Home » විශ්ව බුද්ධගේ පැටිකිරිය මෙන්න

විශ්ව බුද්ධගේ පැටිකිරිය මෙන්න

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

– සම්පත් බැංකු ගිණුමේ ලක්ෂ 25ක්
– පිරිවෙන් විභාග කිසිවක් සමත් නැහැ

ර්මාශෝක රජු සමයේ තුන්වන ධර්ම සංඝායනාව පැවැත්වීමට තුඩු දුන් ප්‍රධාන හේතුවක් වූයේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සැලකිය යුතු පිරිසක් පැවිදි බව ලබා ගැනීමයි. පැවිදි පක්ෂයට ලැබෙන සිවුරු පිරිකර ලාභ සත්කාර පමණක් ලබා ගන්නට එසේ පිරිස් පැමිණියේ තම කය වෙහෙසවා ආදායම් උපදවා ගන්නවාට වඩා එය ඉතා පහසු කාර්යයක් වූ හෙයිනි.

ශ්‍රී ලංකාවේ ද වරින් වර එවැනි උවදුරු බුද්ධ ශාසනයට පැමිණි අතර, රජ කල එවැනි උවදුරු කෙසේ හෝ මැඬ පවත්වා ගන්නට සඝ රජ හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට හැකි විය. එසේ වුවත් ඒ හරහා වූ බලපෑම ද සුළු පටු නොවේ. මහායාන දාර්ශනික බලපෑම ඒ අතින් මුල් කොට පෙන්වාදිය හැකිය. වෛතුල්‍යවාදය වැනි කුමන නාමකරණයන් යටතේ පැමිණිය ද ථෙරවාද දහමට සැලකිය යුතු බලපෑමක් කරන්නට එවැනි දර්ශනවලට හැකි විය.  

මෙහි වඩාත්ම භයානකම තත්ත්වය වන්නේ එවැනි දර්ශනයක් පැමිණීම නොව ලාභ සත්කාර වෙනුවෙන් පැවිදි වීම හා දහම් කරුණු විකෘති කිරීමය.

තමන් රහත් බවට පත් වූ බව පැවසීම, බෝධි සත්ත්වයන් බව පෙන්වා දෙමින් ජනතාව මුළා කිරීම වැනි කරුණු පසුගිය සමයේ එක දිගටම අපට අසන්නට දකින්නට ලැබුණි.

ඒ අතුරින් පූස් බුද්ධා, නව අවලෝකිතේශ්වර මෙන්ම විශ්ව බුද්ධා හෙවත් විශ්ව මුනි වඩාත් ජනතා අවධානයට යොමු වූ චරිතයන්ය.

එම චරිත අතුරින් සමාජ මාධ්‍ය හරහා විශාල ලෙසින් ජනතාවගේ ඇසට යොමු වූයේ බුදු දහමට නිගා දෙන ලෙසින් හැසිරුණු විශ්ව බුද්ධ හෙවත් රත්නපුරේ විමල බුද්ධි නම් භික්ෂූ වෙස් ගත් තැනැත්තා දෙසය.

ඇත්තෙන්ම මේ තැනැත්තා උපසම්පදාව ලැබූ භික්ෂුවකි. 1989 වසරේ අප්‍රේල් මස 10 වෙනි දින උපන් මොහුගේ ගිහි කල නම ලෙස සඳහන් වන්නේ ආර්.ඒ. රොෂාන් මේනක රණසිංහය.

ඔහු පවසන පරිදි පවුලේ අඟහිඟකම් නිසා වයස අවුරුදු 7දී විහාරස්ථානයක ආවතේව කිරීමට යොමු කර ඇත. ඔහුට බාල සොහොයුරියක සිටින අතර පියා වෙනත් විවාහයක් කරගෙන සිටී.

ඒ අතර වයස අවුරුදු 9 දී එනම් 1998 වසරේදී මේ තැනැත්තා රත්නපුරේ විමල බුද්ධි නමින් පැවිදි වූ බව පවසා ඇතත් ඔහුගේ සාමණේර සහතිකයේ හා උපසම්පදා සහතිකයේ දැක්වෙන්නේ පැවිදි කළ දිනය 2019.01.25 දින ලෙසය.

ශ්‍රී ලංකා විද්‍යාලය හෙවත් මරදානේ ඕඩේ පන්සලේ කලක් නේවාසිකව සිටි මේ සාමණේරයන් පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළ ද කිසිදු අධ්‍යාපනයක් හරි හැටි හදාරා නැත. එහෙත් පරිගණක තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

පසුව නිසි වයස් සපිරි කල මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ ඌරුවල් පේරුවට සම්බන්ධ විහාරස්ථානයක කලක් නේවාසිකව සිට ඇති මේ සාමණේරයන් ඌරුවල විනීත නාහිමියන්ට භාර කිරීමෙන් පසුව ශාසනයේ උන්නතිය පිණිස 2022.01.17 දින උපසම්පදා ශීලයෙහි පිහිටුවා ඇත.

