Home » සිදාදියේ මී වදේ

සිදාදියේ මී වදේ

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

සුරංජිනි පාසල අවසන්ව ගෙදර එමින් සිටියේ ජලසම්පාදන කාර්යාලය දෙස විමසිලිමත්ව බලමිනි. ඒ වන විට කාර්යාලය ඉදිරිපස බොහෝ දෙනෙකු රැඳී සිටින බව ඇය දුරදීම දුටුවාය. ඒ අතර තමා දකින්නට හුරු පුරුදුව සිටින තරුණ නිලධාරියා ගේට්ටුව අසල සිටිනු දැක ඇය මහත් සතුටට පත්වූවාය. තමා ප්‍රධාන කාර්ය භාර නිලධාරීයා වුවද ඔහු නිහතමානී අයෙකු වූ අතර, ගමේ සියලු දෙනා සමඟම කතාබහ කර ඔවුන් හඳුනා ගැනීමට කැමැත්තෙකු විය.

“අද ඉස්කෝලෙ කලින්ම වහලා වගෙයි” සුරංජිනි තමා අසලට පැමිණෙත්ම ඔහු අසා සිටියේ සිනා සෙමිනි.

“අද ළමයි අඩුයි. ගොයම් කපන කාලෙට ගෙදර නවතිනවා” ඇය එසේ කීවේ මොහොතක් මග නතර වෙමිනි.

“මේ ගම්වල එහෙම තමයි. ගෙදර නැවතිලා” ගොවිතැන් වැඩවලට උදව්වෙන්න එපා යැ” එසේ පවසන නිලධාරියා සමඟ දිගට කතා කරමින් රැඳී සිටිය යුතු නැතැයි ඇයට සිතුණේ අවට සිටියවුන් ඔවුන් දෙස බලා සිටින අයුරු දුටු හෙයිනි.

“ගොවිතැන් වැඩ ඉවර වුණාම තමයි ආපහු එන්නේ” යි කියමින් ඇය ආපසු හැරුණාය.

“මොකද ඉක්මනට යන්නේ, තවම ඒ තරම් දවල් වෙලා නෑ” යි ඔහු කීවේ තවත් මද වේලාවක් කතා කරමින් සිටීමට වූ බලවත් ආසාවෙනි.

“මට ඉස්කෝලේ වැඩ වගයක් කර ගන්න තියෙනවා. ඒකයි ඉක්මනට යන්නේ” යි කියමින් සුරංජිනි ආපසු හැරුණේ ද සිතකින් නොවේ.

“තව දිගට කතා කරන්න නැවතුනොත් අර බලා ඉන්න මිනිස්සුන්ට බැරි නෑ, කතාවක් හදලා ගමේ හැම තැනම කියා ඇවිදින්න. ආපසු එමින් එලෙස සිතන්නට වුවද තව මද වේලාවක් කතා කරමින් සිටින්නට නොහැකි වීම ගැන සුරංජිනි කනස්සල්ලට පත් වූවාය.

ජල හිඟයෙන් පීඩා විඳින ජනපදයක් වන

බඹරගලවාසීන්ගේ ජල පහසුව සඳහා ජලසම්පාදන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ගමට පැමිණ සිටින වාරිමාර්ග නිලධාරීන් අතර ප්‍රභාත් විජේසේකර නම් වූ නිලධාරියා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් විය. ගැමියන් සමඟ සුහඳව සිටින ඔහු සිය කාර්යාලය ඉදිරිපස මාවත දිගේ පාසලට යන එන සුරංජිනි සමඟ ද නිතර කතා බහ කරයි. සිදාදියේ සිට මෙම පිටිසර ගම්මානයට පැමිණ සිටින ඔහු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුම නැවතී සිටින්නේ කාර්යාලය අසල නිවසකය. විවාහ වූ දූ දරුවන් වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින හෙයින් මෙම නිවසේ සිටින්නේ මාපිය දෙදෙනා පමණි. එහෙයින්ම ඔවුන්ට එහි නිදහසේ සිටිය හැකිය.

