Home » ලංකාවේ සිරි අසිරිය වැඩි කරන්න යෝජනාවලියක්

ලංකාවේ සිරි අසිරිය වැඩි කරන්න යෝජනාවලියක්

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment
ශ්‍රී ලංකා සංචා­රක ප්‍රව­ර්ධන අධි­කා­රියේ සභා­පති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ජෙට්වින්ග් හෝටල් සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, දිමිත්‍රි කුරේ

2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 14,87,303 කි. එය, එම වර්ෂයේ සංචාරක ඉලක්කය වූ ලක්ෂ 15න් 99%ක් සපුරා ගැනීමකි.

2024 දී එම ඉලක්කය සංචාරකයන් ලක්ෂ 24ක් බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද කියා සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ය.

කෙසේ වෙතත්, 2022 වසරට සාපේක්ෂව 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ජාත්‍යන්තර සංචාරක පැමිණීම්වල වැඩිවීමක් අත්විඳින්නට ලැබුණේ විශේෂයෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ මාලදිවයින වැනි රටවලින් පැමිණි සංචාරකයන්ගේ සැලකිය යුතු ඉහළ යාම නිසාය.

කෙසේ වෙතත්, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ කැනඩාව යන රටවලින් සංචාරක පැමිණීම් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් නොකළ බව ද පෙනේ. මෙම රටවලට විශේෂිත වූ සංචාරක ආකර්ෂණීය පිළිවෙත් සහ ක්‍රියාකාරකම් වර්ධනය කළ යුතු බවට එය අපට ඉඟියක් සපයයි.

කෙසේ වෙතත්, 2024 යනු සංචාරක ක්ෂේත්‍රයේ බලාපොරොත්තු තබා ගත හැකි වර්ෂයක් බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සූදානම් බවත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

” 2024 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා අධිකාරිය වශයෙන් අපිට සැලසුම් ගණනාවක් තිබෙනවා.

මේ වසරේ ජනවාරි පළමුවැනි දා සිට 21වැනි දා දක්වා සංචාරකයන් 142,162ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එය ගිය වසරේ ජනවාරි මාසය සමඟ සංසන්දනය කළ විට, මුළු ජනවාරි මාසයටම පැමිණ තිබුණේ 102,000යි. නමුත් මේ ජනවාරියේ පළමු දවස් 21ට 142,162ක් පැමිණීමත් සමඟ මාසය අවසන් වන විට 210,000ක් අප බලාපොරොත්තු වනවා.

කොහොම වුණත් ගිය වසරේ අප බලාපොරොත්තු වෙච්ච තරම් සංචාරකයන් පිරිසක් චීනයෙන් පැමිණියේ නැහැ. මුළු වර්ෂයටම චීන සංචාරකයන් පැමිණ තිබුණේ 68,000ක් පමණයි. මේ වසරේ මීට වඩා සංචාරකයන් ප්‍රමාණයක් අප බලාපොරොත්තු වෙනවා. මොකද, චීනය ඔවුන්ගේ සංචාරකයන් යා යුතු රටවල් 20ක් හඳුනාගෙන තිබෙන අතර, ඒ ඇතුළේ ශ්‍රී ලංකාවත් තිබෙන නිසා.

ඒ වගේම චීනය, ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව ජපානය තායිලන්තය සහ රුසියාව යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී වීසාවලට අය කරන ගාස්තුවත් අප ඉවත් කර තිබෙනවා.

තේමා 18ක් යටතේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සූදානම් කෙරෙනවා.

අපි රටවල් 10ක් ඉලක්ක කරගෙන මේ සඳහා Global Promotion Campaign එකක් හඳුන්වා දුන්නා. ඒ අනුව මේ රටවල් දහයේ විවිධ සංචාරකයින්ට අපගේ මේ තේමා හොඳ ආකර්ෂණයක් ඇති කරාවි.

