ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF විසින් විස්තීර්ණ ණය පහසුකම වන අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරිකය නිකුත් කිරීමට අනුමැතිය ලබාදී ඇත. මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 670ක් වේ.
අපි රටක් ලෙස IMF එකට යෑමට හේතුව කාරණාව සහ IMF එක සමඟ ගනුදෙනු කිරීම යන කරුණු පැහැදිලි කිරීමේදී විදේශීය රටවලට සහ පෞද්ගලික ණය හිමියන් කුමන ආකාරයට ද කළමනාකරණය කර ගන්නේ යන කාරණය ප්‍රධාන වෙයි. IMF එක සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට මෙම IMF වැඩසටහන සහාය ලබා දී ඇත. IMF මඟින් අපිට ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරික ප්‍රමාණයේ මූල්‍යමය වටිනාකමට වඩා ඉන් එහා ගිය වැදගත් කරුණක් මින් සිදු වෙයි. එනම් අපේ රටේ ආර්ථිකය IMF මූල්‍ය අරමුදලේ කළමනාකරණයට යටත්ව සිදු කෙරෙන බවට වන පණිවිඩය ලෝකයට ලබාදීමයි.
අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරිකයෙන් ලැබෙන මේ විස්තීර්ණ ණය මුදල රටක් ලෙස අපිට උපයා ගැනීමට හැකි වෙයි. නමුත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ ණය මුදලට වඩා ලංකාවේ ආර්ථිකය ක්‍රමවත්ව මාර්ගයකට ගේන යන්නේය යන සහතිකය ණය හිමියන්ට ලබාදීම ප්‍රධාන වැදගත් කරුණයි. ඇතැමුන්ගේ මතය IMF එකෙන් ලැබෙන්නේ ඉතා අඩු මුදලක් බවයි. IMF මඟින් කෙරෙන අධීක්ෂණය යටතේ ලංකාවේ ආර්ථිකය නියම මාවතකට අවතීර්ණ කර ඇතැයි යන කරුණ බරපතළ වැදගත් කරුණකි. IMF දෙවැනි වාරිකය ලැබීම තුළ රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධීක්ෂණය යටතේ තවදුරටත් පවතියි යන අදහස දෙයි.
අපට 2022 දෙසැම්බර් මස 31වන විට අමෙරිකානු ඩොලර් බිලියන 36ක මුදලක් ගෙවීමට නියමිතව තිබිණි. එයින් 37% ප්‍රමාණයක් වසර 4ක් සිට 5ක් පමණ කාලයක් එනම් 2023 සිට 2027 දක්වා කාලය තුළ 37%ගෙවා අවසන් කිරීමට නියමිතව ඇත. මේ විධිමත් ක්‍රමවේදය නිසා ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වන යහපත් ප්‍රතිචාරයකි. එසේම එම ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළට අනුව අපට ණය සීරුවෙන් ගෙවාගෙන යා හැකියි යන අවස්ථාව උදා කර ගැනීමට සහතිකයක් මේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකයත් සමඟ ලැබෙයි. මේ වන විටත් රටේ ප්‍රගතියක් ඇති වෙමින් පවතී. රුපියලේ අගය ක්‍රමානුකූලව ඉහළ යයි. ඒ අනුව ඩොලර් එකක වටිනාකම යම් ස්ථාවර මට්ටමකට පැමිණෙයි.
පසුගිය සති කිහිපයේම මේ ණය වාරිකය ලැබීම සහතික වූ විට වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ ඊට අනුරූපවයි. රටට විශාල ඩොලර් ආදායමක් ලැබෙනවා යනු අපේ සංචිත වැඩි වීමයි. නැත්නම් අපිට විදේශ විනිමය පාවිච්චි කිරීමේ හැකියාව වැඩි වෙයි. මේ වන විට අපේ සංචිත ඩොලර් බිලියන හතර ඉක්මවා ඇත. සංචිත වැඩිවීමටත් මෙය බලපායි. අපිට අවශ්‍ය නම් වියදම් කිරීමටත් හැකියාව ඇත. මේ නිසා අපිට අලුතෙන් ණය ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවේ.
