Home » රට කොස්සෙන් අතුගෑවී යන දේශීය කොසු-ඉදල් කර්මාන්තය

රට කොස්සෙන් අතුගෑවී යන දේශීය කොසු-ඉදල් කර්මාන්තය

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

කළුතරට යාමට දිනක් දුම්රියට ගොඩවූයේ කොළඹ කොටුවෙනි. දෙහිවල ස්ටේසමට ළඟාවන විට සරමක් හැඳි තරමක් වයසක පුද්ගලයකු දුම්රියට ගොඩවූයේ ඉදල් සහ කොසු, මකුළු දැල් කඩන දිගරිටි ඇති කොසු, ටොයිලට් කූරු ආදිය අතැතිවය. දුම්රියේ සෙනඟ සිටියේ කිහිපදෙනකු බැවින් ඉදල්, කොසු කීහිපය ජනේලයකට හේත්තු කළ මේ පුද්ගලයා තම ඉණේ ගසාගෙන තිබූ හැඹිලිය ගෙන නෝට්ටු කොළ ගනින්නට විය.

“මේ කොහු – ඉදල් කොහේ ඉඳන් ද ගේන්නේ.” මම අසා සිටියෙමි.

‘මහත්තයෝ වස්කඩුවේ නො 01 ඉස්ටේෂමෙන් නඟින්නේ උදේ 5ට.”

“ඒ ස්ටේෂමට ඒ නම ඇයි අමුතු නමක්නේ.”

“ඒ ස්ටේෂමට ගම් දෙකක් සටන් වැදිලා ඒකාලේ ‘සර් ජෝන්’ ඇවිල්ලා තමයි ඔය නම තිබ්බේ. ගම් දෙකේම කතාව අසන් හිටපු සර් ජෝන් තොපේ ගම් දෙකේම ඉන්නේ නොම්මර එකේ මිනිස්සු. ඒ හින්ද මේ ස්ටේෂමට නො. 1 කියල තියහං කිව්වා.”

“දැන් ඔය උදේට අරන් එන කොහු, ඉදල් ඔක්කොම විකිණෙනවද?” මම ඇසුවෙමි.

හදන තැන්වලින් ණයට තමයි බඩු ගන්නේ. හවහට ගණන් බේරනවා.”

“කොහු හදන්න දන්නැත්ද?”

“අයියෝ මහත්තයෝ මං හිරේ හිටියා වැලිකඩයි – කළුතරයි. ඔය දෙකේ තරම් හොඳ බැඳපු කොස්ස හදන්නෑ කොහෙවත්. මං තාමත් ටික ටික හදනවා දැන් නම් වියදම වැඩියි. මේ ප්ලාස්ටික් කොසු එක්ක විකුණන්නත් අමාරුයි.”

මේ අතර පසුගිය සතියේ අප වාද්දුව පසුකොට ලංකාවේ කොහු ඉදල් හදන්නට නම් දරාපු වස්කඩුව ප්‍රදේශයට ගියේ ඒ පළාතේ මේ කර්මාන්තයට දැන් අත්වී ඇති ඉරණම ගැන හොයන්නටය. අප යන විට ගාලුපාරේ දෙපස තැනින් තැන එදා දකින්නට තරම් කොහු – ඉදල් අලෙවිසල් තිබුණේ නැත. එදා යන්නෙන් අදහස් කළේ කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය විවෘත කිරීමට ප්‍රථමය. ඒ වෙළෙඳසල්වල ද ප්ලාස්ටික් කොසු එල්ලා තිබුණි.

අපට මුලින්ම දැන ගැනීමට අවශ්‍ය වූයේ මේ ප්‍රදේශයට මේ කර්මාන්තය ආගමනය වූ ආකාරයයි. අද ඒ මුල් පරම්පරාව ජන්මාන්තරගතවී හමාරය. අප වෙහෙස මහන්සිවී අවුරුදු අනූවක් පසුකර සිටි ‘අගෝරිස් ආතා’ අල්ලා ගතිමු. අපට උදව් කළේ වස්කඩුවේ ජීමන් ද සිල්වාගේ පුත්‍රයාය. කවුද මේ ජීමන් ද සිල්වා. ලංකා ඉතිහාසයේ හැටේ දශකයේදී වස්කඩුවෙන් සරුංගල් 20ක් සහිත පෙට්ටියක දමා බල්ලෙක් උඩුගුවනට යැව්වේ මේ ජීමන් ද සිල්වාය.

