Home » ගුප්ත වැඩවලට නැතිවම බැරි පුහුලේ බලේ

ගුප්ත වැඩවලට නැතිවම බැරි පුහුලේ බලේ

by sachintha
January 27, 2024 1:00 am 0 comment

ඇස්වහ දෝෂ භංග කිරීමට යොදාගන්නේද පුහුල් ගෙඩියයි

දෙමළ මලයාලම් අරාබි මන්ත්‍ර භාවිත කර පුහුල් ගෙඩිය කැපීමෙන් බන්ධන ඉවතට

නිවස ඉදිරියේ එල්ලන පුහුල් ගෙඩිය මන්ත්‍ර කියා බලගැන්විය යුතුයි

 

භූත විද්‍යාවේදී පුහුල් ගෙඩියට ලොකු බලයක් ඇත. හදි හූනියන්, කොඩිවින සහ බන්ධන කැපීම සඳහා පුහුල් ගෙඩිය යොදා ගන්නේ එහි ඇති සුවිශේෂ බලයක් නිසාය. ව්‍යාංජනයක් වශයෙන් ද, ‘දෝසි’ සාදා රසවත් කෑමක් ලෙසින් ද සහ පෙරදිග වෛද්‍ය විද්‍යාව අනුව ‘රසායනික බස්න’ වශයෙන් ද පුහුල් තෝරාගනී. පළමුව පුහුල් ගෙඩිය ‘එල්ලීම’ ගැන කතා කරන අතර, දෙවනුව පුහුල් ගෙඩිය ‘කැපීම’ පිළිබඳ කතා කරමු. බෙහෙත් බඩු කඩවල විවිධ ප්‍රමාණයෙන් පුහුල් ගෙඩි විකිණීමට ඇත. වැලෙන් ගෙඩිය වෙන් කර ගන්නවා මිස නැට්ට පිහියෙන් කපන්නේ නැත. පිහියෙන් නැට්ට කැපුවොත් පුහුල් ගෙඩියේ බලය ශුන්‍ය වේ.

විශේෂයෙන් පුහුල් එල්ලීම ඇස්වහ දෝෂ භංග කිරීමට යොදා ගැනේ. අලුතෙන් සාදන නිවෙස්වල අය ඇස්වහ දෝෂ දුරු කිරීම සඳහා නිවස ඉදිරියේ විවිධ දේවල් එල්ලයි. එසේ එල්ලන්නේ ඇස්වහ දෝෂ දුරු කිරීමටයි. මෙවැනි ඇස්වහ දෝෂ හූනියම හා සමානය. නිවසක් සාදන විට එම ගෘහය දෙස බලා හූල්ලන අය එමට සිටී. එසේ කරන්නේ ඉරිසියාව යටි හිතේ මුල් කරගෙනය. එම නිවස සාදන අයට විවිධ කරදර මෙන් ම ගෙය සාදා ගැනීමට ද අමාරු වේ. මෙම ප්‍රශ්නය නිසා නිවස ඉදිරි කණුවක හෝ බිත්තියේ අශ්ව ලාඩන්, යක්ෂ මුහුණු, බුදු සරණයි දෙවි පිහිටයි යන පුවරු එල්ලයි. මේ වෙනුවට පුහුල් ගෙඩි ද භාවිත කරයි. පුහුල් ගෙඩිය එල්ලන්නේ නිවසේ ඇති ඇස්වහ දෝෂ නැති කිරීමටය.

එල්ලන ලද පුහුල් ගෙඩියට මන්ත්‍ර විධි යොදා බල කරන්නේ නැත. දේවාලයකට ගොස් පුහුල් ගෙඩිය දෙවියන් ඉදිරියේ කැප නොකරයි. එය සම්ප්‍රදායකි. එදා සිට අද දක්වා බල නොකර ඇස්වහ දෝෂ දුරු කිරීමේ පරමාර්ථයෙන් බොහෝ අය පුහුල් ගෙඩිය නිවස ඉදිරියේ එල්ලයි. යම් බලයක් යොදා පුහුල් එල්ලන්නේ නම් ඇස්වහ දුරු වී ගෙහිමියන් ආරක්ෂා කර දෙයි.

අඩුම තරමේ පුහුල් ගෙඩිය එල්ලීමට පෙර කාලි කෝවිලකට ගොස් දේවාලේ කපු මහතාට පූජා වට්ටියක් සමඟ පුහුල් ගෙඩිය භාර දී දේව බලයෙන් කැප කළ යුතුය. ඉන්පසු එය නිවසට ගෙන ගොස් සුබ වේලාවක් බලා පුහුල් ගෙඩිය එල්ලිය යුතුය. සාමාන්‍යයෙන් එල්ලන පුහුල් ගෙඩියට වඩා සුබ වේලාවට දේව බලය යොදා එල්ලන පුහුල් ගෙඩිය බලවත්ය.

තවද පුහුල් ගෙඩිය වැලෙන් වෙන් කිරීමේදී යකඩ පිහි යොදා ගන්නේ නැත. වම් අතට කරකවා නැට්ටෙන් වෙන් කර ගත යුතුය. එසේ වෙන් කර ගන්නේ ගුප්ත කටයුතු සඳහා ය.

