Home » රැඟුම් පාලනය වෙනුවට වර්ගීකරණයක්

රැඟුම් පාලනය වෙනුවට වර්ගීකරණයක්

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කිරීමට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත මේ වන විට කරළියට පැමිණ තිබේ. 1912දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ය. මේ ඒ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් දැක්වූ අදහස්වල සම්පිණ්ඩනයකි.    

ශ්‍රී ලංකාවේ කලා නිර්මාණ වාරණ ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිව යයි. ආරම්භයේදී නාට්‍ය හා සිනමා කර්මාන්තය ආශ්‍රයෙන් මෙම වාරණ ක්‍රියාවලිය සිදුව තිබේ. මෙහිදී සිනමා වාරණය සඳහා බලපැවැත්වෙන නීතිමය රාමුව සැකසෙන්නේ වර්ෂ 1910 අංක 06 දරන නාගරික ආඥා පනතේ 110 ඡේදයේ 15 වැනි උප වගන්තිය ප්‍රකාරවය. මෙම ආඥා පනත ක්‍රියාවට නැංවෙන්නේ වර්ෂ 1918දී ය. ඒ අනුව සිනමාපටය නරඹා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රමය මෙරට තුළ ආරම්භ වී තිබේ. මෙකී ක්‍රමවේදය අනුව චිත්‍රපට නරඹා නුසුදුසු කොටස්‌ ඉවත් කර වාරණය කිරීමේ බලතල පැවරී තිබුණේ නගරාධිපතිවරයාට හා පොලිස්‌ අධිකාරිවරයාටය. ඒ අනුව මෙරටට ගෙන්වන ලද විදෙස්‌ චිත්‍රපට නගරාධිපතිවරයා හා පොලිස්‌ අධිකාරිවරයා විසින් නරඹා අනුමත කිරීමෙන් පසුව මහජන ප්‍රදර්ශනයට අවසර හිමි විය. මෙහිදී වේදිකා නාට්‍ය, චිත්‍රපට, මැජික්‌ දර්ශන, කරණම් දර්ශන ආදී සියලුම දෑ ප්‍රසිද්ධ රැඟුම් පාලනයට යටත් විය.

මේ සඳහා මුල්වර ව්‍යවස්‌ථාපිත නීතියක්‌ සම්පාදනය වන්නේ 1912 දීය. ඒ 1912 අංක 07 දරන රැඟුම් පාලන ආඥ පනත (Public Performance Order) හරහාය. මෙම පනත 1919 දී සංශෝධනය විය. මෙයින් වසර 32කට පසුව එනම් වර්ෂ 1951 දී අංක 23 ප්‍රසිද්ධ රැඟුම් පාලන මණ්‌ඩල පනත සම්මත විය. මේ අනුව වර්ෂ 1951 දී මෙරට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩල (Public Performance Board) ආරම්භ විය. මෙම පනත වර්ෂ 1961 දී, 1964 දී හා 1969 දී සංශෝධනයට ලක්‌විය. මෙම රැඟුම් පාලක මණ්‌ඩලයේ කටයුතු වර්ෂ 1951 දී නගරාධිපතිවරයාගෙන් හා පොලිස්‌ අධිකාරිවරයාගෙන් ඉවත්වී ප්‍රසිද්ධ රැඟුම් පාලන බලතල ආරක්‍ෂක හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා යටතට පැවරිණි. මෙම මණ්‌ඩලයට පැවරුණු ප්‍රධානතම වගකීම වූයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන සෑම චිත්‍රපටයක්‌ම හා සෑම නාට්‍යයක්‌ම නරඹා ඒ සඳහා සහතිකයක්‌ නිකුත් කිරීමය.

ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසය තුළ මුලින්ම තහනම් කරනු ලැබූ චිත්‍රපටය බෞද්ධ චිත්‍රපටයකි. ඒ ආසියාවේ ආලෝකය හෙවත් ‘මහා අත්හැරීම’ (The Light of Asia) නමැති චිත්‍රපටයයි. 1927 දී මෙම චිත්‍රපටය මෙරටට ගෙන්වා වැල්ලවත්ත ප්ලාසා සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඉන් දින දෙකකට පසුව ව්‍යවස්‌ථාදායක සභාව විසින් ප්‍රදර්ශනය වහාම අත්හිටුවා තහනම් කළේය. අනතුරුව තහනමට ලක් වූයේ 1960දී එල්. එස්. රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘නළඟන’ චිත්‍රපටියයි. ප්‍රථමවරට වැඩිහිටියන්ට පමණක්‌ සුදුසු බවට සීමා කරනු ලැබූ සිනමාපටය වන්නේ වර්ෂ 1964 තිරගත වූ ‘සුබ සරණ සැප සිතේ’ චිත්‍රපටයයි. එලෙස තහනමට ලක් වූ සිනමාපට අතර ‘සාගරයක් මැද’(1981) ,‘පුරහඳ කළුවර’(1997 ) , ‘තනි තටුවෙන් පියාඹන්න’ (2002), ‘බොරදිය පොකුණ’(2004), ‘අක්ෂරය’(2005), ‘උසාවිය නිහඬයි’ (Silence of the courts), ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish- 2011) ආදී සිනමාපට නම් කළ හැකිය.