එහෙත් පසුව හිතුවක්කාරකම් මත එම විහාරස්ථානයෙන් ද නික්ම ගිය රත්නපුරේ විමලබුද්ධි නම් මේ භික්ෂුව තමන්ගේ තනි මත ඔස්සේ කටයුතු කිරීම නිසා වරින් වර සිවුරු හැර යළිත් පැවිදි වී ඇත. මේ ලෙසින් උපැවිදි වීම් අවස්ථා 7ක් මේ චරිතය වටා දක්නට ඇත.

එයින් අවස්ථා කිහිපයකදීම සිවුරු හැර ඇත්තේ මත්පැන් පානය කිරීම, අශෝභන දසුන් නැරැඹීම, වැනි භික්ෂූන්ට අකැප දේ සිදු කිරීම වෙනුවෙන් ලද දරුණු දෝෂාරෝපණ නිසාය. විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුවකට කිසිසේත්ම නොගැළපෙන ලෙසින් හැසිරීම නිසා විහාරස්ථාන රැසකින්ම මේ හිමියන් නෙරපා තිබේ.

එයින් පසුව වුව ද මේ භික්ෂුව අවස්ථා කිහිපයකදීම විවිධ විහාරස්ථාන කරා ගොස් ධර්ම දේශනා පැවැත්වීම් වැනි ධර්මයට අනුකූලව හැසිරෙන බව පෙන්වා එම විහාරස්ථානවලට සම්බන්ධව කටයුතු කර ඇත. විශේෂයෙන්ම මොහු එසේ නේවාසික විහාරස්ථාන ලෙස තෝරාගෙන ඇත්තේ හිමිවරුන් අඩු විහාරස්ථානය.

රාමඤ්ඤ නිකායේ භික්ෂුවක් ලෙසින් ලියාපදිංචිව ඇති මේ භික්ෂුව තම ක්‍රියාවන්ට එරෙහි වන්නන්ට කිසිත් ප්‍රතිචාර නොදක්වා තමන්ට රිසි සේ කටයුතු පසුව විවිධ දර්ශනයන් පෙන්වා ජනතාව මුළා කර ඇත.

ඔහු පවසා ඇත්තේ සෙසු බහුතර භික්ෂූන් වහන්සේ දෙබිඩි ජීවිතයක් ගත කරනා බවත් තමන් එළිපිටම කටයුතු කරනා බවත්ය. විශේෂයෙන්ම දිවියේ ආදීනව හා සරු නිසරු බව විඳීමට කටයුතු කරනා බවයි. ඔහුගේ වදනින්ම පවසන්නේ නම් ජීවිතයේ ‘ආතල් එකක් ‘ ගන්නා බවයි.

තමන් විශ්වයෙන් පැමිණි බවත් ඔහු කියයි. පිස්සෙක්, හොරෙක් හෝ තක්කඩියෙක් හෝ තමන් බුදු බව ලබා ඇති බව හෝ සත්‍ය අවබෝධ කරගෙන ඇතැයි පැවසුවහොත් එහි සත්‍යයක් තිබිය හැකි බව පවසමින් ඔහු ජනතාව සම්පූර්ණයෙන්ම මුළා කර ඇත. එමෙන්ම ඒ හරහා ඔහු බුදු දහමට නිගරු කර ඇත.

සිවුරක් දරා සිටිමින් හෙතෙම පවසන්නේ තමන්ට ‘මචං‘ කියා හෝ ‘උඹ‘ යනුවෙන් ඇමතුව ද එයින් කිසිදු නිගරුවක් නොවන බවයි. එය හුදෙක්ම බුදු දහමේ ඇති මූලිකම දහම් කරුණු පවා විකෘති කිරීමකි.

ඔහු බුදු දහමට නිගරු කරමින් ප්‍රකාශ නිකුත් කිරීමත් සමාජ මාධ්‍ය ජාල හරහා බුදු දහමට නිගරු වන ලෙසින් හැසිරීම් පෙන්නුම් කිරීමත් නිසා භික්ෂූන් වහන්සේ සහ සිවිල් පුද්ගලයන් විසින් කරන ලද පැමිණිලි නිසා පසුගිය දෙසැම්බර් මස ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. ඔහු වෙනුවෙන් අධිකරණයේදී කරුණු ගෙනහැර දක්වන ලද්දේ නීතිඥ කණ්ඩායමක් විසිනි. ඒ වෙනුවෙන් වැය කරන්නට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න ඇත්තෙන්ම ගැටලුවකි. පසුව ඔහු ඇප කොන්දේසි ලබා දී නිදහස් කරන ලදී.

