Home » ෆ්‍රෙඩී ගමගේට දශක දෙකකට පසු පිදුණු හරසර
ටිමෝරයේ නිදහස වෙනුවෙන් කැපවූ

ෆ්‍රෙඩී ගමගේට දශක දෙකකට පසු පිදුණු හරසර

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment
ටිමෝරයේ ජනාධිපති රාමොස් ‍හොර්ටා විසින් ජාතියේ ඉහළම ඇගැයුම් සම්මානය ෆ්‍රෙඩීට පිරි නැමු අවස්ථාව

නුෂ්‍යත්වයේ සංවේදනා සීමා මායිම්වලින් තොරව ලෝකය පුරා පැතිරෙන්නේය. ජාති ආගම් කුල භේදවලින් තොරව සමස්ත ලෝකයා කම්පනය කරන්නේය. නුදුටු ගාසාවේ මළගම වෙනුවෙන් අපේ මිනිස්සු හඬා වැටෙන්නේ ඒ නිසාය. යුක්රේනයේ අවතැන් වූ දරුපැටවු වෙනුවෙන් ලෝකය කම්පනය වන්නේත් ඒ නිසාය. සුනාමිය අවස්ථාවේ දී ලෝකයේ අප නුදුටු නෑසු මිනිස්සු අප බලන්නට පැමිණියේ ඒ උතුම් මානව බැඳීමේ ගැඹුර කියා දෙනු සේය.

ඒ මානුෂික සංවේදනාවෙන් කම්පිත මිනිස්සු ජීවිත කාලය සමාජ මෙහෙවර වෙනුවෙන් කැප කරති. ගිනිගෙන දැවෙන රටක හිඳිමින් අනෙකාගේ දුකට සංවේදී වී මානව ප්‍රේමයේ තරම ලෝකයට පෙන්වූ අරගලකරුවෝ අපේ රටේද සිටින බව පසුගියදා ලෝකයට ප්‍රකාශිත විය.

ඒ නැඟෙනහිර ටිමෝරයේ නිදහස් සටන වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ පුරෝගාමී අරගලකරුවෙක් ලෙස සම්භාවනාවට පත් කර ඔවුන් නිදහස් ලබාගෙන 21 වසරකට පසු නැඟෙනහිර ටිමෝරයේ ඉහළම ජාතික සම්මානයෙන් අපේ රටේ සමාජ ක්‍රියාකාරිකයෙක් සම්මානයට ලක් කිරීමය. ඔහු සමාජ ක්‍රියාධරයෙක් මෙන්ම ජනමාධ්‍යවේදියෙක් වූ ෆ්‍රෙඩී ගමගේය.

2023 වසරේ නොවැම්බර් 27 දා නැඟෙනහිර ටිමෝරයේ අගනුවරදී පැවැති විශේෂ උත්සවයකදී නැඟෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා විසින් එම විශිෂ්ට අරගලකරුවාට ජාතියේ ඉහළම ඇගැයුම් සම්මානය පුදනු ලැබුවේය.

නැඟෙනහිර ටිමෝරය ඉන්දුනිසියාවට යාබඳව පිහිටා ඇති වර්ග සැතපුම් 5,743ක පමණ කුඩා භූමියකි. වර්ෂ 1702දී මේ කුඩා රාජ්‍ය පෘතුගීසි යටත් විජිතය වූයේය.

පෘතුගීසින්ගෙන් 1975 නොවැම්බර් මස 28 වැනිදා ටිමෝරියානුවෝ නිදහස ලැබුවත් වර්ෂ 1975 දෙසැම්බර් 07 වනදා ඉන්දුනීසියාව නැඟෙනහිර ටිමෝරය බලහත්කාරයෙන් අල්ලාගෙන ම්ලේච්ඡ පාලනයක් ගෙන ගියේය. එතැන් සිට වර්ෂ 1999 තෙක් ඝාතන 18600ක් වූ බවත්, කුසගින්නෙන් සහ දුර්භීක්ෂ රෝ බිය හේතුවෙන් 84600ක් මිය ගිය බවත් ගණන් බලා තිබිණි.

