Home » මේෂ ලග්න කේන්දරයේ අටවැන්න සහ අටවැන්නාධිපති භාව දොළොසේදී ලබා දෙන පලාපල

මේෂ ලග්න කේන්දරයේ අටවැන්න සහ අටවැන්නාධිපති භාව දොළොසේදී ලබා දෙන පලාපල

by sachintha
January 27, 2024 1:00 am 0 comment

මෙම කේන්දරයේ අටවැන්න ගැන සඳහන් කරන විට බොහෝ අයගේ සිතට එන්නේ තමාගේ ආයුෂ මරණය එය සිදුවන ආකාරය තමාට ඇතිවන දුක දොම්නස මානසික ආතතියන් මෙන්ම තම සහකරු සහකාරියගෙන් තමාට ලැබෙන වස්තුව ශරීරයේ රහස් ස්ථානයන් ගැන ද දැන ගැනීමට ඇති ස්ථානය බැවිනි. එයට අයත් රාශිය මෙන්ම අධිපතිත්වය දරන අය ගැන ද ඔබ හොඳින් දැනුවත්වී ඇති නිසා එහි අධිපතියා එම ස්ථානයේම පිහිටා ඇත්නම් ඒ ගැන විග්‍රහ කිරීමේදී කිව යුතුම කරුණක් වනුයේ අටවැන්න අධිපතියා වන කුජ ලග්නාධිපති වන බැවින් මෙම කුජ ග්‍රහයා යම් දුර්වල ස්ථානයක ස්ථානගත වී සිටින අවස්ථාවක සිදුවන සිදුවීම් මත ආයු කාලය අඩුවීමක් සිදුවිය හැකි බව ද පැවසිය යුතුමය.

අටවැන්න අධිපතියා නියම ආකාරයෙන් අටවන ස්ථානයේම රැඳී ඇත්නම් ආයු කාලය දීර්ඝ වීම එනම් දීර්ඝායුෂ ලැබීමේ වාසනාව මෙන්ම මරණය ද ස්වාභාවික අන්දමින් සාමාන්‍ය ලෙසට සිදුවන අයෙක් වන අතර අන්‍යයන්ට වඩා සමාජයේ කටයුතුවලදී සිත උණුවන ගතියක් පෙන්නුම් කළ ද ඇතැම් අවස්ථාවලදී ඉතා දුෂ්ට ගතියක් ද පෙන්නුම් කරන රහසිගත කටයුතුවල යෙදීමට ඉතා දක්ෂ වන බැවින් වුව ද කිසිම කරදරයක් දරා ගැනීමට ඇති අපහසුතාව නිසා ගුප්ත කටයුතු කෙරෙහි ඇසුරක් ඇතිවී එයම බොහෝ ඇබ්බැහි වී අනුගත වීමක් පෙන්වන රහසිගත කටයුතු සඳහා ද මෙම ගුප්ත කටයුතු යොදා ගැනීමට පසුබට නොවන අයෙකි. තමාගේ විවාහයෙන් වස්තුව දේපළවලට උරුමයක් ලැබෙන එම වස්තුව බොහෝ විට තමා බලාපොරොත්තු නොවන අවස්ථාවක ලැබීමට ද ඉඩ ප්‍රස්ථාව ඇති බව ද යම් අයෙකු තමාට එපා වුවහොත් ජීවිතාන්තය දක්වාම ඔහු හෝ ඇය ඒ වන විට සිත්හි තබාගෙන කටයුතු කරන්නෙක් ද වනවා ඇත.

අටවැන්න අධිපති නමවැන්නට යහපත අයහපත ගෙන දෙයි. වැඩිහිටියන් හට ගරුසරුවක් නොමැති තමාගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් කරවීමට බලපෑම් ඇති රැකියාවේදී තම ප්‍රධානීන්ට එරෙහිව කටයුතු කර තම ධනය ද දේපළ ද අහිමි කර වන ඍජු අදහස් ඔවුනට ද ඉදිරිපත් කර ප්‍රශ්න ඇතිකර ගන්න පිහිටීමක් වනවා ඇත.