මෙම නිලධාරීන් දිය නෑම පිණිස යන්නේ, මදක් ඈතින් වූ ඇළකටය. ජලසම්පාදනයේ නිලධාරීන් එහි යන්නේ සුරංජිනිගේ නිවස ඉදිරිපස පාර දිගේය. හරියටම ඔවුන් එන වේලාවට සුරංජිනි මුහුණ කට සෝදාගෙන පිරිසිදු ඇඳුමකින් සැරසී මුහුණේ ඕනෑවටත් වැඩියෙන් වත්සුනු උලාගෙන පෙරමග බලා සිටින්නට පුරුදුව සිටියාය. සුරංජිනීගේ ආත්තම්මා වන සමරසිංහ හාමිනේ සිය මිනිබිරියගේ නොසන්සුන් බව හඳුනාගෙන සිටින්නේ ඉවෙන් මෙනි.

“කවුද හැබෑටම අර ඉලන්දාරි කට්ටියක් හැමදාම වගේ හවසට මේ පාර දිගේ යන්නේ?” යි සමරසිංහ හාමිනේ විමසුවේ කුතුහලයෙනි. එය ඇසුණු ඇයගේ දියණිය ද පාර දෙසට හැරුණාය.

“ඒ ජලසම්පාදනයේ කට්ටියක්නෙ – නාන්න යනවා ඇළට ” යනවුන් ගැන විපරම් කර බැලූ කමලා කීවේ සතුටු සිනාවක් නඟමිනි.

“නැවතිලා ඉන්නේ කුමතේරිස් මාමාලගෙ ගෙදර”

“හැබෑටම එහෙම නම් කුමතේරිස්ලාටත් හොඳයි”

“මම ටවුමට ගිය වෙලාවේ කුමතේරිස් මාමා කිව්වේ ගම්පහ, කොළඹ පැත්තේ කට්ටියක් ලු. කරදරයක් නැහැලු”

“එහෙම නම් මදැයි “සමරසිංහ හාමිනේ එසේ පවසා එම සෙනඟ පිළිබඳව සිතන්නට වූයේ සිත් කොනක වූ එක්තරා සතුටක් ද සමඟය.

සිය මෑණියන් ඔවුන් ගැන දැනගන්නට උනන්දු වන බවක් හැඟී ගිය හෙයින් කමලා නැවත කියවන්නට විය.

“වෙන ඉලන්දාරි වගේ හැන්දෑවට බීගෙන දඟලන්නේ නැහැලු. තමන්ගේ පාඩුවේ ඉන්නවාලු”

“එහෙම නම් ඉතින් කුමනේරිස්ලාටත් ලොකු සැනසිල්ලක්”. සමරසිංහ හාමිනේ කියන්නට විය.

“රා අරක්කු කටේ තියන්නෙවත් නැහැලු”

සමරසිංහ හාමිනේට මෙන්ම කමලාට ද එලෙස බොන මිනිස්සුන්ව පේන්නටවත් බැරිය. ඒ කමලාගේ සැමියා සුරාවට ඇබ්බැහි වී සිරෝසිස් රෝගයෙන් පීඩා විඳිමින් සිට අකල්හි ජීවිතයෙන් සමු ගැනීම නිසාය.

“අර රතු උස ඉලන්දාරියාගේ නම ප්‍රභාත් විජේසේකර. කුමනේරිස් මාමා කියනවා දෙහිවල හොඳ පවුලක කෙනෙක්ලු. ඉංජිනේරුවෙක්. ලොකු පඩියකුත් නැතැයි”.

“මේ ඉලන්දාරියා නම් අපේ කෙල්ලට හොඳට ගැළපෙනවා. වෙන මොන අඩුපාඩුවක් තිබුණත් බොන්නේ නැති මිනිහෙක් නම් මට හොඳටෝම ඇති. බේබදු මිනිහෙක් එක්ක ගිහින් මම විඳපු දුක් කන්දරාව මගේ දුවට විඳින්නට නම් මම ඉඩ තියන්නේ නෑ. කමලා එසේ සිතුවා මිස මව සමඟ කිසිවක් කියා සිටියේ නැත.

“බලන්න ඕනෑ මේක කොහොම හරි කරගන්න.”කමලාගේ සිත මොහොතකට සතුටින් පිරෙන්නට විය. සමරසිංහ හාමිනේලාගේ ගෙදර වැඩපල කරදී යෑමට එන දාවින් පැමිණෙන සෑම විටකම ගමේ සිදුවී ඇති කුමක් හෝ පිළිබඳව කතා කිරීමට පුරුදු වී සිටියේ සිරිතක් වශයෙනි. නිතර ඇවිදින්නට නොයන සමරසිංහ හාමිනේ රට වටේ සිදුවන සියල්ලම දැන ගන්නේ දාවින් ගෙනි.