ෆ්‍රෙඩි ගමගේ ඇතුළු මානව හිතවාදී සමාජ ක්‍රියාධරයන් කැපවී තිබුණේ මේ දුක්ඛිත රාජ්‍යයේ මිනිස්සුන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණ ජීවිතයක් ලබා දීම පදනම් කරගනිමිනි. වසර 27ක දීර්ඝ අරගලයකින් අනතුරුව වසර තුනක සංක්‍රාන්ති කාලයක් ගත කිරීමෙන් පසු වර්ෂ 2002 මැයි 20 වැනි දින නැඟෙනහිර ටිමෝරයට නිදහස ලැබිණි. මේ අපූරු මිනිසාට ඒ නිදහසේ සිය අතීත මතක ආවර්ජනය කරන්නට ඉඩ දී අසා සිටියෙමි.

“මම සමාජ වැඩ කරන්න මුල් වුණෙ අපේ ගමේ පල්ලියේ හිටපු සරත් ඉද්දමල්ගොඩ කියන පියතුමා නිසා. අපි ශිෂ්‍ය සමිතියක් ගමේ හැදුවා. කටුනායක ගමේ ගොඩාක් වැඩ කළා. මේ අතරේ මම මගේ උසස් අධ්‍යාපනය කරගත්තා. අවසාන පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරුවා සමාජ වැඩ කරන ගමන්ම.

ඊට පස්සේ තමයි රටේ කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වුණේ. 1989 දී අපි දේශපාලනිකව කිසිම පක්ෂයකට සම්බන්ධ නොවුණත් අපි කළ සමාජ වැඩ නිසා තර්ජන එන්න ගත්තා. මම 1989 දී රටින් පිටවෙලා පිලිපීනයට ගියා. එහිදී මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානයක් එක්ක දිගටම වැඩ කරන්න. ඒ කාලයේ තමයි මට විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල අරගල සම්න්ධව අත්දැකීමක් ලැබුණේ. ඒ කාලයේ බුරුමයේ ප්‍රශ්නය ගැන, ටිමෝරයේ ප්‍රශ්නය ගැන, පලස්තීන ප්‍රශ්නය ගැන ඒ ආයතන හරහා වැඩ කටයුතු කළා.

මට යළි ලංකාවට එන්න ලැබෙන්නේ වර්ෂ 1992 දී. 1994 දී පිලිපීනයේ මැනිලා නුවර සංවිධානය වෙනවා ටිමෝරයට සහයෝගය පිණිස පළවෙනි ආසියා පැසිපික් සමුළුව. මම ඒක නියෝජනය කරන්න ලංකාවෙන් යනවා. නමුත් ඉන්දුනීසියානු ආණ්ඩුවේ බලපෑම යටතේ එම සමුළුවට සහභාගී වීම විදේශිකයන්ට තහනම් කරලා තිබුණා අධිකරණ නියෝගයක් අරන්. කොහොමහරි එදා ගුවන්තොටුපළේ ඇවිත් හිටියා විශාල මාධ්‍යවේදීන් පිරිසක්. ඒ මෙම සමුළුවට සහභාගී වන්න පැමිණි විදේශික ආරාධිත පිරිස් පිටුවහල් කිරීම ආවරණය කරන්න.

මට ලැබුණේ තත්ත්පර කීපයක් පමණයි තීරණයක් ගන්න. මම හිතුවා වැඩිම වුණොත් යළි මට පිලිපීනයට එන්න දෙන එකක් නෑ.

නමුත් මේක තමයි නැඟෙනහිර ටිමෝරය ගැන ලෝකයට හොඳම පණිවිඩයක් දෙන්න පුළුවන් හඬක් නඟන්න පුළුවන් අවස්ථාව කියලා. මම එයාර්පෝට් එක මැද්දෙ අත ඉස්සුවා. පස්සේ ටිමෝරයට සහයෝගය පිණිස මම විනාඩි තුන හතරක කතාවක් කළා. පස්සේ මාව මං ආපු ගුවන් යානයටම යළිත් වරක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් ඇදන් ගියා.

ඒ විනාඩි කීපය හරිම ඵලදායී වුණා. ඒ වනවිට මේක ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. සමුළුවට වඩා ප්‍රචාරයක් මේ සිදුවීමට ලැබුණා.

මම ලංකාවට ඇවිත් තෙවන ලොව මිතුරෝ කියන සංවිධානය පිහිටුවා ගත්තා. ඒ හරහා අපි තුන්වන ලෝකයේ රටවල අරගල සම්බන්ධව වැඩ කරන්න ගත්තා. ඒ වැඩවලදි ටිමෝරය සම්බන්ධව වැඩිපුර අවධානයක් යොමු වුණා. හැම අවුරුද්දකම නැඟෙනහිර ටිමොරයේ විශේෂ දවස් දෙකක් වන ඉන්දුනීසියාව විසින් ටිමොර්ය යටත් කරගත් දවස වුණු දෙසැම්බර් 07 සහ ඉන්දුනීසියානු පාලනය ලෝක ගර්හාවට ලක් වෙමින් දෙසීය පනහකට ආසන්න පිරිසක් සමූල ඝාතනය කර නොවැම්බර 12 වැනිදා කියන දවස් දෙකම අපි ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අපේ විරෝධය පළ කළා ටිමෝරයට නිදහස ලැබෙනතාක් කල්.