“වයඹෙන් තමයි මුලින් කොහුවලට කොහු ගෙනාවේ. පොල් කර්මාන්තයට ඕන කරන පොල් වැඩියෙන්ම තිබෙන්නේ වයඹ පළාතේ නිසා පොල් තිබෙන දකුණටත් වැඩිය වයඹ පළාතේ පොල් කර්මාන්තය පැතිරී තිබෙනවා. පොල් වගාව ලෝකයේ පැතිරී තිබෙන ආසියාකරයේ රටවල් බැලුවාම ලෝකේ දිගම පොල් කෙන්ද තිබෙන්නේ අපේ ලංකාවේ. පොල් කෙන්ද දිග නිසා ඒකෙන් හදන භාණ්ඩයේ ශක්තිමත්කම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉන්දියාවේ, වියට්නාමයේ, පිලිපීනයේ පොල් කෙන්දක් අපේ රටට වඩා ගොඩාක් පසුපසින් ඉන්නේ. වියට්නාමය මේ වෙනකොට පොල් වගාව හා කර්මාන්තය සම්බන්ධයෙන් ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිටින නිසා ඒ රට ඉදිරියේදී අපිට තර්ජනයක් වෙන්න පුළුවන්.”

“අපේ රටේ තිබෙන දිගම පොල් කෙන්දෙන් පළමුවෙන්ම නිපදවන්නේ කොහු ලණුවයි. ඊට පස්සේ කොස්සට ගන්නේ. අපේ රටේ කොහු ඉස්සර අපනයනය කළා මැතිනිගේ කාලේ.”

“ඒ කාලේ ලංකාවේ කොස්සට තිබූ ඉල්ලුම ඉන්දියාවටත් නැහැ. බුරුසුවලට ගන්නෙත් දිගම කෙන්ද තමයි. මේ දිගම කෙන්දට කියන්නේ “බ්‍රිස්ටනල්” කෙන්ද කියලා. දිග කෙන්ද ලංකාවට පමණක් ආවේණික නිසා අපි ඒ කෙන්දට පේටන්ට් බලපත්‍රයක් ගත්තේ නැහැ. ඉස්සර ඉඳන් අපි පොල් කෙන්දට අපිට තිබෙන අභිමානවත් අයිතියක් රැක ගන්න එක ආණ්ඩුවක්වත් පේටන්ට් එකක් ගන්න පියවර ගත්තේ නැහැ.”

එදා මේ ප්‍රදේශයේ දක්නට ලැබුණ කොහුබත් කඳු අද දක්නට නැත. එදා එය කොහු කර්මාන්තකරුවන්ට ද අවහිරයක් වන තරමට ගොඩගැසී තිබී ඇත. එහෙත් පසුගියදා අපට දැනගන්නට ලැබුණේ අරාබිකරයේ වගාවන්ට අවශ්‍ය කොහුබත් ලංකාවෙන් ඉල්ලා ඇති බවය.

අප සාකච්ඡාවේ යෙදී සිටියදී එතැනට පැමිණි කෘෂිකර්ම නිලධාරියෙකි. අපි ඔහුගෙන් මේ ගැන විමසා සිටියෙමු.

“ඒ කාලේ අඩි එක්දහස් පන්සියයක් විතර උස කොහුබත් කඳු මෝල් ළඟ ගොඩගැසී තිබුණා. පසුව මේ කොහුබතට වගා මාධ්‍යයක් ලෙස විදෙස් රටවලින් විශාල ඉල්ලුමක් ලැබුණා. පොල් කෙන්දේ වගේම කොහු බතේද තිබෙන ජලය රඳා පවතින ස්වභාවය වෙනත් කිසිම ද්‍රව්‍යයක නැති නිසා තමයි කොහු කෙන්දට සහ කොහුබත්වලට අද ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙන්නේ.

දැන් ඉතින් ඉස්සර වගේ කොහුබත් ගිනි තියන්නේ නැහැ. ඔක්කොම රට යවනවා.”

වස්කඩුවේදි අප සමඟ මුලින්ම සාකච්ඡාවට එක්වූයේ විජයපාල සිල්වාය.