“හාමිනේ, අර ජලසම්පාදනේ මහත්තුරු නාන්න එන වේලාවට එහා හේනේ කෙල්ලො කට්ටියක් ඇළට ඇවිත් බලන්න ඕනෑ මහත්තුරුන් එක්ක හරි හරියට හිනාවෙන, කතාවෙන හැටි” දාවින් අලුත්ම පුවතක් කියන්නට වුයේ නළල රැළි ගන්වා බැරූරුම් හඬකිනි.

“මොනවා!” ඒ ඇසුණු කමලා බොහෝ සෙයින් නොසන්සුන් වුවාය.

“කවුද හැබෑටම ඒ?”

“එක්කෙනෙක් කියලා නෙවෙයි. හතරපස් දෙනෙක්ම. අර මෙහේ පිටි කොටලා දෙන්න එන කරුණාවතිගේ දුව ඔක්කෝටම හපන්.” දාවින් කීවේ කෝපයෙනි.

“මොනවා! ඒ අර සිරිමති කෙල්ල නේද ?” කමලාට එක්වරම කේන්ති ගියේය.

“එයා තමයි. අපේ ගෙදර ගෑනි කියනවා මේ කෙල්ල අර ප්‍රභාත් මහත්තයාව දැපනේ දාගන්න හදනවාලු. ඕකුන් දන්නවා නිදාගෙන ඉන්න කොටි කූද්දා ගන්න”

කමලාගේ ඉහ මොළ දැවෙන්නට පටන් ගත්තේ, මේ කතාව ඇසීමත් සමඟය.

“මේ කෙල්ලට වටිනවා ද ඒ මහත්තයා එක්ක කතා කරන්න, හිනාවෙන්න, තියා බලන්නවත්”

“නාන්න එන හැමෝම බලා ඉන්නවාලු විගඩම් ” කමලා මෙන්ම දාවින්ට ද කේන්තිය.

අන් අයට වඩා ප්‍රභාත් විජේසේකර දැරියන්ගේ විශේෂ අවධානයට යොමු වන්නට විය. ඒ අතර සිටි සිරිමති අන් අයට වඩා සිනාවටත්, කතාවටත් බොහෝ හුරු අයෙකු බව ඔහුට පෙනුණේය. “ප්‍රභාත් මහත්තයා නානවට වඩා උඹ දිහාවම බලා ඉන්නවා” යි මල්ලිකා සිරිමති සමඟ කියා සිටියේ හඬ නඟා සිනාසෙමිනි.

“සිරිමති, ඔය අර කෙල්ලො එක්ක ඇළේ නාන්න ගියාට අර ජලසම්පාදනේ මහත්තුරු එක්ක ඕනෑවට වැඩියෙ කතාවට, හිනාවට යන්න එපා” යි චන්ද්‍රසේන ඇයට කියා තිබුණේ ගමේ බොහෝ දෙනා මේ ‘සැඳෑ සාදය’ ගැන කතා බහ කරන අයුරු අසා සිටි හෙයිනි. එහෙත් සිරිමති ඒ බවක් තම යෙහෙළියන් සමඟ කීවේද නැත.

පසු දිනක කරුණාවති සමරසිංහ හාමිනේලාගේ ගෙදරට ගියේ පිටි වනක් කොටා දීම සඳහාය. ඇය එහි යන විට සමරසිංහ හාමිනේ පිළිකන්නේ බංකුවක් උඩ වාඩිවී බලා සිටියාය.

“කරුණාවති එයි කියල මම හාල් ගොඩ දැම්මා” යි ඇය කීවේ මුව පුරා සිනාසෙමිනි. කිසිවෙකුගෙන් යම් වැඩක් කරවා ගැනීමට වූ විට, ඇය එලෙස සිනාසෙන බව කරුණාවතී ද දැන සිටියාය.

“මම මේ ටවුමට ගිහින් ආ ගමන්ම තමයි මේ ආවේ” ඇය එසේ පවසත්ම ඇයගේ කටහඬ ඇසී කමලා එහි ආවාය.

“ටවුමට ගියේ මොනවා ගේන්න දැයි” කමලා විමසුවේ කරුණාවතිගේ විඩාපත් මුහුණ දකිමිනි.

“අපේ කෙල්ලට පොත් වගයක් ගේන්න ගියා නෝනා හෙට ඉස්කෝලේ වාර විභාගෙලු”

“එයා තාම ඉස්කෝලේ යනවාද?” කමලා ඇසුවේ මවිතයට පත්වෙමිනි.