දැන් පුහුල් කැපිල්ල කරන්නේ වැල් පැන්නුමක්, භුමි පාළුවක්, පස් ඉටි රූප, හොඬොල් අල රූප, අෂ්ට මැටි රූප යනාදියෙන් උඩින් පන්නා ඇති බන්ධන කපා දෝෂ භංග කිරීමටය. තෝරා ගන්නා පුහුල් ගෙඩිය හොඳ තත්ත්වයෙන් තිබිය යුතුය. ඇද පළුදු ඇති, කෘමි සතුන් විනාශ කළ, නරක් වුණු හා බොල් වුණු පුහුල් ගෙඩි සුදුසු නැත.

බන්ධන කැපීම සඳහා ජලනන්දනය ප්‍රබල බුද්ධ මන්තරයකි. මල් බුලත් තට්ටුව තනා එහි මත පුහුල් ගෙඩිය තබා පුහුලට ජලනන්දනයෙන් 108 වරක් මතුරා ජීවන් කර පුහුල කපයි. දෙමළ, මලයාලම්, අරාබි මන්තර භාවිත කර පුහුල් ගෙඩි කැපීමෙන් බන්ධන ඉවත් වෙයි.

මෙම විෂයට බොරුකාරයන් වැඩි නිසා විශ්වාසය වර්තමානයේ කඩවී ඇත. මෙම කටයුතු නිහඬව හා නිවැරදිව ඉෂ්ට කරන අය සිටිති. එවැනි අය ඉදිරියට එන්නේ නැත. මන්ත්‍ර විද්‍යාවේ උචිත මන්තර රාශියක් ඇත. මහ මලයාලි බන්ධන, ශ්‍රී විෂ්ණු නාරායනේ බන්ධන, සන්නි බන්ධන, දැඩිමුණ්ඩ බන්ධන, වෙසමුණි බන්ධන, ගුරුදේව බන්ධනය, කල්ලු බන්ධනය ආදී බන්ධන කිහිපයකි.

බන්ධන කැපීමට පෙර පුහුල් ගෙඩිය මතුරා ජීවම් කර දිෂ්ටි කළ යුතුය. පැදුරක් මත ඇදුරා උඩුකුරුව නිදි කරවා උදරය මත පුහුල් ගෙඩිය තබා මන්තර මතුරමින් පුහුල් ගෙඩියට කඩුවෙන් කොටයි. එසේ වෙන් වන කෑලි දෙකේ මතුපිට රතු පාට ලේ පැල්ලම් ද තිබිය හැකිය. තව ක්‍රමයක් ද තිබේ. පුහුල් ගෙඩිය ලෑල්ලක් මත තියා ජීවම් කර අවසන් වූ පසු ඇදුරා විසින් ලෑල්ල මත තිබෙන පුහුල් ගෙඩිය කපා බන්ධනය ඉවත් කර ගනියි.

මෙම ක්‍රම දෙකට වඩා ‘ජලනන්දනයෙන්’ පුහුල කපන්නේ නම් වැය වන වියදම අඩුය. මේ අය හොඳට පේවී සිටිය යුතුය. පුද පිදේනි අනවශ්‍ය වන අතර, අඩු බඩු ප්‍රමාණයක් යොදා ගනියි. බන්ධන කපා ඉවත් කරන පුහුල තුන් මංසලක, සිවු මංසලක සහ ගලා යන ජලයට දමා ඉවත් කළ යුතුය. බන්ධනය කැපීම හොර රහසේ කළ යුතුය. කරන විදිය කලින් විරුද්ධවාදීන් දැනගතහොත් බන්ධනවලට ප්‍රති කැපිලි නිසා බන්ධනය ආපසු හරවා යවා විනාශ කිරීමට ඉඩ ඇත.

සතුරාට දැනගන්නට ඉඩ තිබෙන නිසා සමහර අය බන්ධන කැපීම සඳහා ගමෙන් පිටතට ගොස් එම කාර්යය කරයි. ඌරු තෙල් සහ පස් තෙල් ජීවම් කර පුහුල තිබෙන ස්ථානයට දැමීමට ඉඩ ඇත. එයින් මිදීමට ආරක්ෂා මන්ත්‍ර උපයෝගි කරගැනීමට අමතක නොකළ යුතුය. සමහර කපුවන් නිවසේ පෑගෙන පස් දේවාලයට දී පුහුල් ගෙඩිය කපා බන්ධන ඉවත් කරයි. එය සාර්ථක නැත. රහසිගතව නිවසේ බන්ධනය කපන්නේ නම් එය ඉතා සාර්ථකය. විශේෂයෙන් සතුරාට දැනගන්න ඉඩ නොතැබිය යුතුය.

ඔබට දැන් පුහුල් ගෙඩියේ ඇති වටිනාකම වැටහෙනු ඇත. තඹ තහඩුවලට බලය දෙන්නා සේ පුහුල් ගෙඩියද මන්තර බලයෙන් බලවත් කළ හැකිය.

ජ්‍යොතීර්වේදී ග. මු. සුබසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division