මෙම නව පනත් කෙටුම්පත කරළියට එන්නේ මෙවන් ඉතිහාසයක් තුළය.

ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එය සැකසීමට මූල් වී ක්‍රියා කළ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති, සාහිත්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මේ සම්බන්ධයෙන් සිළුමිණට පවසා සිටියේ මෙවැන්නකි. “ රැඟුම් පාලනය වගේ පනතක් අවශ්‍ය ද කියන කාරණය ලෝකයේ බොහෝ රටවල සාකච්ඡාවට බඳුන් වූ කාරණයක්. මෙම සාකච්ඡාව නිසා බොහෝ රටවල පාලනය සහ වාරණය ක්‍රමක්‍රමයෙන් ලිහිල් වුණා. නමුත් තවමත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ යටත් විජිත සමයේ සම්මත කළ පනතක්. අශෝක හඳගමගේ 2002 වසරේ තිරගත වූ ‘තනි තටුවෙන් පියාඹන්න’ සිනමාපටය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ අවස්ථාවේ එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඊට මැදිහත් වුණා. “රැඟුම් පාලනය අවශ්‍යද? මේ සම්බන්ධයෙන් සලකා බලන්න වෙනවා” කියන කාරණය එතුමා ඒ අවස්ථාවේ මතු කළා. 2015 දී නැවත එතුමා බලයට පත් වූ අවස්ථාවේ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ලෙස මා පත් කළා. ඒ අවස්ථාවේ එදා එතුමා කළ යෝජනාව යථාවත් කරන්න කටයුතු කරමු කියා මම යෝජනා කළා. ඒ අනුව අප ඒ සඳහා කථිකාවක් ආරම්භ කර යම් පදනමක් ඇති කර ගත්තා. ඒ වන විටත් මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඟුම් පාලක මණ්ඩලයේ කටයුතු කළ උදවිය කෙටුම්පත් කිහිපයක් සකස් කර තිබුණා. නමුත් අපට අවශ්‍ය වුණේ කලා කෘති සම්බන්ධයෙන් බොහෝම නිදහස් පරිසරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව නීතිමය වශයෙන්ම උදා කර දෙන්න.

ඒ කාලයේදී මා විවිධ රටවල සංචාරය කරමින් මේ සම්බන්ධයෙන් ඒ රටවල ක්‍රියාකරන ආකාරය ආයතන ප්‍රධානීන් හමුවී සාකච්ඡා කළා. ඒ ක්‍රමවේද සම්බන්ධයෙන් හැදෑරීමක් කළා. ඒ වගේම මේ රටේ චිත්‍රපටකරුවන්ගේ සිට ශාලා හිමියන් දක්වා වූ විවිධ පාර්ශ්ව සමඟ මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. නමුත් ඒ අවස්ථාවේ මේ වැඩේ සම්පූර්ණ කර ගන්න අපට නොහැකි වුණා. පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කරලා ඒ වෙනුවට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා වන පරිදි වර්ගීකරණ මණ්ඩලයක් ගේන බව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව යමින් ඒ වෙනුවෙන් කමිටුවක් පිහිටුවනු ලැබුවා. මාස හත අටක් තිස්සේ විවිධ රටවල විශේෂයෙන්ම ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය අධ්‍යයනය කරමින්; ඒ වගේම නූතන ලෝකයේ ඇති වී තිබෙන නව ප්‍රවණතා අධ්‍යයනය කරමින් ඊට ගැළපෙන ආකාරයට තමයි මේ කෙටුම්පත සකස් කළේ. ඒ අනුව මෙහි නෛතික පසුබිම සැකසීම මේ වන විට සිදුවෙමින් පවතින බව” හෙතෙම අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් මෙරට ෙෂ්ඨ කලාකරුවකු වන ප්‍රවීණ නාට්‍යවේදී, චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක පවසා සිටියේ “ පෙර තිබුණු පනත සහ මුලින්ම ඉවත් කරන්නේ නැතිව, එහි තිබුණු සාධනීය කරුණු අරගෙන කරන වෙනසකට අපි කැමතියි. මේක සහ මුලින්ම අයින් කරනවා කියපුවාම හිතෙන්නෙ අපට ලොකු නිදහසක් දෙන්න යනවයි කියලා. නිදහසක් දීම නෙමෙයි මෙතනින් කෙරෙන්නෙ; පූර්ණ නිදහසක් ඇතිව තම කලා නිර්මාණ කරන්න ඉඩ ලබා දෙනවා කියන එකයි. නමුත් වෙනත් ආකාරයකින් වාරණය ඒක අස්සෙ සැඟවිලා තියෙන්න පුළුවන්. එහෙම සඟවන්නේ නැතිව ඒ කොටස පැහැදිලිව හෙළිදරව් කරනව නම් අප වඩා කැමතියි. නැත්නම් අපි තවත් වතාවක් අමාරුවේ වැටෙනවා. එහෙම නොවන තත්ත්වයක් තමයි ඇති කරන්න ඕන. මේ පනත ඉදිරිපත් කළායින් පසු එය සලකා බලා ඒ පිළිබඳ මත ප්‍රකාශ කිරීම වඩා වැදගත් බව” හෙතෙම පෙන්වා දෙයි.

ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනතක් ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මානනීය සිනමා නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක් ද වන නීටා ප්‍රනාන්දු පවසා සිටියේ මෙවැන්නකි.“ මෙවැනි අත්දැකීමකට 2012 දී මවිසින් නිෂ්පාදනයෙන් හා රංගනයෙන් දායක වූ ‘ස්වර’ චිත්‍රපටයේදී මුහුණ දුන්නා. අපි ඒඩ්ස් සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කරන්න කරපු මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි කියලා ප්‍රභේද කළා. නමුත් අපි මේ සිනමාපටය හැදුවේ ආච්චිල සීයලාට බලන්න නෙමෙයි, තරුණ ප්‍රජාවට බලන්න. එහිදී අප සාමාන්‍යයෙන් සමාජයේ එදිනෙදා පාවිච්චි වෙන වචන යොදා තිබුණා. සිප ගැනීමක් තිබුණා ඒවා ඔවුන් ඉවත් කරන්න කිව්වා. ඒ විදියට සිනමා පටයේ නොකැපිය යුතු එහි සන්නිවේදනයට අත්‍යාවශ්‍ය දේ පවා අපට ඉවත් කිරීමට සිදු වුණා. නමුත් අද යූටියුබ්, ගූගල් හරහා ගියාම මොනවද බලන්න බැරි. ඉතින් මේවා මේ විදියට වාරණය කිරීම සිනහ උපදවන කාරණාවක්. මොකද මේ ආයතනවල ඉන්න සමහර උදවිය දන්නෙ නැහැ; අපි අද ඉන්නේ මොන වගේ ලෝක තත්ත්වයක ද කියලා. එනිසා මෙවැනි මැදිහත් වීමක් සිදු කිරීම ඉතාම කාලෝචිත බව” ඕ පෙන්වා දුන්නාය.

සිනමා අධ්‍යක්ෂවරයකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චින්තන ධර්මදාස මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනස්ම අදහසකි “ ඇත්තටම මේක වෙන්න තිබුණේ මීට අවුරුදු දහයකට පහළොවකට කලින්. කල් ගිහින් හෝ මේ වැඩේ වෙනව නම් ඒක ලොකු දෙයක්. මේ කරන්න යන්නේ ඇමෙරිකාව වගේ වෙස්ටන් රටවල තියෙන ආකාරයට වර්ගීකරණය කිරීමක්. මේකෙදි වැදගත්ම කාරණය වෙන්නේ මේ කාර්ය සඳහා තෝරාගත් මණ්ඩලයයි. මොකද ලංකාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් වාරණය වෙලා තියෙන්නේ අශෝක හඳගමගේ; එයත් මේ මණ්ඩලයේ ඉන්නවා. අනෙක් අතට රාජිත දිසානායක, අනෝමා රාජකරුණා වගේ වාරණය නිසාම බැටකාපු පිරිසක් තමයි මේ සඳහා මූලික වෙලා ඉන්නේ. මෙහි කෙටුම්පත නොදැක පැහැදිලි කතිකාවකට එන්න බැරි වුණත්, මේ පිරිස දිහා බලපුවාම නිර්මාණකරුවාගේ පැත්තෙන් හොඳ දෙයක් වෙයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්. මේක හොඳ ප්‍රගතිශීලී වැඩක්. නමුත් ගැටලුව තමයි මේ දේවල් ආරම්භ වෙද්දී ලංකාවේ චිත්‍රපටි කර්මාන්තය ඉවරයි. ඒ නිසා වාරණ මණ්ඩලය අහෝසි වුණයි කියල හෝ වර්ගීකරණ ක්‍රමයක් හඳුන්වා දුන්නා කියලා ආරක්ෂා කරන්න චිත්‍රපටි කර්මාන්තය කියලා දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් මිනිස්සු චිත්‍රපටි බලන්න යන්නෙ නැහැ. මේ නිසා තවදුරටත් චිත්‍රපටි හදන්න නිර්මාණකරුවෝ පෙලඹෙන්නේ නැහැ. දැන් තියෙන්නෙ පිටරටින් ගේන චිත්‍රපටියක් මේ යටතේ වර්ගීකරණය කරලා හෝල්වලට දාන එක විතරයි. ‍මොකද ඒවත් මීට පෙර වාරණයට ලක් වුණා. ඒ නිසා මේකෙන් නිර්මාණකරුවගේ අයිතිය කෙසේ වෙතත් ප්‍රේක්ෂක අයිතියවත් ආරක්ෂා වන බව” ඔහු පවසයි.