එහිදී ද යළිත් වරක් එම ඇප කොන්දේසි කඩකරමින් කටයුතු කිරීම නිසා ඔහු යළිත් අත්අඩංගුවට ගැනීමට පරිගණක අපරාධ ඒකකය විසින් කටයුතු කරන ලදී. ඒ තිහාරිය , කළගෙඩිහේන අංක 32/1 දරන නිවසේ සිටියදීය. එම නිවසේ තමන් සහ සිය මව පමණක් නේවාසිකව සිටින බව ඔහු පැවසුව ද එම නිවසට නිරතුරුවම කාන්තාවන් යන එන බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බුදු දහමේ ගරුත්වය කෙලෙසමින් සිවුරට ඇති ගෞරවය කෙලෙසෙන ලෙසින් මොහු කටයුතු කර තිබුණි. වරෙක මොහු චීවරය සුනඛයකුට පොරවා තිබුණි. එයින් ඔහු අදහස් කර ඇත්තේ වන්දනා මාන කරන්නේ පුද්ගලයාට නොව චීවරයට නම් චීවරය දරා සිටින සුනඛයාට ද වන්දනාමාන කළ යුතු බවයි.

බුදු දහමේ පැහැදිලිව දක්වා ඇත්තේ රජතුමා ද ගින්න ද සිවුරක් දරා සිටින සාමණේරයන් පවා සුළුකොට නොතැකිය යුතු බවකි. බුද්ධ චීවරයට එතරම් ගරුත්වයක් දහමේම දක්වා ඇති තත්ත්වයක චීවරය සුනඛයකුට පොරවා එහි ගරුත්වය මුළුමනින්ම නැති කර දමන්නට ඔහු කටයුතු කරන ලදී. ථෙරවාද බුදු දහම ඉතා හොඳින් හදාරන මියන්මාරයේ සුනඛයන්ට අසුවන ස්ථානයන්හි ඉවත ලන සිවුරක් හෝ නොතැබීමට එම ජනතාවෝ කටයුතු කරති.

එවන් දහමක් මේ ලෙසින් චීවරයට පවා නිගා දෙමින් මේ තැනැත්තා භික්ෂූත්වයට පවා නිගා දෙමින් සිය පෙම්වතිය වන මිෂෙල් නැමැත්තියක් සමඟ ‘රෙස්ටුරන්ට්‘ කරා යන්නේ ටී ෂර්ට් ඇඳගෙනය. එවැනි අවස්ථා කිහිපයක් ඔහු ටික් ටොක් දර්ශන හරහා සමාජ ගත කර තිබුණි. ‘පූරි කෑම සදහා මිෂෙල් එක්ක මම ගියා‘ මේ භික්ෂුව විසින් පවසා තිබුණි.

මිෂෙල් නමින් ඔහු හඳුන්වා දෙන තරුණියගේ අතින් අල්ලා ගෙන යන දර්ශන එක් විටෙකත් තවත් විටෙක සිවුරු දරාගෙන සිටින දර්ශනත් ඔහු එසේ සමාජ මාධ්‍ය ජාලාවන්ට එක්කර තිබුණි.

විටෙක සිවුරු දරා සහ තවත් විටෙක ටී ෂර්ට් ඇඳගෙන සමාජ අවධානය තමන් වෙත ඇද ගන්නට මොහු කටයුතු කර ඇත. ලිංගිකත්වය භික්ෂුවකට ද අවශ්‍ය බවත් අවශ්‍ය වූ විටෙක සිවුර වෙනුවට වෙනත් ඇඳුම් ඇඟලා යාම සුදුසු බව පෙන්වා දෙමින් ඔහු සමාජ අවධානය ඇති කර ගැනීමට කටයුතු කර තිබුණු අතර, ඒ හරහා බුදු දහමේ ඇති සේඛියා පද අමු අමුවේම උල්ලංඝනය කර තිබුණි.

සාමණේර භික්ෂුවක් විසින් පිළිපැදිය යුතු දස ශික්ෂා පදවල 3 වන ශික්ෂා පදය වන්නේ අබ්‍රහ්මචර්යාවෙන් වෙන්වීමයි, එහි 5 වැනි සික පදය ලෙස දක්වා ඇත්තේ මත්පැනින් වෙන්වීමයි, 6 වැන්න ලෙසින් දක්වා ඇත්තේ අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීමයි 7 වැන්න ලෙස දක්වා ඇත්තේ නාට්‍ය, ගීත වාදන, විසූක දස්සන ඇතුළු දෙයින් වෙන්වීමයි. ඊට අමතරව ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු සේඛියා පද 30ක් බුදු දහමේ දැක්වේ. එම සේඛියා පද සියල්ල කඩා දමන්නට උපසම්පදා ශීලයක් දරන මේ භික්ෂූ වෙස් ගත් තැනැත්තා විසින් කටයුතු කර ඇත.

