් ඉන් පසු මිලියන 15ක් දක්වාත් පසුව මිලියන 25ක් දක්වාත් එහි වර්ධනය ඇති කරන්නයි. නෞකා කැමති කඩිනමින් බහාලුම් මෙහි ගොඩ බා අලුත් බහාලුම් රැගෙන පිටත්ව යන්නයි.
වරායේ කටයුතු මන්දගාමීවීමත් නෞකා පැමිණීම අඩාළ කරනවා නේද?
ඔව් ඒ සඳහා අපි නවීන තාක්ෂණය භාවිත කිරීමට කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන්ම අපි වරාය කටයුතු ඩිජිටල්කරණය කරනවා.
වරායේ අපනයන ආනයන සිදු කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණපාන්නට වෙනවා. රේගුව එක තැනක, වරායේ වැඩ කටයුතු තව තැනක ආනයන අපනයනකරුවන්ට තවත් තැනකට යන්න වෙලා.
ඔබ කිව්වා හරි රේගුව, ආගමන විගමන, ආනයනකරුවන්, නැව් සමාගම් නැව් නියෝජිතයන් මේ ආදී ස්ථානවල කටයුතු කරන්න ස්ථාන දෙකකට යන්න වෙලා තියෙනවා. අපි ඒ මෙහෙයුම් කටයුතු සියල්ල එක තැනක සිට කළ හැකි ලෙසින් සකස් කරමින් යන්නෙ.
ඒ විතරක් නෙමෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව මහල් 22ක ගොඩනැඟිල්ලක් මේ වන විට ඉදිවෙමින් තියෙන්නෙ. ඒ හරහා විවිධ ස්ථානවල තියෙන වරායේ කාර්යාල සියල්ල එක් ස්ථානයකට ගෙන එනවා. එය පරිපාලනමය වශයෙන් මෙන්ම වරායේ ගනුදෙනුකරුවන්ටත් ඉතා පහසුවක්. ඒ විතරක් නෙමෙයි මේ වන විට වරාය හා සම්බන්ධිත කුලුනු මත ඉදිවන ගුවන් අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු 90%ක් පමණ අවසන්. එය මේ වසරේ නිමා කරන්නට හැකිවේවි. එවිට වරායේ සිට ගමන් කිරීමට හා වරායට පැමිණීමට ඇතිවන තදබදය 90%ක් පමණ අඩු වෙනවා.
ඔලුවිල් වරාය අතිවිශාල වියදමක් දරල ඉදිකරපු වරාය. සුදු අලියෙක් නේද?
ඒ වරාය අපට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි තත්ත්වයකයි තියෙන්නෙ. ඒ නිසා අපි ඒ වරාය ධීවර අමාත්‍යාංශයට පවරා දුන්නා.
ආණ්ඩුවේ ගමන් මඟ ඔබ දකින්නේ කොහොමද?
ආර්ථිකය ගොඩ ගැනීමට නැත්නම් රට යථා තත්ත්වයට පත් කිරීමට යන්න තියෙන්නෙ රෝසමල් යහනාවක් උඩින් නෙමෙයි. දුෂ්කර මාවතක් තියෙන්නෙ. අපිත් කැමැත්තෙන් නොවේ යන්නෙ. ඒ මාර්ගය හැරෙන්නට වෙනත් මාර්ගයක් නැහැ.
ආර්ථික වැඩපිළිවෙළ නංවන්න රනිල් වික්‍රමසිංහයන්ට අපි සහයෝගය දෙනවා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පිට වෙනත් ගමනක් මේ අවස්ථාවේ නැති නිසා. අපිට උණු හින්ද බොන්නත් බැරි කිරි හින්ද අහක දාන්නත් බැරි තත්ත්වයක් තියෙන්නෙ. ඒ වුණත් මේ වෙලාවෙ උණුවෙන් හරි බොන්න වෙනවා. මොකද එයින් බාහිර ගමනක් නැති නිසා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පනවල තියෙනවා. ඒ අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයකට ගෙන ඒම පිණිස. ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බැණල වැඩක් නැහැ.
විපක්ෂ නායකයා කියනවා අපි ආවයින් පස්සෙ කොන්දේසි වෙනස් කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ එක එක්කෙනාගෙ මූණ බලල, දේශපාලන පක්ෂ අනුව කොන්දේසි වෙනස් කරන තැනක් නෙමේ.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ගණිකා වෘත්තිය දියුණු කරන්න ඕන කියලා. ඒ වගේ බොළඳ කතා කියල තමයි ජනතාව රවට්ටන්නෙ. ජනතාවට අමූලික බොරු තමයි මේ කියවන්නෙ.
අපි මේ වෙලාවෙ නියමිත ක්‍රමවේදයෙන් බාහිරව ගියොත් අපිටත් වෙන්නෙ කියුබාවට, වෙනිසියුලාවට වෙච්ච දේම තමයි.
රටේ සංවර්ධන කටයුතු අඩාළ වෙලා නේද තියෙන්නෙ.
සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ලබාදීම නැවතිලා තිබුණෙ. ඒ වුණත් මේ වන විට එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 250ක සංවර්ධන ව්‍යාපෘති ලබාදී තියෙනවා. ඒ හරහා ගමේ ඉදිකිරීම් කරන්නන්ට, වැලිගොඩ දාන අයට ආදායම් උපයා ගන්නට හැකිවේවි.