“ඔව් නෝනා. මේ අවුරුද්ද අග ආණ්ඩුවේ විභාගෙ. දැන් පාඩම් කිරිල්ල ඉවරයක් නෑ.”

“පාඩම් කරනවා! අනේ මන්දා “කමලා කියන්නට වුයේ නොරිස්සුම් සහගතවය.

“කීප දෙනෙක්ම කිව්වා එයා තවත් කෙල්ලො කට්ටියක් එක්ක හැමදාම හැන්දෑවට ඇළේ නාන්න ගිහින් අර ජල සම්පාදනේ මහත්තුරු එක්ක හිනා වෙවී මුකුළු කර කර ඉන්නවාය කියලා” කමලා එසේ කීවේ දැවින් කියු කතාවට තවත් කීපයක් අතින් එකතු කරමිනි.

“දෙයියනේ ඒ මේ ගමේ ගෑනු ඉරිසියාවටත් එක්ක හදාගත්තු කතාවක්” කරුණාවති කීවේ වාඩි වී සිටි බංකුවෙන් නැඟිට ගනිමිනි.

“කීප දෙනෙක්ම කිව්වා මේ කෙල්ලෝ ඒ මහත්තයාලා එක්ක කතා කරනවාය කියන එක නම්. ඔය මුකුළු කරන කතාව කවුරුවත් කිව්වේ නෑ”.

“එහෙම වුණත් මේ කෙල්ලන්ට වටින්නේ නැහැනේ ඒ මහත්තයාලා එක්ක හිනාවෙන්න, කතා කරන්න. ඒ මහත්තයාලා වැදගත් උදවිය. මේ නොසෑහෙන එවුන් දැන ගන්න එපායැ තමුත් කවුද කියලා.” කමලා ඒ සියල්ල කියා සිටින්නේ මුහුණ රකුසු කරගෙනය.

“මොනවා! අපේ දරුවා නොසෑහෙන එවුන් ද?” කරුණාවතීට හොඳටම කේන්ති ගියේය.

“අපි නොසෑහෙන මිනිස්සු වුණාට අපේ දූල දෙන්න හිතාගෙන රෑ තියා දවල්වත් ඉලන්දාරීන්ට කන්න දෙන්නේ නෑ. ප්‍රභාත් මහත්තයාව අල්ලා ගන්න හදන වග දැන් ගමේම හැමෝම දන්නවා.” එසේ කියමින් කරුණාවතී ආපසු යන්නට පිටත් වුයේ කමලා දෙස රවා බලමිනි.

“මීට පස්සේ මම මේ ගෙදර පස් පාගන්නේ නෑ.”

“මදැයි අහගත්තා” සමරසිංහ හාමිනේ කීවේ දොම්නස් සහගත හඬකිනි.

“මොනවටද ඔය ගෑනු එක්ක කතාවට ගියේ. ඇහුනා නේද එදා දාවින් කියාපු කතාව වැදගත් මහත්තයෙක් නම් මොකටද ප්‍රභාත් මහත්තයා කෙල්ලොත් එක්ක හිනාවට කතාවට ගියේ ඇහුවා. ඇත්ත නේන්නම් කෙල්ල අද ගෙදර නොහිටිය එක හොඳයි ඒ ගෑනිගෙ කතාව අහන්න. ඇහුණා නම් මොනවා හිතයිද මන්දා”

ගෙදර වූ අලකංචිය ගැන කිසිවක් නොදන්නා සුරංජිනි පසුදින උදෑසන පාසල් යන්නට වූයේ ප්‍රභාත් පිළිබඳ අපමණ වු සුවදායක හැඟීමකින් යුතුවය. ඔහු සුපුරුදු ලෙස තමා දකිනු පිණිස කාර්යාලය ඉදිරිපස බලා සිටිනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් ඇය එහි ළඟාවන විට ප්‍රභාත් පේන මානයක වුයේ නැත. එහෙයින් ඇය පාසලට ගියේ මහත් වූ දොම්නසකිනි.

ජල සම්පාදන කාර්යාලය සෑම දිනකම විවෘත වන්නේ සුරංජිනී පාසල් යන වේලාවටමය. ඒ එහි සේවය කරන මුරකරු උදෑසනින්ම සිය සේවා කටයුතු ආරම්භ කරන හෙයිනි.