අවශ්‍ය වේලාවන්ට එසේ ඇඳුම් මාරු කරන්නට කටයුතු කරන මේ තැනැත්තා එය බුදු දහමට නිගරු වන බව හොඳින් දන්නේ උපසම්පදාවේදී ඒ සියල්ල පෙන්වා දී ඇති හෙයිනි. සාමණේර වත්පිළිවෙත්වලදී ද ඒ සියල්ල හොඳින් අවධාරණය කෙරේ.

එසේම රියදුරු බලපතක් පවා නොමැතිව රිය පැදවීමට ද මොහු කටයුතු කර තිබේ. පෙර සඳහන් කළ මොහුගේ පෙම්වතිය වන මිෂෙල් සමඟ කොට කලිසමක් ඇඳ සාප්පු සවාරි යන වීඩියෝවක් ද මොහු සමාජ මාධ්‍ය ගත කර ඇත. ඕනෑම මස් වර්ගයක් හෝ තමන් ආහාරයට ගන්නා බවත් මෙරට ඇති සියලු මත් ද්‍රව්‍ය තමන් භාවිත කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අතර අයිස්, හෙරොයින්, අබිං, ගංජා ද වන බව ඔහු ප්‍රසිද්ධියේම පවසා ඇත. එමෙන්ම විස්කි, අරක්කු වයින් මේ ඕනෑම මත්වතුරක් තමන්ට අලුත් දෙයක් නොවන බව ද හෙතෙම පවසයි.

ඇත්තෙන්ම මෙවන් පුද්ගලයන් ගැන මෙසේ කතා කිරීමට වඩා මෙවන් මන්දබුද්ධිකයන් ගැන අනුකම්පා කර ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීම වඩාත් උචිත බව අපගේ හැඟීමයි. එසේ පවසන්නේ මොහු වසර දෙක තුනකට පෙර රත්නපුර මහ රෝහලේ නේවාසිකව විෂාදයට ප්‍රතිකාර ලබාගෙන ඇති හෙයිනි. එමෙන්ම මොහු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයකදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇත්තේ ඔහුගේ සිරුරේ මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයක් ඇති බවයි.

එසේම මොහු සතුව බැංකු ගිණුම් දෙකක් ඇති අතර, එක් ගිණුමක් සම්පත් බැංකුවේත් අනෙක් ගිණුම හැටන් නැෂනල් බැංකුවේත් පවත්වා ගෙන යන අතර සම්පත් බැංකු ගිණුමේ ලක්ෂ 25ක ශේෂයක් පවතී.

එමෙන්ම මොහුට ජීප් එකක් හා වෑන් එකක් තිබෙන නමුත් ඔහු පවසන්නේ ඒවා තම මිතුරන්ගේ බවයි.

එසේම මොහු කාලයක් තිස්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු කර ඇති අතර, ඒ සියල්ල ව්‍යාජව සිදු කරන ලද ඒවා වන අතර, වංචනිකව එම කටයුතු සිදු කර ඇත.

විශ්ව බුද්ධ නැමැත්තා ලිංගිකත්වය, සුරාව, මුදල් මේ සියල්ල භික්ෂුවකට අවශ්‍ය බවට වූ සාවද්‍ය මත ගෙනහැර දක්වන මේ තැනැත්තා ප්‍රසිද්ධ වීමට යන්නේ ‘නෙගටිව් මාකටින්‘ හරහාය.

මොහු පවසා ඇත්තේ රත්නපුරේ විමලබුද්ධි යන අය තමන් මරා දමා ඇති බවත් දැන් සිටින්නේ විශ්ව බුද්ධ පමණක් බවත්ය. විශ්ව බුද්ධට සීලයක් අවශ්‍ය නොවන බවත් තමන් කිසිදු නිකායකට අයත් නොවන බව ද ඔහු පවසයි. එහෙත් මෙරට බෞද්ධ දර්ශනවට අදාළ පනත් අනුව ඕනෑම භික්ෂුවක් තුන් නිකායෙන් එක් නිකායකට අයත් විය යුතු බවයි. මේ තැනැත්තා නෙරපීමට රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරන ලද අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක මකුලෑවේ විමල නාහිමි විසින් ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ද දැනුම්දී ඇත.

පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

එවන් තත්ත්වයක් මත මෙවන් උන්මත්තකයන් සමාජයේ සැරිසැරීම වැළැක්වීමට කඩිනමින් සංඝාධිකරණයක් බලාත්මක කළ යුතුය. එසේ නොවුවහොත් ඉදිරියේදී මීට වඩා භයානක පුද්ගලයන් සමාජයේ ජනතාව මුළා කරනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division