අපේ රටේ දැන් සැලකිය යුතු ඩොලර් සංචිත ප්‍රමාණයක් ඇත. එසේම රුපියලේ අගය වැඩි වේගෙන යන බව ඉතා පැහැදිලියි. IMF පළවෙනි ණය වාරිකය ලැබෙන විට ඩොලරය රුපියල් 330 දක්වා ඉහළ ගොස් තිබුණ අතර, අද වන විට ඩොලරය රුපියල් 250ට අඩු මට්ටමක් පැමිණ ඇත. ඩොලරය ඉහළ අගයක් දක්වා ගිය පසු පහුගිය කාලයේ ආනයනික භාණ්ඩවල මිල වැඩි විය. දැන් ආනයන භාණ්ඩවල මිල අඩුවීම ක්‍රමානුකූලව සිදුවෙයි. ඒත් සමඟම උද්ධමනයට තෙරපීමක් ආනයනික භාණ්ඩ හරහා සිදු විය. රුපියල ශක්තිමත් වෙන විට ආනයනය කරන භාණ්ඩ මිල මත පැටවෙන මිල වැඩි වීමේ තෙරපුම අඩු වෙයි.
අපේ රටේ අපි මිලදී ගනු ලබන ආහාරපාන ඇඳුම් පැලඳුම් ඖෂධ ආදිය ගත් විට බොහෝ දේවල් විශේෂයෙන් පොහොර යන්ත්‍ර සූත්‍ර, ඉන්ධන වැනි දේවල් සියල්ල පිටරටින් ආනයනය කරයි. අපේ ඇඳුම් පැලඳුම්, කාර්මික අංශයට අවශ්‍ය ද්‍රව්‍ය මේ සියල්ලේ මිල පසුගිය කාලයේ ඉහළ යන ලදී. උද්ධමනය වැඩි විමට ආනයනික භාණ්ඩ විශාල බලපෑමක් විය.
මේ භාණ්ඩවල ආනයන මිල රුපියල ශක්තිමත් වීමත් සමඟම අඩු වෙයි. අද වන විට ස්ථාවර අගයක රුපියල පවතී. උද්ධමනය 4% වැනි ප්‍රමාණයකට තබාගෙන සිටීමට හැකිවී ඇත. අපේ උද්ධමනය 70% වඩා ඉහළ ගිය අවස්ථා විය. උද්ධමනය අද වන විට යම් මට්ටමකින් පහත වැටී ඇත. මේ සියල්ල IMF එක හරහා අපිට ලැබෙන ප්‍රතිලාභ වෙයි.
මේ නිසා ඉදිරි මාස කිහිපයක් සහනශීලි ලෙස ආර්ථිකය හසුරුවන්නට හැකිය යන කරුණ මින් පැහැදිලි වෙයි. එහෙත් IMF ආධාරවලින් පමණක් ආර්ථිකයක් හසුරුවන්නට හැකියාව නැත. අපේ රටේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, විශේෂයෙන් කැබිනට් මණ්ඩලය වැනි වගකිව යුතු ආයතන ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබයි. පසුගිය කාලයේදි රටේ ආර්ථිකය ශක්තිම කිරීම සම්බන්ධව ගනු ලැබූ තීන්දු තීරණවල යම් ගැටලු මතු විය. රටේ ආර්ථිකය බංකොලොත් බවට ප්‍රකාශ කිරීම ද සිදුවිය.
IMF හැරුණු කොට අපේ රටේ ක්‍රියාත්මක කෙරෙන ආර්ථීක වැඩ පිළිවෙළකුත් තිබිය යුතුයි. විශේෂයෙන් අපේ රටේ රජයේ අදායම වැඩි කර ගැනීම සඳහා බදු දැළ පුළුල් කිරිම බදු මට්ටම ඉහළ දැමීමත් සිදු විය. මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විශාල කතාබහක් ඇති විය.