“මං මේ කොහු – ඉදල් හදන්න පටන් අරන් අවුරුදු 50ක් වෙනවා. මුලින්ම රුපියල් 15/-ක් පොලියට අරන් වැඩේට අත ගැහුවේ. ඒ කාලේ ඩොලර් 1ක් රුපියල් පහක්වත් නැහැ. ඒ කාලේ හොඳ කොහු කෙඳි ගෙනාවේ අලව්ව කුරුණෑගල පැත්තෙන්. දකුණේ කෙඳිවලට වඩා ඒවා දිගයි.”

“ඒ කාලේ කොස්සක් වික්කේ කීයටද?”

“කොස්සක් වික්කේ සත 65ට. ඔය කියන සන්දියේ පාන් ගෙඩියක් සත 25යි. දැන් කොස්සක් දෙන්නේ රුපියල් 280/-ට.”

“කාලයක් රටින් ඉරටු ගේන බවට රාවයක් පැතිර යාම ගැන අප විජයපාලගෙන් අසා සිටියෙමු.

“අපි නම් එහෙම රට ඉරටු දැකලත් නැහැ. හොඳ ඉරටු එන්නේ කුරුණෑගල – ඇඹිලිපිටිය වගේ පැතිවලින්. දැන් ඉරටු කිලෝ එකක් රුපියල් 120/=යි. ඉදලකට ග්‍රෑම් 700 විතර යනවා.”

“ඉදලුත් කාලයක් රටින් ගෙනාවා නේද?”

“රටින් ගෙනාවා තමයි. ඒත් හරි ගියේ නෑ. දෙපාර අතුගානකොට ඉරටු ටික සීසීකඩ ගියා. මේක අත්ගුණේ තියෙන්න ඕන කර්මාන්තයක්.”

අප සාමාන්‍යයෙන් දැක ඇත්තේ වර්ණ ගන්වන්නේ නැති දුඹුරු කෙඳි කොස්සය. මේ කෙඳි හදන හැටි ද අපූරුය.

පොල් ලෙලි මාසයක් පමණ ජලයේ ගිල්වා තබා මෙම කෙඳි ලබා ගනී. දුඹුරු කෙඳි ලබා ගනු ලබන්නේ අර්ධ යාන්ත්‍රික ක්‍රමයටය. මීට අමතරව ඩෙකොටිකේටර් භාවිත කරමින් ද දුඹුරු කෙඳි ලබා ගනී. මෙහි යාන්ත්‍රික ස්වරූපය වැඩිය. ඩෙකොටිකේටරයට ඇතුළු කරනු ලබන ලෙලි කෙඳි බවට පත්වන තුරුම යන්ත්‍රය මඟින් තැළීම සිදු කරනු ලබන්නකි. දුඹුරු කෙඳි කර්මාන්තය පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව දුඹුරු කෙඳි නිෂ්පාදනය වේ. දුඹුරු කෙඳි ලබා ගනු ලබන්නේ දුඹුරු පැහැති පොල්ලෙලි වලිනි. කොප්පරා සඳහා ගනු ලබන පොල් ලෙලිි ද මේවාට යොදා ගන්නා බව අපට දැක ගන්නට හැකිවිය. එහෙත් අපට දැකගත හැකි වූයේ ටැංකිවල කළු පැහැති ඩයි වැනි දියරයක බහාලන කොහු කෙඳි එළිමහනේ වේළන්නට දමා ඇති දසුනකි.

විජයපාලගේ පුතා වසන්ත කුමාරය. දැන් තාත්තාගේ කොහු ඉදල් කර්මාන්තයට කරගසා ඇත්තේ ඔහුය.

“දැන් සුදු පොල් කෙඳි කොස්ස මාකට් එකේ නැත්තේ ඇයි?” මම අසා සිටියෙමි.

“ඒක ටිකක් අමාරු වැඩක්. සුදු කොස්සක් හැදුවත් රටින් ගේන ප්ලාස්ටික් කොහු එක්ක ෆයිට් කරන්න අමාරුයි. ගාන වැඩියි. මේ පැත්තේ තමයි ඔය ‘සුදු කොහු’ හදන්න නම් දරාපු පැත්ත. ඉස්සර නම් මඟුල් ගේක පෝරුවේදි මනමාලියට තැලිපිළි ඇන්දුවාම මනමාලයාගේ පැත්තෙන් දෙන තෑගිවල අනිවාර්යයෙන් සුදු කොස්සකුත් තිබ්බා. ඒකෙන් බලාපොරොත්තු වුණේ මනමාලිගේ පිරිසිදුකම, චරිතේ.”

