Home » නිපුණතා අංක 2 සහ අංක 6 හොඳටම ගැළපෙන පෙම්වතුන් සහ පෙම්වතියන්

නිපුණතා අංක 2 සහ අංක 6 හොඳටම ගැළපෙන පෙම්වතුන් සහ පෙම්වතියන්

මෙවර නිපුණතා අංක 2ට අංක 5 – 6 – 7 – 8 – 9 හිමි අයගේ ගැළපීම්

by sachintha
January 27, 2024 1:00 am 0 comment

මේ ලිපි පෙළින් ඔබව දැනුවත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 2 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

 

නිපුණතා අංක 2ට නිපුණතා අංක 5 වන අයගේ ගැළපීම

ප්‍රේම සම්බන්ධයක් විවාහයක් හෝ හවුල් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අංක විද්‍යා ජ්‍යොතිෂය තුළ මෙම අංක දෙක නිර්දේශ නොකරයි. මෙය ඉතා දුර්වල සම්බන්ධතාවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. වැඩි කාලයක් සම්බන්ධතාව පවත්වාගෙන යාමට නොහැකි වේ. දෙදෙනා අතර ගැටුම් නිර්මාණය වී ආදරය සහ විවාහය කඩාකප්පල් වීමට හේතු කාරණා යෙදෙයි. මොවුන් දෙදෙනා පරස්පර අදහස් දරයි. අදහස්වල මුහු වීමක් නැත.

අංක පහෙන් උපන් කෙනාගේ ඉතා කාර්යබහුල බව හා ඉස්පාසුවක් නැති ගතියත් සරාගී හැඟීම් බහුල බවත් අංක දෙකෙන් උපන් කෙනාගේ තැන්පත් නිවුණු ගති ස්වභාවය හා අහිංසක ආදරණීය ස්වභාවය නිසා එකිනෙකා අතර අාධ්‍යාත්මික හැඟීම්වල නොගැළපීමක් ඇතිවෙයි. විවෘත අදහස් හා ගති ලක්ෂණවලින් හෙබි අංක පහ හිමියා අංක දෙක හිමියාගේ නිවුණු තැන්පත් බයාදු ගති ලක්ෂණවලට කැමති නොවේ. අංක පහෙන් උපන් කෙනා වෙලාවක් කලාවක් නැතිව ඕනෑම දේකට සූදානම්ව සිටී. නමුත් අංක දෙකෙන් උපන් කෙනාට සෑම දෙයකටම වෙලාවක් කලාවක් සහ පිළිවෙළක් ඇත. මේ ආකාරයට එකිනෙකට විරුද්ධ පරස්පර මත දැරීම හේතුවෙන් සම්බන්ධතාව වැඩි කල් පවත්වාගෙන යාමේ හැකියාව අඩු කරයි. ඒ අනුව මෙවැනි සබඳතාවක් ඔබට තිබේ නම් මේ තත්ත්වය තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කර ප්‍රශ්න විසඳාගෙන ඉවසීමෙන් ඉදිරියට යාමට සිත තබා ගත යුතුය.

නිපුණතා අංක 2ට නිපුණතා අංක 6 වන අයගේ ගැළපීම

මෙවැනි දෙදෙනෙකුගේ ගැළපීම ඉතා හොඳ සම්බන්ධතාවක් බව සඳහන් කළ හැකිය. ඉතා සතුටින් සම්බන්ධතාව බොහෝ කල් පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. දෙදෙනාට දෙදෙනාගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමේ හැකියාව ඇති කරයි. සිතුම් පැතුම් අදහස් සමානතාවක් දක්වන අතර දෙදෙනාම සමඟියෙන් සාමයෙන් ජීවත් වීමට උත්සාහ කරයි. අලුත් විදිහට නිර්මාණාත්මකව සිතීමේ හැකියාවක් ඇති අංක හය හිමියන් සාමකාමී තැන්පත් ගති සහ නිවුණු සිතක් සහිත අංක දෙක හිමියන්ට වඩාත් ප්‍රිය කරයි. අංක හයට හිමි හැකියාවන් නිපුණතාවන් සහ නිර්මාණශීලි චින්තන ශක්තීන්ගෙන් අංක දෙක හිමියන්ට වඩා හොඳ සහයෝගයක් ලැබෙයි. අංක දෙක හිමි පුද්ගලයා තුළ තිබෙන්නා වූ යම් යම් අඩුපාඩු හා දුර්වලතා අංක හය හිමියන් ගණනකට නොගන්නා අතර සමාව දී වැරදි හදාගෙන ඉදිරියට යාමට ශක්තිය ලබා දෙයි.