එසේ ම මිනිසුන්ගේ ආදායම පිරිහී ඇත. නාමික ඉපැයුම එනම් මුදල් වශයෙන් ඉපැයීම් ප්‍රමාණය ගත් විට විශාල වෙනසක් පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ වෙයි. රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ 14ට වඩා වෙයි. ඒ අයගේ වැටුප 2022 සහ 2023 වර්ෂයේ මූල්‍ය වැටුප් වර්ධකයන් වැඩි වී නැත. එහෙත් උද්ධමනය වැඩි විය. අපිට ලැබෙන මුදලේ ක්‍රය ශක්තිය එනම් මූර්ථ අගය විශාල වශයෙන් හීන විය. 2016 වර්ෂයේ සිට බැලූ විට මහ බැංකුවේ තුන්වැනි කාර්තුවේ අදාළ පත්‍රිකාවේ රාජ්‍ය අංශයේ මුල්‍ය ඉපැයීම වැඩි වී නැති වුවත් වැටුපේ ක්‍රයශක්තිය 100% විය. ඒ අගය වර්තාමනයේ 58%කට අඩු වී ඇත. පෞද්ගලික අංශයේ සංවිධිත සහ අසංවිධිත අංශය ගත් විට සංවිධිත පෞද්ගලික අංශයේ රුපියල් ලක්ෂයට වඩා බදු අය කිරීම් හරහා ගෙවීමට වෙන බදු වෙනත් ආකාරයකින් නැවත සේවකයන්ට ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය සේවකයන්ට මේ කිසිදු දෙයක් නොමැත.
අසංවිධිත පෞද්ගලික අංශයේ පිරිසට 2018 දර්ශක අනුව 100%ක් වන විට 166%ක් මූල්‍ය ඉපැයීම් සිදු වී ඇත. ඒ නිසා ඔවුන්ගේ මූර්ථ අදායම අඩු වීම 18%ක් වෙයි. රාජ්‍ය සේවකයන් 42%ක් වෙයි. ඒ නිසා විශාල පීඩාවකට රාජ්‍ය සේවකයන් පත් වෙයි. මූල්‍ය ඉපැයුම වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් සියලු දෙනාට ම ඇති කර ගැනීමට සිදු වෙයි. එහිදී කඩිනමින් විදේශ රැකියා අවස්ථා උදාකර දීමට කටයුතු කළ යුතුයි. එසේම රාජ්‍ය සේවකයන්ට මේ සඳහා අවස්ථාව උදාකර දී ඇත. ඒ නිසා රජයේ සේවකයන්ට ලබා දෙන පඩි රහිත නිවාඩුව විධිමත් කර යම් කිසි ක්‍රමවේදයක් අනුව සකස් කළ යුතුයි. සරලම කරුණ විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ සිට විධිමත් විය යුතුයි. විදෙස් ප්‍රේෂණ වැඩි කර ගැනීමට විදෙස් ශ්‍රමිකයන් දිරි ගැන්වීම, අපේ ව්‍යවසායකත්වය දියුණු කර ගැනීම සකස් කර වෘත්තිය පුහුණු පාඨමාලා සකස් කිරීම වැදගත් වෙයි. එසේ ම අපේ අපනයනික වැඩි කිරීම යන කරුණු වඩා තිරසර ක්‍රමවේද වෙයි. අප ආනයනයට වඩා අපනයනය සිදු කළ යුතුයි.