දසවැන්නේ කුජ පිහිටා ඇත්නම් මකරයට කුජ උච්ච වන නිසා යහපත් ආයු කාලයක් එනම් දීර්ඝායුෂ ලැබීමේ වාසනාව ද ඇති බව දැක්වුව ද මුල් කාලයේ අපහසු තත්වයන් මත රැකියා ලැබීම ප්‍රමාද වුව ද නොසිතූ ලෙස කිසියම් අයුරකින් උසස් රැකියාවක් ලැබී ඉන් පලප්‍රයෝජන ලබා දියුණුවක් අත්කර ගනිමින් දේපළ ඉඩකඩම් වස්තුව සහිත අයෙක් තම සහකරු හෝ සහකාරිය වශයෙන් ලැබ ප්‍රීතිමත් වාසනාවන්ත විවාහ ජීවිතයක් ලැබුවද තම මරණය හදිසියේ සිදුවන දෙයක් බව ද සිත්හී තබා ගන්න.

කුජ එකොළොස් වැන්නේදී ඔබහට සියලුම දේ හදිසියේම සිදුවන ආකාරයක් එනම් හදිසියේම මුණගැසෙන අය සමඟ ඇතිවන සම්බන්ධතා මත තම දියුණුවට පල ප්‍රයෝජන ලබා ගන්නවා සේම එම සබඳතාවයන් ද හදිසියේම බිඳ වැටෙනු ඇත. තමන් ඇසුර කරන අය අතර ද රහස් සබඳතා ඇති වුව ද ඒවාද හදිසියේ බිඳ වැටීම් සිදුවුව ද සමාජයේ උසස් තත්වයක් ලබා ගැනීමට උගත් භාවයක් මෙන්ම ගෞරව ලැබුවද ඒවායින් මහන්සියේ තරමට ප්‍රතිඵල නොලබා සමාජයෙන් ද හදිසියේ ඈත්වීමට සිදුවිය හැක. දොළොස්වන ස්ථානයේ මෙම පිහිටීම ඇත්නම් ඔබට අඩු ආයුෂ ඇති කර ගැනීමට නිතරම සිතේ කරදරකාරී ගති හැඟිම් ඇතිවීම හේතුකොට මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවිම මත තමාගේ ධනය ද නිකරුණේ නැතිකර ගනිමින් දුරබැහැර ඇවිදීමට හේතු ඇතිවී ලැබෙන සහකරු හෝ සහකාරියගේ ඇති උදර ආශ්‍රිත රෝගාබාධය හේතුකොට බොහෝ විය පැහැදම් සිදුවීමට සිදුවනවා ඇත.

පළවැනි ස්ථානය එනම් ලග්නයට කුජ තැන්පත්වී ඇත්නම් එහි ලග්නාධිපතියකු වන කුජ හේතුකොට ඇතිවන අනිෂ්ඨ විපාකයන් අඩුවන අතර එක්තරා ක්‍රමවත් බවක් තමාගේ පාඩුවේ උත්සාහයෙන් කටයුතු කාරණා සිදුකර දියුණුවක් ලබා තමා නොසිතූ ආකාරයක බලාපොරොත්තු නොවූ කාරණාවක් හේතුකොට උසස් තත්වයකට ජීවිතය ගෙනයන අයෙක් බවට පැවසිය හැකි අතර හිතේ ඇතිවන ආබාධයක් ගැන කල්පනාකාරී විය යුතුය.

වෘෂභයට අයත් දෙවැන්නට කුජ තැන්පත්වී ඇත්නම් තමාගේ කටයුතු සිදුකර ගැනීමට රහසිගත උපක්‍රමයක් සඳහා යොමුවන සිදුකර ගන්නා විවාහය ද තරමක් කරදර බාධක ආදියන්ට මුහුණ දීමට සිදුවනවා සේම බොහෝවිට මෙම හේතු කාරණා නිසා තමාගේ ආයුකාලය ද අඩුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. තුන්වැන්න ගැන විමසීමේදී අටවැන්නාධිපති එහි තැන්පත්වී ඇත්නම් ඔබ බලාපොරොත්තු වන තරම් යහපත් ප්‍රතිඵල නොලැබෙනු ඇති බව පැවසිය යුතුය. තමාගේ ආයු කාලය මෙන්ම තමාට බාල සහෝදරයා මඳ ආයු කාලයක් පෙන්වන අධ්‍යාපනයට බාල කාලයේදී බාධාවන් ඇතිව සිතට කරදර මෙන්ම කරන කියන කටයුතුවල අවුල් සහගතතත්ව තමා ඇසුරු කරන්නන්ගෙන් ද බලාපොරොත්තු නොවන ආකාර හානි සිදුවීමට ද හේතු බැවින් සිහිකල්පනාවෙන් වැඩ කරන්න.