සුදු පොල් කෙඳි ලබාගන්නා ආකාරයත් ටිකක් විඩාබරය. සුදු කෙඳි බහුල වශයෙන් දකුණු පළාත ආශ්‍රිතව නිපදවන්නකි. මෙය දකුණු වෙරළබඩ තීරයේ කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට සාම්ප්‍රදායික උරුම වූ කර්මාන්තයක් ලෙස සැලකේ. සුදු පොල් කෙඳි ලබා ගැනීම සඳහා භාවිත කරනු ලබන්නේ අලුත් පොල් ලෙලි වේ. ඒවා කොළ පැහැයෙන් ද තෙතමනයෙන් ද යුක්ත වේ. මෙම පොල් ලෙලි කිවුල් ජලයේ ගිල්වා තැබීමෙන් කෙඳි බුරුල් කර ගනී. ලෙලි කිවුල් ජලයේ ගිල්වා තබන කාලසීමාව මාස 6 – 10ක් පමණ වේ. පල් වූ කෙඳි අතකොළුවකින් තළා කෙඳි ලබා ගනී. එහෙත් අප වස්කඩුවේ කොහු ඉදල් හදන තැන්වල කරක් ගැහුවත් එවැනි කොස්සක් හදනු දැකගත හැකිවූයේ එක්තැනක පමණි. එම කොස්සේ මිට අඟල් හයක්වත් නොවීම අපට ප්‍රශ්නයක් විය.

“ප්‍රංශයෙන් ආපු සුද්දෝ සෙට් එකක් ඕඩර් කරපු හින්ද මේ හදන්නේ. කොස්සක් රුපියල් තුන්දාහක් විතර වෙනවා. සුද්දෝ මේක ප්‍රංශෙට ගෙනිහින් ඇලුමිනියම් බටයක් මිටට බස්සනවාලු. ඒකයි මිට කපල තියෙන්නේ. මේ අලුමිනියම් බටේ මෙෂමන්ට් එකට තමයි මිට හාරලා තියෙන්නේ.”

ඔහු අපට අඟල් 6ක පමණ ඇලුමිනියම් බටයක් පෙන්වන්නට විය.

කොසු – ඉදල් කර්මාන්තය දැවැන්ත ලෙස කරන ආයතනයක් ලෙස අප දුටුවේ ගමගේ නිෂ්පාදන ආයතනයයි. එහි හිමිකරු ජයලත් ගමගේය. අපව ඇමතුවේ ඔහුගේ බිරිය තුෂාරි ජයලත්ය.

“මෙතනට දුරින් කට්ටිය එනවා කොහු ඉදල් ගන්න. අපේ ලොරියෙන් රත්නපුරේ ඉඳන් බදුල්ල බණ්ඩාරවෙල පැත්තට කොහු ඉදල් බෙදනවා. දැන් නම් මේ කර්මාන්තේ කරන්න හරිම අමාරුයි, රටින් ගෙනාපු කොස්ස නිසා මේ කර්මාන්තයට බඩේපාර වැදුනා.”

ජයලත් අප සමඟ අදහස් දැක්වූයේ මෙම කොහු ඉදල් කර්මාන්තය ක්‍රමවත් ආකාරයට ගොඩනඟාගෙන ඇති බව ප්‍රායෝගිකව ලත් අත්දැකීමෙනි.

“මේ කර්මාන්තය රැකගන්න කරුණු තුනක් මම දකිනවා. මුලින්ම මේ කර්මාන්තේ රැකගන්න රටින් ගේන කොස්සට බදු වැඩි කරන්න ඕන. දෙක මේකට සුරක්ෂිතභාවයක් නැති නිසා අලුත් පරම්පරාව එන්නේ නෑ. තුන්වැනි එක තමයි අපේ නිෂ්පාදනවල දුර්වලකම් නිසා තමයි මිනිස්සු රට කොස්ස ගන්න පටන් ගත්තේ. අපේ නිෂ්පාදනවල තත්වය උසස් කළොත් මිනිස්සු රට කොස්ස අත්හරිනවා.”

ජයලත් පවසන්නේ ප්‍රසන්න රණවීර මැටි ඇමැති යුගයේ ඉහළ ප්‍රමිතියේ කොස්සක් නිපදවා අමාත්‍යාංශයට ගෙන ගොස් ඇත්තේ ජයලත් විසින්මය.