“මොහොතක විරාමයක දී ඔහුව විමසුවෙමි. ඔබ හිටියේත් ගිනි ගත්තු රටක. ඇයි ඔබ නැඟෙනහිර ටිමෝරය වෙනුවෙන් මේ රටේ ඉඳන් සටන් කළේ.

ඔහු සිනාසුණේය. ඇත්ත වශයෙන්ම අපි ඒ වනවිට ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් තියන වටපිටාව එක්ක අපට හැඟුණේ වෙන රටක ජනතාවකගේ පීඩාව අපේම පීඩාවක් විදිහට. අපි ප්‍රාර්ථනා කළෙත් ඒ විදිහේ සංස්කෘතියක් ලෝකයේ ඇති කරන්න. අනික ඇග­ැයීමක් නොකළත් අපි මේ රට ඇතුළෙ මහා වැඩ කොටසක් කරලා තියනවා. මේ සම්බන්ධවත් වැඩි දෙනෙක් කතා කරන්න ගත්තේ මේ සම්මානය ටිමෝරයෙන් හම්බ වුණු නිසා.”

“මම සහභාගි නොවුණත් මැනිලා නුවර පවත්වපු පළවෙනි සමුළුවේ දී මාව පත් කරගන්නවා ටිමෝර අරගලයේ ආසියානු නියෝජිතයා හැටියට. එකේ පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් තිබුණා. ටිමෝරයට නිදහස ලැබෙන තාක්කල් අපි විවිධ රටවලදි හමුවෙලා ඒ සහෝගීතා වැඩසටහන ක්‍රියාත්මක කළා.”

“නමුත් මට ටිමෝරය නිදහස් වෙනකම් ටිමෝරයට යන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

“ඇයි ඔබට ඇගැයීමක් ලබා දෙන්න අවුරුදු 21ක් ගත වුණේ. මම යළිත් ඇසුවෙමි. “

ටිමෝරය නිදහස් වුණාට පස්සේ එයාලට ගැටලු ගොඩාක් තිබුණා. ආර්ථික වශයෙන් කොහොමද ගොඩනැඟෙන්නේ, රට කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන කාරණා එක්ක. ඊට පස්සේ තමයි අරගලයට සහයෝගය දක්වපු අයට ඒගොල්ලන්ගේ රටේ පිරිනැමෙන ඉහළම සම්මානය පුදකරන්න පටන් ගන්නේ. “

“සමහර වසරවල ඒ උත්සවය පැවැත්වුණා. සමහර වසරවලදි පැවැත්වුණේ නෑ. ඒ පැවැත්වුන වසරවලදීත් කීප දෙනෙක් මේ සම්මානය දුන්නා. ඒ අනුව තමයි මට මෙදා සැරේ මේ සම්මානය ලැබෙන්නේ.

මේ සම්මානය එහේ රටේ ජනාධිපතිවරයාගෙන් ලැබෙනවා වගේම තමයි, නිදහසින් පස්සේ මම ටිමෝරයට යන හැම අවස්ථාවකම විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව, තරුණ කොටස් දක්වන ආදරය. තරුණ කොටස් මා පිළිබඳ ආදරය හැමදාම තිබුණා. මෙදා සැරෙත් මේ සම්මානය ලැබීමත් එක්ක තවත් ඒක එයාලට දැනිලා තිබුණා. ඔබේ කාර්යය දැන් ඉවර ද? අවසාන වශයෙන් ඇසුවෙමි.

නෑ.. ඒ රටේ ප්‍රශ්න ගොඩාක් තියනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ රටේ තරුණ ප්‍රජාව හමුවෙලා ඒ අය එක්ක අපට කළ හැකි වැඩ කටයුතු මොනවද බලන්න.

සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට ලෝකයේ ඕනෑම තැනක සිදුවන මානව ඛේදවාචක වළක්වා ගැනීම වෙනුවෙන් ජීවිතයේ ඉතිරි ටික කැප කරනවා. “

ඔහු කියනු අසාගෙන සිටියෙමි.

 

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division