කටකයට අයත් සිව්වැන්නට කුජ තැන්පත්වී ඇත්නම් හෝ උච්චව ඇතිවීම ඉතා හොඳ යහපත් ජීවිතයකට මෙන්ම දේපළ වස්තුව ලැබීමට වාසනාව ඇති වුව ද ගේදොර ඉඩකඩම් නිසා කරදර ඇතිවී ඥාතීන් සමඟ ද අමනාපවීම් ඇතිකොට ප්‍රශ්නවලට මුහුණදීමටත් තමාගේ සිත එකතැන රඳවා තබා ගැනීම අපහසු ගෙදරටවී කල් යැවුවද මැදිවයස වනවිට විශාල ධනයක් ලැබුවද විවාහය නිසා එම ධනය ද වැය වීමට හේතු දක්වන බැවින් ද පෙනහලු ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරුවිය හැකි ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා ඇත.

පස්වැන්නට අටවැන්න අධිපතියා තැන්පත් වීමෙන් එතරම් යහපතක් ඔබට නොලැබන අතර කාමාශාව බලවත්වී තරුණ කාලයට ප්‍රථම නොයෙකුත් රහස් සම්බන්ධතා ඇති කරගෙන තමාගේ චරිතයට හානි සිදුකර ගැනීම නිසාත් බාල අපරාධ නිවාසයන්වලට පවා යෑමට සිදුවිය හැකි වනවාක් මෙන්ම තම අධ්‍යාපනය ද මධ්‍යස්ථ කාලය වන විට ආලය හේතුකොට කඩාකප්පල්වීම අනවශ්‍ය පුද්ගලයන් නිසා අපවාද විඳීමට ද තම දරුවන් අතර ද සමාදානයක් නොමැතිව ඉතා හිතුවක්කාර ගති පැවතුම් ඇති තමාට අවශ්‍ය දේ කෙසේ හෝ කර ගැනීමට උත්සාහ දරනවා ඇත. බුධ ග්‍රහයාට විශාල බලයක් ඇති හයවැන්නට අට අධිපති තැන්පත් වීමෙන් පෙන්නුම් කරනුයේ ශරීර ශක්තිය වැඩුණු ශරීරයක් ඇති අයෙකු වුව ද ශක්තිමත් භාවය අඩුවී නිතර අසනීප තත්වයන් ද ඒ හා සමානව තමාට රහසේ ඇතිවන සතුරන් ගැනද නිතර සිතට භය ඇතිවීමත්, අන්‍යයන් පාලනය කර ගැනීමට අසමත් වීමත් හේතුකොට තමාගේ මෙහෙකරුවන් අවිශ්වාස ලෙස හැසිරීමෙන් දේපළවලින් ආදායම අඩුවීමෙන් උදාසීන ගති ඇතිවී තමාගේ දේපළ පවා සතුරු කරදර නිසා විනාශවීමට අවකාශ ඇති බව ද පැවසිය යුතුය.

තුලාවට අයත් හත්වැන්නට කුජ තැන්පත්වී ඇත්නම් ඔබට ප්‍රසිද්ධ වශයෙන් අන් අයගේ විරුද්ධවාදී කටයුතුවලට මුහුණ දීමටත් විවාහය ද ප්‍රශ්නකාරී කරදර ඇතිවීමට ඉඩ ප්‍රස්ථා ඇති බැවින් තමාට ලැබෙන දියුණු සහකරු හෝ සහකාරිය සමඟ කතිකා කර තම විවාහයෙන් පසු දියුණුවක් ලැබීමට ඇති වාසනාව ප්‍රයෝජනයට ගෙන කොටස් ව්‍යාපාර කරගෙන ප්‍රසිද්ධ වැඩ කටයුතුවලට සම්බන්ධ නොවී තමාගේ වැඩ කටයුතු දියුණු කර ගන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division