අපේ නිෂ්පාදනය විධිමත් කිරීම වැදගත් වෙයි. විශේෂයෙන් ආනයන භාණ්ඩවලින් පෞද්ගලික රථවාහන හැරුණු කොට සියලු දේවල් නිෂ්පාදනය කරන්නේ අප විසිනි. තාවකාලිකව වෙළඳ පොළේ මිල වැඩි වූ විගස ආනයනය කිරීම එතරම් සුදුසු නැත. මේ වැනි දේවල් භයානකයි. මේ රට ස්ථාවර වී තිබුණ ද අපි නැවත හිතුමතේ ආර්ථිකය හැසිරිය යුතු නැත. එසේ අවිචාරවත් ලෙස හැසිරිම නිසා අපි ආර්ථික ව්‍යවසනයකට පත් වුණෙමු. තාවකාලික ගොඩ ඒමක් හැර අපි මේ ආර්ථික ව්‍යසනයෙන් තවම ස්ථිරවශයෙන් ගොඩට පැමිණ නැත. පොඩි විරාමයක් පමණක් අපිට මේ ලැබී ඇත. ඒ නිසා අත්‍යවශ්‍ය දේ පමණක් ආනයනය කළ යුතුයි.
අපි මේ ආර්ථිකය බිඳ වැටීමට හේතු සාධක දනිමු. එනම් ආර්ථීක අර්බුදය සහ රාජ්‍ය ආදායම් බිඳ වැටීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුයි. එහිදී මූලිකව රාජ්‍ය වියදම් අඩු කළ යුතුයි. ආදායම් වියදම් අතර පරතරය අපි වෙනස් කළ යුතුයි. අත්‍යවශ්‍ය දේ හැර මේ අවස්ථාවේදී කිසිදු දෙයක් සඳහා වියදම් නොකළ යුතුයි. රජයේ මූල්‍ය කළමනාකරණය ඉතාමත් දුර්වලයි. මූල්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණය විය යුතුයි. රජයේ වියදම් කළමනාකරණය ශක්තිමත් විය යුතුයි. නමුත් අසීමාන්තික බදු අය කිරීම නිසා නිෂ්පාදන වෙළඳ පොළට විශාල හානියක් සිදු වෙයි. වෙළඳ පොළ විශාල ලෙස හැකිළි ඇත. මේ පිළිබඳව නිසි ඇස්තමේන්තුවක් නැත. ඒ සඳහා ආර්ථික පුරෝකථනයක් අවශ්‍ය වෙයි. එසේ පුරෝකථනයක් සිදු කළහොත් නිෂ්පාදන ආර්ථිකය වෙළෙඳ ආර්ථිකය එය කෙසේ බදු බරින් හැකිළී ඇති ද යන්න නිසියාකාරයෙන් දැන ගත හැකි වෙයි.
ආදායම් සහ වියදම් පක්ෂය සම්බන්ධයෙන් නිසා සැලසුමක් අනිවාර්යෙන් ඇති විය යුතුයි. අය වැය පරතරය අඩු කර නොගැනීම ඉතාමත් අනතුරුදායකයි. මේ අනතුරුදායි තත්ත්වයට IMF නිසා සහනයක් නොලැබෙයි. ඒනිසා අපි දේශිය ආර්ථිකය ගොඩනඟා ගැනීම කළමනාකරණය කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. ඒ නිසා ආර්ථිකය සම්බන්ධයෙන් නිසි ගණන් හිලව් බැලීමක් අවශ්‍යයි. එය එසේ නොවන තාක් සිදු වන්නේ අඳුරේ අතපත ගෑමකි. එහිදී අපට පහනක් වන්නේ IMF බව කිව යුතුයි. ඒ නිසා IMF ලැබුණ සැණින් ආර්ථිකය සුබ මට්ටමකට පැමිණිය හැකි යැයි කිසිවකුට කිව නොහැකියි. අපි පිළිගත යුතු සත්‍යයක් වන්නේ රටේ ආර්ථිකය යම් මට්ටමකින් ගොඩ එන පැත්තට පැමිණ ඇති අතර උද්ධමනය ද ක්‍රමිකව අඩු වෙමින් පැවතීමයි. එය පවත්වා ගෙන යාමට දේශීය වශයෙන් ආර්ථික සැලසුම් මූල්‍ය කළමනාකරණ මාර්ඟ පිළිබඳව ඉතාමත් සියුම් වැඩපිළිවෙලක් ප්‍රතිපත්ති සම්පාදනයක් ඇති කළ යුතුයි.
සුභද්‍රා දේශප්‍රිය