කමලා බැංකුවට යෑම සඳහා පිටත්ව යන්නට වූයේ බොහෝ දහවල් වූ පසුවය. සිදු වූ සියල්ල ගැන ඇගේ සිතේ වූයේ පසුතැවිල්ලකි.

“කරුණාවති එක්ක ඒ ගැන කතා නොකළා නම් හොඳයි.” එසේ සිතමින් ඇය තැවෙන්නට විය. එසේ වුවද ප්‍රභාත් පිළිබඳ මතු බලාපොරොත්තු ඇයගේ සිතින් ගිලිහී ගියේ නැත.

“කල් අරින්න හොඳ නෑ. හෙට අනිද්දාම අපේ සුරංජිනි ගැන ප්‍රභාත් එක්ක කතා කරන්න ඕනෑ” යි ඇය සිතුවාය.

“එක අතකට සිරිමති කවුද, අපේ දුව කවුද?”

බැංකුවට ගොස් ආපසු පැමිණෙමින් සිටි කමලාට සුරංජිනි හමු වූයේ ඇය පාසල අවසන්ව ගෙදර එමින් සිටියදීය.

“අම්මා කොහෙද ගියේ” යි ඇය ඇසුවේ නොඉවසිලිමත්ව ඒ අසල වු ජල සම්පාදන කාර්යාලය දෙස බලමිනි. ඒ වන විට කීපදෙනෙකු එය ඉදිරිපිට රැස් වී සිටින අයුරු ඇය දුටුවාය. වෑන් රියක් ද ඒ අබියස විය. කුමනේරිස් මාමා වෙනදා ඇඳ සිටින අපිරිසිදු සරම හා කිළිටි බැනියම වෙනුවට පිරිසිදු සුදු ඇඳුමෙන් සැරසී වෑන් රිය අසල සිටියේ ය.

“මාමලා ගමනක් යන්න වගෙයි” කමලා මොහොතකට මග නතර වෙමින් විමසූ අතර සුරංජිනිගේ නොඉවසිලිමත් දෑස ප්‍රභාත් කොතැනක සිටී දැයි විපරම් කරන්නට විය.

“අපි මළ ගෙදරක යනවා” යි කුමනේරිස් මාමා කිවේ සුරංජිනි දෙසද බලමිනි.

“අපේ ප්‍රභාත් මහත්තයාගේ නෝනාගේ තාත්තා නැතිවෙලා. අද හවස දෙහිවල කනත්තේ ආදාහනාගාරයේ කටයුතු කරන්නේ. වෙලාව දීල තියෙන්නේ හවස හයට”.

“මොනවා! ” කමලා ඉහළට ඇදගත් හුස්ම පහතට හෙලුවේ බලවත් අපහසුතාවයකිනි.

“අපි දන්නෙත් නෑ” යි ඇය කීවේ වෙනත් වචන කීපයක්ම උගුරේ හිරවෙන අතරය.

“මොනවා! ප්‍රභාත් කසාද බැඳපු මිනිහෙක් ද?” ඇයගේ හදවත විලාප නඟන්නට විය.

“දවස් ගානක්ම ඉස්පිරිතාලේ ඉඳලා නැති වුණේ. මෙහෙ පණිවිඩේ ඇවිත් මහත්තයා පෙරේදා රෑ ගෙදර ගියේ.” කුමතේරිස් මාමා කියාගෙන ගියේය.

“මහත්තයාගෙ නෝනා කළුබෝවිල ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක්. ළමයින් දෙන්නෙක් ඉන්නවා. ..” කුමතේරිස් මාමා ඉන් පසු කියූ කිසිවක් කමලාට ඇසුණේ නැත.

අහසින් පාත් වූ අසරණියක් ලෙසින් අසන්නට ලැබුණු පුවතින් කම්පිතව මවත්, දියණියත් ආපසු එන්නට වුයේ බොහෝ සෙයින් නිහඬවය.

“අයියෝ ප්‍රභාත් බැඳපු මිනිහෙක්” සුරංජිනිගේ හදවත දෙදරන්නට විය.

“මැදැයි! මේ අනුන්ගේ මිනිහෙක් නිසා මම අපරාදේ කරුණාවතීලා එක්ක හිත් අමනාප වුණේ” කමලාගේ සිත ලැජ්ජාවෙන් හා පසු තැවිල්ලෙන් පිරී යන්නට විය.

ශාරිකා කරුණාතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division