ගිය වසරේ ලක්ෂය ඉක්මවපු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණේ රටවල් හතරකින් පමණයි. එනම්, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය සහ ජර්මනියෙන්. අලුත් රටවල් ලෙස අපි ජපානය සහ කොරියානු සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ඉලක්ක කර තිබෙනවා. නමුත් අපි අනිත් රටවලිනුත් හොඳ වර්ධනයක් ඉදිරියේ දී බලාපොරොත්තු වනවා. ඒ සඳහා ඔවුන් ගෙන්වා ගන්න ගුවන් සේවා සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම චීනය මේ වන විටත් 2025 වසරේ සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට එවන්න තීරණය කර තිබෙනවා. එහෙම බැලුවොත් දිනකට චීන සංචාරකයන් 3,500කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

විශේෂයෙන් අපි මේ වසරේ ප්‍රවර්ධන කටයුතුවලදී Wellness Tourism ප්‍රවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ආයුර්වේද හෙළ වෙදකම මාකට් කරන්නට වැඩ පිළිවෙළක් සකසමින් තිබෙනවා. ආයුර්වේද සත්කාර ලබා ගැනීම සඳහා පැමිණෙන සංචාරකයන් වැඩි දින ගණනක් ශ්‍රී ලංකාව තුළ රැඳෙන ලෙස, එනම් එම පැකේජය දින පහළොවක් දාසයක් ලෙස සකස් කර තිබෙනවා. එවිට ඔවුන් එම කාලය තුළ රැඳී සිටිමින් එම ආයුර්වේද සත්කාර ලබා ගත යුතුයි. මේ ආකාරයේ ආයුර්වේදය හා බැඳුණු සංචාරක වැඩපිළිවෙළක් අප ජාත්‍යන්තරයට හඳුන්වා දෙනවා.

ඒ වගේම Marine Tourism සඳහාත් ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් අප ප්‍රවර්ධන වැඩ පිළිවෙළක් සකසා තිබෙනවා. මොකද ලංකාව වටේටම තිබෙන මුහුද සංචාරක කර්මාන්තයට තෝතැන්නක්.

එමෙන්ම, New York Times පුවත්පතට අනුව ලෝකයේ සංචාරය සඳහා හොඳම නගර අතරේ මීගමුව 16වැනි ස්ථානයේ පසුවන බැවින්, මීගමුව සඳහා විශේෂ අවධානයක් ලබා දී යළි සංචාරක පුරවරයක් ලෙස පණ නංවනවා.

මොකද ජනාධිපතිතුමාත් සෑම විටම අපිට කියන්නේ දිනකට ඩොලර් 500කට වඩා වියදම් කරන සංචාරකයන් ගෙන්වීම ප්‍රවර්ධනය කරන ලෙසයි.

අවසාන වශයෙන් කියන්නට ඕනේ විලාස්, බුටික් හෝටල්, තරු හෝටල් ඇතුළු සෑම තරාතිරමකම හෝටල් ආවරණය වන පරිදි 2029 වන විට සංචාරකයින් මිලියන පහක් ගෙන්වා ගැනීමයි අපගේ ඉලක්කය…”

සංචාරකයන් වැඩිම පිරිසක් නිතර යනෙන ජෙට්වින්ග් හෝටල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දිමිත්‍රි කුරේ මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

” දෙසැම්බර් 20 වැනිදා විතර පටන් තවමත් දකුණු පළාත, නුවර, යාපනේ ඇතුළු බොහෝ පළාත්වල තරු හෝටල් ඇතුළු සෑම තරාතිරමකම හෝටල් 70% – 80% ක් මේ වන විට සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් සීත ඍතුවේ පටන් ගන්නා සංචාරකයන්ගේ පැමිණීම, මාර්තු විතර දක්වා සිදු වන නිසා මේ තත්ත්වය ලබන මාර්තු අප්‍රේල් දක්වා අපට බලාපොරොත්තු විය හැකියි.

දැනට මාස හයකට පෙර ගිවිසුම් අත්සන් කොට ආ සංචාරකයන් සඳහා, අපේ රටේ බදු වැඩි වුණා කියා යළි ගාස්තු ඉහළ දමා අය කිරීමේ හැකියාවක් නැහැ. ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ තමයි අපිට ඊළඟ මාස හයට ගිවිසුම් අත්සන් කෙරෙන විට නව ගාස්තු ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබෙන්නේ. එතකල් මේ 3% පාඩුව අපට විඳ දරා ගන්නට සිදුවනවා. අපිටත් වඩා මේ තත්ත්වය බලපාන්නේ කුඩා හෝටල් හිමියන්ට.

මේ වෙනකොට ජෙට්වින්ග්ස් යටතේ විවිධ මට්ටමේ හෝටල් 37ක් රට වටා තිබෙනවා. ඒවායේ දැනට පිරී තිබෙන සංචාරකයන් ප්‍රමාණය අනුව, හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම, 2025 වසර අවසන් වන විට අමෙරිකන් ඩොලර් බිලියන හතරකට වඩා ආදායමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්…”

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division