නිපුණතා අංක 2ට නිපුණතා අංක 7 වන අයගේ ගැළපීම

මෙය සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මට්ටමේ ගැළපීමකි. කරදර බාධක ගැටලු තිබුණද ඒවා විසඳාගෙන සාමය සමගිය පවත්වාගෙන යාමට දෙදෙනාම කටයුතු කරයි. නමුත් අංක දෙක තුළ තිබෙන්නා වූ සැකමුසු අවිශ්වාසී ගතිය නිසා සිත් රිදීම් සිදුවිය හැකිය. බොහෝ විට දෙදෙනා තුළ තියෙන අධ්‍යාත්මික සහ බාහිර ගති ලක්ෂණ මනා ලෙස ගැළපීම හේතු කොටගෙන සබඳතාව ඉදිරියට පවත්වාගෙන යාමට පුළුවනි. දෙදෙනා තුළම පවතින්නාවූ දාර්ශනික නිර්මාණශීලි චින්තන හැකියාවත් සහකම්පනයත් සබඳතාව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට උපකාරී වෙයි. අංක දෙක සහ අංක හත යන අංක ද්විත්වය තුළම ගැටීම්වලට අකමැති ස්වභාවයත්, වාද විවාද තර්ක විතර්කවලට ඇති අකමැත්ත හේතුවෙන් හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට දෙදෙනාටම හැකියාව ලැබෙයි.

නිපුණතා අංක 2ට නිපුණතා අංක 8 වන අයගේ ගැළපීම

අංක දෙක සහ අංක අට අතර පවතින්නා වූ සම්බන්ධය සාමාන්‍ය සම්බන්ධතාවකි. බාධා ගැටලු මැදින් වුවද සබඳතාව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. මෙහිදී අංක දෙක පිරිමියා වී අංක අට ස්ත්‍රිය වීමට වඩා අංක අට පිරිමියා වී අංක දෙක ස්ත්‍රිය වීම වඩාත් සුබපල ඇති කරයි. අංක දෙක පිරිමියා තුළ පවතින බයාදු ආත්ම විශ්වාසය අඩු සරල මන්දගාමී දිවි පෙවෙතට කාර්යශූර කළමනාකරණ හැකියාවකින් යුක්ත හොඳ ආත්ම විශ්වාසයකින් හෙබි කාය ශක්තියකින් යුතු අංක අට ස්ත්‍රිය එකතු වූ විට පිරිමියා අබිබවා ස්ත්‍රිය කටයුතු කරන ස්වභාවයක් ඇති කරයි. මෙය ගැටලු ඇතිවීමට හේතු වන කාරණයක් වෙයි. මෙහිදී පිරිමියා අංක අට වූ විට ඔහු වැඩපළ කිරීමෙහි දක්ෂ ආත්ම විශ්වාසයෙන් යුක්ත ශක්තිමත් පිරිමියෙක් බවට පත්වන අතර, ඔහුගෙන් හොඳ ආරක්ෂාවක් අංක දෙක ස්ත්‍රියට ලැබෙයි. නමුත් මෙහිදී අංක දෙක ස්ත්‍රියට ස්වාමියාට යටහත් පහත්ව කීකරුව ජීවත් වීමට සිදුවෙයි. ස්වභාවයෙන්ම එවැනි ගති ඇති අංක දෙක හිමි ස්ත්‍රියට එය එතරම් අපහසු කාරණයක් නොවන අතර, යහපත් සබඳතාවක් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙයි.

නිපුණතා අංක 2ට නිපුණතා අංක 9 වන අයගේ ගැළපීම

යම් විවාහ සහකරුවන් දෙදෙනකුගේ හෝ හවුල්කරුවන් දෙදෙනෙකුගේ සබඳතාව අංක දෙක සහ අංක නවයට වැටේ නම් එය ඉතා හොඳ සම්බන්ධතාවකි. මෙම අංක දෙක අතර හොඳ සුසංයෝගයක් පවතී. දෙදෙනා අතර හොඳ සහයෝගීතාවක් පවතින අතර, සතුටින් සමගියෙන් බොහෝ කලක් සබඳතාව පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙයි. සමාන ගති ලක්ෂණ අංක දෙක තුළම පවතී. දෙදෙනා තුළම අාධ්‍යාත්මික නැඹුරුතාවක් ඇත. යහපත් සිතුවිලි සහිතව ආගමට දහමට නැඹුරුව කටයුතු කරයි. හොඳ කායික මානසික සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නට හැකියාව ලැබේ. සාර්ථක දිවි පෙවෙතක් උරුම කරගැනීමට හැකියාව ඇත. අංක දෙකට හිමි අවිශ්වාසී බයාදු සැක සහිත මානසික ස්වභාවය හොඳින් තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කිරීමට අංක නවය කෙනා සමත් වෙයි. මෙහිදී අංක නවය පිරිමියා වී අංක දෙක ස්ත්‍රිය වීම වඩාත්ම යහපත් වෙයි. අංක දෙක පිරිමියා වී ස්ත්‍රිය අංක නවය වීමද ගැටලුවක් නැත. නමුත් අංක දෙක හිමි ස්ත්‍රිය පිරිමියා පිළිබඳ සැකමුසු හැඟීම් ඇතිකර ගැනීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙම අංක හිමියන් එකිනෙකාට උදවු කරගනිමින් සහයෝගිතාවයෙන් යහපත් දිවි පෙවෙතක් දිගුකාලීනව ගත කිරීමට සමත් වෙයි.

 

අංක විද්‍යා ජ්‍යොතිෂය 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division