නව පරපුරේ සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ, චිත්‍රපට තිර කතා රචක, ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර නව පනත සම්බන්ධයෙන් සිළුමිණට පවසා සිටියේ මෙවැන්නකි “ ලංකාවේ රැඟුම්පාලක මණ්ඩලය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ යටත් විජිත යුගයේ. ඒ නීති තමයි මේ වෙනකම් සියලු කලා නිර්මාණ විෂයෙහි බලපැවැත්වෙන්නේ. එවැනි තත්ත්වයක් තුළයි මේ පනත මීට වසර කිහිපයකට පෙර ගෙන ඒමට යෝජනා වෙන්නේ. ඒ අනුව මින් ඉදිරියට කිසිදු කලා නිර්මාණයක් තහනම් කරන්නේ නැහැ. කරන්න පුළුවන් එකම දේ මේවා වර්ගීකරණයට ලක් කිරීම පමණයි. එය බාල, මහලු, වැඩිහිටි මේ කුමන හෝ අන්දමේ සීමා පැන වීමකට පමණක් යටත්ව ප්‍රදර්ශනයට අවසර දෙන බව තමයි එහි සඳහන්ව තිබුණේ. එක් මොහොතක කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා නවක බොහෝ නිර්මාණකරුවන් ගෙනැවිත් මේ පිළිබඳ අදහස් විමසා සිටියා. එහිදී අපේ අදහස වුණේ කිසිදු කලා කෘතියක් තහනම් කරන්න අයිතියක් නැහැ කියන කාරණාවයි. ඔවුනුත් හිටියේ ඒ අදහසෙම නිසා පෞද්ගලිකව මමත් අප කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් ඊට එකඟතාව පළ කළා. නමුත් එක ඒ මොහොතේ ගේන්න පුළුවන් වුණේ නැහැ. මට දැනගන්න තිබෙන විදියට මේ ගේන්න යන්නේ ඒ කෙටුම්පතමයි. මෙහිදී මීට තවත් කාරණාවක් එක්කළ යුතුයි. ඒ මින් ඉදිරියට කිසිදු කලා කෘතියක් අපරාධමය වරදක් යටතට නොගැනිය යුතුයි කියන කාරණාව. කලා කෘතියක් විචාරය කරන්න ඕන කලා කෘතියක් කියන ඇහෙන් මිසක්, ඒක කිසිසේත්ම අපරාධමය වරදක් යටතට ගැනෙන්න බැහැ. මොකද මේ රටේ හරිම අමිහිරි කාලපරිච්ඡේ ද අප පසු කරවිත් තිබෙනවා. ඒ නිසා මින් ඉදිරියට මේ තත්ත්වය ඇති වෙන්න බැහැ. අපට මේ පනත සකස් කළ උදවිය ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. මොකද ඔවුන්ගේ කලා නිර්මාණවලටත් පැවති නීතිය ඉතාම නරක විදියට බලපෑවා. නමුත් මෙහි අන්තර්ගතය මොනවගේද කියන්න අප තවම දන්නේ නැහැ. ඒත් මේ ඉන්න අය දිහා බැලුවම අපට විශ්වාසයක් තියෙනවා අප යෝජනා කළ දෑ මේ තුළ අන්තර්ගතව ඇති කියලා” යැයි හෙතෙම පැවසීය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division