“මං කිව්වේ මේක නියමු ව්‍යාපෘතියක් වශයෙන් දිස්ත්‍රික්කයක් තෝරාගෙන ඉහළ ප්‍රමිතියේ කොසු නිපදවමු කියලා. සාකච්ඡා ගාණක් තියලා ව්‍යාපෘතිය අනුමත වුණා. වැඩේට අමාත්‍යාංශයේ සල්ලි නෑ කිව්වා. මට ලංකා බැංකුවෙන් කීවා අමාත්‍යාංශයෙන් ඕඩරයක් ගේන්න ණයක් කෝටියක් වුණත් දෙන්නම් කියලා. ඒත් වැඩේ කෙරුණේ නැහැ. අපි රට කොස්සට බනින්න ඉස්සෙල්ල අපේ කොස්සේ ප්‍රමිතිය ඉහළට ගන්න ඕන.”

අප ගිය කොසු ඉදල් හදන තැන්වලින් චමින්ද නිරෝෂණ මේ ව්‍යාපාරයට අත ගසා අවුරුද්දක් නැත.

“දැන් කොස්සක තොග මිල රුපියල් 220 – 250 අතර ඉදලක් රුපියල් 200 – 260 අතර වෙනවා. අපේ තාත්තලාගේ කාලේ මේ ව්‍යාපාරේ පැතිරිලා තිබුණේ වස්කඩුව, පොතුපිටිය, පොහොද්දරමුල්ල වගේ පැතිවල විතරයි. මේ ගමෙන් කසාද කරගෙන පිටගම්වලට ගියාම මේ කර්මාන්තේ ඒ පැතිවලත් පටන්ගත්ත නිසා දැන් රටේ හැම තැනම මේක පැතිරුණා.”

චමින්ද කියන්නේ ඉදල හැම කෙනෙකුටම හැදිය නොහැකි මෙවලමක් බවය. අප ඉස්සර දුටු ඉදල්වල දැකගත හැක්කේ ඉරටු මිටට සම්බන්ධ වන තැන ඇත්තේ තහඩුවකි.

“ඔය ඉදලට තහඩු වෙනුවට ප්ලාස්ටික් කප් එක මාකට් එකට ආවම හැමෝම ඉදල් හදන්න පටන් ගත්තා. නැත්නම් මෙහෙව් යකෙකුට ඉදලක් හදන්න බෑ. ඒක අමුතුම සාස්තරයක්. ඒක අපේ ආතල – මුත්තලා කාලේ ඉඳන් ගුරු මුෂ්ටිය තියාගෙන කරපු කර්මාන්තයක්.”

මේ ප්‍රදේශයේ ඇවිදින විට අපට පෙනී ගියේ බොහෝ කොසු – ඉදල් මෝල් වැහී ගොස් ඇති බවය. ලොරියකට ඉදල් 500ක් පටවන විට කොසු පටවන්නේ 100කි. මොවුන් පවසන්නේ කොස්සා 100න් නැවත 50ක් පමණ නොවිකිණී එන බවය.

ජයසිරි නිෂ්පාදන ආයතනයට අප ගිය විට ජයසිරි අපෙන් මුලින්ම ඇහුවේ මහත්තයා ඉන්කම්ටැක්ස් එකෙන් නෙමෙයි නේද කියලාය.

“ඉස්සර මාසෙකට කොහු – ඉදල් 10,000කට වැඩිය හැදුවා. දැන් 1000ක්වත් නැහැ. ඉස්සර දවස ගානම වැඩ. දැන් සතියකට දවස් 2ක්වත් වැඩ නැහැ. අපි කෑලි ගානට ගෙවන්නේ ඉදලකට රුපියල් 15/=යි. කුඩා කර්මාන්ත එකෙන් සැරයක් ආවා. අන්තිමට බෝඩ් එකක් ගෙනල්ලා දුන්නා හරියට අපි ඒගොල්ලන්ගෙන් ජීවත් වෙනවා වගේ. බෝඩ් එක ගලෝලා විසිකළා. අපි කියන්නේ අපිට ආධාර එපා. මේ රටින් එන කොස්ස නවත්තලා දෙන්න. මේ කර්මාන්තෙන් මගෙන් විතරක් පවුල් අටක් රැකෙනවා. ලංකාවේම දහස් ගාණක් මේකෙන් රැකෙනවා.”