රටේ යුක්තිය මෙහෙයුම් ක්‍රියාත්මක වුණත් බෙලිඅත්ත වගේ තැන්වල අයුක්තිය නේද ක්‍රියාත්මක වන්නේ?
ඒ වගේ සිදුවීම් අනෙක් මෙහෙයුම් හා සසඳන්න එපා. ලෝකයේ ඉහළම ආරක්ෂාවක් තියෙන බව කියන ඇමෙරිකාවේ අද තත්ත්වය බලන්න. පාසල්වලට පැනල වෙඩි තියනවා. පොලිසිය කළු ජාතිකයන් ඝාතනය කරනවා. පාසල් දරුවන් තුවක්කු අරගෙන ගිහින් පාසලේ දූ දරුවන්ට වෙඩි තියන සංස්කෘතියක් තියෙන්නෙ. අපේ රටේ පිහිටීම අනුව මත්කුඩු බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක කරන්න පහසුයි. නමුත් අපේ නාවික හමුදාව ඒ බහුතරයක් නීතියේ රැහැනට හසු කර ගන්නවා. මම නම් දකින්නෙ මේ සඳහා තියෙන නීතිරීති මදි. කුඩු ගෙන්නන අය 10 දෙනෙක් 15 දෙනෙක් එල්ලා මරණයට පත් කළා නම් කිසි කෙනෙක් ඔය වැඩවලට හවුල් වෙන්නෙ නැහැ. මේ ගැන කෙළින් කතා කරන්න කවුරුත් කැමති නැහැ.
උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා කියලා තිබුණා රජයේ ආදායම් කෝටි 553300ක් ලේඛනගත වෙලා නැහැ කියලා.
ඕක මහ දෙයක් නෙමෙයිනෙ, ලේඛනගත කළානම් ඉවරයිනෙ.
විදුලිය වෘත්තීය සමිති කියනවා දේශපාලකයන්ගෙ ඥාතීන්ගේ ලක්ෂ ගණන් හිඟ තියෙන විදුලිය විසන්ධි නොකර රුපියල් දෙතුන්දාහේ හිඟ බිල් වෙනුවෙන් විසන්ධි කරනවලු.
ඒක අනුමත කරන්න බැහැ. රටේ නීතිය සාධාරණ විය යුතුයි.
ඔන්ලයින් පනත ගැන විවිධ චෝදනා දෝෂාරෝපණ එල්ල වෙනවා. මෙය ජනතාවගේ තොරතුරු දැන ගැනීමට හරස් කැපිල්ලක් බව කියනවා..
ඔන්ලයින් පනත ඉදිරිපත් කිරීමට පත් කිරීම ගැන ඉතාම සතුටට පත්වන පුද්ගලයෙක් තමයි මම. සාපරාධී අපරාධ නීතිය මේ රටේ බලාත්මක කළ යුතුයි කියලා ප්‍රසිද්ධියේ කියපු දෙතුන් දෙනා අතර හිටපු කෙනෙක් ලෙස මම ඒ ගැන සතුටු වෙනවා.
විවිධ සමාජ මාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු මාධ්‍යකරුවන් විසින් සිංහල බෞද්ධ, හින්දු සංස්කෘතීන් වෙත එල්ල වූ අවභාවිත කිරීම් ඉතා ඉහළයි. පුද්ගලයන් රැසක් මානසික පීඩාවන්ට පත්වුණා. සමහරු සිය දිවි නසා ගත්තා. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා ඕනෑම අයකුට ඕනෑම චෝදනාවක් බොරුවට එල්ල කළ හැකියි. නියාමනයක් සිදු නොවන මේ වගේ මාධ්‍ය හරහා සිදුවන ව්‍යසනය සුළුපටු නැහැ.
මම කියන්නේ මේ පනත මෙතනින් නොනැවතී පුවත්පත් ඇතුළු මාධ්‍යයන්ටත් ගෙන ආ යුතුයි. එයින් අදහස් කරන්නේ මාධ්‍ය නිදහස සීමා කිරීමක් නෙමෙයි. අද බලන්න උදෑසන පුවත්පත් කියවන රූපවාහිනී නිවේදකයන් මොනවද කියවන්නෙ කියලා. පත්තරේ තියන එක කියවලා, එයාලගෙ අදහස් කියනවා. සමහර අදහස් එයාල නියෝජනය කරන දේශපාලන පක්ෂයේ අදහස්.
ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙනවා. රටේ දේශපාලන වාතාවරණය අනුව පරිණත දේශපාලඥයෙක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?
රටේ නායකයා ලෙස ජනාධිපතිවරයාට අපි ගරු කරනවා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ අගමැති ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා සිටියත් අනෙක් සියලු පක්ෂ නායකයන් බයේ පස්ස ගැහුවා. නමුත් රනිල් වික්‍රමසිංහයන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ අභියෝගය භාර ගත්තා. ඒ වගේම ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉවත්වීමත් සමඟ ජනාධිපතිධුරය භාරගෙන එතුමා රට වෙනුවෙන් අවශ්‍ය යුතුකම් ඉටු කළා. අපි දන්නවා බංකොලොත් වෙලා තිබුණු රටක් ගොඩ ගන්න එතුමා කටයුතු කරපු ආකාරය ගැන. ඒ නිසා රටේ ජනතාව නිසි වේලාවට නිසි පිළිතුරක් දේවි.
තාරක වික්‍රමසේකර, සේයාරූ - චින්තක කුමාරසිංහ