ගාලුපාර අයිනේ මුලින්ම අප ගොඩවූයේ සමන් තිලකගේ වෙළෙඳ කුටියටය.

“දැන් මේ කඩේ තිබ්බ ඉඩෙන් හතරෙන් එකයි තියෙන්නේ. ඉස්සර කඩේ පළල අඩි 40යි. මේ කර්මාන්තේ කඩා වැටෙන්න පටන් ගත්තේ ප්ලාස්ටික් කඩ වැටිලා ප්ලාස්ටික් කොස්ස ආවම තමයි. අනික් ප්‍රධාන හේතුව ‘හයිවේ’ එක. ඉස්සර කතරගම ගිහින් එන වන්දනා නඩ බස්වලට කොසු ඉදල් පැටෙව්වේ සියගණන්. ඉස්සර කළුතර නාගස් හන්දියට යනකම් කඩ 40කට වැඩිය තිබුණා. දැන් දහයක්වත් නෑ. රටින් එන කොස්සට කියන්නේ ටයිල් කොස්ස. සුද්දෝ කවදාකවත් ප්ලාස්ටික් කොසු ගන්නේ නෑ. ඉස්සර කඩේ රෑ දොළහටත් ඇරල. දැන් හයවෙනකොට වහනවා.”

අපේ කතාවට තිලක්ගේ බිරිය සුවේන්ද්‍රලතා ද එක්විය.

“සුද්දියක් දවසක් රට ප්ලාස්ටික් කොස්සක් දිහා අප්පිරියාවෙන් බලල කිව්වා ඒ රටවල ටොයිලට් හෝදන්නවත් ඒවා ගත්තේ නෑ. කෙඳි ගෙවුණාම එන කුඩු පිළිකා කාරකයක් කියලා.”

අප වස්කඩුව ආශ්‍රිත ප්‍රදේශවල කරක් ගසා පැරණිතම කොසු – ඉදල් කඩයට ගොඩවූයේ මහත් වෙහෙසක් දරාය. එහි වෙළඳනාමය සිල්වා ස්ටෝර්ස්ය. මෙය ආරම්භ කොට ඇත්තේ ‘පවුලිස් සිල්වා’ විසින් වසර 80කටත් පෙරය. දැන් පරම්පරාවේ සිටින තනුජා නිශාන්ති අප සමඟ කතාබහට එක්විය.

දැන් ඔය එන සුද්දො හොයන්නේ පං මලු, පැදුරු, කොසු තමයි. ලංකාවේ කොහුවලට සුද්දෝ ආසයි. කොහුලණුවලින් වියපු කාපට් ඉල්ලනවා. මෙතැන 1900 මුලදි තිබිල තියෙන්නේ රා පට්ටලයක්. (රා එකතු කරන මධ්‍යස්ථානයක්) මම බැන්දෙ මෙහෙන්. මහත්තයලාගේ තාත්තා තමයි පවුලිස් සිල්වා. පරම්පරා ගාණක් සුද්දෝ මේ කඩේට අදත් ඇවිල්ලා යනවා. සමහරු 1950 විතර ඒගොල්ලන්ගේ ආච්චිලා සීයලා මෙතැන ඉඳන් ගත්ත පින්තූර ගෙනත් පෙන්නනවා.”

අවසානයේ අපට තමන්ගේ උත්සාහයෙන් දිවි රැක ගන්නා කොහු ඉදල් නිෂ්පාදකයින් පිරිසක් රජයේ කිසිදු සහයක් නැතුව තම දිරියෙන් කර්මාන්තයත් රැකගනු දක්නට හැකිවිය. ඔවුනගේ එකම ඉල්ලීම රට කොස්ස නවත්වා තමන් දහස් ගණනකගේ රැකියාව රැක දෙන ලෙසය. ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ මෙරටට කොහු නිෂ්පාදන ආනයන තහනම පනවා ඇත්තේ 1938 දී බවය. අප ගිය බොහෝ කොහු ඉදල් නිෂ්පාදනාගාර තුළ තරුණ ශ්‍රමිකයන් දැකගත හැකි වූයේ නැත. ඒ කියන්නේ මේ කර්මාන්තය දැන් තරුණ පරපුරෙන් අතුගෑවී ගොස් ඇති බව නොවේද?

 

ඡායාරූප – ගයාන් පුෂ්පික

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division